ශනිදා උදය පුරුදු පරිදි ම නිසංසල වූයේ ය. මල්වත්තගේ නිවසෙහි උදයට සියුම් කලබලයක් වන්නේ සතියේ දින වල පමණි. එද කාර්යාල වලට යන අය නිසා ය. පසු ගිය දින තුනක කාලයේ සන්දේශ් රැකියා ස්ථානයට වාර්තා කොට තිබුණේ නැත. හදිසි තත්වයක් මත ඔහු නිවාඩු අනුමත කරවාගෙන ඇති බව අශ්විනී දැනගත්තේ කාර්යාලයට කතා කොට විපරම් කොට බැලූ අවස්ථාවේ ය.
“මූ නැතිවෙන්න යන්නෙ. අම්ම නැතුව වුණත් ලස්සනට හැදිච්ච එකා… කසාද බැඳපු ගෑනියෙක් නිසා නැති වුණා”
අශ්විනී සිතුවේ කේන්තියකටත් වඩා සංවේගයෙනි. මල්ලී නැතිව ගෙවුණු දින තුන පුරා ම දවසකට සිය දහස් වතාවක් ඈ ඔහු ගේ දුරකතනයට ඇමතුම් ගත්තා ය. එහැම විටෙක ම එය ක්‍රියා විරහිත ය.
“තාත්ති”
දුරේශ් ගේ උදේ කිරි තේ එක අතට ම ගෙන ගොස් දීමෙන් පසු අශ්විනී එකත්පස් වූයේ විශේෂ කතාබහකට බව කාටත් තේරිණි.
“පොලිස් කම්ප්ලේන් එකක් දාල නිකංම ඉන්නැතුව අපි මල්ලිව හෙව්වනං නේද තාත්ති හොඳ…”
“මොකටද…”
දුරේශ් ගේ හඬට නො රිස්සුමක් එක් වී තිබිණ. අමාගී හා සාන්වී උනුන් දෙස බලාගත්හ. ඔවුන් ගේ ඇස් වල තිගැස්ම මුසු කැළඹීමක් මුහු වී තිබිණ.
“අපි දන්නෑනෙ තාත්ති මොකද්ද වෙලා තියෙන්නෙ කියල. අපි මල්ලි එක්ක කතාකරන්න ඕනෙ. අර අම්මණ්ඩි මල්ලිගෙ ඔළුවට මොකක්හරි දාල නිසයි මෙහෙම දෙයක් වෙන්න ඇත්තෙ. අපි දැම්ම මල්ලිව බේරගන්න ඕනෙ. එයාගෙ ජීවිතේ නාස්තිම වෙලා යන්න දෙන්න බෑ”
“නිධී පැහැදිලිවම ලියල තියනව එයා සන්දේශ් එක්ක යනව කියල. ඒ වගේම අලුත් ජීවිතයක් පටං ගන්න යනව කියල. එතනිං එහාට තව කතා තරන්න දෙයක් නෑ ආශ් පුතා. මොකද දැං අපි එයාව කුදලගෙන එන්නද ආයෙ…”
“පුළුවන්කමක් තියනවනං අපි එහෙමහරි කරන්න බලමුකො තාත්ති. මල්ලිට දැන් නෙවෙයි ඔය මෝඩකම ගැන හරියට තේරෙන්නෙ පස්සෙ. ඒක නිසා අපේ වගකීම එයාව ඕකෙං ගලෝගන්න එක. කොහොමත් තාම එයාල බැඳල නෑනෙ”
“බැන්දත් නැතත් සන්දේශ් ඒ වැරැද්ද කරල ඉවරයි. මං මගේ එකාව නාවල පිරුවටේකිං ඔතල මේ ගෙදරට ආයෙ අරං ආව කියල වෙච්ච වැරදි නිවැරදි වෙන්නෑ ආශ්. අර ගෙදර මිනිස්සුන්ගෙ මූණු බලන්න පුළුවන්ද ඊට පස්සෙ මට… ඒ ගෙදරට වෙලා තියන පාඩුව… ලැජ්ජාව… කැළල… ඒව හරිගස්සන්න පුළුවන්ද එහෙම කළා කියල… සන්දේශ් මේ කළේ එච්චර ලේසියෙන් නිවැරදි කරල එයාව සුද්දවන්තයෙක් කරන්න පුළුවන් වරදක් නෙවෙයි ආශ් පුතා. එයාට හිතන්න තිබුණ තව ගොඩක්. ඒ ගෑනි මොනතරං පෙළඹෙව්ව වුණත් එයාට අර කිරිසප්පය ගැන හිතන්න තිබුණ. ඒ ගෑනි ඕන කුදයක් ගහගත්තදෙන් එයාට මේ වරදට හවුල් නොවී ඉන්න තිබුණ. ඒ පවුල පැත්තකින්ම තියමු. එයාට හිතන්න තිබුණ තමුන්ගෙ පවුල ගැන. මාවත් පැත්තකට දාමු. එයා හිතුවද තමුන්ට ඉන්නෙ ගෑනු සහෝදරියො තුන් දෙනෙක් කියල. මේ කරන දේ නිසා සහෝදරියන්ට මොන තරං කැළලක් වෙයිද කියල හිතුවද…ආශ් ඔයා එයාට අම්ම වගේ. එහෙව් අක්කගෙ හිත රිදෙයි කියල එයාට හිතන්න බැරිවුණාද… නෑ ආශ් පුතා. මං එයාව හොයන්නෑ. ඒ වගේම එයාට ආයෙ මේ පැත්ත පලාතෙ එන්නත් බෑ. එන එකකුත් නෑ. තාත්ත කෙනෙක් සහෝදරියො තුන් දෙනෙක් ඉන්නව කියන එක අමතක කරලනෙ එයා ගියේ. දැං ඉතිං එහෙම අය නෑ කියල හිතාගෙනම ජීවත් වෙද්දෙන්”
අශ්විනී ගේ කොපුල් තලා දිග නිහඬ කඳුළු දෙපෙළක් ගලා ගියේ ය. තව එක වරක් උත්සාහ කරන්නට ඇයට සිතිණ.
“ඒත් තාත්ති”
“අපි ආයෙ ඔයගැන කතා කරන්න ඕන නෑ පුතා. යම් කිසි කෙනෙක් අපිව වටින්නෑ වගේ අපේ ජීවිත වලින් යනවනං ඒ අයට යන්න අරින්න ඕනෙ. ඒ වගේ අයට පණ ඇරගෙන ආදරේ කරපු අපිව අහිමි වෙන්නම ඕනෙ. යන අය මත්තෙ නැහෙන්න කාලයක් අපිට නෑ පුතා. මේක හරි පුංචි ජීවිතයක්. එයාලට අපිව එපානං… අපි වෙන අතක් බලමු. එක දොරක් වැහෙනකොට ඇරෙන්න බලාගෙන දොරවල් ඕනතරං තියනව. අපිව එපා මිනිස්සුන්ට නෙවෙයි… ඕන අයටයි අපිව ලැබෙන්න ඕනෙ”
දියණිවරුන් තිදෙනා දෙස බලාගෙන සන්දේශ් නිමිති කොටගෙන කීවා ට, ඒ කාලය පුරා දුරේශ් ගේ හදවතෙහි වැටී තිබුණ හෙවනැල්ල- දරුවන්ගේ අම්මා නිරෝෂා ය. මේ තරම් කාලයකට පස්සේත් මෙහෙම වෙලාවක ඔහු ට ඈ මතක් වේ. නිරෝෂා ඔහුගේ ම මිතුරෙකු සමගින් නික්ම ගියේ නිකං ම නොවේ. දරුවන් හතර දෙනෙකු ගේ බර ඔහු මත පටවා තබා ය. අවුරුද්දක් වයසැති බිළිඳියක ද සමග ළමයින් හතර දෙනෙකු ඇති දැඩි කිරීම තාත්තා කෙනෙකුට පහසු කාරියක් නොවේ. නමුත් ඔහු එක වතාවකටවත් ඇයව යළි බලාපොරොත්තු වූයේ නැත. ඔහු වෙත එන්නයි ඉල්ලා සිටියේ නැත. ආවත් හතර මායිමට වද්දා නො ගන්නා බව, මීට දින දෙකකට පෙර ආර්ය කීවා සේ ම අඩි පොළොවේ හප්පා කීවේ ය. යන මිනිසුන් නික්ම ගිය කල ජීවිතයෙහි ඉතිරි වන්නේ නතර වන මිනිසුන් ය. ඔවුන් වූ කලී තමන්ව අවශ්‍ය අයයි. ජීවිත මත සෙත් පිරිත් සේ ගැයෙන්නේ ඒ මිනිසුන් ය. දරුණු සුළි කුණාටු වලින් එතෙර වෙන තෙක් තදින් අත් අල්වාගෙන සිටිනුයේ එවන් මිනිසුන් ය. හදවත මත සාම කලාපයන් නිර්මාණය කරනුයේ එහෙව් මිනිසුන් ය.
