දහවෙනි රන්දම
චානක සහ මන්දාරම් නිවෙසින් පිටව යන තුරු නිම්නාවී උන්නේ අපහසුවෙනි. චානක පලමුව සමු දුන්නේය. එදින මන්දාරම් පිටව ගියේ එදින වෙනුවෙන් කැඳවා තිබූ අනෙක් හෙදියද පැමිණීමෙන් පසුවය. නිම්නාවීව හඳුන්වා දී ඇයට දිනයේ හෙදකම් පිළිබඳව අවබෝධයක් ලබා දීමෙන් පසුව හෙදියට පෙරලා පිටව යා හැකියැයි මන්දාරම් කීවේය. නිම්නාවීද එයට එකඟ වූවාය. මන්දාරම් පිටව යෑමෙන් පසු දිලුම්ගේ මිතුරාගේ බිරිඳ දුන් ගවුම හැඳගත් නිම්නාවී මන්දාරම්ගේ අම්මාගේ කාමරයට එබුනාය. ඕ යහනේ සිට නිම්නාවී දෙස බලා සිනාසුනාය.
නිම්නාවී ඇය වෙත ඇවිද ආවේ ඒ සිනහවෙන් ධෛර්‍යමත් වෙමිනි. එසේ නොවන්නට ඇයට ස්වර්ණා වෙත ඇවිද එන්නට තරම් සවියක් තිබුනේ නැත.අනුන්ගේ වරදින් ජීව්තයේ නිදහස අහිමිව යෑම කොහොම අත්දැකීමක්දැයි නිම්නාවී තරම් දන්නා කෙනෙක් නැත. තමාටද පාලනය කර ගන්නට නොහැකි තරමින් ජීවිතය අහිමිව යෑම පහසු නොවේ.
එය කෙලෙසකින් වුවත් නිම්නාවී උන්නේ සිත ශක්තිමත් කරගෙනය. මන්දාරම්ගේ මව සුවපත් වන තෙක් ඇයට උවටැන් කිරීමේ ඒකායන අදිටන පෙරටු කරගෙනය. කල පවු ඉන් සම්පූර්ණයෙන්ම කමා නොවෙතැයි දැන උන්නත්, තම හෘද සාක්ෂියෙන් හෝ ගැලවීමක් ලැබේවියැයි ඕ සිතුවාය.
” අපි නාගෙන ඉමු නේද මිස්? … “
” නාගමු දරුවෝ ….”
ඇය දියණියක නොවූ අඩුව නිම්නාවී කෙරෙන් විඳගනිමින් කීවාය. නිම්නාවී නාන කාමරය පරික්ෂා කලාය. එහි උණු වතුර ලබා ගත හැකි සැකසුමක් විය. ඕ ඉන් පසුව කාමරයට විත් රෝද පුටුව ඇඳ අසලට වන සේ සකසා ගත්තේ හෙදියගේද උදව්වෙනි. හෙදිය ස්වර්ණාව රෝද පුටුව වෙතට ගෙන හිඳුවා ගන්නා අයුරු නිම්නාවී ඉන් පසුව බලා උන්නාය.
” ඉස්සෙල්ලාම පුටුව මෙහෙම ඇලේට තියන්න .. ඊට පස්සේ මැඩම්ව ඔයාගේ ඇඟට බර කරගෙන වම් කකුල බිමට අරන් වම් කකුලට බර කරලා හිටගන්න කියන්න.. ඒ ගමන් ඔයා ටිකක් පස්සට වෙලා මැඩම්ට වීල් චෙයාර් එකේ ඉඳගන්න දෙන්න … ඊට පස්සේ මේ කකුල මෙහෙම වැඩිය නොනැමෙන්න තියාගන්න … මෙතනින් ලොක් දෙක අරින්න ඕනි චෙයාර් එකේ.. ඊට පස්සේ හරි …”
හෙදිය නිම්නාවීට කීවාය. ඒ ගැන නිම්නාවිට නුහුරක් බයක් දැනුනත් ඇය ඒ ගැන නොහිතා උන්නාය.
