සුළං සීනු -5

සීනු සංකල්පට ඇමතුමක් ගන්නට බොහෝ වෙලා යත්න දැරී ය. ඇගේ හිත නොරිදවා ඔහුට ඈ ලවා වොයිස් මැසේජයක් යැවීමට මම වග බලා ගතිමි. නැතිනම් ඇගේ ළපටි හදවත මහත් දුකකට පත් වීම නොවැළැක්විය හැකි දෙයකි.

“තාත්ති බිසීනෙ. අපි හවස් වෙලා යං බව්වෙක් ගේන්න.පෙට් ෂොප් එකකට..”

ඈ දිලිසෙන දෑසින් හිස වැනුවා ය. ගේට්ටු සීනුව වැදුණේ ඒ අතර ය.මඳ වෙලාවකට පසු හිනා කටක් පුරවා ගත් ලෝචනා මතු වූවා ය.

“ඔයත් අද ලීව් දැම්මද?”

ලෝචනා හිනැහෙමින් අසුන් ගත්තා ය.

“ඊයේ මූණ පුම්බන් ඉඳලා අද කෝල්ස් මැසේජ් පවා නොදැක්ක වගේ ඉන්න ගෑනි බලන්නෙ නැතුව කොහොමද? මං ෂෝට් ලීව් දැම්ම…”

ඈ කියන්නේ ඇගේ උකුල මත හිඳගත් සීනුගේ කැරලි කෙස් පිරිමදිමිනි. තව සුළු වෙලාවකින් සීනු ඇගේ බෝනික්කන් පරම්පරාව ද පෙර පාසල් පත පොත ද ගෙන ලෝචනා සහමුලින්ම අයිති කර ගන්නා බව මම දනිමි.හිත කැළඹී ඇති අයුරු නොපවසා එසේ සිටින්නට හැකි වීම ද නරක නැත.

“උඹ ඊයේ මරා ගත්ත ද?”

සීනු එහෙමෙහෙ වූ වහා ලෝචනා ඇසුවේ තදින් ය.

“රණ්ඩු වෙන මිනිහෙක් ද මට ඉන්නේ මරා ගන්න. අනේ ලෝචි මට මේ පතෝල ජීවිතේ එපා වෙලා..”

ලෝචනා සිනාවක් නගමින් නීතා ගෙන ආ බීම වීදුරුව තොල ගෑවා ය.

“අනික මට අම්මලා එක්කත් කේන්ති ලෝචි. අන්න තව කල් යනවලු එන්න..”

හද පිටාර දමන කෝපය ද ශෝකය ද අවසානයේ නිදහස් වන්නේ ලෝචනා සමීපයේ ය.ඈ මට සවන් දෙමින් හුන්නා ය.

“පවී, මේ රටෙන් එහාට යන මිනිස්සු හැමෝම ඒ අලුත් රටට කැමති වෙනවා.ආන්ටිලට අංකල්ලටත් ඒක පොදුයි. අනික පොඩි උන්ටත් දැන් එයාලා නැතුව බැරුව ඇති. සීනු එයාලව දකින්නේ වැකේෂන් වලට විතරක් වුණාට ඒ ඩබල හැදෙන්නෙම අම්මලා එක්කනෙ..”

“ඔව්.. ආං තව කෙනෙක් එන්නලු හදන්නෙ..”

නංගී යළිත් ගැබ් ගැනීම ගැන නොසැලකිලිමත් වචන මගෙන් පිට වෙද්දී ලෝචනා සුසුමක් හෙළුවා ය.

“දෙයියොත් තියන තැනටම උඩ පැන පැන දෙනවා නේද”

මම ඇගේ අතකින් සෙමින් අල්ලා ගතිමි.

“ලෝචි, උඹට තාම තිහක්වත් නෑනෙ. අපි තව ටික කාලයක් බලමුකො. මංනං මෙහෙමවත් මේ ප්‍රශ්නෙ කතා කරන්න ආස නෑ. උඹ මගේ ජීවිතේ කොටසක් හින්දා කියන්නේ..නැත්නම් ඕක ගෑනියෙක් හස්බන්ඩ් ඇරුණම ඩොක්ටත් එක්ක විතරක් ශෙයා කර ගන්න ඕන ප්‍රශ්නයක්. අපේ රටේ හැම එකාටම ඕක ප්‍රශ්නයක් වුණාට.”

ලෝචනා එහෙමෙහෙ දුව පනින සීනු දෙස බොහෝ වෙලාවක් බලා සිටියා ය.

“වෙලාවකට සීනු දකිනකොටත් මගෙ පපුව ගැලවෙන්න එනවා බං…උහුලන්න බෑ.”

ලෝචනා තෙවසරක් ම දරුවෙකු වෙනුවෙන් ඇඟිලි ගනින්නියක වීම දෑස් පුරා විඳගත් ගැහැනියක ලෙස මට ඇගේ වේදනාව දැරීම බොහෝ අසීරු දෙයකි.සීනු මවෙත ආවේ නොදන්වාම ය.නමුත් නොදන්වා සහ දන්වා ආ සුර බිලිඳුන් කිහිප දෙනෙකුම ලෝචනා අසල සති කිහිපයක්වත් රැඳුණේ නැත. ඈ සීනුට මෙපමණ ආදරය දක්වන්නේ නම් ඇගේ දරුවෙකු කොපමණ ආදරයක් සහිතව හැදී වැඩේදැයි මා ද නොසිතුවා නොවේ.නමුත් ඇය තවම මඟ බලන්නී ය.

