මල් බිඟුන් – 4

0
4896

දහවල ගෙවී සන්ධ්‍යාව උදා වන විට හැම කුසක ම තුනී ගින්නක් ඇවිලී යමින් තිබිණ. පෙර දා රාත්‍රියෙහි පටන් කුස් වලට ඝණ ආහාරයක් වැටී තිබුණේ ම නැත. බේකරි ත්‍රීවීලරයක හඬ වීදිය දිග නැගෙත්දී බල්ලෙකු උඩුබිරුවේ ය.
“පාන් ගමුද…”
කියා රුසිරු ඇසුවේ ය. ඔහු සිටියේ අමාගී සමගින් පෙත් මගෙහි වන මල් කඩමින් ආයු අතට දී ඔහු සතුටු කරමිනි. මීට මඳ වෙලාවකට පෙර අම්ම කුක්කු ඕනේ කියමින් ආයු හඬ නගා හැඬුවේ ය. ඒ හැඬුම අසමින් ගෙදරට වී ඉන්නට බැරි තැන අමාගී එහි දිව ගියා ය. ඉවසා ගන්නට බැරිව ආර්ය සියතෙහි වූ ජංගම දුරකතනය කුඩු වී යන සේ පොළොවේ ගැහුවේ ඒ වෙලාවේ ය. මණී වේදනාවෙන් බලා සිටියා ය. ආර්ය අත වූ ආයුව වඩාගන්නට ඇය උත්සාහ කළ ද දරුවා ලොකු අම්මා අතට ආවේ නැත. ඒ වෙනුවට ආර්ය ගේ ගෙල බදාගෙන මහ හයියෙන් හැඬුවේ ය. ආර්ය ගේ බාල සොයුරන් තිදෙන හිටියේ ද කුමක් කරන්න ද කියා නො දැන තැතිගෙනයි.
ගෙදොරකඩ හිරු මඬලක් සේ අමාගී ගේ වත පායත්දී සියලු ඇස් ඈ වෙතට යොමු විය. ආර්ය නම් නො සැලකිල්ලෙන් ඉවත බලාගත්තේ ය. ආයු ඉකිලමින් ද හූල්ලමින් “මා” යි කියමින් අමාගී වෙතට දෝත පෑවේ ය. අඩියට දෙකට ආර්ය වෙතට පැන්න අමාගී ආයුව දෑතින් ගත්තා ය.
“අනේ ඔහොම අඬන්නෙ ඇයි මගෙ මැණික”
ඇයිදෝ මන්දා අමාගී ගේ දෑස් තෙත් වන්නට වූයේ ය. ඇය ඒ කඳුළ ගබ් සා කරනු වස් ඉක්මන් ඇස් පිය සැළුවා ය. ආයු ඇගේ ගෙල දෑතින් ම වැලඳ ඇගේ උරහිසක මුහුණ හොවාගත්තේ ය. අමාගී අම්මා කෙනෙකු ගේ උණුහුම ඔහු ට දෙමින් බිළිඳාව තුරුලු කරගෙන සිටියා ය.
“අනේ මාගි මේ දරුවව නලවල දෙන්න පුතේ. මටනං තේරෙන්නෑ දෙයියනේ කිරිසප්පයගෙ හිත කොහොම හදන්නද කියල”
මණී කඳුලක් පිසගනිමින් කීවා ය. ආර්ය පියගැට පෙළ නැග ගියේ ය. කැබලි වී ගිය ජංගම දුරකතනයේ කොටස් ආලින්දය මැද ශෝක සුසුම් හෙළයි!
“අර කොල්ලයි කියලත් කොහොම මේ දේවල් උහුලගන්නද… කේන්තියට ආයෙ නිධීව වද්දගන්නෑ කිව්වට මේ නොදරුවගෙ හිත හදාගෙන අපි කොහොම බලාගන්නද…කන්න බොන්න දුන්නහම කාල බීල ඉන්න තරං තේරෙන වයසක දරුවෙක් නෙවෙයිනෙ දෙයියනේ”
මණී දිගට ම කියවූවා ය. ආයු වෙනුවෙන් තැනූ කිරි බෝතලය සෝෆාව කෙලවරක වූයේ ය. අමාගී දරුවා උකුලේ තබාගෙන ම සෝෆාවෙහි හිඳගත්තා ය.
“අපි මේ පිටි කුක්කු එක බොමුද පැටියො දැන්…”
“අපා. පිටි කුක්කු අපා. බබාට ඕන අම්ම කුක්කු”
ආයු අමාගී ගේ ළයෙහි මුහුණ සඟවා ගත්තේ ය. ශාක්‍ය ඇවිත් සෝෆාවේ අමාගී ට යාබදව අසුන් ගත්තේ ය. රුසිරු පුටු අත මත හිඳගත්තේ ය. පූජන බිම බලාගෙන සක්මන් කරමින් සිටියේ ය.
“ශා බාප්පි… බබා පිටි කුක්කු එක බිව්වොත් අපි පාරෙ එක්කං යනව නේද…රූ බාප්පි… අපි ආයු බබාට මල් කඩල දෙනව නේද…”
“ඔව්නෙ… අපිට සමනල්ලු පස්සෙ දුවන්නත් පුළුවන්නෙ…”
“ඒකනෙ. ආයු මැණික අපි බොමුද කුක්කු පිටි එක… ම්…”
ආයු අමාගී ගේ ළයෙන් මෑත් වී හරි බරි ගැහුණේ ය. පුටුවක කුෂන් එකක් උකුල මතට ගෙන ඔහු ගේ හිස සැතපූ අමාගී කිරි බෝතලයේ සූප්පුව ආයු ගේ කිරි සුවඳ මුවෙහි තැබුවා ය. බිළිඳා එක හුස්මට කිරි එක අවසන් කොට හනි හනික නැගිටගත්තේ ය.
“යං”
එදා දවසේ මුල් ම වතාවට මහානාම පවුලේ අයගේ මුහුණු මත ඒ සිනහවක් ඇඳුණා ම ය. ආයු ට වූ පොරොන්දුව ඉටු කරන්නට අමාගී හා රුසිරු පාර දිගේ මල් කැඩූහ. බේකරි ත්‍රීවීලරය පැමිණියේ ඒ වෙලාවේ ය.
“බඩගිනිද…”
අමාගී ට ” පාන් ගමුද” කියා ඇසූ රුසිරු ගැන දුක සිතිණ. ඔහු අහිංසක සිනහවක් පෑවේ ය.
“එහෙමමත් නෑ ඉතිං. බලනව මාගි. ජනවාරි පළවෙන්ද වෙලත් අපිට බඩගින්නෙ ඉන්න වුණානෙ”
“ම්… මං කියන්නද… පාන් ගන්නෙපා. අපි ඔක්කොටම කන්න බතක් රයිස් කුකරෙකට ගහල මොනාහරි එකක් හදල ගමු”
“අපෝ එකක් හොඳටම ඇති”
අමාගී හා රුසිරු ආයු වඩාගෙන ම මල්වත්තගේ ගෙදරට ගොඩවූහ. දුරේෂ් මල්වත්තගේ හා උපුල් මහානාම මිදුලේ උඳුපියළිය පලසෙහි වන බංකුවෙහි හිඳ මී විතකින් සප්පායම් වීමේ සූදානමක පසුවූහ.
