අට වැනි මල් දම
ගාලු මුවදොර පිටියේ වූ කලබලය අතරේ වුවද නිම්නාවී යම් සැහල්ලුවක් සොයාගෙන උන්නාය. පවුල් පිටින් විත් නේක විධ කඩ කෑම අහුරු පිටින් ගිලින මිනිසුන් දෙස බලමින් ඕ සතුටු වූවාය. එකිනෙකා හා පැටලෙමින් ඇවිද යන, විටෙක පඩියක හිඳගන්නා, තවත් විටෙක තණකොළ බිස්සේ මැදක සිට චායාරූප ගන්නා ප්‍රේමවන්තයන් දෙස බලා ඕ සතුටු වූවාය. මේ මිනිසුන් විඳින්නේ තමා ප්‍රාර්තනා කරන ජීවිතයය. මෙවන් ජීවිත තිබීම දැකීමම පවා නිම්නාවීට සතුටකි. රාත්‍රී සමාජ ශාලා තුල හෝ තරු පහේ හෝටල් වල මේ සැහැල්ලුව දැනෙන්නේ නැත. අකීකරුව සුලඟට මුසුවන හිසකෙස් අවනත කරගැනීමේ රාජකාරිය වෙනමමය. නාස් කුහර තුළින් රස නහර පිනවමින් ඇතුලු වෙන වඩේ ඇතුලු ආහාර ද්‍රවය දෙස බලා සිටීමේ රාජකාරිය වෙනමය. මෙතෙක් කල් සිතෙහි වූ තෝන්තුමය හැඟීම යම් ලෙසකින් ක්ෂයව ගොස් ඇති බව නිම්නාවීට දැනෙන්නේය. තමා ජීවිතයේ සතුට යැයි සිතා උන් සියල්ලටම වඩා යමක් ඇති වග ඇයට දැනෙන්නේය.
” මම ආස කරන සතුට මේක .. ඒත් අම්මලා මට පෙන්නලා තිබුණේ , එයාලා මට විඳින්න අවසර දුන්නේ එයාලා බලාපොරොත්තු වුන සතුට විතරයි රන්දුලා … මට දැන් අවුරුදු කීයක්ද කියලා ඔයා දන්නවා.. ඒත් මම තවමත් අම්මලාගේ වචනේටම ඔලුව පහත් කරගෙන ඉන්න කෙනෙක් .. ඒ අතින් මට ඔයායි, මල්ලියි ගැන හරිම සතුටුයි.. ගොඩක් … මගේ අතින්, මම නොදැනුවත්ව, මම හරියට දන්නේවත් නැතුව කල දේකට තමයි අම්මලා මගෙන් මෙහෙම පලිගන්නේ රන්දුලා….”
නිම්නාවී රන්දුලාට කීවාය. රන්දුලා නිම්නාවීගේ අතින් අල්ලා ගත්තාය. ඇය රත්තරන් කූඩුවක සිර කර කිරිල්ලියකි. තමා යන්තම් ජීවිතය ගැට ගසා ගන්නට තරමේ වන කූඩුවක සිටින කිරිල්ලියකි. ලෝකයට පෙනෙන සත්‍යට වඩා ජීවිත දෙකේ වෙනස කෙතරම්දැයි ඕ සිතුවාය.
” ඔයා තවම පරක්කු නෑ අක්කේ… බය වෙන්න එපා … ඔයාට ජීවිතේ වෙනස් වෙන දවසක් උදා කරගන්න පුලුවන් .. ඒ දවසට බය නැතුව ඒ තීරණේ ගන්න .. මායි, දිලුමුයි ඔයා එක්ක අනිවාර්යෙන්ම ඉන්නවා අක්කේ …”
නිම්නාවී රන්දුලා දෙස බලා කෘතඥ පූර්ව බැල්මක් හෙලුවාය. ඇයට යම් වෙනසක් දැනෙන්නේය. ඕ රන්දුලා වෙත සිනහවක් ඉතිරි කලාය.
ඔවුන් පෙරලා නිවෙසට ගියේ මැදියම් රැයද පහන් වූ පසුවය.
” තෑන්ක්ස් මල්ලී .. මට ආයෙම ජීවත් වෙන්න ආසයි …”
නිම්නාවී කාමරයට විත් නිදාගන්නට පෙර මල්ලිට කෙටි පණිවිඩයක් යැව්වේය. දිලුම් එයට පිළිතුරු යවනවා වෙනුවට. අම්මලා සමඟ අක්කා වෙනුවෙන් ගැටීමේ විකල්පය තෝරාගත්තේය.
මන්දාරම් සහ චානක දිලුම් මුණ ගැසෙන්නට ආවේ පූර්ව දැනුම්දීමකින්ද තොරවය. එලෙස පැමිණීම පිළිබඳව දෙදෙනාම දිලුම්ගෙන් සමාව ඉල්ලා සිටියද, දිලුම් ඒ ගමන බලාපොරොත්තුවෙන් උන් නිසාමදෝ ඔහු මන්දාරම් සහ චානකට සමාව ඉල්ලීමට ටහ්රම් දෙයක් සිදුව නැති බව යලි යලි පැහැදිලි කලේය. ඒ අනුව දිලුම් විසින් තොරතුරු සඳහන් කෙරූ යුවතිය ට අම්මා වෙනුවෙන් යම් උපකාරයක් කරන්නාට් හැකිදැයි මන්දාරම් විමසුවේය. දිලුම් එකහෙලාම පවසා සිටියේ මාස කිහිපයක් යන තුරු ඇය අනිවාර්යෙන්ම ඒ කාර්යය වඩා හොඳින් සිදු කරනු ඇති බවය. පසු දින තමා ඇයවද කැටුව මන්දාරම්ගේ නිවෙසට පැමිනෙන බව දිලුම් බලෙන්ම පවසා. ඊලඟ දිනයේද මන්දාරම් පැමිණීමේ උත්සාහය ක්ෂය කර දැම්මේය.