“අපි අන්තිම ඔප්ෂන් එකකට හරි යං. පොඩ්ඩක් දුක් විඳලා හරි ivf එකකට යන්න බැරියැ..”

ලෝචනා කිසිත් නොකියා මඳ වෙලාවක් හුන්නා ය.

“මං එච්චර රිස්ක් එකක් ගන්නවට, දුක් විඳිනවටත් චානක කැමති නෑනෙ..”

“දරුවෙක් නැතත් ඔයාලා ආදරෙන් ඉන්නවනෙ ලෝචි ඒ මදැයි..”

ජීවිතය එකිනෙකාට සලකන්නේ විවිධාකාර ලෙසට ය. සීනූගේ ආදරය හැම තත්පරයකම උතුරා ගිය ද සංකල්පගේ ආදරය නොමැති කාන්තාර බිමක මා තනිව ගොස් ය.චානක ලෝචනාට බොහෝ ආදරය දුන්න ද දරුවෙකු එනතුරු මඟ බලන ලෝචනා හැම මොහොතක් ම ගෙවන්නේ වේදනාවෙනි.

“මං මේ කතාව කියන්නේ හොඳට හිතල පවී.. දැන් හෙමින් සැරේ දේවක අමතක කළොත් මොකද? ඔයාට තියෙන්නේ සංකල්පගෙ නරකක් නෙවෙයි. දේවක අමතක කරන්න බැරිකමක්.හැම තිස්සේම දේවකයි සංකල්පයි කම්පෙයා කිරිල්ලෙන් ඔයා ඔයා අස්සෙම හිර වෙලා පවී…”

ලෝචනා හිටිහැටියේ කියන්නට ගත්තා ය.

“එහෙම නෑ. හැම දෙයක්ම දුන්නට සංකල්ප මට ආදරයක් නෑනෙ.. අපි වෙනුවෙන් එයා එක මොහොතක් ඉන්නවද?”

මගේ හඬේ කෝපය ද මුහු වන්නට ඇත.නමුත් ලෝචනා සන්සුන් ය.

“සංකල්පට වෙන ගෑනුත් නෑනෙ පවී. ගෙදර කැමැත්තට ඔයා මැරි කරා නම් එහෙම ඉන්න එපැයි.සංකල්ප සයිලන්ට් මනුස්සයෙක්. අනික හරියට ලයිෆ් ටාගට් තියන කෙනෙක්. ඔයාව ඩොක්ට ගාවට එක්ක යන්න බැරි උනාට ,ඊයේ සීනුව ගන්න නාවට එයා කවදාවත් ඔයාලට යුතුකම් නොකර ඉඳලා තියනවද”

“මට සැපසම්පත් ඕන නෑ ලෝචි. ආදරේ විතරයි ඕන..”

ලෝචනා මගේ දෑස් දෙස එක එල්ලේ බලා හුන්නා ය.

“සංකල්පත් එක්ක දරුවෙකුත් හැදුවා තමයි. හැබැයි ඔයා එක තත්පරේකට ඒ මිනිහට ආදරේ වුණාද? දේවක හිතෙන් ගලවා ගන් නැතුව හිටියා මිසක් සංකල්ප දිහා ආදරෙන් බලලා තියනවද”

සැබෑවකි. තවමත් මගේ ප්‍රේමය දේවක ය.සංකල්පගේ බිරිඳ වී ඔහුගේ නිවසේ ජීවත් වූ පලියට ඔහුගේ ලෙය ඇති දියණියක ඉපැද්දූවාට මා ඔහුට ආදරය කළ එක මොහොතක්වත් තිබී නැත. මා එවැන්නකට උත්සාහයක් හෝ දරා නැත.

“සංකල්පට ආදරේ කරන්න හිතෙන් නෑ ලෝචි. ඒ මිනිහා ඇත්තටම මහ හීතල මනුස්සයෙක්”

ලෝචනා ඉවත බලා ගත්තේ කෝපයකින් වන්නට ඇත. මට ඈ තවත් අවුස්සන්නට ඕනෑ විය.

“සමහරවිට දේවකගේ ආදරේ අමතක කරවන්න තරම් ආදරයක් දෙන මනුස්සයෙක් මට හම්බුණොත් මං එයාට ආදරේ කරන්න ගනී…”

ලෝචනා දෑස් සිහින් කරමින් මදෙස බලන්නේ බනින්නට වචන සොයන්නට ය. නමුත් නැවත වැදෙන්නට වූ ගේට්ටු සීනුව ගැන විපරම් කරන්නට ගිය නීතා අප වෙත ආවා ය.

“කවුද ඉලන්දාරියෙක් නෝනා. පොඩ්ඩක් බලන්නකෝ ගිහිං”

මා නැගිට ගත්තේ ඒ කවුදැයි සිතමිනි.

“අර දැනෙන්න ආදරේ කරනවා කිව්ව මිනිහාද දන් නෑ. මට නොකියා එහෙම එකෙක් හොයා ගත්තද?”

ලෝචනා මා පසුපස වැටුණේ එසේ නෝක්කාඩු කියමිනි.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles