මල් බිඟුන් – 10

0
7507

මහානාම ලාගේ මතු මහළට හිරු පායනුයේ මල්වත්තගේ වහළට ඉහළිනි. මල්වත්තගේ නිවහන කුඩා තනි මහළේ එකකි. නිදන කාමර තුනකින් ද ආලින්දයකින්, කුඩා බරාඳයකින්, කෑම කාමරයකින්, මුළුතැන්ගෙයකින් හා නාන කාමරයකින් එය සමන්විත වේ. නිරෝෂා හිටි කාලයේ සන්දේශ් ට එක කාමරයක් වෙන් විය. වැඩිමල් ගෑනු ළමයින් දෙන්නා අනිත් කාමරයේ ය. මල්වත්තගේ යුවළ හා අලුත උපන් බිළිඳිය අමාගී ප්‍රධාන කාමරය නිදන කාමරය කරගෙන විසූහ. නිරෝෂා නික්ම ගිය පසු අමාගී ද අක්කලා දෙදෙනා සමග නිදන්නට හුරු වූවා ය. දුරේශ් ප්‍රධාන නිදන කාමරයේ මහා පාළුව තනිව දරාගන්නට පුරුදු විය.
මතු මහළේ නිධී ගේ බැල්කනියට සන්දේශ් ගේ කාමරයේ ජනේලය මැනවින් පෙනේ. උදේට නිදි ඇඳුම පිටින් ම ටික වෙලාවක් බැල්කනියට වී සිටීම ඇගේ පුරුද්දකි. මල්වත්තගේ නිවස වටා වන තණ පළස සහිත මිදුල කුඩා වුව පිරිසිඳු ය. පිළිවෙල ය. ගෑනු ළමයින් ම තුන් දෙනෙකු සිටින නිසා ඒ තරම් ක්‍රමාණුකූල ලෙස ඔවුන් ගෙවත්ත තබාගෙන සිටිති. හැම දාක ම තණ පළස එක ම බිම් මට්ටමකට කප්පාදු කොට තිබේ. සෙවන ද හිරු එළිය ද සමෝසම ලෙස මිදුල පුරා ඉසිර විසිර පවතී. එහි සිට මල් සුවඳ සුළං හමයි. ආර්ය උදේම රැකියාවට නික්ම ගියාට පස්සේ නිධී පමා වෙමින් ළතවෙමින් සිටින්නේ බැල්කනියේ ලා අව්ව වදිමිනි.
සන්දේශ් ගේ කණ්ණාඩි මේසය තිබෙන්නේ ජනේලයට මෙපිටිනි. කණ්ණාඩියෙන් බලාගෙන සැරසෙත්දී, ජනේලයෙන් ඔහුට බැල්කනියේ සිටින නිධී පෙනේ. අව් රැල්ලක් වැදීම නිසා රාත්‍රී ගවුම අතරින් මතු වී පෙනෙන ස්ත්‍රී ලලිත රේඛා මොහොතකට තුරුණු හද කළඹයි. දවසක් දෙකක් ඔහු බැලුවේ ඇයට නො පෙනෙන සේ රහසිනි. නමුත් දවසක් ඒ බැල්ම ඇයට හසු විය. නිධී ලැජ්ජාශීලී සිනහවක් පෑවා ය. නමුත් ඒ ඇස් මත වූයේ ලැජ්ජාවකට වැඩි සරාගයකි. එසේ උදේ කාල වල බැල්කනියත් කාමරයේ ජනේලයත් අතරේ හුවමාරු වූ ඉඟි බිඟි දවසක දුර දිග යනු ඇතැයි සන්දේශ් නම් සිතුවේ ම නැත.
නිධී ආයු ද රැගෙන හැන්දෑ කාල වල මල්වත්තගේ මිදුලෙහි දැකිය හැකි විය. අමාගී ආයු ට පණ සේ ආදරය කළා ය. ඒ අතරේ නිධී ගේ ඇස් සන්දේශ් ළඟ දඟ කළේ ය. අමාගී සමග සන්දේශ් ආයු හුරතල් කරන වෙලාවක, සේපාලිකා ගස යට බංකුව මත වූ සන්දේශ් ගේ දුරකතනයෙහි නිධී සිය ජංගම දුරකතන අංකය ගබඩා කළා ය. එසේ ම ඉන් ඇගේ දුරකතනය හඬවා සන්දේශ් ගේ අංකය ලබා ගත්තා ය.
මුලින් ම ඇරඹුණේ ස්ටිකර හා ඉමෝජි හුවමාරු වීමයි. ඒවා බොහෝ විට විහිළුවට බර ඒවා විය. නව යෞවනියකට වඩා තරුණ ගැහැනියක ගේ ශරීරයෙන් සරාගය වෑහේ. තුරුණු පිරිමි ඇසකට ඒ කාන්දම් මෙනි. ටික ටික කෙටි පණිවිඩ එවන්නට පටන් ගත්තේත් නිධී ම ය. ඒවායේ තනිකමක් ගැන කතා විය. හද දුකක් ගැන ඉඟි විය.
“මොකද්ද අවුල…”
එහෙම දවසක සන්දේශ් ට එහෙම නො අසා බැරි විය. ඈ සිය යුග දිවියෙහි හුදෙකලාව ගැන කීවා ය. ආර්ය ට ඈ ගැන කිසිදු හැඟීමක් නොමැතිකම ගැන කීවා ය.
“ඔය යකාට ඔහොම හරි කසාදයක් බඳින්නවත් හැඟීම් දැනීම් තිබ්බ එකනෙ වැඩේ. අපිනං හිතං හිටියෙ අනගාරික වෙයි නැත්තං පැවිද්දට යයි කියලයි”
සන්දේශ් විහිළුවට ගෙන සිනහ වූයේ ය.
“ආර්යට ගෑනු ඇලර්ජිනෙ. ඌ කෙල්ලෙක් දිහා බලල නෑ මං හිතන්නෙ ඔයාව බඳිනකල්ම”
“බැන්දත් මං දිහා හරියට බැලුවද දන්නෑ”
ඒ ආඩපාලිය තුළ එක ගලෙන් කුරුල්ලන් දෙතුන් දෙනෙකු බා ගැනීමේ අරමුණ වූ බව සන්දේශ් ට දැනුණේ නැත. ඔහු ඈ පව් කියා සිතුවේ ය. ඊටත් වැඩිය නිධී ගේ පිරුණු සරාගී සිරුර ඔහු ගේ නො ඉඳුල් පිරිමි ශරීරයෙහි ශෘංගාරය සරැලි නංවන්නට සමත් විය. නමුත් මේ කතන්දරය මේ විදිහට ලියවේවි යයි ඔහු සිහිනෙනුදු සිතුවා නොවේ.
“මට මේ ගෙදරින් යන්න ඕනෙ සන්දේශ්. උදව් කරන්න ප්ලීස්”
කියා දවසක් ඇය වට්සැප් පණිවිඩයක් තබත්දී ඔහු සිටියේ රැකියා ස්ථානයේ ය. ඉසිඹුවක් ලද ගමන් සන්දේශ් නිධී ට ඇමතුමක් ගත්තේ ය.
“කොහෙ යන්නද ඔයා…”
“මං ඒක හිතල තියෙන්නෙ. ඉස්සෙල්ලම මට ඕනෙ ගෙදරින් පිටවෙන්න. ඔයාට පුළුවන්නං මාව බයික් එකේ අවිස්සාවේල්ලට දාන්න. ඒ උදව්ව මං කවදාවත් අමතක කරන්නෑ”
“ඒත් කොහෙ යන්නද ඔයා…”
“මගෙ යාළුවෙක් ඉන්නව. මං ගෙදරින් යන්න ඕනෙ රෑනෙ. ඒ වෙලාවට බස් නෑනෙ”
“එතකොට බබාවත් ඔය රෑ බයික් එකේ අරං යන්න පුළුවන්ද…”
“මං බබාව ගෙනියන්නෑ සන්දේශ්. එනකොට බබාල අරං ආවෙත් නෑනෙ. අම්මෙක් වගේම ළමයට තාත්ත කෙනෙකුත් ඉන්නවනෙ. එයා බලාගනී”
“ඒත් මං මෙහෙම දේකට උදව් කළා කියල මණී ආන්ටිල දැනගත්තොත්…”
“මට මෙහෙම උදව්වක් ඉල්ලන්න ඉන්නෙ ඔයා විතරයි සන්දේශ්. ඔයා මේක කරන්න බෑ කියනවනං මං ජීවිතේ නැති කරගන්නව. ජනවාරි පළවෙනිදට මගෙ මිණිය බලන්න එන්න ලෑස්ති වෙලා ඉන්න”
ඔහු ට ඒ උදව්ව කරන්නට සිදු වූයේ ඈ දිවි නසාගනිතැයි ඇති වූ බිය නිසා ය. ඇය නික්ම යනතුරු මේ පිළිබඳව ඔහු ගේ සහෝදරියකට හෝ නො කියන්නට ද කිසි සේත් ඔහු පාවා නො දෙන්නට ද නිධී පොරොන්දු වූයෙන් සන්දේශ් හිතට විරුද්ධව වුව ඊට එකඟ වූයේ ය.
“ගොං වස්ස. අනුංගෙ ගෑනියෙක් දිවි නසාගත්තත් උඹට මොකද හරක් පැටියො… ඒකි ලියුමෙ ලියල තියෙන්නෙ තෝත් එක්ක පැනල යනව කියල. දැං තොට ගැලවීමක් හොයාගන්නෙ කොහොමද…”
කුඩා අවන්හලක හිඳ සන්දේශ් ගේ ඉක්මන් කතාව අසා උන් අශ්විනී ආවේශ වූවා ය.
“මට සමාවෙන්න අක්කෙ. මං පඹ ගාලක පැටලිල කියල ඇත්තටම මට තේරුණෙ පස්සෙ”
සනදේශ් සිය හිස කේ පිටුපසට ඇදගත්තේ ය.
ඒ රාත්‍රියෙහි මිතුරිය දුරකතනයට පිළිතුරු නො දෙනා වග කියා නිධී තානායමක රැය පහන් කරන්නට තීරණය කළා ය. ඇයව එහි තනිව දමා නොයා පහන් වන තුරු හිඳිනා ලෙස සන්දේශ් ගෙන් අයැද සිටියා ය.
“ඒත් ගෙදරින් මාව හොයයි”
“ඔයා මෙහෙං පාන්දර හතරට විතර යන්න. එතකොට ශේප් එකේ උදේට ගෙට රිංගගන්න පුළුවන්නෙ”
සන්දේශ් ඒ ගැටයට ද හසු වූයේ ය. වෙන වෙනම කාමර දෙකක් නොගෙන එක් කාමරයක තවතින්නට ද ඈ ඔහු පොළඹවා ගත්තා ය.
“මං ඔයාව ගිලින්නෑ. බය වෙන්නෙපා”
සන්දේශ් තරමක් කැළඹී යමින් සිටියදී නිධී තව තවත් ඔහු කළඹන්නට සමත් වූවායි කිව හැක. අවසන ඒ රැයෙහි ඔහු මුළුමනින් ම විවාහක ගැහැනියක ගේ සරාගයේ මායා දැලෙහි පැටළිණ.
“මං ලියුමක් ලියල තියල ආවෙ. මං ඔයා එක්ක යනව කියල”
පාන්දර යාමයේ ඔහු නිවැරදි සිහියට එළඹියේ නිධී සවනට කොඳුරා සැලෙන හඬකින් එහෙම කියත්දී ය. ඈ පෙරලාගෙන ඔහු යහනෙන් පැන්නේ ය.
“වෙන්න තියන දේ වුණා. කොහොමත් මට ආර්ය එක්ක ජීවිතේ එපා වෙලා හිටියෙ. අපිට මීට පස්සෙ අපේම කියල අලුත් ජීවිතයක් පටං ගන්න පුළුවන්”
තමන් වූ කලී මකුළු දැලක පැටළුණ කෘමියෙකු මෙනැයි සන්දේශ් ට වැටහුණේ ඉනික්බිති යි. නිධී විසින් ලියා තබා එන ලද ලිපිය නිසා දැන් ඉතින් ගෙවල් දෙකෙහි ම ගිනි ඇවිලී තිබෙනු ඇති බව ඔහු දත්තේ ය. එවන් තත්වයක් මත ගෙදර යන්නේ කොහොම ද? ගෙදර ගිහින් තමන්ගේ අයට මූණ දෙන්නේ කොහොම ද? ඔවුන් වෙනුවෙන් සිය තරුණ ජීවිතය කැප කළ තාත්තා ට කියන්නට ඇති නිදහසට කාරණය කුමක් ද? සන්දේශ් ගේ ඉහින් කනින් දහදිය ගැළුවේ ය. නිධී වූ කලී කුඩා කල පටන් එකට හැදී වැඩුණු ආර්ය ගේ බිරිඳයි. හුරතල් කොලු පැටියෙකු ගේ අම්මා යි. කොලු කමට ඇගේ සරාගී සිරුර දෙස හොරෙන් බැලුවාට මේ විදිහට ඇය පැහැර ගන්නට හෝ ඇය සමගින් ජීවිතයක් අරඹන්නට හෝ ඔහු ට කිසි සේත් ඕනකමක් නැත. නමුත් දැන් මේ උගුලෙන් ගැලවීගන්නේ කෙසේ ද?
සන්දේශ් තානායමෙන් පිට වූයේ ඔහු ගේ හැඳුනුම්පත හෝ නොමැතිව, නිධී නාන කාමරයෙහි සිටියදී යි. මුලින් ම ඔහු රැකියා ස්ථානයෙන් හදිසි නිවාඩු අනුමත කරවාගෙන ජංගම දුරකතනය ක්‍රියා විරහිත කරගත්තේ ය. ඊළඟට කොස්ගම සිය මිතුරෙකු ගේ නිවසෙහි අවිනිශ්චිත දින දෙකක් ගත කළේ ය. නිධී ගේ ඇමතුම් හා පණිවිඩ සියල්ල මගහැරියේ ය. දුරදිග නො හිතීම මත කොටු වූ උගුලෙහි පැටළී සිටියදී බැරි ම තැන හිත හදාගෙන හෙතෙම අක්කා ට කතා කළේ ය.
“මොකද්ද මල්ලි මේ කරගත්තෙ… ඔක්කොටම හපං ජොබ් එක නැතිවුණොත් එහෙම. මගෙනං ඔළුව අවුල් වෙලා දෙයියනේ. ඒ වුණත් ඔයා ඒ ගෑනි එක්ක ගියෙ නෑ කියන එක මට සැනසීමයි”
අශ්විනී ගෙදර ආවේ ඒ සැනසීමෙනි. ඇගේ හැසිරීමේ අමුත්තක් අමාගී ට දැනිණ. තාත්තා ට මේ දේ කොහොම කියාගන්න ද යන දෙගිඩියාව ඇයට තිබිණි. දුවක වශයෙන් ඇයට ඒ තරම් හයියක් නැත. දුරේශ් වාගේ තාත්තා කෙනෙකු සමගින් මල්ලී ගැන එහෙම කතාවක් කියන්නට කොහොමත් නො හැකි ය.
“සුදූ”
සේපාලිකා ගහ යට බංකුව මත හිඳගෙන තවත් කල්පනා කිරීමෙන් පස්සේ අශ්විනී අමාගී ට කතා කළා ය.
“අපිට බැරිද සුදූ පොඩ්ඩක් ආර්ය එක්ක කතා කරන්න…”
අක්කා ගේ ඒ ප්‍රශ්නය නිසා අමාගී ගේ ඇස් උඩ ගියේ ය.
“කතා කරන්න… අර බකය එක්ක… ඔයාට පිස්සුද ලොකූ…”
“ඒත් අයියව ගෙදර එක්කං එන්නනං අපිට ආර්ය එක්ක කතා කරන්නම වෙනව”
“අයිය ආයෙ ගෙදර එන එක ලොකයියට කරන අසාධාරණයක් නෙවේද ලොකූ…”
ඇයිදෝ මන්දා අමාගී ගේ පපුව මැද ගිනි මැලයක රස්නය විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here