දහ තුන් වැනි මල්දම
නිම්නාවී උදෑසන වැඩ කටයුතු අවසන් කරගත්තාය. ස්වර්ණාව නෑවීම සිතූ තරම් අපහසු නොවූවද , ඇයට එය නුහුරු වූ නිසා වැඩි කාලයක් ගත විය. ස්වර්ණා ඒ ගැන අවධානයෙන් සිටීදැයි බිය වූ නිසාම , ඕ ඒ බව දැනගන්නට මෙන් ස්වර්ණා සමඟ කතා බස් කරමින් අවධානය බිඳ දමන්නටද උත්සාහ කලාය.
උදෑසන ආහාරයද ඇයට ලබාදී, ඖෂධ ලබාදීමෙන් පසු ව්‍යායාම සඳහාද නිම්නාවී පැය බාගයක් වෙන් කලාය. ඉන් පසුව ඇයද ඉක්මනින් ගත දොවාගත්තාය. යළි සිතී හිසද තෙමුවාය. දිලුම්ගේ මිතුරාගේ බිරිඳගෙන් ඉල්ලාගෙන ආ අනෙක් ඇඳුමට මාරු වූවාය. පෙර දිනයේ ඇඳ උන් ඇඳුම සෝදා වැලට දැම්මාය.
මන්දාරම් පිටත්ව ගොස් තිබුණේ රෙදි සෝදන යන්ත්‍රයේ වූ රෙදි වේලෙන්නට දමා බව නිම්නාවී දුටුවේ එවෙලෙහිය. තාත්තා නම් කිසිදිනෙක එවන් දෑ නොකරන බව නිම්නාවී දනී. තාත්තා තියා අම්මාවත් නිවසේ වැඩ කටයුතු වෙනුවෙන් කිසිවක් කරන බවක් නිම්නාවීට මතක නැත. මතක ඇති කාලයේ සිටම අඩුම තරමේ එක් අයෙකුවත් අත් උදව්වට උන්නේය. ගෙදරක් කියා බිත්ති හතරක් තිබී පලක් ඇතිද?
මන්දාරම් වෙනුවෙන් හටගත් මන්දස්මිතය එවරද සැඟවුණේ කිසිවෙකු නොදැකමය. නිම්නාවී උදෑසන ආහාරයද ගෙන ස්වර්ණාගේ කාමරයට පැමිනෙන විට ස්වර්ණා කිසිවෙකුට යමක් පැහැදිළි කරමින් , අවධාරනය කරන්නට උත්සාහ කරමින් උන්නාය. ඇය ඇමතුමේ සිටිද්දී තමා කාමරය තුල සිටීම නොයුතු බව වටහා ගත් නිම්නාවී යලි සාලයට ගියාය.
” ඇයි ඒ ඇන්ටි මම එහෙට මෙහෙට වෙනකල්ම ඉඳලා කෝල් ගන්නේ.. අනෙක , ඒ කෝල් වලට පස්සේ ඇන්ටි සෑහෙන්න ෆ්‍රෙශ් වෙලා ඉන්නේත් .. ඔය කතා කරන්නේ මන්දාරම්ට වෙන්න බෑ … ඒත් කිව්වේ මෙයාලට වෙන රිලේශන්ලා නෑ කියලනේ.මාමාලා දෙන්නා නැති වුනාට පස්සේ ඒ පවුල් වල අය දේපල ප්‍රශ්න නිසා ඈත් වුනා කිව්වා නේ .. එතකොට කවුද මේ ?… යලුවෙක්වත්ද?… එහෙම නැත්නම් ඇන්ටිගේ විෂේශ කවුරු හරිද ?….”
දිගින් දිගටම එලෙස සිතෙද්දී ඕ සිතා මතාම සිතුවිලි නවතාගත්තාය. තමාට අදාල නැත. ඒ ඇයගේ පෞද්ගලික ජීවිතයය. සාලයේ මේසය මත තබා තිබූ නිම්නාවීගේ කුඩා ජංගම දුරකතනය නාද වූයේ එවෙලෙහිය. ඇය මන්දාරම්ට ලබා දුන්නේ ඇය සාමාන්‍යෙන් භාවිතා කරන අංකය නොවේය. ඒ නිසාම ඒ මන්දාරම් බවට සැකයක් නැත.
” මන්දාරම් මහත්තයා….”
” නිම්නාවී .. කොහොමද වැඩ ?….”
මන්දාරම් විමසුවේය.
” මිස්ව නාවලා , උදේට කන්න දුන්නා මහත්තයා… බෙහෙතුත් බීලා, එක්සයිස් කරා … දැන් නම් කෝල් එකක ඉන්නේ… දොඩම් එකක් බොන්න දෙනවා ටිකකින් .. ලතා ඇන්ටි හදනවා ….”
අම්මා ඇමතුමක බව කියද්දී මන්දාරම්ට යම් නුහුරක් දැණුනද ඔහු ඒ ගැන නොතකා සිටින්නට උත්සාහ කලේය. ඉන් පසුව නිම්නාවී ගෙන් අනෙක් තොරතුරුද විමසුවේය.
” ඔය සාලේ සුදු පාට දොරක් එක්ක තියෙන්නේ මගේ ලයිබ්‍රි එක .. නිම්නාවී ට අවශ්‍ය නම් පොතක් අරගෙන කියවන්න .. දවල් වරුවේ අම්මා ඉතින් ශේප් එකේ ඉන්නවනේ.. හැබැයි සිහියෙන් ඉන්න හරිද ?..”
