සුහදිනි -42

“මොකක් ගැනද ඔයා කියන්නේ?”

නිම්නා එසේ ඇසුවේ ඕපාදූපයක් අසන බව මවා පාමිනි.සකීගේ හදවත ගැහෙන හඬ ඇසෙන තරම් වෙද්දී ඒ ඕපාදූපයක්ම පමණක් වන්නට නිම්නා ප්‍රාර්ථනා කළා ය.

“අහස්ට හිරිකඩුව ඇමතිගෙ පොඩි දුව එක්ක සම්බන්දයක් තියනවයි කියන්නෙ.මෑන් මේ දවස්වල ඩේට් කරන්නේ එයා එක්ක කියල මේ ගොසිප් සයිට්වල තියෙන්නේ.”

පොළොව ඇතුළට කිඳා බසින්නාක් සේ හැඟීමකින් සකී පිරී යන්නට විය.ආණ්ඩුවේ කන්තෝරුවක සේවය කළ තාත්තා සහ හිරිකඩුව ඇමති සැසඳීමකින්වත් පළ නොවේ.ඒ යුවතියගේ රූපය ගැන සකී නොදනී.නමුත් ඇය හැඩ වැඩ ඇත්තියක විය යුතු ය.

“අහස්ට ඕන තරග දිනන්න ඔයාව යූස් කරන්න.ඔයාගේ ආශිර්වාදෙ අරගෙන තරග දිනන්න.ඔයාට එහෙම බලයක් තියනවනම් එයා ඒක පාවිච්චි කරනව.ඒකෙ තේරුම ඔයාව එයා කසාද බඳිනව කියන එකනම් නෙවෙයි.”

හදවත තුළ හිඳින සකී ඉතා ආවේගයෙන් බෙරිහන් දෙන අන්දම සකී අසා සිටියා ය.ඇයට මහත් ආශාවකින් නැරඹූ කොරියන් කතා මාලාවක් වන The Moon Embracing the Sun සිහියට නැගිණ.එහි ප්‍රධාන චරිතය වූ යකදුරු තරුණිය යොදා ගන්නේ රජුට ආදරය කිරීම පිණිස නොවේ.ඔහුගේ අපල දුරු වීම පිණිස ය.පෙර පැවති බැඳීමක් හන්දා රජු ඇයට ආදරය කරන්නට පටන් ගත්තද ඇය අපල දුරු කරන සුරය මිස ප්‍රේමවන්තියක හෝ මෙහෙසියක කරන්නට මාලිගාවට ආ තැනැත්තියක නොවේ.සමහර මොහොතකදී යකදුරු තරුණිය විඳගත් හැඟීම් සකීට මේ මොහොතේ තදින් දැනෙන්නට විය.

“ඕනෑම වැඩක් කරගන්න කෙල්ලෙක්ට ආදරේ ටිකක් දුන්නම ඇති කියලයි පිරිමි හිතන්නෙ.ආදරෙන් වචනයක්, බැල්මක්, බලාපොරොත්තු කන්දක් දුන්නම හැම දේම අමතක වෙලා අපි එයාලා වෙනුවෙන් කැප වෙනවයි කියලා එයාලා හිතන්නෙ”

සැබෑවටම මේ සිදු වන්නේ එය දැයි සකී හෘද අභ්‍යන්තර විලාපයට කන් දෙමින් සිතුවා ය.ඇයට අඬන්නට ඕනෑ විය.ඇයට ජීවිතය අතැර දමන්නට ඕනෑ විය.

“අහස් ඒ ගර්ල් එක්ක එකට ඉන්න ෆොටෝස් නැද්ද?”

නිම්නා තවදුරටත් අසන්නී ය.අහස්ගේ පෙර පෙම්වතිය ජනප්‍රිය නිළියක බව සැබෑවකි.එහෙත් දේශපාලන පවුලකට එකතු වන තරමට අසනීපයක් ඔහුට ඇතැයි ඇය විශ්වාස නොකරන්නී ය.රටට වඩාත් යහපතක් වෙනුවෙන් තරුණ තරුණියන් අරගලයේ නිරත වෙද්දී හිරිකඩුව ඇමතිගේ නිහීන හැසිරීම් අමතක කළ නොහැකි තරම් ඒවා ය.

“ඒවානම් නෑ.”

රන්මිණි බලාපොරොත්තු විරහිත ස්වරයකින් පැවසුවා ය.

“එහෙනම් ඉතිං මඩක්.අර නිළි සමයම වෙන්නැති.ප්‍රෝග්‍රෑම් එකකට ගියාම කට පරිස්සං කරන් ඉන්න දන් නැති සමයම ලොකු මඩක් හදලා ප්ලාන්ට් කරන්න ඇති.”

නිම්නාගේ ස්වරය කෝපයට වඩාත් සමීප විය.නමුත් ඕනෑවට වඩා හැඟුම්බර විය නොහැකි ය.රන්මිණි වඩා ඕනෑකමින් තමන්ව කියවන බව නිම්නා දනියි.

