මීදුම් මාරුත -31

විවාහාපේක්ෂිත වයස පසු කරන දියණියන් සිටියදී සමහර මව්වරුන් හිඳින්නේ දැඩි බියකිනි.හොඳ රැකියාවක් කරමින් තමන්ගේ ජීවිතය තමන්ගේ ආකාරයට ගෙන යා හැකි යුවතියන්ට පවා කසාදය අහිමි වීමෙන් සියල්ල අහිම් වේයැයි සිතන අම්මලා බොහෝ ය.නමුත් මාලිකා ඒ කොට්ඨාසයට අයත් නොවේ.භාවනා දඩිබිඩි විවාහයකට සැරසෙද්දී පවා ඇයට ඒ කලබලය ගැන ගැටළු තිබිණ.

“ඔයාට තාම කසාද බඳින්න තරම් වයසක් නෑ චූටි.හොඳට හිතල තීරණයක් ගන්න හොඳේ..”

සැමියාගේ වියෝවෙන් පසු දියණියන් තමන්ට බරක් බව නොසිතූ ඈ නිරතුරුව පැවසුවේ ඒ වචන ය.ඒ හන්දාම ඈ කාව්‍යාව කාට හෝ විවාහ කර දී හිසරදයක් තුරන් කර ගන්නට ද නොසිතන්නී ය.ඇයට ඇති ගැටළුව කාව්‍යා වේදනා විඳීම ය.ඈ සෙනුරගේ වියෝව හන්දා මානසික පීඩනයෙන් ප්‍රතිකාර ගැනීම ය.එය තුරන් වන දවසක් ගැන සිහිනයක් මිස කාව්‍යා නැවත විවාහ කර දෙන සිහිනයක් මාලිකාට වූයේ නැත.

“මං ඇත්තටම මැරි කරන්න ඕනද ආයේ. මං හිතන්නේ ඒක එච්චර හොඳ තීරණයක් නෙවේ..”

කාව්‍යා එසේ අසද්දී මාලිකා නොකැළඹී සිටියේ ඒ නිසා ය.දියණිය ඇගේ ලෝකයක් තුළ ඇයට ඕනෑ අන්දමින් ජීවත් වන්නට තීරණය කරන්නේ නම් එය නොවළක්වන්නට මාලිකා සිතුවා ය.තමන් ඇයට ජීවිතය දුන් බව ඇත්තකි.නමුත් මේ ජීවිතය කාව්‍යාගේ ය.

“පුතේ,ඔයා එහෙම හිතනවනම් ඒක ඔයාගෙ තීරණයක්.එහෙනම් ඔයා ඒක සකුණට කියන්න.ඔයා ආයේ මැරි කරන්න අදහසක් නෑ කියල සකුණට කිව්වම එයා ඔයාව තේරුම් ගනියි..”

ළබැඳි මිතුරෙකු හට වැරදි අවබෝධයක් ඇති වන්නට නොදී ගැටළුව විසඳා ගන්නා ආකාරය ගැන කාව්‍යාට එසේ උපදෙස් දෙන්නට පමණක් මාලිකා ක්‍රියා කළා ය.

නමුත් එවැනි නිදහස් තීරණ නිදහසේ ගන්නට ඉඩ අහිමි කරන්නේ සමාජය බව කාව්‍යාට සිහි වූයේ නැත.එක්තරා උදෑසනක කුකුළා මිටින් ගෙන ඥාති නැන්දණියක නිවසට එනතුරුම කාව්‍යා ජීවත් වූයේ නිදහස් මනසකිනි.

“අනේ අප්පේ වෙච්ච දෙයක් අවුරුදු විසි ගාණකිම්ම කනවැන්දුං උනයි කියන්නේ ගියාත්මේ කරපු පාපයක් ගෙවුණා වෙන්ඩැ දුවේ..”

නැන්දණිය පෙර ආත්මයේ විස්තර දන්නා පරිද්දෙන් හිස සොලවන්නට ගත්තේ කටුස්සියකගේ රූපය කාව්‍යාට සිහි කරමිනි.ඇය සිනාවකින් ඒ කතාව දරා ගත්තා ය.

“වෙන්න තියෙන දේවල් වළක්වන්න කොහොමත් බෑනෙ අක්කේ.අනික මේ කාලේ..”

මාලිකා කතා කළේ අමනාපය සඟවා ගන්නට ප්‍රයත්න දරමිනි.