නිම්නාවී කෙළ පිඬක් ගිල්ලාය. බැරි වෙලාවත් වස්සාන සිහිනයේ ස්තාන මාරු වී ඇති බව ඔහු සොයාගෙන ඇතිද ?
” හරි … මන්දාරම් මහත්තයා …”
” මොකද නිකන් ඒක හොරකමට වගේ කිව්වේ ?…”
මන්දාරම් එවර නිම්නාවීව තවත් තැති ගන්වන්නට සිතමින් ඇසුවේය. එය ඔහු සිතා මතා කල දෙයක් නොවේය. සැලසුමකින් තොරවම වචන ඉස්සර වුයේය.
” නැ ..නෑ .. එහෙම නෑ …”
” වස්සාන සිහිනය කියවලා නැද්ද ?…”
නිම්නාවි උන්නේ ජනේලය අසල සිටගෙනය. ඕ ජනේලයට සිරස් අතට ගසා තිබූ සුදු යකඩ කූර තරයේ අල්ලා ගත්තාය. එසේනම් ඔහුට එය හසු වී ඇත.
නිම්නාවී නිහඬව සිටින බවත් , ඇය කල හොර පූසියගේ රාජකාරිය තමා අල්ලාගෙන ඇති බව ඇය වටහාගෙන ඇති බවත් වටහා ගත් මන්දාරම්ගේ මුව මතද සිනහවක් වැටුනේය.
” මං නිම්නාවිට කිව්වා ලයිබ්‍රි එක පාවිච්චි කරන්න කියල පුතේ .. කෙල්ල පවු නැත්නම් … ඔයා කී එක දොරෙන් තියන්න ….”
අම්මා එසේ කී පසු ඊයේ රාත්‍රියේම තමා පුස්තකාලය තුළට රිංගාගෙන දෑස් එහෙ මෙහෙ යවද්දී , සන්නස්ගලයන්ගේ එක් පොතක් අඩු බව ඉතා ඉක්මනින් වටහා ගත් බවත්, ඉන් පසුව එය ඒ රාක්කයේම අනෙක් තැනක තිබී සොයා ගත් බවත් ඒ සිනහවෙන් කියවා ගන්නට එවෙලෙහි නිම්නාවීට හැකි වූයේ නැත.
” සො ..සොරි මහත්තයා …. මං ආයේ ඒ රූම් එකට යන්නේ නෑ ….”
නිම්නාවී උන්නේ හැඬෙන්නට ඔන්න මෙන්නය. මන්දාරම් කෑ ගසා බැණ වදීවියැයි ඕ බිය වූවාටත් වඩා, මන්දාරම්ගේ විශ්වාසට අහිමි වීම තුල ස්වර්ණා රැක බලාගැනීම අහිමි වේවිදෝය යන බිය ඇයට දැනුනේය.
” ඕ ඕ.. දැන් මම එහෙම දෙයක්ද කිව්වේ ?… මිනිස්සු අතින් අත් වැරදීම් වෙනවා නිම්නාවි .. එතකොට කරන්න ඕනි ඒ අදාල වැඩේ නොකර ඉන්න එක නෙවෙයි … තේරුනද ?…ඒක නොවැරදි කරගෙන ඉස්සරහට යන එක ….. අනෙක එහෙම ල්‍යිබ්‍රි එකක ඒ පොත එතනම තියෙන්න ඕනි කියලා නීතියක් නෑ.. ඒත් ඕක මගේ පර්සනල් ලයිබ්‍රි එකනේ.. ඉතින් මම කැමති ඒ පොත ඒ තැන එහෙමම තියෙනවට … නිකන් ඉන්න වෙලාවට, ඇතුලට ගිහින් ඒ තාලේ හොයාගන්න බලන්න .. ඔයාලා තවම තරුණ ළමයිනේ.. පොතක් පතක් කියවලා, ජීවිතේ අනිවාර්‍යෙන්ම අලුත් කරගන්න ….”
නිම්නාවී සැනසීමෙන් හිස සැලුවාය. එහෙත් මන්දාරම්ට එය පෙනුනේ නැත.
” හෙලෝ…”
” තේරුණා …”
” ගුඩ් … හරි …මම එහෙනම් තියනවා ….”
නිම්නාවීගේ සමුගැනීමක් බලාපොරොත්තු නොවීම ඔහු ඇමතුම විසන්ධි කලේය. නිම්නාවී පපුවට එක් අතක් තියාගෙනම සැනසුම් සුසුමක් හෙලුවාය. ඕ සුදු පැහැ දොරෙන් මන්දාරම්ගේ කුඩා පුස්තකාලයට ඇතුළු වූවාය. විදුලි පහන දල්වා තිබුණි.
” මං කරාම වැරදියි .. එයා මෙහෙම කරන්ට් වේස්ට් කරන එව්වා එතකොට හොඳ ඇති … “
නිම්නාවී එවර කෝපයෙන් සිතුවාය. ඉන් පසුව යමක් සිහිවූවාක් මෙන් වටපිට බැලුවාය. කුඩා මේසය මත වූ යමක් විමසා බැලුවාය. විනාඩි කිහිපයකට පසු ස්විච් පුවරුව අසල යමක් අලවා තිබුණි.
” ඔබ පිටව යන විට මා නිවා දමා යන්න…”
නිම්නාවී ඒ දෙස බලා සිනාසුනාය. එය දකින මන්දාරම්ගේ මුහුණ මවාගෙන යලි හිනැහුනාය.
අපේක්ෂා ගුණරත්න