මනුස්සකමේ පාඩම

කසුනි ඇගේ අසුනින් වාඩිවුනේ මූණ රතු කරගෙන.ටික වෙලාවකට කලින් කාර්යාලයේ ප්‍රධානියා මුණගැහෙන්න ගිය ඇය ආපහු තමන්ගේ අසුනට ආවේ හිටියාටත් වඩා අවුල් වෙලා කියලා කවුරුත් දැක්කා

” එයා කියනකන් අපි ඕව ගැන අහන්නේ නැතුව ඉමු “

කසුනි මූණ හෝදගන්න ගිය වෙලාවේ ඇගේ වෙනසට හේතුව හොයන්න වගේ වටපිට බලපු කාටත් ඇහෙන්න කල්පනී කිව්වා

” පහුගිය දවස් වල වැඩ වල තිබුණු අඩුපාඩු ගැන කියලා බොස් කසුනිට දොස් කියලා තිබුණා “

පහුවදා අලුත්ම ආරංචිය අරගෙන ආවේ මීනූ

” ඉතින් අඩුපාඩු වෙන්න බැරිද ? සීයට සීයක්ම perfect වෙන්න ඕනෙද ? “

කල්පනී ඇහුවේ ඇහුවේ එක එල්ලේම මීනු දිහා බලාගෙන

” ඒක ඉතින් මම දන්නේ නෑ. බොස්ගෙන් තමයි අහන්න ඕනේ “

මීනු උත්තර දුන්නේ ආපහු ඇගේ වැඩේට අවධානය යොමු කරන ගමන්

කසුනි හදපු වාර්තාවක වැරැද්දක් කල්පනී දැක්කෙ ඊට ටික වෙලාවකට පස්සෙ.ඇය වාර්තාව අරගෙන කසුනිගේ ආසනය ළඟට ගියා

” කසුනි “

කල්පනී කතා කරනකොට කසුනි හිටිය ලොකු කල්පනාවක.කල්පනීගේ හඬට කසුනි තිගැස්සුනා.

” මේ රිපෝට් එකේ පොඩි අවුලක් තියෙනවා. ඒක හදමුද ? “

කල්පනීගේ පිළිතුර වුණේ මද හිනාවක් විතරයි.වාර්තාව අතට ගත්ත ඇය ආපහු එය පිරික්සා බැලුවා.ඊට පස්සේ එය නිවැරදි කරලා කල්පනී අතට දුන්නා

” තැන්කියු කල්පනී.මේක මෙහෙමම බොස්ට දුන්න නං සමහරවිට බැණුම් අහන්නත් තිබුණා “

කසුනිගේ ඇස් වල මොකක්දෝ දුකක් තැවරිලා තියෙනවා කියලා කල්පනීට ඒ වෙලාවෙ දැනුනත් ඇය ඒ ගැන අහන්න ගියේ නැහැ

” බොස් කසුනි එක්ක ඉන්න හිත හොඳින් නෙමෙයි “

තවත් දවසක උදේ කසුනි කාර්‍යාලයට එන්න කලින් කාර්යාලයේ සේවකයෙක් වුන හේමන්ත කිව්වා

” ඒ මොකද ඒ ? “

මුහුණේ මේකප් තවරමින් හිටපු මීනු හේමන්ත දිහාවට හැරුණා

” මම ඊයෙ බොස් ළඟට ගිය වෙලාවේ බොස් තමයි කිව්වේ .කසුනිගේ වැඩ පිළිවෙළක් නැහැලු.එයා සැලකිල්ලෙන් වැඩ කරන්නෙත් නැහැල්ලු. ඒ නිසා එයාගේ වැඩ ගැන අපිට ඇහැගහගෙන ඉන්න කිව්වා “

හේමන්ත කිව්වේ ලොකු ඕපදූපයක් සියලු දෙනා ඉදිරියේ දිග අරින විලාසයකින්.ඒක දැක්කම ඒ වෙලාවේ කාර්‍යාලයට ආව කල්පනී ට දැනුනෙ තරහක්

” ඇහැ ගහගෙන ඉන්න එයා පොඩි ළමයෙක් නෙවෙයිනෙ.එයාට එයාගෙ වැඩවලට මොන හරි උදවු අවශ්‍ය නම් අපි උදව් කරමු “

” අපෝ .එයාට උදව් කරන්න ගිහිල්ලා අපි ගැනත් බොස් හිත හොඳ නැති වෙයි “

මීනු කතාකලේ අප්‍රසන්න මුහුණක් මවා ගෙන

” එහෙම වෙන එක හොඳයි කසුනිගේ රස්සාව නැති වෙනකන් අපි නිකන් උඩ බලාගෙන ඉන්නවට වඩා “

කල්පනී කතා කලේ තරමක් තදින්.වසර කිහිපයකට කලින් සේවයට ආපු ඇය ,ඇයට පසුව සේවයට ආපු බොහෝ දෙනාට ඉතාම කරුණාවෙන් සහයෝගය දක්වපු බව කවුරුත් දන්නවා

” කසුනි කෑම ගෙනාවද ? “

කෑම පැයේදිත් කසුනි පරිගණකය ඉස්සරහ වාඩිවෙලා ඉන්නවා දැක්ක නිසා කල්පනී ඇහුවා.

” කෑම එළියෙන් ගන්න ඕනේ .ඒත් මට තාම බඩගිනි නෑ කල්පනී “

කසුනිගේ මැලවිලා ගිය මුහුණ යට මොකක්දෝ කතාවක් තියෙනවා කියලා කල්පනීට ඉවෙන් වගේ දැනුනා

” මටත් ලොකුවට බඩගින්නක් නැහැ.ඒත් අපේ අම්මා මට ලොකු බත් එකක් දුන්නා. අපි දෙන්නම මේකෙන් කමු .යන් “

බොහොම කරුණාබර හඬකින් එහෙම කියපු කල්පනී , කසුනිගේ අතකින් අල්ලලා නැගිට්ටවා ගත්තා.

” ඔයා මොකක් හරි ප්‍රශ්නෙක ද ඉන්නේ ? “

කෑම කන අතරේ කල්පනී එහෙම අහනකොට කසුනි පුදුම වුණා

” එ..එහෙම එකක් නැහැ කල්පනී “

කසුනි ඒ වචන පිට කර ගත්තේ අමාරුවෙන් කියලා කල්පනීට දැණුනා

” ඔයා ඉන්නේ මොකක් හරි අවුලක නම් , ඒක ඔයාට ඔරොත්තු නොදෙන තරමේ එකක් නම් ඔයාට පුලුවන් ඕනම වෙලාවක ඒ ගැන මට කියන්න.මම ඒ ගැන බලෙන් අහන්න යන්නේ නැහැ.හරිද ? “

කල්පනී එහෙම කිව්වට පස්සේ කසුනි ආයෙමත් කල්පනා කරන්න පටන් ගත්තා.

” කසුනිට ඕනාවට වඩා අනුකම්පා කරන්න යන්න එපා කල්පනී. බොස් අපි එක්ක තරහ වෙයි “

වතාවක් හේමන්ත කිව්වේ අවවාදාත්මක හඬින්

” මේක ටීම් වර්ක් එකක්. ඉතින් කාටහරි මොනවම හරි ප්‍රශ්නයක් නම් , ඒක විසඳගෙන ඉස්සරහට වැඩ කරගෙන යන එක නෙමෙයිද අපි කරන්න ඕනේ ? “

කල්පනී ඇහුවේ හැමෝගෙන්ම

” එහෙම අනුකම්පා කරන්න ගියොත් වෙන්නේ බොස්ගෙ හිත හොඳ නැති වෙලා නැති වෙන එක “

ගොඩක් අයගේ පිළිතුර වුණේ ඒක

” බොස්ගෙ හිත හොඳින් තියාගන්න කියලා හෘද සාක්ශියට පිටින් වැඩ කරන්නේ කොහොමද ඇත්තටම ? “

බොහො දෙනාගේ හිත් වල මනුස්සකම් නෑ නේද කියන ප්‍රශ්නය කල්පනීගේ හිතේ ඉතිරි වුණා.

” දුවෙකුට තාත්තා තරම් වෙන කවුරුවත් වටිනවද “

කසුනිගේ facebook සටහන කල්පනී දැක්කේ හදිසියෙන්ම වගේ. කසුනි පහුගිය දවස් වල ෆේස්බුක් එකට එකතු කරපු සටහන් කිහිපයක් බලන්න කල්පනීට හිතුනේ ඒ වෙලාවේ.