“මමනම් කියන්නෙ ඔය සෙලිබ්‍රිටි ඕපාදූප ෆොටෝ එකක් දෙකක් එක්ක එනකම් විශ්වාස කරන්න හොඳ නෑ.අපි බඳියිම කියල හිටිය කපල් එකක්වත් බැන්දයැ.ටෙලි ඩ්‍රාමා හිට් කරගන්නත් බොරු ලව් මවලා පෙන්නන ලෝකෙ අහස් ඉස්සරහට ගියේ පොලිටීෂියන් කෙනෙක්ගෙ උදව්වෙන් කියන එක බොහොම ලස්සන මඩක්.”

නිම්නා අතීතය ගැන සිතා බැලුවා ය.අහස් ඉලංගසිංහට විවිධ විසුළු කතා කියන්නට ඇය පෙළඹුණේ ඔහු සකීගේ ක්‍රෂ් එක බව සිතමිනි.නමුත් අහස්ට ඇගේ ජීවිතයේ ඇති ඉඩ දැනගත් දා සිට නිම්නා කොන්දේසි විරහිතව අහස් වෙනුවෙන් පෙනී සිටින්නට වූවා ය.ඔහු මොනතරමට යහපත් තරුණයෙක්දැයි ඇය දැන ගත්තේ රෝහලේ ගෙවී ගිය දින කිහිපයේ ය.කොහොමටත් අහස් කියන්නේ රැවටිලිකාරයෙකු බව සිතන්නට නිම්නා අකමැති ය.

“අනේ මේ අනුන්ගෙ ඕපදූප වැඩක් නෑ.සකී,පවනිලාගෙ බෝඩින් එකට ගිහින් එමුකො.”

නිම්නා සකීගේ අතකින් ඇද්දා ය.නාන කාමරයට ගොස් හඬන්නට ඕනෑ වී සිටි සකී ඒ යෝජනාවට මුහුණ නාළු කර ගත්තා ය.

“මං පවනිගෙන් සල්ලි වගයක් ඉල්ලා ගත්තා.ඒක හවසම දෙන්න ඕන.නැත්තං ඕකුන් හවස් වෙනකොට ෆේස්බුක් එකේ හින්ට් පෝස්ට් ෂෙයා කරන්නත් ගනී.පයින් ඇවිදින දුරනෙ.සකී යංකො.”

එය අන්තර්ජාලය හරහා කළ හැකි බව රන්මිණි කියද්දී නිම්නා එය නෑසුණාක් මෙන් පිටතට ආවා ය.ඒ සකී ඇදගෙන ය.රන්මිණි මේ මොහොතේ හිඳින්නේ කඩමාලු ඇඳුමක් දවටාගෙන ය.ඇය හොඳ ඇඳුමකට බසින්නට පෙර එතැනින් පිට වන්නට නිම්නාට ඕනෑ විය.

“මං කියන දේ හොඳට අහපං.ඕවා සෙලිබ්‍රිටි කෙනෙක්ට ලව් කරනවනම් සාමාන්‍ය දේවල්.හරිද? එකම එක ෆොටෝ එකක්වත් නැති ඕපයක් විශ්වාස කරලා මූණ පස්ස පැත්ත කරගන්න එපා.වාහනේකට තල්ලු කරල දානව.”

නිම්නාගේ තර්ජනය සකීට ඇසුණු නෑසුණු තරම ය.හඬන්නට එපා යැයි නොකියා නිම්නා ඇගේ අත අල්ලා ගත්තා ය.මෙවැනි මොහොතක වඩා ආදරයෙන් අත අල්ලා ගන්නා මිතුරියක තරම් දෙයක් කෙල්ලෙකුට තවත් නැත.සකීගේ හැඬුම අසා හිඳින්නට නොහැකිව නිම්නා මහත් වේදනාවකට පත් වූවා ය.

“මං නම් කියන්නේ මේකයි,ඕක බොරුවක්.ඔය හිරිකඩුව කෙල්ලව මං ඉන්ස්ටා ෆලෝ කරා මේ දැන්.ඒ කෙල්ල අඩුම තරමෙ මැච් එකක් බලන්න ගිය ෆොටෝ එකක්වත් දාලා නෑ.”

එවැනි රහස් පරීක්ෂණ කරන්නට සකීට ධෛර්යයක් නොමැත.ඇය තදබල කම්පනයකින් ඇවිද යමින් සිටියා ය.සිහින සහ සූරියකාන්ත මල් ගැන මිතුරියට හෙළි කරන්නට ඇයට සිතක් නොවේ.මේ ඇය සහ ඔහු අතර රහසක් විය යුතු දෙයකි.මලක රූපයක් අහස්ගේ අනාගතය තීරණය කරන බව පැවසීම ම ඔහුගේ අනාගතයට මහත් බාධාවකි.

“මට හිතෙනවා අහස් මාව යූස් කරනවා කියලා.”

එපමණකි! සකී නැවතත් ඉකි ගසා හඬන්නට ගත්තා ය.

(ඉක්මන් සුව පැතූ ඔබට ස්තූතියි.දිග කොටස් ඉදිරියට! අද කොටසින් සෑහී ඔබේ අදහස තබා යන්න.)

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles