පාපොච්චාරණයක් ලෙස යමෙකු මෙය දකින්නට පුළුවන් වූවද එය එසේ නොවේ. මෙය මා විසින්ම මට කියාගන්නා වූ කතාවක් මිස කිසිවෙකු ඉදිරියේ, කිසිවෙකු වෙනුවෙන් මා විසින් කරන පාපොච්චාරණයක් නොවේ.
බොහෝ අය මෙන්ම මමද ප්‍රේමය හැඳිනගත්තා යැයි සිතූ කාණ්ඩයකට අයත් විමි.එකී ප්‍රේමය නිසාවෙන්ම විවාපත් වන්නට තීරණය කළෙමි. සත් වසරක ප්‍රේමයක් විවාහයෙන් කෙළවර වීමට යාම පිළිඹඳව මාගේ දෙමාපියන්ද, මිතුරු මිතුරියන්ද, නැදෑ හිතවතුන්ද අතිශයෙන්ම ප්‍රමෝදයට පත් වූ අයුරු මම දෑසින්ම දුටිමි.සවනින් ඇසුවෙමි. ( ඔවුන් සතුටු වූයේ හදවතින්ම දැයි මම සැබවින්ම නොදන්නෙමි)
අවුරුදු හතක් පුරා කරගෙන ආ ප්‍රේමය, නීති සම්මත කරන දිනය නියමිත කරගත් පසු ආවේ කළබළකාරී කාලයක් බව මා අමුතුවෙන් ඔබට කිවයුතු නැත.නැකත් සාදා, දින නියම කරගෙන, එකී දිනය ආරාධිත සැමගේ මන දොළ පිනවන එකක් බව කිරීම සඳහා මපියාණන් මෙන්ම පුංචි පහේ රැකියාවක් කළ මා විසින්ද විටින් විට එකතු කළ මුදල්ද එක්කාසු කොට ඇඳුම් පැළඳුම් ගැනීමට,හොඳම රූපලාවණ්‍යය ශිල්පිනියක් හමුවී “අන්දන” ආකාරය තහවුරු කර ගැනීමට, පෝරුව, සැරසිලි, මගුල් කාර් මෙන්ම හෝටලයක් වෙන් කර ගැනීම සඳහාද අප විසින් පූජා කරන ලද්දේ අසතුටකින් නොවේ. “එකම දූ නිසා ලකේට බන්දල දෙන්න ඕන” යන මව් දෙමව්පියන්ගෙ හැඟීම මෙන්ම “ලස්සනට වෙඩින් එක ගන්න ඕන” යන මගේ හැඟීම්ද මූලික කොට හද පත්ලෙන්ම නැග ආ සන්තුෂ්ටියකිනි.
ප්‍රේමය නම් සඳ එළිය සේ අචින්ත්‍ය බවද, මලක සුවඳ සේ හදවතින් හදවතට විහිද විසිර යන බවද “ඔහු” මට හමුවූ “එකෙන්ම ගැළපෙන” පුද්ගලයා බවද මිතුරු මිතුරියන් අතර මා ගැසූ පම්පෝරිද අඩු නොවේ.
සැබවින්ම මා මගේ ප්‍රේමය ගැන හැබෑවටම සතුටු වූවෙමි.පළමු පෙම්වතා සමග දීග යන්නට බොහෝ අයට නොහැකි වන කාළයක මාගේ පළමු පෙම්වතා සමග වසර හතක ප්‍රේමනීය කාලපරිච්ඡේදයක් අවසානයේ, විවාපත් වීම මට අරුමයක් මෙන්ම ආඩම්බරයක්ද විය.
නමුත් ගැටළු ඇරඹුණේ මට රහසින් මෙන්ම කාලාන්තරයකට පසු හදවතට පෙර මාගේ බුද්ධිය වැඩ අරඹා තිබුණි.
දන්නා කාලයේ සිට මා සිහින මාළිගා ගොඩනැගුවේ සිඟන්නෙකු වුවත් යහපත් කල්කිරියාවකින් වැඩ කරන අයෙකු හා විවාපත් වීමටය. මපියාණන් මෙන්ම සුරා සූදුවෙන් තොර, අන් ස්ත්‍රීන් සමග වැඩි කොමළ කරන්නට නොයන, ඉවසිලිවන්තයකු සමග දීග යෑමටය. බොරු පොෂ් සීන් නොව පොළවෙ පයගසා සිටින, දුව පැන වැඩ කරන්නට හැකියාව ඇති, මා පිළිබඳව නිරතුරුවම සොයා බලන, මා පිළිබඳව ඇති උනන්දුව කිසි දිනක හීන නොවන, මට බොක්කෙන්ම ලව් කරන කොල්ලෙකු සොයා ගැනීමටය.