“ඕක හැදිච්ච වයසක මිනිස්සු පවා ගොඩ යනවනෙ.පුතාට වෙන මොකක් හරි ලෙඩක් තිබ්බද දුවේ?”

මේ ප්‍රශ්නයට දුරකථන ඇමතුම් වලින්ම වසරකට අධික කාලයක් තිස්සේ පිළිතුරු දී කාව්‍යා හති වැටී සිටියා ය.රෝහලේ වෙහෙසකර රාජකාරියේ දින ගණනාවක නිරතව සිටි සෙනුරට ඒ වෛරසය සමඟ සටන් කරන්නට ශක්තිය හීන වන්නට ඇතැයි ඈ දැන් දන්නී ය.එය සෙනුරගේ අම්මා පවා පවසන කාරණාවකි.නමුත් හැම කෙනෙකුම එසේ නොවේ.

“කේන්දර බලල බඳින්න දුවේ ආයේ බඳිනකොට.මරණයක් වෙනව කියල කේන්දරේ නම් අනිවාර්යෙන් තියෙන්නැති.දුවලා ඉස්කෝලේ කාලෙම පැටලිලා හිටියය කියලා මාලි නංගි ඕවා බැලුවෙ නෑනෙ..”

කේන්දරයකට වසංගතයක් සමඟ සටන් කරන්නට හැකිදැයි නොඅසාම කාව්‍යා කරබා ගත්තා ය.

“මං ආයේ මැරි කරන් නෑ නැන්දෙ..”

ඈ වහා කීවේ එනිසා ය.ඥාතිවරිය ඇය දෙස දුක්මුසු දෑසකින් බලා සිටියා ය.

“ආයේ ඉතින් බඳින්නත් අමාරුයිනෙ දුවෙ.කනවැන්දුං උනාය කීවම මිනිස්සු කසාදයක් කරගන්න බයයිනෙ.පොඩි කෙල්ලටත් ප්‍රශ්න ඕවා..”

මේ ගැහැනියට හොඳ දෙකක් කියා පන්නා ගන්නට තරම් ආවේගයක් මාලිකාට පහළ වේ.කාව්‍යා මේවා දරා හිඳීම පමණක් ඇගේ සතුටට හේතු වූවා ය.දියණිය සසැලෙන බවක් පෙනෙන්නට නැත.ඒ ඇයට සුව වෙමින් පවතින බවට සහතිකයකි.

“මං ආවෙත් මඟුල් යෝජනාවක් අරන්නං තමයි මාලි නංගි..”

කාව්‍යාට වඩා පහළොස් වසරක් පමණ වැඩිමහලු මිනිසෙකු ගැන යෝජනාවක් රස කරමින් කියන නැන්දණිය දෙස කාව්‍යා පිළිකුලකින් බලා සිටියා ය.ඇය කියන අන්දමට බිරිඳ මිය ගිය ඒ මිනිසා කාව්‍යා බාර ගන්නට කැමති වීමම කාව්‍යාගේ වාසනාවකි.ජීවිතයේ අත්වැල ගිලිහී ගිය කාව්‍යාට එවැනි මිනිසෙකුගේ හෝ පිහිට නොපතා ඉදිරි අනාගතයක් නැත.කාව්‍යා එබස් අසා සිටියේ ම සිනාවකිනි.

“ඒ මනුස්සයගෙ ළමයි බලා ගන්න මං ඒ මනුස්සයා බඳින එක හින්දා වෙන්නෙ මං ඒ මනුස්සයට පිහිට වෙන එකනෙ නැන්දෙ.මාව බලා ගන්නනං කවුරුත් ඕන නෑ.මට රස්සාවක් තියනව.සෙනුර අරන් දුන්නු වාහනයක් තියනව.අපි හදපු ගේ තියනව.සෙනුරගෙ අම්මලා තාම එයාගෙ දේපලවල එයාට අයිති කොටස් මට එවනව..ඉතින් මට ඇයි කාගෙවත් පිහිටක්..”

කාව්‍යා එසේ අසද්දී ඥාතිවරිය කෝපයෙන් කළු ගැසුණා ය.නමුත් ඇය සැමියා මිය ගිය කාන්තාවකට තනිව ජීවත් නොවිය හැකි ආකාරය ඉන්පසු පැහැදුවා ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles