ප්‍රේමයේ අභිමන් -19

කොළඹ දිස්ත්‍රික්කය තුළ පිහිටි ග්‍රාමයක් වී ද එහි දුර ඈක ගමක වන ගති ලක්ෂණ මැනවින් වූයේ ය. ඇල ගලා ගියේ සසංක ගේ මිතුරා ගේ ගේ පිටුපසිනි. ගෙදරත් ඇලත් අතරේ වන භූමි භාගයේ ගෙට ආසන්න කොටස දඹල, මෑ, බණ්ඩක්කා හා වම්බටු වැනි එළවළු පාත්ති කිහිපයකින් ද කිරි අල හා දන්දිල වැනි අල වර්ග වලින් ද සමන්විත වූ අතර ඊට ඔබ්බෙන් වන බූටෑව වූයේ  ය. ඇල දෙසට යන්නට අඩි පාරක් විය. එහි තැන් තැන් වල ගල් පතුරු කිහිපයක් දමා තිබුණේ අඩි පාර වසා ගෙන වල් වැවෙනා නිසා විය හැක. 

යන ගමන් අපරාජිතා පොත් හලකින් සිප් ලොක් බෑග් කිහිපයක් මිල දී ගත්තා ය. උරයක එල්ලී තිබූ, බකමූණෙකු ඇප්ලික් කළ අමු රෙදි බෑග් එකේ ඒවා ඔබා ගත්තා ය. ඇල ඉවුර උණ පඳුරු වලින් සෙවන වී තිබිණ. ඒ ආශ්‍රිත ව තිබූ පෙඳ පාසි ද, විවිධ ප්‍රබේධ වල මීවන ද දිරූ ලී කැබලි හා ගෙවී ගිය විවිධ හැඩැති ගල් කැබලි ද ඇහිඳ ගෙන, අපරාජිතා ඒවා වෙන වෙන ම සිප් ලොක් බෑග් වල පරිස්සමෙන් අසුරා ගත්තා ය. 

දේශිකා හිටියේ ඇල ඉවුරේ දර්ශන ඡායාරූප ගත කරමිනි. සසංක සිය මිතුරා සමග කතාවට වැටී සිටියේ ය. නමුත් ඒ කතා අතරේ වුව ඔහු ගේ ඇස් තිබුණේ අපරාජිතා ගේ අසීමිත ස්ත්‍රීත්වයේ සුකොමළ බව තුළ අතරමං ව ය. ඇගේ ඇස් සෙලජිනෙල්ලා හෝ පෝගනාටුම් හෝ වෙනත් පාසි වර්ගයක් වෙත හෙලන්නේ භාවනාවක ශාන්තිය සහිත බැල්මකි. ඒ දිගු ඇඟිලි තුඩු හරියට සිත්තරාවක ගේ බඳු සිහින් හා මටසිළිටි ඒවා වේ. කාලයක් තිස්සේ විවිධ ස්වභාවික බලපෑම් වලට නතු වීම නිසා ගෙවී ගොස් හැඩයෙහි වෙනස්කම් සිදු වූ පාෂාණ කැබැල්ලක් දුටු විට ඇය කෙළි බඩුවක් අත පත් කුඩා දැරියක බවට වේශාන්තරණය වේ. 

“දැං…මොකද්ද උඹේ ඔළුවෙ තියෙන්නෙ කියපංකො”

මිතුරා ගේ ඒ පැනය සසංක ට හරියට ම වැටහුණේ නැත.

“ඒ කිව්වෙ…”

“ඒ කිව්වෙ…ඇනෙක්ස් එකේ ඉන්න ගෑනියෙක්ට පාසි හොයල දෙන්න නිකංම පෙට්‍රල් පුච්චන්නෙ නෑනෙ මචං මෙච්චර දුර කතර ගෙවං එන්න…හිතා ගන්න බැරි…”

“මචාං…”

සසංක තරමක් තදින් ඒ වචනය උච්චාරණය කළා සේ මිතුරා ට දැනිණ.

“එහෙම එකක් නෑ. එයා එහෙම කෙනෙක් නෙවේ”

මිතුරා අමුතු තාලයකට කට ඇද කළේ ය. නමුත් සසංක ඒ ගැන නිදහසට කාරණා කීම හෝ දුරට දිගට පැහැදිලි කරන්නට යාම හිතා මතා ම නො කර හිටියේ ය. මේ මොහොතේ සසංක තුළ මිතුරා ගැන නො රිස්සුම් හැඟීමක් ඇති ව තිබිණි ද ඔහු අමුතුවෙන් විශේෂ දෙයක් නොකී බව සසංක ද පිළිගත යුතු ය. ඒ සා සමීප ඇසුරක් නැති කාන්තාවක වෙත ඉතා උනන්දුවෙන් උදව් කරන්නට යන පිරිමින්ගේ පොදු අවශ්‍යතාව එකී ස්ත්‍රිය වෙත ලිංගික සමීප වීමක් සඳහා ප්‍රවේශයක් ලබා ගැනීම බව ඔවුන් දෙදෙනා ම දැන සිටියහ. සසංක ද ඒ සාමාන්‍ය පිරිමි ලක්ෂණ ඇතිව කටයුතු කොට ඇති බව පිළිගත යුතු ය. නමුත් අපරාජිතා විෂයේ ඔහු ට එවන් යටි අරමුණක් නොවන බව සසංක ට දැනේ. ගැහැනියක සමග යහන් ගත වන්නට හෝ ඇය හිමි කර ගන්නට නො සිතා ඇසුරු කිරීම තුළ වන ආගන්තුක සැහැල්ලුව ඔහු හඳුනා ගනිමින් සිටී. 

අප බොහෝ විට කෙනෙකු කෙරේ සමීප වන්නේ ම ඒ ඇසුරේ අවසානයක් ගැන හිතෙන් නිර්ණායක වලට එළඹෙමිනි. එවන් අවසානයක් ගැන නො හිතා පවත්නා ඇසුරක අමුතු පවිත්‍රත්වයක් වන්නේ ය. අවාසනාවකට යටි හිත් වල පරම්පරා ගණනක් තිස්සේ පැල පදියම් වී ඇති පෙර කී හිමි කර ගැනීමේ මානසිකත්වය, බැඳීමක වන හැබෑ ළෙංගතුකම විඳ ගන්නට අපට ඉඩ දෙන්නේ නැත. වසන්තය උදා වන විට ම අපි ගිම්හානය ගැන හිතමින් තැවෙනා අපූර්ව ජීව කොට්ඨාසයක් වන්නෙමු.

ආපසු එන ගමනේ දී අපරාජිතා සැහැල්ලු වී සිටියා ය. වැඩිපුර කතා කළේ දේශිකා හා සසංක වී ද ඇගේ වත මත ශාන්තිදායක බවක හෙවනැළි වැටී තිබිණි. විවිධාකාර ටෙරාරියම් හැඩතල ඇගේ සිත මත මැවෙමින් තිබිණ. විශ්වයක අසිරිය!

“තැන්ක් යූ”

ගේ ඉදිරියේ රියෙන් බැසි පසු අපරාජිතා ට මඳක් පමා වෙමින් දේශිකා සසංක ට ස්තූති කළා ය. දෙතොල් තද කර ගත් සිනහවෙන් ඔහු ඇගේ උරහිසකට තට්ටු කළේ ය. අපරාජිතා කඩිනමින් පිය ගැට පෙළ නැංගේ රයිස් කුකරයට බතක් ගසන්නට ය.

 පාදුක්කේ මිතුරා ගේ නිවසේ තිබූ කැවුම් කොච්චි ගසක් දෙස බලා ගෙන සසංක හීල්ලුවේ ය.

“කරෝල වලට දාල තෙල් දැම්මනං කොහොමද…ඉස්සර අම්ම ඉන්නකොට හදනවා..මට මේ දැනුත් සුවඳ දැනෙනව වගේ”

“ඉතිං කඩං පලයං ටිකක්”

“කෝච්චි කඩං ගියාට ඕව දාල කරෝල තෙල් දාන්න මං දන්න එකක්යැ බං..”

“කඩා ගන්න. මං හදල දෙන්නං”

අපරාජිතා සන්සුන් ස්ත්‍රී භාෂණයකින් කීවා ය. දේශිකා වහ වහා කොච්චි කඩන්නට වූවා ය. 

අතර මගදී සසංක කෑම ගන්නට බොජුන් හලක් ළඟ නවතන්නට හදත්දී අපරාජිතා ඒ වළකා සිටියා ය.

“මං ඉක්මන්ට මොනා හරි හදල ගන්නං. කරවල ටිකක් තෙල් දාල”

ඒ වෙලාවේත් ඇගේ ඇස් පියන් පහළට හැරවී තිබිණ. 