එලෙස අදහස් දැරූ මම පස්සෙන් එන හැම කොල්ලෙක්ගෙන්ම මුලින්ම ඇසූ ප්‍රශ්ණය වූයේ ” ඔයා බොනවද?” කියන එකය. “පිස්සුද නංගි මම අරක්කු කියන වචනෙ ලියන්නවත් දන්නෙ නෑ” කියන සත්‍ය ප්‍රේම භෘංගරාජයන් ගැන ඔවුන්ටද රහසින් සොයා බලා අවසානයේ මට හිමි මා හිමි “ඔහුව” සොයා ගන්නට මට සෑහෙන උත්සාහ දරන්නට වූයෙමි.
ප්‍රේමයේ පළමු වසර ගෙවීගියෙ සැබවින්ම සෞන්දර්යාත්මක ලෙසිනි.” හොයාගන්නවනම් අනේ අපේ අයියා වගේ කෙනෙක් හොයාගන්න.බලන්නකො බොන්නේවත් නෑනෙ” කියා ප්‍රේමය ගැන නොදත්, ප්‍රේමවන්තයකු සොයන මිතුරියන්ට උපදෙස් දෙන කන්සල්ටන්ට් කෙනෙක් වන්නට තරම් මට මගේ ප්‍රේමය ඉහළ සුදුසුකමක් විය.
හැමදේම කණපිට හැරෙන්නට ගියේ අසුරු සැනකි. පෙරලුනු පැත්ත හොඳයැයි කියා සිතින් දුක්විඳිමින් කාලය ගත කරන්නට පරාජය භාර ගන්නට මා සූදානම් වූයේ නැත. “හරි කමක් නෑ එහෙනම් බියර් එකක් විතරක් බොන්නකො” කියා ඔබව ශේප් කරගන්නට මට සිදුවූයේ “මම බොන්නෙ නැහැ.ඔයා අකමැතිනම් කොහෙත්ම බොන්නෙ නෑ” කියා මා හමුවේ අනෙක පෙම්බස් දොඩා පසු කාලීනව චුට්ට චුට්ට බොන්නට පටන් ගත් ඔබේ කල්කිරියාව නිසාවෙනි.
බියර් එකකින් පටන් ගත් ඔබේ ගමන අවසානයේ අරක්කුද, ඊටත් එහා ගිය මා නම් නොදත් අනෙක පානයන්ගෙන් නොනැවතී ත්‍රෛලෝකවිජයා හොයා යන්නට තරම් දියුණු වූ තැන අප අතර රණ්ඩු හටගන්නට විය. මා මත්තේ වරද දමා බීමතින් මිතුරන්ගෙ කරපිටින් ඔබ ගෙදර ආ වාරද, එවන් වාර වල ඔබ ගෙදර එනතුරු නොනිදා රැය පහන් කල, ” ඔයා පරිස්සමෙන් ගෙදර ආවද” කියා අසන්නට දුරකතන ඇමතුම් දුන් විට බැණුම් අසන්නට සිදු වූ මම අකම්පිතව සිටියෙමි.
එවිටත් මට හැමදේටම වඩා වැදගත් වූයේ මගේ කුළුඳුල් ප්‍රේමය රැකගැනීමය. බීමතින් ගෙදර පැමිනි දිනයන්ට පසුදා උදෑසන කිසිවිටක ඒ පිළිබඳව සමාව ඉල්ලීමක් හෝ නොකල ඔබට මා නිහඬවම සමාව දීම මා විසින් කරන ලද පළමුවන වරද ලෙස මා අදටත් දකී.
හීන්සැරේ ත්‍රෛලෝකවිජයා භාවිතා කරන්නට ඇරඹූ ඔබ, “ඔයා ඉස්සර ගංජා ගහනව කියල මට කිව්වෙ නෑනෙ ඒයි” කියා ඒ පිළිබඳව ඔබෙන් ඇසූ විට දුන් පිළිතුර ට දිය යුතු ප්‍රතිඋත්තරය කුමක්දැයි අදටත් ගැටළුවක්ව පවතී.