“කුල්ලකින් පෙලිල හුළඟට අහු වෙලා විසිවෙලා යන්නෙ බොල් ඇට පුතාල. සරු හාල් කුල්ලෙම ඉතුරු වෙනව”
දුරේශ් ඒ කීවේ තමන්ට ම සෙයින් මුමුණා ය.
ගෙදර නිහැඬියාව කෑලි කැපිය හැකි තරම් විය. සේපාලිකා, සමන් පිච්ච හා ඇට්ටේරියා මල් සුවඳ පමණක් ගෙතුළ පිරී පැවතිණ. නමුත් මේ දින දෙකෙහි ම අමාගී සේපාලිකා මල් ඇහින්දේ හිතේ නිස්කාන්සුවකින් නොවේ. ගණන් කරගෙන යත්දී කිහිප වරක ම ගණන වැරදිණි. ඒ එක එක කල්පනා හිතට එන බැවිනි. අවසන ඇය ගණන් කිරීම නවතා දමා මල් ටික වට්ටියට එකතු කළා ය.
ජීවිත සදාකාලිකව එක ම ආකාරයකින් පවත්නේ නොවේ. එය විශ්ව ධර්මයයි. අපි එක එක ඍතු හරහා ගමන් කළ යුතු වෙමු. ඒ එක ඍතුවකුදු ප්‍රතික්ෂේප කළ නො හැකි ය. එසේ ම තමන් ගැන විශ්වාසයෙන් තොරව මේ ගමන යා හැකි නොවේ. කවුරුන් ජීවිතයෙන් ගිය ද කවුරුන් අතැර ගිය ද තනිකම ගැන බියකින් තොරව තමන්ගේ ගමන යා හැකි අය සන්සුන් ව එතෙරට යති!
ආර්ය සිය හුස්ම පොද වන් ආයු දෙස බලාගෙන සිතුවිලි ලෝකයක කිමිද සිටියේ ය. වරදට සමාව දී ආයු වෙනුවෙන් යළි නිධී ගෙන්වා ගැනීම නැණවත් ම ක්‍රියාව බව ඔහු ගේ මිතුරන් කිහිප දෙනෙකු ගේ ම අදහසයි. තනිව දරුවෙකු හදන්නේ කෙසේ ද යන්න ඔවුන් ගේ තර්කයයි. කොයි තරම් පිරිස පිරිවරාගෙන සිටිය ද අප හුදෙකලා තනි අංශූන් නොවන්නෙමු ද? යහනේ අනිත්පස නිදමින් ජීවිතය බෙදා ගත් ගැහැනිය පවා ඔහු ට රහසින් කෙතරම් ලොකු සැලසුමක් ඇඳ තිබේ ද? ඒ අනුව ඇය සිටියදීත් ඔහු හිඳ තිබෙන්නේ තනි වී නො වන්නේ ද?
ආර්ය නිර්වාන් මහානාම ඒ තනිකම සුවයක් සේ සිතන්නට කැමති වූයේ ය. කුඩා කල පටන් ම ඔහු තනිකමට ඇබ්බැහි වූ මිනිසෙකි. ඒ තනිකම ගැන විශ්වාසයෙන් සිටියේ වී නම් අද මේ කිරිකැටියාට මව් උනුහුම අහිමි වන්නේ නෑ නොවේද?
“මා…”
යි කියාගෙන ආයු අවදි වූයේ ය. ඔහු ළඟින් තාත්තා ඉන්නවා දැකි සිඟිති මුවෙහි කිරි සිනහවක් ඉතිරිණි.
“තාත්ති නෙවෙයිද ඕනෙ… ආ… මාද ඕනෙ…”
ආර්ය සිඟිත්තා ගේ උදරය සිප ගනිමින් කිති ගැන්වූයේ ය. ආයු මහ හඬින් සිනහ විය.
හිතූ තරම් වදයක් ආයු ආර්ය ට දුන්නේ නැත. එක ම දේ ඔහු ට සෙල්ලම් කරන්නට අමාගී ඕන විය. ඇගේ මුළු දවස ම ගෙවුණේ ආයු එක්ක ය. එක්කෝ මහානාම ගෙදර ය. නැත්නම් මල්වත්තගේ ගෙදර ය. හැන්දෑවේත් අමාගී ට තුරුලු වී ඇගේ යහනෙහි ඔහු හොඳට නිදාගත්තේ ය. පුතා බලන්නටත් එක්ක ආර්ය මල්වත්තගේ ගෙදර පැත්තට ආවේ ඒ ඔහු ගේ යුතුකමක් කොට සලකා ය. දුරේශ් සමගින් ඔහු ටික වෙලාවක් කතා කරමින් සිටියේ ය. මල්ලිලා වාගේ ඔහු එහි යන පුරුද්දක් නැත ද දුරේෂ් සමග කතාව ආර්ය ගේ හිතට අලුත් ශක්තියක් ගෙනාවේ ය. මිතුරන් විසින් ඔහු තුළ ඇති කොට තිබූ අවිනිශ්චිත දෙගිඩියාව තුරන් කොට දමන්නට එය හේතු විය. දුරේශ් අංකල් දරුවන් හතර දෙනෙකු තනිව හදා ගත්තා නම් මට එක්කෙනෙකු හදන්නට බැරි ඇයිදැයි ඔහු ස්වයං ප්‍රශ්නයක් නැගුවේ ය.
අශ්විනී තනා දුන් තේ එකක් බී, ඇගේ යෝජනාව මත, ඈ විවර කළ තිර රෙද්ද අතරින් ආර්ය මොහොතකට අමාගී ගේ තුරුලේ නිදනා ආයු ව දුටුවේ ය. අමාගී ගේ සුරත පුතු වටා ගොස් ඔහු ඇය තුරුලේ බව සුරක්ෂිත කොටගෙන තිබේ. ආර්ය ගෙන් සුසුමක් ගිලිහිණ.
අමාගී ට වටිනා යමක් තිලිණ කරන්නට ආර්ය සිතුවේ ය. නමුත් ඒ කුමක් ද? කොහොමත් ඔහු ගෑනු ළමයින්ට තෑගි ගන්න දන්නා විදිහේ පිරිමියෙකු නොවේ. නිධී බලාපොරොත්තු වූයේ මුදල් ය. ඔහු මුදල් දුන් විට ඇය ඇයට අවශ්‍ය දේවල් මිල දී ගනී. එවිට දෙපැත්තට ම පහසු ය. බොහෝ කල්පනා කිරීමෙන් පස්සේ, එදා රාත්‍රියේ අමාගී ආයුව නිදි ගන්වාගෙන ගෙනැවිත් කාමරයේ යහන මත තැබූ වෙලාවේ ආර්ය හිතට දිරි ගත්තේ ය.
“මේ වෙලාවෙ අමාගි මේ විදිහට ආයු ළඟින් ඉන්න එක මට ලොකු සැනසිල්ලක්. මං තෑගි ගන්න දන්නෑ. ඔයා කැමති දෙයක් කැමති ගාණක් වියදං කරල මේකෙන් ගන්න”
තතනා කියමින් ඔහු සිය ඩෙබිට් කාඩ්පත අමාගී වෙත පෑවේ ය. ඇය බලා සිටියේ ඇස් වඩාත් හකුළාගෙනයි. හකු තද කරගෙන කාඩ්පත ඔහු ගේ අතින් ඇද ඇඟිලි දෙකට ගත් ඕ එය ඔහුගේ මූණ ඉදිරියේ ම විසි කොට දැමුවා ය.
“ළමය බලාගන්න ආයා කෙනෙක් ගන්න එකයි ඇත්තෙ”
කියා ගස්සාගෙන ඕ පියගැට පෙළ දිව ආවේ “මණී ආන්ටී” යි කිහිප වරක් හඬගාමිනි. මණී පමණක් නොව ශාක්‍ය හා පූජන ද රුසිරු ද සිය කටයුතු වලින් මොහොතකට මිදී අමාගී වෙතට අවධානය යොමු කළහ.
“අරයට කියන්න මණී ආන්ටි ආයු බලාගන්න සල්ලි දීල ආයම්ම කෙනෙක් ගන්න කියල”
“ඇයි මාගි… මොකද වුණේ..”
මණී ගේ ස්වරය වෙව්ලා ගියේ ය.
“එනව මෙතන සල්ලි දික්කරගෙන. මං මේ ආයු බලාගන්නෙ සල්ලි වලට කියල වෙන්නැති එයා හිතං ඉන්නෙ. එයාගෙ මහලොකු සල්ලි… මගෙ බල්ලටවත් එපා. ඔය උද්දච්චකම නිසා වෙන්නැති අර නිධී යන්නත් ඇත්තෙ”
ඒ අන්තිම ටික කියත්දී අමාගී හඬ අඩු කළා ය. ඒ අන්තිම වාක්‍යය කිව යුතු ම නැති එකක් බව ඇයට හැඟෙමින් තිබුණේ අන්තිමට ය. කියාගෙන යත්දී ය.