“මාගි පුතා තරහ නැතුව අපිට බිත්තරයක් තෙලට දාල දෙන්න”
අමාගී වෙතින් ඒ ඉල්ලීම කළේ උපුල් මහානාමයි. මල්වත්තගේ ගෙදර අනිත් ගෑනු ළමයින්ට වඩා මහානාමලාට සමීප අමාගී ය. ඇය වූ කලී මණීගෙන් මව් කිරි බිව් දැරියකි. ඒ ගුණ සුවඳ අදත් ඇය වෙත වේ. ඇයට ඔවුන් තමන්ගේ පවුලේ ම අය සේ ය. අමාගී බිත්තර දෙක තුනක් දමා ඔම්ලට් එකක් පිළියෙළ කළා ය. තාත්තා ද මහානාම අංකල් ද උග්‍ර ඇල්කොහොල් ලෝලීන් නොවන බව ඇය දනී. ඔවුන් කල් ඇතිව ම බෝතලයක් ගෙනැවිත් තබාගන්නේ ජනවාරි පළවෙනිදා හෝ සිංහල අවුරුදු දවස නිමිත්තෙනි. ඒ බෝතලයත් ගෙන මිදුලේ බංකුවට වී වසර ගණනාවක මතක කඳු අවුස්සමින් ඔවුහු හෝරා ගණනක් ගත කරති. මේ ජනවාරි පළමුදා හැන්දෑව වෙනුවෙන් මහානාම ගෙනැවිත් තැබූ මධුවිත වී ද ඔවුන් ට දැන් එය තොලගාන්නට සිදු වී ඇත්තේ එළඹෙනා අලුත් වසර නිමිති කොටගෙන සව්දිය පිරීමක් වශයෙන් නොවේ. මහානාම පවුලේ ලේලියත්, මල්වත්තගේ පවුලේ පුතුත් රහසේ නික්ම යාමේ ඛේදවාචකය ඇති කළ හිත් වේදනා මඳක් තවාගනු පිණිස ය.
අමාගී ලොකු රයිස් කුකරයට හාල් එකක් තැබුවා ය. කන්නට හිතක් ඇත්තේ ම නැත ද කුසගින්නේ සිටියා කියා දැන් කිසිත් වෙනස් කළ හැකි වන්නේ නැත. නිවැරදි කළ හැකි වන්නේ නැත.
“පොල් සම්බෝලයක් හදල ගමු”
කියමින් රුසිරු හිරමණය මතින් හිඳගත්තේ ය. උදේ සිට ම ඇඳට වැටී හඬ හඬා සිටි අශ්විනි ට කුස්සියේ හඬවල් ඇහෙත්දී වැතිරී ඉන්නට හිත් දුන්නේ නැත. මොන තරම් අසනීපයක් වී ද ඇය අම්මා කෙනෙකු වාගේ ගෙදර ඉහුම් පිහුම් සියල්ල කරන්නී ය. පොඩි එකී තනිව උයනා බව දැනගෙන පාඩුවේ ඉන්නට ඇයට බැරි ය. හිස් මුදුනට වෙන්නට වරල එක්කාසු කොට බැඳගනිමින් ඕ මුළුතැන්ගෙට ආවා ය.
“ලොකූ ඉන්න. මං සම්බෝලයක් හදල ගන්නං”
“තාත්තිට සම්බෝලයි බතුයි කන්න දෙන්න බෑනෙ සුදූ. මොනාහරි හදල ගමු”
“රුසිරු පාන් ගන්න හැදුවෙ. මං කිව්ව මොනාහරි හදාගමු කියල”
“ෆ්‍රිජ් එකේ මාළු ටිකක් ඇති සුදූ. දෙගොල්ලොටම ඇති වෙයි. මොකක්හරි එළෝළුවකුත් ගන්නකො”
හිත් වල වන අසහනකාරී බව තුනී වී යනු වස් කෑම වේලක් උයාගන්නා එක වඩා හොඳ ය. කොහොමටත් දැන් මේ වේදනාවන් තරණය කොට එතෙර යා යුතු වේ. ගෑනු ළමයින් තුන් දෙනා හා රුසිරු එක් වී ව්‍යාංජන දෙක තුනක් සමග බතක් පිසූහ. අශ්විනී බේසමකට බත් රයිස් කුකරයෙන් බාගයක් ම හැළුවා ය. දීසි වලට ව්‍යාංජන ද බෙදුවා ය. රුසිරු බත් බේසම ද අමාගී හා සාන්වී ව්‍යාංජන දීසි ද රැගෙන මහානාම ගෙදරට ගියේ පෙරහැරක් සේ ය. ශාක්‍ය ආයු සමග බිල්ඩින් බ්ලොක්ස් වලින් ගොඩනැගිලි ඉදිකරමින් සිටියේ ය. මණී මුළුතැන්ගෙයි හි ආයු වෙනුවෙන් එළවලු තම්බමින් සිටියා ය. ආර්ය මුළුතැන්ගෙයි පුටුවේ හිඳගෙන අනියත කල්පනා දැහැනක කිමිදගෙන ය. පූජන උළුවස්සට හේත්තු වී අහස දෙස බලාගෙන හිඳී.
“මං හිතුවෙ ආයුට පරිප්පු එක්ක බත් ටිකක් කවනව කියල මණී ආන්ටි”
“අනේ මාගි කරදර වෙලා. මං මේ දැන් බතක් උයන්නයි හැදුවෙ”
“ඔක්කොමල කාල ඉන්න ඉතිං. නොකා හිටිය කියල මොනාත් වෙනස් වෙන්නෑනෙ. මං ආයුට කවල හෝදල නිදි කරවලම ගේන්නං”
මණී ට දැනුණේ සැනසිල්ලකි. වෙන මොනවා නැත ද දැන් මව් කිරි නැතිව නොදරුවා නිදි ගන්වන්නේ කෙසේදැයි ඇය සිටියේ ළතැවෙමිනි.
කණාමැදිරියන් අල්ලා දෙමින් ආයු ගේ පුංචි කුස පිරෙන්නට බත් කවාගන්නට අමාගී සමත් වූවා ය. කුස පිරුණු නිසා ද දවස තිස්සේ ම හැඬීම නිසා වූ කෙඩෙත්තුව නිසා ද ඔහු ට ඉක්මනින් නින්ද ගියේ ය. අමාගී දරුවා ගෙන මහානාම ගෙදරට යන විට මණී හා බාල පුතුන් තිදෙන බත් කමින් සිටියහ. හැන්දෑවේ ඇගෙන් වැරදුණ වචනය නිසා ආර්ය තේ එක සේ ම බත් ද ප්‍රතික්ෂේප කළේ ද යන දෙගිඩියාව ඈ සිතේ හට නො ගත්තා නොවේ. නමුත් ඒ ගැන විමසිය නො හැකි ය.
“අනේ පුතේ ඔහොමම ඇඳෙන් තියල එන්නකො එහෙනං. මං ගත්තොත් ආයෙ අඬාගෙන නැගිටියි”
අමාගී පියගැට පෙළ නැංගේ හිතේ චකිතයක් නැතිව ම නොවේ. ඈ සිතුවා සේ ම ආර්ය කාමරයේ යහන මත, ඇඳ විට්ටමට හේත්තු වීගෙන සිටියේ ය. ඇය දුටුවන ඔහු යහනෙන් බැසගත් අතර අමාගී දරුවා තබා ඔහු වටේ උණුහුමට කොට්ට තැබුවා ය. ඊළඟට ආර්ය සිටිනා පැත්තක් හෝ නො බලා කාමරයෙන් පිට වී පියගැට පෙළ දිවගෙන වාගේ බැස්සා ය.
“ආන්ටි මං යනෝ”
ඇගේ හඬ ආර්ය ට ද ඇසිණ.
මහානාම ගෙදරින් අමාගී ව ප්‍රතික්ෂේප කළේ ආර්ය පමණකි. ඒ ප්‍රතික්ෂේප කිරීමට හේතුව ඇය නො දනිතත් එහි ඉතිහාසය ඇගේ බිළිඳු විය දක්වා ම දිවේ. ගෑනු ළමයෙකු නැති මහානාම ගෙදර, මල්වත්තගේ කෙල්ලන්ට කොහොමත් ලොකු ඉඩක් තිබිණ. නමුත් ඔවුන්ගේ ආදරය වැඩි වශයෙන් අමාගී විසින් දිනාගනු ලැබූයේ ඇය කුඩා ම දැරිය වශයෙන් ම නොව අවුරුද්දක් වන විට මව් කිරි පවා අහිමි වූ දැරියක වශයෙනි. අමාගී ගේ හුරතල් හඬින් මහානාම ගෙදර නිරන්තර පිරී තිබිණ. මල්ලිලා තුන් දෙනාට ම ඇය මැණිකක් සේ විය. නමුත් ඔහු ට වැඩිය අවුරුදු දොළහක් බාල පුංචි ගෑනු ළමයා ගැන නිරන්තර ආර්ය ට දැනුණේ ඊර්ෂ්‍යා සහගත හැඟීමකි. අම්මා ඇයට මව්කිරි දීම ඔහු රිස්සුවේ ම නැත. දුව පැන ඇවිදිනා දැරියක වශයෙන් අමාගී අයියලා හතර දෙනාගේ ම පස්සෙන් ගියා ය. ඔවුන් සමග සෙල්ලම් කරන්නට රිසි වූවා ය. ඇගේ අවධානය වැඩිපුර ම ආර්ය වෙත යොමු වූයේ ඔහු ඇය ගණන් නො ගැනීම නිසා ය. අනිත් අයියලා දෙන්නා හා ඇයට වැඩිය මාස දෙකකට බාල වූ මල්ලී මෙන් නොව ආර්ය ඇදෙස බලන්නේවත් නැත. ඔහු ගේ කිසිවක් ඇයට අල්ලන්නට දෙන්නේ නැත. ඇය ඔහු ගේ පත පොතකට අත තබනු දුටුවොත් බෙරිහන් දෙයි. ඒ හඬට අමාගී බිය වන්නී ය. ඇතැම් විට ඇය ඔහු ගේ සැර කිරීමකට හඬාගෙන දුවන්නී ය. මණී දොස් කීව ද ආර්ය ගේ මේ ගතිගුණය ඇරී ගියේ ම නැත.
“ඔයා මගෙ අයියනෙ ඉතිං”
කියමින් විටෙක අමාගී බලයෙන් ආර්ය ගේ අතක් අල්ලයි. එතකොට ඔහු අත ඇදගනී.
“එන්නකො ලොකයිය සෙල්ලං කරන්න”
කියමින් ඇය කරදර කරයි. ආර්ය කේන්ති ගෙන කෑගසයි.

“අම්මෙ මේ මෙයාට යන්න කියන්නකො”
ඔහු ගේ හඬේ වූ දැඩි බවට ඇය අතිශය බිය වූවා ය. එසේ ම ගෙදර පිරිමි ළමයින් අතරින් ඔහු ට වැඩිපුර ම ආකර්ෂණය වූවා ය. නමුත් ආර්ය ළමා වියෙහි පටන් ම ආඩම්බරකාරයෙකි. ඔහු විශේෂයෙන් ම ගෑනු ළමයින් නො සලකා හැරියේ ය. පිරිමි ළමයින් ගෙන් ද තෝරාගත් කිහිප දෙනෙකු පමණක් ඇසුරු කළේ ය. ඇයව මේ තරමට පිළිකෙව් කරනා ඔහු පසුපස ඒ තරමට එල්ලීගෙන යන්නේ කුමකට දැයි එක වයසක දී අමාගී තීරණය කළා විය යුතු ය. එවක් පටන් ඇය ඔහුගේ මූණ බැලුවේ හෝ නැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here