” තාත්තා “

කසුනිගේ හැම සටහනක ම ගෑවිලා තිබුණේ ඒ වචනය. ඒ හැම සටහනක්ම දැක්කහම කල්පනීට යම් දෙයක් ඉවෙන් වගේ දැනුනේ තමන්ගේ අතීත මතකයත් එක්කමයි

” ගෙදර කෑම උයන්නේ කසුනි ද ? “

ඊළඟ දවස කෑම පැයේදී කල්පනී කතාව පටන් ගත්තා

” අම්මත් උයනව මමත් උයනවා කල්පනී “

කසුනි උත්තර දුන්නෙ හීන් හඬකින්

” ඔයා තාත්තා ගැන ෆේස්බුක් එකේ පෝස්ට් කීපයක්ම දාලා තිබුණා. ඒවා දැක්කම මට මගේ තාත්තව මතක් උනා කසුනි “

කල්පනී කිව්වේ කෑම කන අතරේ .කසුනි එකපාරටම තිගැස්සිලා වගේ කල්පනී දිහා බැලුවා

” ඔයා දන්නවද කසුනි ,මගේ තාත්තා නැති වෙලා දැන් අවුරුදු පහකට කිට්ටුයි .ඒත් එයාව මතක් නොවෙන දවසක් නැහැ මට . දුවෙකුට තියෙන හොඳම මතකය තමන්ගේ තාත්තා කියලයි මට හිතෙන්නේ “

කල්පනී බොහොම සන්සුන්ව එහෙම කියනකොට කසුනිගේ ඇස් වලට වේගයෙන් කඳුළු පිරෙන හැටි කල්පනී පැහැදිලිවම දැක්කා

” මගේ තාත්තා ඉන්නේ හොඳටම අසනීපෙන් කල්පනී “

කසුනිගේ කටහඬ බොඳ වෙලා යනකොට කල්පනය ඇගේ එක අතක් තද කරලා අල්ල ගත්තා

” මට තේරෙනවා “

” මතක ඇති කාලෙක ඉඳලම අම්මටත් වඩා මම ආදරේ කළේ තාත්තාට.තාත්තා දවස් කීපයක් තිස්සේම අසනීප වෙලා හොස්පිට්ල් එකේ. මට හිත එක තැනක තියාගෙන බත් කටක් වත් කන්න බෑ හරියට ඒ නිසා “

කසුනි තමන්ගේ හිතේ මේ වෙනකන් හිර කරගෙන හිටපු දේවල් කල්පනී ඉස්සරහ කිව්වේ ආයාසයෙන් කඳුළු නතර කරගන්න ගමන්

” ඔයා ඔහොම කඩාගෙන වැටුනො වැටුනොත් ඔයාගේ අම්මත් කඩාගෙන වැටෙයි. එහෙම වුනොත් තාත්තව සනීප කරගන්න කවුද ඉන්නේ ? “

ජීවිතයේ මුහුණ දෙන්නට සිදු වෙන ගැටළු හමුවේ වඩාත් ශක්තිමත් විය යුතු බව කල්පනී බොහොම ආදරයෙන් කසුනිට කියලා දුන්නා

දින කිහිපයකට පස්සෙ කසුනි හදිසියේම නිවාඩු ලබා ගත්තා.කසුනි ගේ තාත්තා අසනීපයෙන් බවත් ඔහුගේ තත්ත්වය අසාධ්‍ය බවත් කාර්යාලයේ අයට දැනගන්නට ලැබුණේ ඒ අතරේ

” කසුනි නිකමටවත් ඒ ගැන අපිට කිව්වේ නැහැනේ “

මීනු කතා කළේ පසුතැවීමෙන් වගේ

” කියන්න ඔයාලා එයාගෙන් ඇහුවද ඒ ගැන ? ඒ ළමයාගේ වෙනසට හේතුව , වැඩ මග ඇරෙන හේතුව නිකමටවත් ඇහුවද ? “

කල්පනී පොදුවේ ඒ ප්‍රශ්නය අහනකොට කවුරුත් නිහඬ වුණා

” සමහර අනතුරු ඇඟවීම් තියෙනවා අපි නොසලකා අරින්න හොඳ නැති.හැමෝටම ප්‍රශ්න තියෙනවා තමයි . ඒත් සමහර අය ඒවට මුහුණ දෙන විදිය වෙනස් .ඒවා දරාගන්න විදියත් වෙනස්. මනුස්සයෝ හැටියට අපි එකිනෙකාට උදව් කර ගන්න ඕනේ. එහෙම නැත්නම් අපේ මනුස්සකමින් ඇති වැඩේ මොකක්ද ? මම ඇත්තටම සතුටු වෙනවා මම කසුනිට වචනෙකින් හරි හයියක් උන එක ගැන “

කාට කාටත් මග ඇරුන මනුස්සකමේ පාඩම කල්පනී කියලා දුන්නේ බොහොම සන්සුන් හඬකින්

More Stories

Don't Miss


Latest Articles