වසන්තය තව දුරද – 5

0
563

“අනේ ඔය වයසට අපිට නම් ඔලුව කැක්කුං තිබ්බෙකක් නෑ. ඔය මේ ඉගෙන ගන්න වයසෙදි ළමයින්ට ඔලුව කැක්කුං එනවද? විබාගෙ ලංවෙද්දි හදාගන්න මල විකාරනෙ? අපිට නං ඔය වයසෙදි ඉහෙන් බහින රෝගයක් තිබ්බෙ නෑ. යස අගේට අපි උදේ ඉස්කෝලෙට ගිහින් ගෙදර ඇවිත් වැඩ කරා. ඒකත් මේ මෙයාලා වගේ නිකන් පොතම අතේ තියන් ඉන්න එක නෙවිනෙ අපි කරේ.

උදේ පාන්දර නැගිට්ට වෙලෙ ඉඳන් අපිට කොච්චර වැඩ නම් තිබ්බද? ළිඳෙන් වතුර ඇඳන් එන්න මට මතකනෙ අපෙ අම්මා ඉස්සර අපිව යැව්වෙ උදේ හතරට විතර. මං පරාණ බයෙන් ඉස්සර උදේ පාන්දර කලුවරේ වත්ත පිටිපස්සෙන් ළිඳ දිහාවට යන්නෙ. මං කොච්චර අපේ අම්මට කිව්වත් මල්ලිව හරි එවන්න කියලා ළිඳ දිහාවට යන්න අපේ අම්ම දෙකක් ඇණලා මාව තනියෙන්මයි යැව්වෙ. මෙයාලට මේ ගෙවල්වල සැප වැඩිවෙලා. ඔලුව කැක්කුනුයි අරවයි මේවයි එන්න පටන් අරගෙන තියෙන්නෙ. මල විකාරනෙ.

ඔය වෙන වෙන මල විකාර ඔලු අස්සෙ පුරවං ඉන්න ගියාම තමයි ඔලු කැක්කුනුයි අරවයි මේවයි එන්නෙ. පාඩං කරනවා කියලා මොනවා කරනවද කියලා කවුද දන්නෙ? නිකන් මෙතන මේ දොස්තරල සල්ලි පුදන්න. විකාරනෙ” කියා අම්මා කෑගසනවා ඇසෙද්දිත් නෙත්මලීට දැනෙන්නේ ඔලුව හත් කඩකට පැලෙන්නට යනවා වගේය. වෙනදා නම් මෙවන් වෙලාවක හිත සනසන්නට තාත්තා උන් බව මතක් වෙද්දීත්, එහෙත් අද ඒ තාත්තා තමන් ළඟ නැති බවත් මතක් වෙද්දි හිත තව තවත් රිදෙන බව විතරකුත් ඇස් අස්සෙ කඳුළු ගෙඩි පිටින් පිරෙන බව විතරකුත් නෙත්මලීට තේරුණාය.

“ඉතින් ඔලුව රිදෙනවනම් මං මොකද්ද කරන්නෙ? ඔලුව රිදෙනවා නම් දෙයියනේ ඔලුව රිදෙනවා කියනවා ඇරෙන්න වෙන මොකද්ද කියන්නෙ? මේ ගෙදර දැන් මට අසනීපයක් එහෙම හැදුණමත් කියන්න විදියක් නැද්ද? දෙයියනේ මට මෙහෙම සලකන්නෙ මං අරන් හදාගත්ත ළමේක්ද? තාත්තා විතරයි මට මේ ගෙදර තමන්ගෙ දරුවෙක්ට විදියට හැමදාම සැලකුවෙ? කොහොමත් අම්මා හැමදාම මට සැලකුවෙ පිට එකියක්ට වගේනේ” කියා නෙත්මලී දෝෂාරෝපණය කරද්දී චන්ද්‍රා කිපුණේ හිතෙන් කුණු රොඩක් මෙන් අහක් කරගන්නට හදන නෙත්මලීගේ තාත්තාගේ එහෙමත් නැත්තම් තම සැමියා පිළිබඳ මතකය ආයෙ වතාවක් මතක් වුණ නිසාවෙනි.

“ඔව් ඔව් තාත්තාව තාම උඩ තියාගෙන ඉඳපං උඹ. තාත්තා. මහ ලොකු තාත්තා. ඔච්චර උඹට ආදරේ නම් මහ මිනිහට තිබ්බනෙ උඹවත් එක්කරගෙනම යන තැනක යන්න. කෝ එක්කරං ගියාද? අනිකා ඌ අපි ගැන තියා උඹ ගැනවත් හිතලද අන්තිමේ බලද්දි ජීවත්වෙලා තියෙන්නෙ? කරපු කිසිම දෙයක් කරලා තියෙන්නෙ? තව එකපාරක් හරි උගෙ නම මේ ගෙදරදි මතක් කරොත් කට තලනවා මම දැනගනිං උඹේ.

මෙතන මං මේ උදේ ඉඳලා නැහිලා නැහිලා ඇඳුම් මහලා මහලා, කේක් හදලා හම්බ කරන ඒවයිනුයි අයියා අරහෙ රස්සාවට ගිහින් හම්බ කරලා අරං එන ඒවයිනුයි උඹට උගන්නන අතරවාරෙත් උඹ තාම හරියට කතාකරන්නෙ නිකන් මහ ලොකු තාත්තා ඔක්කොම කරනවා වගේනේ” කියා අම්මා තමන් දිහාවට බැණුම් වරුසා කැති පොලු මුගුරු එල්ල කරද්දීත් නෙත්මලී උන්නේ තාත්තා වෙනුවෙන් හිතේ කෙලවරක තවමත් ඉතුරු වී තිබෙන පීතෘ සෙනෙහස වෙනුවෙන් තනිව සටන් කරමිනි.

“මට ඇත්තටම ගෙදර ජීවිතේ එපා වෙලා තියෙන්නෙ සාරා. මට වෙලාවකට හිතෙනවා මේ විභාගයි ඔක්කොම ඒව පැත්තකට දාලා මැරිලා ගියා නම් ඉවරයි කියලා. මට දැන් ගෙදර යනවා කියලා දැනෙන්නෙ නිකන් අපායට යනවා වගේ. බාගදා අපායත් මීට වඩා සැප ඇති. 

අම්මා නිකන් මං දිහා බලන්නෙ වෛරක්කාරයෙක් දිහා බලනවා වගේ. එයාට අනුව මං තමයි හැමදේටම වැරදිකාරයා. අපේ ගෙදර දෙයක් උනත් වැරදි මං. අල්ලපු ගෙදර දෙයක් උනත් වැරදි මං. අයියගෙ කිසිම වරදක් නෑ. අයියා මාර හොඳයි. මට එපා වෙලා තියෙන්නෙ සාරා හැමදේම.

මං ඇත්තටම ඉස්කෝලෙ එන්නෙ පුදුම සන්තෝසෙකින්. නිකන් මාරයගෙන් ගැලවිලා එනවා වගේ. ඉස්කෝලෙ ඉන්න ටික වෙලාවෙ විතරයි මං ඇත්තටම චුට්ටක් හරි සන්තෝසෙකින් ඉන්නෙ. මට වෙලාවකට හිතෙනවා මං අරන් හදාගත්ත ළමේක්ද කියලා අපේ අම්මා මට මෙහෙම සලකන්නෙ” කියා නෙත්මලී හිතේ තිබුණ සියලු දුක්ඛ දෝමනස්සයන් පිට කල හැරියේ පාසලේ උසස් පෙළ පංතියේ හොඳම යාලුවා වුණ සාරධා ළඟදීය. සාරධා සැබවින්ම නෙත්මලීට අපූරු මිතුරියක වූවාය. මිතුදමේ හිත සනසන සුවඳත්, හිත සුවපත් කරන සඳුන් කල්කයක් බඳු සනීපයත් නෙත්මලීට ගෙදරින් ලැබෙන හිත් පීඩාව මදකට හෝ අඩු කරන්නට හේතු කාරණා සැපයුවාය.

“ඔයා දැන් ඉන්නේ ඕවා හිතන්න කාලෙක නෙවෙයිනෙ නෙත්. එක්සෑම් එකට කොච්චර පොඩි කාලෙද තියෙන්නෙ? දැන් ඔයා මහන්සි වෙන්නෝන එක්සෑම් එක වෙනුවෙන්. තාත්තා ගෙදර ඉන්න දවස්වල ඔයා නිකන් සමනලයෙක් වගේ කොච්චර සන්තෝසෙන්ද හිටියෙ?

එහෙමෙකේ මේ දවස් ටිකේ කොහොමහරි ඉවසගෙන ඉන්න. ඔයා කොහොමහරි විභාගෙ කරගෙන කැම්පස් සිලෙක්ට් උනාට පස්සෙ ඔයාට පුලුවන් නෙ නෙත් පොඩි ජොබ් එකකුත් කරන ගමන්ම බෝඩිමක හරි ඉන්න. ඒ හන්දා ඕනවට වඩා මේ පොඩි කාලෙ ගැන වොරි වෙන්න එපා. කොහොමහරි අපි ගොඩයන ප්ලැන් එකක් ගහමු. ඕන නම් මම අපේ අම්මිගෙන් අහන්නම් ඔයාට එක්සෑම් ඉවර වෙනකම් අපේ ගෙදර ඇවිත් පාඩං කරන්න නතර වෙන්න පුළුවන්ද කියලා” කියලා සාරධා ඇහුවාට නෙත්මලී එයට කැමති නැත. තාත්තා කියා ඇත්තේ “තමන්ගෙ ප්‍රශ්න විසඳගන්නෝන තමන්මය. අනුන්ගෙ උපකාර ගන්න ඕන තැන්වලදි උදව් උපකාර ගන්න වෙනවා තමයි. හැබැයි ඕනවට වඩා අනුන් මට යැපෙන්න ගියාම පුතේ ඒ මිනිස්සුන්ට උනත් අපිව දවසක එපා වෙන්න පුළුවන් වෙනවා. ඊටත් එහා ගිහින් අපි උනත් පුරුදු වෙනවා ඉස්සරහට අපේ ප්‍රශ්න අනිත් මිනිස්සුන්ගෙ කර උඩ දාලා ලේසියට ජීවත් වෙන්න”.

“නෑ අනේ එහෙම ඕන නෑ සාරා. මගේ ප්‍රශ්න මං ඔයාට කියන්නෙ මට ඒවා ඇත්තටම වෙන කියන්න කෙනෙක් නැති හන්දා වගේම මට එතකොට හිත පොඩ්ඩක් හරි ලූස් කරගන්න පුලුවන් හන්දා. ඒ ඇරෙන්න මං ඇත්තටම ආස නෑ ඔයාට උනත් හිතට කරදර කරන්න මෙච්චර ස්ට්‍රෙස් ෆුල් කාලෙක මේ වගේ තේරුමක් නැති, උත්තර නැති ප්‍රශ්න කියලා. අනික සමහර වෙලාවට මට අම්මා ගැන පව් කියලත් හිතෙනවා සාරා. අපේ අම්මා මට මෙහෙම සලකන්නෙ ඉතින් එයාට පුංචි කාලෙ වෙච්ච දේවල් එක්කනෙ. සමහර විට ඒ වෙච්ච දේවල් එක්ක එයා හිතනවා ඇති එයාට වෙච්ච දේවල්ම මටත් වෙන්න ඕන කියලා. ඒ ට්‍රෝමටික් සර්කල් එක එයා කන්ටිනිව් කරගෙන යන්නෝන කියලා. 

අනික මොක උනත් මම තාත්තට කොච්චර ආදරේ කරත් තාත්තා කරපු දේ හරි කියලා මට කියන්න කිසිම තැනකදි බෑනෙ. තාත්තට අනුව එයා කර දේ සමහරවිට හරි වෙන්නැති. 

ඒ උනාට තාත්තට තිබ්බ ඒක ඔයිට හොඳ විදියකට කරන්න. සමහරවිට අපි අපේ අම්මලා මැචුවර්ඩ් කියලා හිතාගෙන උන්නට එයාලා එහෙම නැතිවැති සාරා. සමහර ප්‍රශ්න ළඟදි අපේ අම්මලා තාත්තලා එහෙම අපිටත් වඩා හරිම බොළඳයි කියලා මට තේරෙන්න ගත්තෙත් අපේ ගෙදර මේ වගේ ප්‍රශ්න ක්‍රියේට් වෙන්න පටන් ගත්තයින් පස්සෙ. එයාලත් වෙලාවකට මුල් තැන් දෙන්නෙ ෆීලින්ස් වලට. අපිට කිව්වට හිතට වඩා බුද්ධියට මුල් තැන් දෙන්න කියලා අම්මල තාත්තලා කියලා වෙනසක් නෑ ගොඩක් මිනිස්සු මුල් තැන දෙන්නෙ බුද්ධියට නෙවෙයි ඉතින් හිතට තමයි. ඒත් තාත්තට මෙතනදි තව චුට්ටක් හිතන්න තිබුණා. එයාට හිතන්න තිබුණා අපි ගැන. මොක නැතත් එයාට හිතන්න තිබුණා මාව දාලා යද්දි අම්මා මට තාත්තා නැති තැන කොයි විදියට සලකාවිද කියන එක ගැන” කියා නෙත්මලී කතාව අවසන් කරන්නට මෙන් කිව්වේ ඇත්තටම ඉන් එහාට කියන්නට දෙයක් තිබුණේ නැති නිසාවෙනි. 

සමහර කතා එහෙමය.

මුලක් මැදක් තිබුණට අවසානයක් නොමැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here