ඇෆ්ගනිස්තාන ජාතික මොහොමඩ් ශෆියා 1980 දී රෝනා මොහොමඩ් එක්ක විවාහ වෙන්නේ යෝජනාවක ප්‍රතිපලයක් විදියට. විවාහයෙන් අවුරුදු කිහිපයක් ගත වෙන තුරුත් මේ යුවලට දරුවන් ලැබෙන්නේ නැහැ. ඒ නිසාම රෝනා මොහොමඩ්ගේත් අවසරය සහ කැමැත්ත එක්ක මොහොමඩ් ශෆියා විසින් ටූබා යාහියාව විවාහ කරගන්නවා. ඒ තමන්ගේ දෙවන බිරිඳ විදියට. රෝනාට වඩා රූමත් සහ ලාබාල කාන්තාවක් වෙන ටූබා ඇගේ විවාහය දවසේ අනෙක් අයට පේන්නේ සුරංගනාවියක් තරම් ලස්සනට.
විවාහය දවසේ මොහොමඩ්ගේ දෙපැත්තෙන් ඉන්න මේ සුන්දරියන් අතරින් කැපී පෙනෙන්නේ ටූබා. විවාහයෙන් පස්සේ තිදෙනාම ඔවුන්ගේ චාරිත්‍ර වලට අනුව එකම ගෙදරක ජීවත් වෙන්න පටන් ගන්නවා. ඒ අතරතුර ගෙවුණ කාලයේදී ටූබා මොහොමඩ් ශෆියාට දාව දරුවන් හත් දෙනෙක් බිහි කරනවා. රෝනා මේ දරුවන්ට දක්වන්නේ අසීමාන්තික සෙනෙහෙසක්. තමන්ගේ කුසින් බිහි නොකලා වුනත් ඇය ඔවුන් වෙනුවෙන් අසීමාන්තික කැප කිරීම් කරන ගමන් ඔවුන්ව ලොකු මහත් කරන්න ටූබාට උදව් කරනවා.ඒත් ටූබා එක්ක ඇය සමීප සම්බන්ධතාවයක් නඩත්තු නොකර ඉන්නත් ප්‍රවේශම් වෙනවා.
ශෆියා පවුල 1992 දී ඇෆ්ගතානයෙන් ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වෙනවා. ඕස්ට්‍රේලියාවේ අවුරුදු දහයකටත් වැඩි කාලයක් ජීවත් වෙලා, ඔවුන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයට සංක්‍රමණය වෙනවා. එහෙදී ශෆියාගේ මෝටර් රත ව්‍යාපාර කටයුතු ඉතාම සාර්තක වෙනවා. ඔහු එහෙදි දේපල වෙළඳාම් කටයුතු වලට පවා යොමු වෙනවා. 2007 අවුරුද්ද වෙනකොට මොහොමඩ් ශාෆියා කෝටිපතියෙක්. ඒ අතර වාරයේ කැනඩා රජය විසින් හඳුන්වලා දීපු සංක්‍රමණ වැඩසටහනකින් ප්‍රයෝජන අරගෙන මොහොමඩ් සහ ටූබා දරුවන් හත් දෙනා එක්ක කැනඩාවට සංක්‍රමණය වෙනවා. එහේ විශාල ගෙයක් පවා මිලයට ගන්නවා. ඔවුන් කැනඩාවට ඇවිල්ලා ටික කාලෙකින් මොහොමඩ් රෝනාවත් කැනඩාවට ගන්නේ ඇය තමන්ගේ නෑදෑ සොයුරියක් බව අඟවලා. ඒ වගේම ඇය සේවිකාවක සහ කෝකියෙක් විදියට කටයුතු කරන්න බලාපොරොත්තු වෙන බවත් ඔවුන් කැනඩා රජයට කියනවා.
කොහොමහරි රෝනාගේ නෑදෑ හිතවතුන් කියලා තියෙන්නෙ මොහොමඩ්ගේ පවුල වෙනුවෙන් රෝනා කොයි තරම් කැපකිරීම් කලත්, ඇයට ඒ පවුලෙන් ඒ වෙනුවෙන් පෙරලා කිසිවක් නොලැබුන බව. අඩුම තරමේ ඇය දික්කසාදය වෙනුවෙන් කල ඉල්ලීම්වත් මොහොමඩ් සලකා බලලා නැහැ. ඒ වගේම පසුකාලීනව ටූබා, රෝනාව මානසිකව දැඩි පීඩාවකට ලක් කරලා තියෙනවා. ” ඔබ අපේ සේවකයෙක්..” කියලා නිතරම ඇයව අවතක්සේරුවට ලක් කරන්නත් ටූබා කටයුතු කරලා තියෙනවා. රෝනාගේ ගමන් බලපත්‍රය ඇතුලු සියලු අනන්‍යතා පත්‍ර මොහොමඩ් තමන්ගේ බාරයේ තියාගෙන ඉඳපු නිසා රෝනාට තමන් වෙත එන්නවත් කිසිම ඉඩක් නොතිබුන බව ඇගේ නෑදෑයන් කියලා තියෙනවා.
කොහොමහරි මේ පවුල ගැන කතාබහට ලක් වෙන්න ගන්නේ මේ කිසිම දෙයක් නිසා නෙවෙයි, එක පාරටම පවුලේ සාමාජිකයන් කිහිප දෙනෙක්ම අභිරහස් විදියට මරලා දාලා තිබිලා හොයාගන්න නිසා. මේ මූසල දවස උදාවෙන්නේ 2009 ජුනි මාසේ. හදිසියේම පොලිසියට ලැබෙන ඔත්තුවකට අනුව පොලිස් කිමිදුම්කරුවන් වහාම කැනඩාවේ තිබුණ විශාල ඇලක කිමිදෙන්නේ අභිරහසක් නිරාවරණය කරගන්න බලාපොරොත්තුවෙන් නෙවෙයි. ඒත් කිමිදුම්කරුවන් විසින් සොයාගන්නේ මුලු ප්‍රදේශයම භීතියෙන් සලිත වෙන තොරතුරක්.
ඇලේ ගිලිලා තියෙන වෑන් රියක් ඇතුලේ තරුණ ගැහැණු ළමයින් ඇතුලු කිහිප දෙනෙක් මිය ගිහින් ඉන්න බව කිමිදුම්කරුවන් පණිවිඩය ගේනවා. පරීක්ෂණ වලින් ඔවුන්ගේ අනන්‍යතාවය හෙළි කරගන්න එතරම් වෙලා යන්නේ නැහැ.
වාහනයේ ඉදිරිපස අසුනක මිය ගිහින් ඉන්නේ කැනඩාවට සංක්‍රමනය වුන මොහොමඩ් පවුලේ එක් දියණියක් බව පොලිසිය සොයාගන්නවා. ඇය සයිනාබ් ශාෆියා. ඉන් පස්සේ ඇගේ බාල සොයුරිය වුන සයිබා වාහනයේ පිටුපස අසුනක මිය ගිහින් ඉන්නේ ඇගේ ජංගම දුරකතනයත් අතේ තියාගෙනමයි. ඔවුන්ගේ වැඩිමහල් සොයුරිය වෙන ගීති රියැදුරු අසුනේ මිය ගිහින් ඉන්නවා. ඒ ඇය අසල ජනේලයේ වීදුරුවත් විවෘ ත කරගෙනමයි.
පිටුපස මැද අසුනේ වැතිරිලා තිබිලා හොයාගන්නේ රෝනා මොහොමඩ්ගේ සිරුර. මේ පොලිස් කිමිදුම්කරුවන් සහ පැමිණිලා උන්න පොලිස් නිළධාරින් වහාම ඒ ගැන ඔවුන්ගේ ප්‍රධාන කාර්යාලයට වාර්තා කරනවා. සිදුවීම නිසා කලබලයට පත් වෙන ප්‍රධාන කාර්යාලයේ නිළධාරීන් සිදුවීම වුන දිහාවට යන්න සූදානම් වෙනකොටම වගේ තමන්ගේ පවුලේ සාමාජිකයන් පිරිසක් අතුරුදහන් වෙලා කියන පැමිණිල්ලත් අරගෙන පවුලක සාමාජිකයින් කිහිප දෙනෙක් පොලිස් ප්‍රධාන කාර්යාලයට එනවා. ඒ මොහොමඩ් ශාෆියා, ටූබා සහ ඔවුන්ගේ වැඩිමහල් පුතා. මෙවෙලෙහි එතැන ඉන්න ඩෙම්සයර් කියන පොලිස් නිළධාරියා වහාම මේ පවුලේ පැමිණිල්ල වෙනුවෙන් සූදානම් වෙනවා.
” අපි නයගරා වල සංචාරයක හිටියේ. අපි ඔක්කොම දහ දෙනෙක් සංචාරය පටන් ගත්තා. වාහන දෙකකින් තමයි අපි පිටත් වුනේ. ඉතාම විනෝදෙන්, කිසිම ගැටලුවක් ඇති නොවී අපි දවස ගෙව්වේ… අපි ඊයේ රෑ මොන්ට්‍රියෙල් වල නැවතුනා.. සයිනාබ්ට ඇඳුම් වගයක් ගන්න යන්න උවමනා බව කියලා එයා මගෙන් වෑන් එකේ යතුර ඉල්ලා ගත්තා. ඊට පස්සේන්දා උදේ එයාලා ඒ වාහනෙන්ම පිටත් වුනා…”
මොහොමඩ් පවුලේ වැඩිමහල් පුතා මෙහෙම කිව්වත්, පළපුරුදු නිළධාරියෙක් වුන ඩෙම්සයර්ට මේ ගැන සැක හිතෙන තැන් කිහිපයක්ම හසු වෙනවා.
‘” ඉතාම වෙහෙසකර දවසකට පස්සේ සයිනාබ්ලා ආයෙම මහ රෑවාහනයක් අරගෙන එලියට යන එක අස්වාභාවිකයි වගේ..”
ඔහු තනිවම කල්පනා කරනවා. ඒ වගේම ඇල ළඟ උන්න පොලිස් නිළධාරින් එවපු වාර්තාවේ සඳහනකුත් ඔහුට සිහිපත් වෙනවා.
” ඊයේ රෑ වාහන දෙකක් ඇල ළඟ තිබුනා කියලා දැකපු කිහිප දෙනෙක්ම ඉන්නවා…”
ඩෙම්සයර්, ආයේ ආයෙම මේ ගැන වැඩිමහල් පුතාගෙන් ප්‍රශ්න කරනවා.
” ඇත්තටම මම පවුලේ අය එක්ක හෝටලේ උන්නේ නෑ ඊයේ රෑ… මට මගේ ලැප්ටොප් එක අමතක වෙලා තිබිලා, මම ඒක ගන්න ආපහු හෝටලෙන් පිටතට ආවා.. තාත්තා කතා කරලා ගැහැණු ළමයි අතුරුදන් බව කිව්වාම තමයි මම හෝටලයට ආවේ…”
ඔහුගේ කට උත්තරය ඉන් පස්සේ එහෙම වෙනස් වෙනවා. ඩෙම්සයර් ඔවුන්ව අත් අඩංගුවට අරගෙන ප්‍රශ්න කිරීම් දැඩි කරනවා. අන්තිමේදී තිදෙනා එක්කම එකතු වෙලා තමන් විසින් කරපු ” ගෞරවය උදෙසා වන මිනීමැරුම” ගැන විස්තර කියනවා.
” ඔව්.. ඊයේ රෑ අපි ඔවුන්ව මරලා දැම්මා.. ඒ මරණ ඔවුන්ට හිමියි.. ඔවුන් විසින් අපේ පවුලට සහ ආගමට කරපු අපහාස වලට ඔවුන් මේ මරණයන් අනිවාර්යෙන්ම ලබන්න ඕනි.. රෝනාට අවශ්‍ය වුනේ සාම්ප්‍රදාය පසෙකට දාලා පවුලෙන් වෙන් වෙලා යන්න. ඒ වගේම තරුණ කෙල්ලන් අමතක කලා ඔවුන් කැනඩාවට සංක්‍රමණය වුනත්, ඔවුන් ඇෆ්ගන් ජාතිකයන් බව. ඔවුන් අමතක කලා ඔවුන්ගේ ඇඳුම් පැළැඳුම් ගැණ..ඔවුන්ට බාහිර පිරිමි සම්බන්ධතා තහනම් කරලා තිබුනත්, ඔවුන් ඒ සම්බන්ධතා බොහොම සූක්ෂමව නඩත්තු කලා… ඔවුන් හිතුවක්කර වුනා… ගීති නිතරම අනෙක් දෙදෙනාගේ රහස් සම්බන්ධතා වලට උදව් කලා.. ඔවුන් කලේම නොහොබිනා දේවල් .. ඒ නිසා ඔවුන් වේදනාවෙන් මිය යන විදිය බලාගෙන ඉඳලා, අපි ඔවුන්ට අදාලව ගොඩ ගැහුණු පවු ඉවර කරලා දුන්නා. ඔවුන්ගේ හුස්ම හිර වෙන තුරු මම ඔවුන්ව ජලයේ ගිල්වලා තිව්වා.. ඊට පස්සේ වෑන් එකේ දාගෙන වෑන් එක පාරෙන් පිට පැනලා ගමන් කල බව පෙන්නන්න ධාවන කලා.. ඉන් පස්සෙයි ඇලට වැටෙන්න හැරියේ….”
ඔවුන්ගේ පාපොච්චාරණය මුලු රටම සලිත වන තරමේ වෙනවා. පවුලක ගෞරවය වෙනුවෙන්, තමන්ගේම මිනිසුන්ගේ ජීවිත වල අවසානය සනිටුවන් කරන්න තරම් මිනිසුන් ට හැකි වීම කොයි තරම් ඛේදවාචකයක්ද?
අපේක්ෂා ගුණරත්න .