” කොහොමම හරි කරනවා…”
ඇය එපමනක් සිතුවාය. හෙදිය සමඟ නාන කාමරයට ගියාට පසු හෙදිය ස්වර්ණාව පිරිසිදු කරන අයුරු නිම්නාවී බලා උන්නාය. රෝද පුටුවෙන් යළි නැගිටුවා නාන කාමරයේ වූ පුටුවේ ඇය හිඳුවා, වෙළුම් පටි නොතෙමෙන්නට ආවරනය කරන අයුරු සිහියේ රදවා ගත්තාය. ඉන් පසුව හෙදිය හිස කේ තෙමා, ශැම්පු යොදා හිසකේ සෝදා හැරියාය. ඉන් පසුව ගත සෝදා පිරිසිදු කලාය. නිම්නාවී ඒ අත්දැකීම බලා උන්නේ යම් අපහසුවකිනි. මේ ඇය කිසිදිනෙක අත්දැකීමක් හෝ ලබා තිබූ දේ නොවේය.
ඉන් පසුව හෙදිය ස්වර්ණාගේ තෙත හිසකේ පිසදා, ඉන් පසුව ගතද පිසදා තුවායක් ඇයට පහසු වන සේ යන්තමින් ගත වටා දැවටුවාය. ඉන් පසුව යළි රෝද පුටුව සකසාගෙන ස්වර්ණාව එහි හිඳුවා ගත්තාය. යළි කාමරයට පැමින සැහැල්ලු ගවුමක් ගත ලෑවාය.
” කලබලයක් නැතිව , නිතරම හෙමින් වැඩ කරන්න …. එතකොට ප්‍රශ්න වෙන්නේ නෑ .. කලබල උනාම තමයි අමාරු …. නිතරම මතක තියාගන්න පේෂන් සීරෝ එනර්ජි ඉන්නේ කියලා.. ඔයා කෙයාර් ගිවින් කරලා නම් මේ දේවල් දන්නවනේ?…”
හෙදිය විමසූ පසු නිම්නාවී ඇයට ස්තූතිවන්ත වන බව පෙන්වමින් හිස සැළුවාය.
උදෑසන ආහාරය ස්වර්ණා වෙත ට දුන්නාට පසු ඇට යහනේ සිටම ආහාර ගත්තාය. ඒ වෙනුවෙන් මන්දාරම් අකුලන කුඩා මේසයක් ගෙනැවිත් තිබුණි. ඖෂධ ලබා දෙන ආකාරය සහ ඉන් පසුව ස්වර්ණා වෙනුවෙන් දිනපතා කරවිය යුතු ව්‍යායාම පිළිබඳව හෙදිය නිම්නාවීට කියා දුන්නාය.
” මිස් අදිමදි කලත් එක්සයිස් කරවන්න ඕනි .. උදේ, දවල්, හවස, රෑ මේ විදියට එක ක්‍රමේකින් දහය ගානේ ක්‍රම පහම කෙරෙන්න ඕනි .. ඒක මැඩම්ටත් ටිකක් වෙහෙසයි .. ඒ වගේමැඩම් සපෝර්ට් නොකරනකොට අපි ඒ එක්සයිස් කරවනකොට අපිටත් වෙහෙසයි .. ඒත් කන්න බොන්න නොදුන්නත් එක්සයිස් ටික නම් අනිවාර්‍යෙන්ම කරවන්න ඕනි…”
හෙදිය අවධාරණය කරමින් කීවාය. හෙදිය එම ව්‍යායාම කරවද්දී නිම්නාවී එය ජංගම දුරකතනයෙන් වීඩියෝ කරගත්තාය.
” මට අමතක වුනොත් එහෙම .,.”
ඕ එයට ඌණපූරනද දුන්නාය. හෙදිය හිනැහී හිස වැනුවාය. ස්වර්ණා ඔවුන් දෙදෙනාටම සිනාසෙමින් අවලාද කීවාය.
” නාකි මටත් මතකයි.. මේ තරුණ කෙල්ලෝ කියනවා අමතකලු …”
නිම්නාවීද හෙදියද එයට එරෙහි බස් පවසමින් එකිනෙකා හා සිනාසෙමින් , උස් හඬින් කතා කලහ.