” ඒ වුනාට ඩොක්ටර්ට කරදරේ …”
” හයියෝ නෑ/.. මම අට වෙද්දී ඒ අක්කව ඇරලවන්නම් …. එහෙම අවුලකට නෙවෙයි .. ඒත් මාත් ඇවිල්ලා ඉන්න දිහාවක් බලාගෙන ඉන්න එක හොඳයිනේ මිස්ටර් මන්දාරම්.. වගකීමක් නේ…
මන්දාරම් එක හෙලාම එයට එකඟ වූයේය.
දිලුම් නිම්නාවීට කෙටි පණිවිඩයක් යවා සිදුවන්නට යන්නේ කුමක්දැයි කීවේය. උදෙන්ම නිවසින් පිටවගොස් යළි සවසට නිවෙසට පැමිණෙන ආකාරයේ සැලැස්මක් පිළිබඳව කල්පනා කරන්නට වන බව කීවේය.
” ඔක්කොමලගෙන් හංගලා ගහන්න ඕනි ගේමක් මේ ……. තමුසේට මේක කරන්නම ඕනිද ඕයි ?..
“
” ඔව් … මං කොහොම හරි ඒ ආන්ටිව නැගිට්ටවලා තම එන්නේ…”
දිලුම් ඉන් එහා කිසිත් කීවේ නැත. අක්කා මේ අරඹන්නට යන ගමනේ නැවුම් බවක් දිලුම්ටද දැනෙයි. තමා මෙවෙලෙහි අක්කා වෙනුවෙන් කල හැකි සියල්ලම කරන බවද දිලුම් ඉටා ගත්තේය.
දිලුම්ලාගේ නිවසේ සිට අධිවේගී පිවිසුමට ඇත්තේ විනාඩි කිහිපයක දුරකි. එතැනින් අධිවේගී මාර්ගය ඔස්සේ ගමන් කර කඩවතින් පිටවී, දිලුම්ගේ මිතුරෙකුගේ නිවසේ මෝටර් රිය දමා , සුදුසු ඇඳුමක්ද මාරු කරගෙන බස් රියෙන් අක්කා මන්දාරම්ගේ නිවසට යෑම දිලුම්ගේ සැලසුම විය. මිතුරාගේ නිවසේ උන්නේ ඔහු සහ බිරිඳ පමණක් වූ අතර, දිලුම් ඔවුන් දෙදෙනා ට ඇමතුමක්දී කාරනාව පැහැදිලි කලේය.
” උඹලෑ අක්කා ඔහොම අහ්‍රි ජීවිතේ පිම්මක් පනින එකට එකෙන්ම ස්පෝර්ට් බං .. ඒකි ඕලෙවල් කරනල්කල් උන්න හැටියි, ඒලෙවල් කරන කාලේ තටු කපලා දාලා වගේ උන්න හැටියි මතකනේ.. මම අපේ නෝනාට කිව්වා. එයා අක්කව බස් එකට දාවි අක්කාට පුරුදු වෙනකල් … දැනට ඔය යන ගෙදර අයට කිව්ව්වාම හරිනේ, අපේ ගෙදර තමා නැවතිලා ඉන්නේ කියලා…”
මිතුරා දිලුම්ගේ ප්‍රශ්න අඩකට වඩා විසඳුවේය.දිලුම් එදින සවස් රන්දුලාව මුණ ගැහෙන්නට වැඩි වෙලා වැය නොකරම නිවෙසට ආවේය. අම්මා, තාත්තා සහ පසන්ට කිසිත් පැවසිය නොහැකි තරමින් මේ බොරුව දවටා ස්තාන ගත කල යුතුය.
දිලුම් මුලින්ම ඉලක්ක කලේ අම්මා සහ තාත්තාය. පසන්ට කාරණාව පැහැදිලි කිරීම නිම්නාවීට බාර විණි.
” දැන් ඔය කියන ගෙදර ඉන්නේ ඒ ගෑණු ළමයා විතරද?..”
” නෑ ණෑ.. මගේ යාලුවත් ඉන්නවා.. ඌ ඩොකානේ… ඉතින් ඌ මං වගේ තමා .. එහෙමට ගෙදර නෑ.. ඒ කෙල්ලගේ බිස්නස් එකට තමා අක්කා මේ සපොර්ට් කරන්න යන්නේ .. රෙසින් බිස්නස් එකක් .. අක්කා ඒවා හොඳටම කරලානේ ඉන්නේ… නිකම් ගෙදර ඉන්න එකේ අක්කගේ හිතටත් හොඳයිනේ….”
” අනේ මන්දා …”
” හරි ඉතින් අම්මලා අකමැති නම් අවුලක් නෑ.. ඌ මගෙන් අහපු එක මේ මම අම්මලගෙන් අහන්නේ .. මං අක්කට කිව්වෙත් නෑ … දැන් ඊළැඟ අවුරුධ්ඩේ මැරි කලාම කොහොමටත් ඔව්වා මෙව්වා කරන්න වෙන්නේ නැති එකේ එයාගේ ජීවිතේට වෙනසක් නේද කියලා මම හිතුවේ…..”
දිලුම් ව්‍යාජ ස්වරූපයක් මවා ගත්තේය. ඔහු එහි යටහ් වෙන දුර්වල අබ්ව දැවටුවේය. එහෙත් ඔහු උන්නේ නොකැඩෙන තරමට සවිමත් වෙමිනි.