“ගංජා කියන්නෙ නරක දෙයක් නෙවෙයි. ඒක බෙහෙතක්.ගංජා ගැහුව කියල නරකක් වෙන්නෙ නෑ.එහෙනම් ඊට වඩා ඔයා ඔය චොකලට් එහෙම කන එක නරකයි.සීනි කියන්නෙ හොඳම නැති දෙයක්.අනික මම මේ කිසිම දෙයක් නිසා මම අපේ අෆෙයාර් එකට ප්‍රශ්නයක් වෙන්න දෙන්නෙ නෑ.මම ඔයාව කවදාවත් රවට්ටන්නෙත් නෑ”
එවන් වූ සුපිරි ගණයේ පැහැදිලි කිරීමක් මට ලබා දුන් ඔබ හමුවේ මා නිරුත්තර වීම පිළිබඳව මට පුදුමයක් නොවිය.මක්නිසාද යත් මම ඔයාව කවදාවත් රවටන්නෙ නෑ කියූ ඔබට දීමට මට තිබූ එකම පිළිතුර නම් “යාලුවෙද්දි ඔය මුකුත් කරන්නෙ නෑ කියපු එකත් රැවටිල්ලක් තමයි” යන්නය.
කාලය ගත වීමත් සමග ඔබ විසින් මා අත්හැර දමන ලද්දේ ඉතාම සූක්ෂම ආකාරයකිනි. ප්‍රේමයේ පළමු අවදියේ මා පිළිබඳව ඉතාම උනන්දුවෙන් සොයා බැලූ, රෑ බෝවී ගෙදර එන මා පරිස්සමෙන් ගෙදර ගොස් ඇරලූ ඔබ කාලයත් සමග මාව අමතක කල, මිතුරන් මූලික කරගෙන ඔවුන් හමුවේ මගේ වැරදි කියමින් මා සමච්චලයට ලක්කරන්නට තරම නින්දිත සිතක් ඇත්තෙකු වූයේ කෙලෙසකදැයි මට අදටත් පුදුමය.
මාස ගණනකට පසු හමු වුවද උණුසුම් සිප ගැනීමක් තබා, ප්‍රේමයෙන් බලන බැල්මක්වත් ඔබෙන් හිමි නොවුණද ඔබ සමග සම්බන්ධය තවදුරටත් පවත්වාගෙන යාමට තරම් මගෙ සිත තුළ ඔබ වෙනුවෙන් ප්‍රේමය ඉතිරිව තිබුණි. සමාජය් හමුවේ ලැජ්ජාවට පත් වේ යැයි බියක් හද තුළ තිබිණි.
පොඩි දේටත් බැණ වදින, මා ගණන් නොගන්නා ඔබ පසුකාලීනව “ඔයා දැන් කතාකරන්නෙ නැත්තෙ ඇයි” කියා අසන විටද වරද මගේ බවත් රැකියාව සහ ඉගෙනීම නිසා මා කාර්‍යබහුල වීම ඔබට ගැටළුවක් වී ඇති බව පවසා රණ්ඩු වීම හැර ඉඩ තිබුණ හැම මොහොතේම මා ඔබට කතා කල බවත් එවන් අවස්තාවල ඔබ මා මග හැරිය බවත් ඔබට අමතක වූයේ කෙසේදැයි මගෙන්ම ප්‍රශ්න කළෙමි.
“අෆෙයාර් එකක් ඇතුලෙ ප්‍රශ්නෙ ඇතිවීම සාමාන්‍යයයි. ඕව බැන්දම හරි යනව” යැයි බොහෝ අය කී නිසාවෙන් මෙන්ම, කුළුඳුල් පෙමට පිටු පෑම හිතට හරි මදි නිසා සහ සමාජයෙන් ලැබිය හැකි ගැරහුම් වලට ඇති බිය නිසාවෙන් විවාපත් වන්නට තීරණය කර තිබුනේ හිතට එකඟව නොවන බව මට වැටහෙන්නෙ දැන් ය.
නොනිදා පහන් කළ රැයකට පසුව උදෑසන සැලෝන් එකට යන අතතුරදී මෙන්ම, මේකප් දමා ඔලුවේ මල් ගසා සාරි අන්දවා සරසන අතරතුරද, හෝටලයට එන අතරතුරත් ඉන් අනතුරුව මගුල් බෙර හඬ මැද පෝරුව වෙත එන අතරතුරද මගේ සිත යකාගේ කම්මලක් මෙන් විය.
මේ මට මගේ ප්‍රේමය ගැන තීරණයක් ගැනීමට ලැබුණ අවසන් අවස්තාව වග මම තේරුම් ගතිමි. පෝරුවට නැග අශ්ටක කීම ඇරඹෙනු සමගම මට දැනුනේ වැරදි තැනක වැරදි වෙලාවක වැරදි පුද්ගලයකු සමග වැරදි සම්බන්ධයකට දැන දැනම මුල පුරන්නට යන අයෙකුට දැනෙන හැඟීමය. පශ්චත්තාපයය.
ඔබ නොදුටුවා වුව මට වටිනකමක් ඇත.මට අපහාස කල ඔබෙ එකෙක් වන අතර මට ගුණ කථන කරන්නට දහසක් මට සොයා ගත හැක. ලස්සනට ඇඳ පැළඳ මෙහි ආ බව ඇත්ත නමුදු තවත් “ඇන්දෙන්න” මට නොහැක. ඉතින් මම තීරණය කලෙමි.තීරණය ගතිමි. පෝරුවෙන් බැසිමි.සැවොම ඉදිරියේ මා දෙමාපියන්ට සමාවන්න යැයි කියුවෙ ඔබ වන් අයෙකු සමග ප්‍රේමයෙන් බැඳුනාටය.මේ තීරණය කලින් ගන්නට පමා වූවාටය.
මත් පැන් වලට ඔබේ ඇති රුචිකත්වය, ගංජා ගැසීම ගැන මගෙ විරුද්ධත්වයක් නැත. මා විරුද්ධ වූයේ ප්‍රේමය අරඹද්දී එසේ නොකරන බවට ඔබ දුන් බොරු පොරොන්දු වලටය.
ඔබ මා ගැන නොසලකා හැරීම මට ගැටළුවක් විය.මන්ද එසේ නොකරන බවට ඔබ දුන් බොරු පොරොන්දු නිසාය.
“මම බොන කෙනෙක් ගංජා ගහන කෙනෙක් ඔයා ගැන වැඩිය හොයන්න මට වෙලාව නෑ” කියා ඔබ මුලදීම කියුවානම් මේ ගමන අප එක්ව නොඑන අතර මගේ හිතේ ඔබ ගැන වැරදි හැඟීමක් ඇතිවන්නේද නැත.
මා අකමැති දේ කරන්නට ඔබට අයිතිය ඇත .එනමුත් එකිනෙකා අකමැති දේ කරමින් අපට සම්බන්ධයක් තුල සතුටින් සිටීම ඉතා අසීරු බව ඔබ කෙසේ වෙතත් මම තේරුම් ගතිමි.
“කසාද බැන්දම පුතේ ගෑනියෙක්ට හොඳට ඉවසන්න වෙනව.හොඳටම ඉවසල තව ඉවසන්න වෙනවා” යැයි අපෙ අම්මා දුන් ඔවදන් මට පසෙක ලන්නට වූයේ තව දුරටත් ඉවසීම තවදුරටත් කල නොහැකි වූ නිසාවෙනි.
ඔබව අතහරින්නට තිබුනේ පෝරුවට නගින්නටල කලියෙන්ය. දුම් පානය ශරීරයට අහිතකර යැයි කියා පලතුරු සුවඳැති කුමක්දෝ මා නොදත් දුම් උරනයකින් උත්සව අවස්තාවක මහ සෙනගක් මැද දුම් පිඹන ලද අවස්තාවේ ඔබව අත හරින්නට තිබිණි.
ඔබ වෙන කාන්තාවක සමග වැරදි සබඳතාවයක පැටලී ඇති බව මිතුරියක කියූ අවස්තාවේ හඬමින් ගෙදර පැමිනෙන විට, මිතුරන් සමග විනෝද වෙමින් සිට මා ගනන් නොගත් අවස්තාවේ ඔබව අත හරින්නට තිබිණි.
මා හඬන විට කඳුලු නොපිසදැමූ අවස්තාවේ ඔබව අත හරින්නට තිබිණි.
කොටින්ම මට ඔබව අවශ්‍ය වූ හැමවිටකම මා ගනන් නොගත් අවස්තාවේ ඔබව අත හරින්නට තිබිණි.
මා පමා වූවද තවත් පමා වන්නට මට අවැසි නොවූයෙන් මා තීරණය ගතිමි.ඉතින් මා වැරදි නැත. තව දුරටත් ඉවසීම කල නොහැකි වූ නිසාවෙන් මගේ සතුට තෝරාගත් මම වැරදි නැත.
ඔබ මා වරද කරුවෙකු ලෙස හංවඩු ගැසුවද, අවිනීත විලි ලැජ්ජ නැති කෙල්ලෙකුයැයි කීවද මා සැබවින්ම වැරදි නැති බව මම දනිමි.ඉතින් දුක් වෙනු කුමකටද? මට හෙටක් ඇත.ඒ හෙට වෙනුවෙන් අප්‍රමාදව කටයුතු කරන්නට මට කාලය ඇත.
ඉතින් මම විවාහය අතරමැද හැරදැමුවෙමි…
(සිතුවිල්ලක් පමණි)
-උදතාරී-
ReplyForwardAdd reaction |