” මෙයා තව සතියක් දෙකක්වත් ඉන්නවා නම් බයක් නෑ… ඒත් ඉතින් එහෙම කියන්නත් බෑනේ …”
නිම්නාවී ඒ අතරේ සිතුවාය. ස්වර්ණාගේ ඖෂධ සහ අනෙකුත් දෑ ඇති ස්තානද යළි පෙන්වූ හෙදිය නිම්නාවීට සහ ස්වර්ණාට සමු දුන්නාය. ඇය පිටව ගියාට පසු නිම්නාවී ගෙතුලට ආවාය. ඉන් පසුව දඩි බිඩියේ උදෑසන ආහාරය ගත්තාය. එහි වූයේ ඇයට හුරු පුරුදු ආහාර නොවූ නමුත් ඕ හුරු වෙමියි ඉටාගත්තාය.
” මිස්ට කම්මැලිද ?…”
යළි පැමිණි ඕ ස්වර්ණෑගෙන් විමසද්දී ස්වර්ණා හිනැහුනාය. ඉන් පසුව මදක් කල්පනාවෙන් සිට මෙන් ඇයට යමක් කීවාය.
” පුතාගේ නම මොකද්ද කීවේ?…”
” නිම්නාවී මිස් ….”
” මිස් මිස් කියන්නෝනි නෑ දරුවෝ .. මාත් ඔයාගේ අම්මාගේ වයසේ ඇතිනේ…”
ස්වර්ණා පවසද්දී නිම්නාවී හදවතින්ම දරාගත් සෙනෙහසකින් හිනැහුණාය. එහෙත් කිසිවක් නොකියා උන්නාය.
” නිම්නාවි මුලු දවසම කාමරේට වෙලා ඇහැ ගහගෙන ඉන්න ඕනි නෑ ..මගේ ෆෝන් එකට නිම්නාවිගෙ නම්බර් එක දාලා, නිම්නාවි සාලෙට වෙලා වැඩක් කරගන්න … ඔය ටීවී එකේ ඉන්දියාවේ කතා වුනත් බලන්න පුලුවන්.. ඔක්කොම ඇති … නැත්නම් ඔය ඔතන පහල කොනේම සුදු පාට දොර එක්ක තියෙන්නේ මන්දාරම්ගේ ලයිබ්‍රි එක … යතුර දොරේ නැත්නම් එයාගේ රූම් එකේ මෙසේ උඩ ඇති ගන්න .. නිම්නාවී කැමති පොතක් අරගෙන කියවන්න … “
නිම්නාවී හිනැහුනාය.
” පොත ගත්ත තැනින්ම තියන්න පුතේ ඒත් හොඳේ… එයා යකා වෙන්නේ පොත් තියෙන තැන නැති වුනාම ….”
නිම්නාවී එයටද සිනාසුනාය.
” ඉතින් මන්දාරම් මහත්තයට මතකද පොත තිබුණේ එතනම කියන්න ….”
” ඔයා නිකමට පොතක් එහෙ මෙහෙ කරලා බලලා ඉන්නකෝ .. එතකොට තේරෙයි …”
ස්වර්ණා හිනැහෙමින් කීවාය. නිම්නාවීද ඇයට එක් වෙමින් හිනැහුනාය. එහෙත් ඕ කාමරයෙන් පිටතට නොගොස් යහනෙන් එපිටට වූ අසුනක හිඳගත්තාය.
” ඔහොම ඉන්න ඕනි නෑ පුතේ …”
” ඒකට කමක් නෑ මිස්… මන්දාරම් මහත්තයා මඟින් මඟට කිව්වා මිස්ව තනියෙන් දාලා කොහෙවත් යන්න එපා කියලා…”
“අනේ මම බබෙක් ද ?.. නිම්නාවී කුස්සියට ගිහින් බලනකෝ එහෙනම් අපේ ලතාට මුකුත් උදව්වක් ඕනිද කියලා.. ලතා ට අද පරක්කු ඇති යන්න …. “
නිම්නාවී එයට හිස සලා කාමරයෙන් පිටතට ආවාය. කුස්සියේ වැඩ ගැන ලතා ඇයට එහෙන් මෙහෙන් පමණක් කීවාය. ලතා සිටින්නේ තමා ඇගේ රැකියාව අහිමි කරාවිය යන බියෙන් බව නිම්නාවී ඉතා ඉක්මනින් වටහා ගත්තාය. එනිසාම ඇය ලතාගෙන් වැඩි උදව් සහ පැහැදිලි කිරීම් බලාපොරොත්තු නොවීම පෙරලා සාලයට ආවාය.
අපේක්ෂා ගුණරත්න