“එහෙනං කරෝල තෙල් දාල පරිප්පු උයමුද…”

සසංක පොඩි කොලු ගැටයෙකු ගේ උනන්දුවෙන් විමසී ය. අපරාජිතා මන්දස්මිතයකින් හිස සැළුවා ය. පාසි හා මීවන ද ටෙරාරියම් සඳහා අවශ්‍ය වෙනත් අඩුම කුඩුම ද සොයා ගන්නට ඔහු උදේ වරුව වැය කළේ ය. දේශිකාත් ඉන්නා එකේ උයනා එකකින් කෑම ටිකක් දෙන එක යුතුකමක් සේ අපරාජිතා ට දැනිණ.

කොච්චි බැදෙනා සුවඳ හාත්පස සිසාරා ගියේ ය. ඔහු ට උඩු මහලට අරයුම් ලැබෙන තෙක් සසංක ගෙතුල සක්මන් කරමින් සිටියේ ය. නමුත් අපරාජිතා සුදු හාලේ බත් ද කහ පාටට පිසු පරිප්පු හා කොච්චි දැමූ කරවල බැදුම ද වෙන වෙන ම බඳුන් වලට දමා දේශිකා අත පහළට යැව්වා ය. දේශිකා සසංක ව උඩු මහලට කැඳවන්නට එදා අපරාජිතා සමග රණ්ඩු කළේ නැත. 

සසංක බත් කමින් සිටියදී අසේල එහි ආවේ ය. ඔහු ගේ මුවග සාවඥ සිනහවක් ඇඳිණි.

“ගෑනියෙක්ගෙ කෑම වලට පුරුදු වෙනව කියන්නෙ උඹ ඉවරයි කොල්ලො ඈ”

මිතුරා අනතුරු ඇඟවීමක් කළේ ය. සසංක ඒ අදහස ප්‍රතික්ෂේප කළේ සිනහවකිනි.

“දැං මොකද්ද මෙතන ඇත්තටම සිද්ද වෙන්නෙ…එළියෙන් තියෙන පඩි පෙළ කඩල දාල ඇතුළෙන් එකක් දාගෙන දෙන්නා එක ගෙදරකට වෙයි වගේද…”

“ඇයි බං උඹල ඔය කණ්ණාඩියෙන්ම මිනිස්සු දිහා බලන්නෙ…”

සිනහ සරක් වී ද එවර සසංක එසේ ඇසුවේ හිතේ මෝදු වෙන මඳ නො රිස්සුමක් එක්ක ම ය. අසේල කොක් හඬ ලා සිනහ වූයේ ය.

“දැන් එතකොට කොයි කණ්ණාඩිය දාලද උඹ බලන්නයි ලියන්නෙ…අනේ නිකං පලයන් මස්සිනා. අපරාජිතා ඩිවෝස්ඩ් කියල දැන ගත්තට පස්සෙ උඹ සිල් රකින්නම උන්නැහෙ කියල මං දන්නව”

“මචාං…අපරාජිතා කොහොම කෙනෙක්ද කියල එදා උඹ දැක්කනෙ..”

“සසා…මං හිතන්නෙ උඹ මේ අපරාජිතාගෙං විශේෂයෙන් ම පරිස්සං වෙන්න වෙයි. මොකද අනිත් ගෑනු ගැන තිබුණෙ නැති භක්තියක් වගේ එකක් උඹට මෙයා ගැන තියනවනෙ නේ…අන්න ඒක තමයි භයානක..එක පිරිමියෙක්ගෙං මෙහාට පැනපු එකියක්ට තව පිරිමියෙක් පහු කරන එක ඊසි මල්ලි”

“ජරා කතා කියන්නෙපා ඕයි”

සසංක තව දුරටත් අසේල ට පැහැදිලි කරන්නට ගියේ නැත. ඇය ගැන දැන ගන්නට පෙර බොහෝ වාර වල ඇය හමු වෙත්දී සසංක තුළ ඒ ස්ත්‍රීත්වය කෙරේ ආශක්ත බවක් ඇති වූ බව ඇත්ත ය. අදෘශ්‍යමාන වූ රැහැනකින් ඔහු ඈ වෙත බැඳී ගිය බව ඇත්ත ය. නමුත් අපරාජිතා කියන්නේ ඒ මුල් හමුවේ සිට ම අමුතු ගැහැනියකි. ඇය ට ඈ අවට සිටිනා පිරිමියෙකු ගේ අවධානය දිනා ගැනීමේ කිසිදු උවමනාවක් වූයේ නැත. අසේල ලා කෙසේ සිතුව ද අපරාජිතා කියන්නේ දෝරෙ ගලනා මාතෘත්වයට කියනා නමක් සේ සසංක ට හැඟේ. ඈ කෙරේ ඔහු වසඟ වී සිටිනා බව ඇත්තකි. නමුත් එය මිතුරන් සිතනාකාරයේ බාල අදහසක් නොවන බව සසංක දනී. 

අනන්‍යා පෙම්වතියක වී ඇති බව අරවින්ද දැන ගත්තේ අපරාජිතා ට එවූ පින්තූරය ම ඇය අරවින්ද ට ද යැවූ පසුව ය. සිය දෑස් අභියස බෝම්බයක් පුපුරා ගියා සේ අරවින්ද තැති ගත්තේ ය.

“ඔය සම්බන්දෙ නවත්තන්න ඕනෙ. නැත්තං මං ඔයාව ආයෙ ලංකාවට ගෙන්නනව”

ඇමතුමක් ගෙන අරවින්ද සිය දියණිය ට තර්ජනය කළේ ය. ඔහු ගේ අලුත් බිරිඳ රෝෂෙල් නොමනාපයෙන් ඉවත බැලුවා ය.

“මං ඔයාගෙ රූකඩයක් නෙවෙයි තාත්ති. මට අයිතියක් තියෙනව මගෙ ජීවිතේ ඩිසයිඩ් කරන්න. තාත්ති හිතන්නෙ ඔයාට විතරයි ඒ අයිතිය තියෙන්නෙ කියලද…”

අනන්‍යා ගේ ඒ වචන ටික පිහි පහරවල් සේ අරවින්ද ගේ පපුවේ ඇනුණේ ය. ඔහු ගේ අලුත් බිරිඳ සමචචල් සිනහවක් නගා ගත්තා ය.

“හරි ලස්සනයිනෙ දුවෙක් තාත්ත කෙනෙක්ට කතා කරපු හැටි. ඔහොමද ඔයාගෙ එක්ස් වයිෆ් එයාව හදල තියෙන්නෙ…”

රොෂෙල් දෙසට එක් බැල්මක් පමණක් හෙලූ අරවින්ද කාර්යාලයෙන් නික්ම රියට නැගී අරමුණකින් තොර ව රිය පැදවූයේ ය. පාලම් තුන හන්දියෙන් දකුණට හැරී මඳක් ඉදිරියට ගිය හෙතෙම සෙවනැති තැනක රිය නතර කොට අපරාජිතා ට ඇමතුමක් ගත්තේ ය.

“අනන්‍යා මේ විදිහට හැසිරෙන එක ගැන ඔයා වග කියන්න ඕනෙ. මොකෙක් එක්කද අර යාළු වෙලා තියෙන්නෙ…නාකි මිනිහෙක්…ලැජ්ජ නැද්ද එයාට…”

ඔහු ගේ ගිගිරීම අවසන් වූ පසු අපරාජිතා සන්සුන් ව ඔහු ප්‍රශ්න කළා ය.

“දැන් ඔයා මටද ඔය චෝදනා කරන්නෙ…”

“නැතුව වෙන කාට චෝදනා කරන්නද…අම්ම විදිහට තමුං ළමය ගැන හොයල බලපු හැටි තමයි ඔය. ඉගෙන ගන්න කියල ගිහිං කෙල්ල අමාරුවෙ වැටෙයි මනුස්සයො. තමුන්ට ලොකුවට දික්කසාදෙ ඕන වුණා නේද…දැං ඔය මගෙ ළමයව බලා ගන්න හැටිද…”

“දැං ඔය කියන්නෙ ප්‍රයිවට් සෙකට්‍රිත් එක්ක හෝටල් ගානෙ ගිය…සති ගණන් ෆොරින් ටුවර්ස් දාං එයත් එක්ක රස්තියාදු ගහපු ඔයාව දික්කසාද නොකර දිගටම මං මගෙ හස්බන් විදිහට තියා ගන්න ඕනයි කියලද…”

“ගෑනියෙක් වුණාම මිනිහට පොඩ්ඩක් යටහත් පහත්ව ඉන්න ඕනෙ. මේක එහෙම නෑ. පණ්ඩිත ගෑනුන්ට පවුල් ජීවිතයක් ගෙවන්නත් බෑ ළමයි හරියට හදන්නත් බෑ”

“අරවින්ද මේ…ඒ දරුවට ශොක් එකක් වුණේ ඩිවෝස් වුණ ගමන්ම ඔයා මැරි කරන්න යනවයි කියන ආරංචිය ඔයාගෙං ම ලැබුණ එක…එයාට දරා ගන්න බැරි වුණේ එයාගෙ තාත්තිව තව ගෑනියෙක් එක්ක ශෙයා කර ගන්න වෙනවයි කියන එක. එයා ඔයාගෙ තරං වයස පිරිමියෙක්ට ලං වෙලා තියෙන්නෙ නැති වෙලා ගිය ඔයාගෙ ආදරේ හොඳින් හරි නරකින් හරි කොහෙන් හරි හොයා ගන්නවයි කියන ද්වේශයෙන්. ඒ ළමයව ඒ තත්වෙට පත් කළේ ඔයා. නිකං බොරුවට මට චෝදනා කරන්න එපා. මගෙ තුරුල්ලෙ හුරතල් වෙවී හිටිය කෙල්ල එයාගෙ තාත්තගෙ වයසෙ මිනිහෙක් එක්ක එකට ජීවත් වෙන්න අරගන්න ඇත්තෙ එයාගෙංම පළිගන්න. කාගෙන් පළි ගන්න ගියත් රිදෙන්නෙ මටයි කියල එයාට අමතක වුණා”

ඒ අන්තිම ටික කියත්දී, මුලදී අපරාජිතා ගේ ස්වරයේ වූ දැඩි බව දිය ව ගොස් තිබිණ. හැඬුම් බර වූ ඕ අරවින්ද ට නො කියා ම දුරකතන සම්බන්ධය බිඳ දැමුවා ය. අරවින්ද ට දැනුණේ රිය සමගින් ම ඔහු ප්‍රපාතයක් වෙත ගමන් කරන්නා සේ ය. ඇස් කෙවෙනි පුපුරා ගොස් ඔහු ගේ ඇස් වලින් නොනවත්වා කඳුළු ගලා එන්නට විය. අරවින්ද අත් දෙකෙන් මාරුවෙන් මාරුවට ඇස් දෙකේ කඳුළු පිස්සේ ය.

එදා ඔහු ගේ ගමන කෙලවර වූයේ ප්‍රකට සමාජ ශාලාවක ය. මතකය අමතක කරනු වස් ඔහු මී විත හිස් කරමින් සිටි අතර එයින් සිදු වූයේ මතකය තව තවත් මතක් වෙන එක ය. 

අනෙක් කොටස්

More Stories

Don't Miss



Latest Articles

නිබ්බුත ගීත -26

මම සෑම ඍතුවක ම ජීවිතයට ආදරය කළ ගෑනු ළමයෙකු වීමි. කුස ගින්න ඇතුලු දරිද්‍රතාවයේ සියල් අංග අවි අමෝරා අප වට කොට ගත්දීත්...

(අ)හිමි සිහින -230

මිනිස්සු එකිනෙකා හා බැඳෙන්නේ හදවතින් මිස බාහිර උවමනා එපාකම් වලින් නෙවෙයි.ඥාති හිතමිත්‍ර කමක් වුණත් හටගන්නේ එහෙමයි. සුධාරකගේ වැඩිමල් සහෝදරිය...

නිබ්බුත ගීත -25

තාප්පය අයිනේ කහ පාට බෝඩරයක් ව දිස් වන තාරුකා මල් තීරය දිය බත් කර ගෙන වැස්ස වහිමින් තිබිණ. අලුතෙන් උදලු ගෑම නිසා...

රෝගී වූ ගුරුතුමිය අත් නොහැරි පන්තියේ දඟකාරයෝ

පන්තිභාර ගුරුතුමියට අම්මා මෙන් සලකන දරුවන් ඕනෑතරම් හිඳිනවා.එසේ වන්නට ඇය කළ එක් ක්‍රියාවක් ඕනෑවටත් වඩා ප්‍රමාණවත් වන්නට පුළුවන්.නව යොවුන් වියේ පසුවන දරුවන්...

සුහදිනි -75

ලෝක කුසලාන තරග ඇරඹිණ.සකීට මුල් තරග කිහිපය මග හැරෙන බව ඇය දැන සිටියා ය.නමුත් වෙනදා මෙන් සිහින නොපෙනෙන අහස් ගැන ඕනෑවට වඩා...