නෙවින් මාධූර්‍ය සේනාරත්න හිටියේ කාල්ටන් ටවර් එකේ තමන් මිල දී ගත්ත අපාට්මන්ට් එකේ කණ්ණාඩිය ඉදිරියට වී ලොවි සිලෝන් එකෙන් අද තියෙන දෙරණ ලක්ස් ෆිල්ම් අවෝර්ඩ්ස් ඉවෙන්ට් එක වෙනුවෙන්ම තමන්ට එවා තිබුණ කලු පාට මුතු ඇට වලින් වැඩ දාපු තද පාට දිලිසෙන කලු සරමයි, කමිසෙයි හඳින ගමන් ය.
නෙවින් මිස්ට ශ්‍රී ලංකා වුණේ මෙයට අවුරුදු දහයකට පමණ කලින් ය. කාල්ටන් අපාර්ට්මන්ට් එකේ තමන්ගෙ නිදන ඇඳට පිටිපස්සෙන් බිත්තියෙ සවිකර තිබෙන පින්තුර විස්සක විතර එකතුවෙ මෙයට අවුරුදු දහයකට කලින් මිස්ට ශ්‍රී ලංකා වූ වෙලාවේ ලැබුණ කුසලානය අතේ තබාගෙන ගත් ජායාරූපයත් තිබේ.
වසර දහයක් කාලය ඕනම මනුස්සයෙකුගේ ඇතුලාන්තයේ මෙන්ම බාහිර පෙනුමේද ලොකු වෙනස්කම් ඇතිකරන්නට ප්‍රමාණවත් කාලයක් වුණත් නෙවින් මාධූර්‍ය සේනාරත්න කෙරේ ඒ තියරිය බලපා තිබ්බේ නැත. නිසි කලට ව්‍යායාම කර, මනාව නඩත්තු කරන රූප සම්පත්තියත්, ඕනම තැනක කැපී පෙනෙන අඩි හයයි හතරෙ උසත් සදා තාරුණ්‍යයමය ස්වරූපයකින් නෙවින්ව වසාගෙන උන්නහ.
“උඹේ ඔක්කොම හොඳයි, ඔය තමන් තමයි ඩයල් එක කියල හිතන් ඉන්න මහන්තත්ත කම නැත්තම්” කියලා හොඳම මිතුරා වුණු ලක්ශාන් කියද්දිත් නෙවින් කලේ සිනාවෙන එකම පමණි.
“යකෝ තමන් තමන් ගැන ආඩම්බර වෙන්නෙ නැතුව වෙන කවුද කියහංන්කො ආඩම්බර වෙන්නෙ. අනික ඉතින් ආඩම්බර නොවෙන්න මට මුකුත් අඩුවක් නෑනෙ. සල්ලිද පෙනුමද ගෑණුද කියපංකො මට අඩු” එවන් මොහොතක නෙවින් දෙන්නේ ඔයාකාර පිළිතුරුය.
“අනේ ඔව් ඔව් කිසි අඩුවක් නෑ. වැඩියක් මිසක. සල්ලියි පෙනුමයි නම් කොච්චර වැඩි වුණත් කමක් නෑ කියමුකො. ගෑණු? ඒක නම් පුතේ උඹට ඕනවටත් වඩා වැඩියි කියලා තමයි කියන්න තියෙන්නෙ”
“උඹලට තියෙන්නෙ ඉරිසියාව. මං වගේ සුපිරි ලස්සන කොල්ලෙක් ආශ්‍රය කරන්න ඉතින් ගෑණු කැමති කියන එක උඹලට ඉරිසියාවක්” කියලා නෙවින් කිණ්ඩි හිනාවක් දාලා කියද්දි ලක්ශාන් කරන්නෙ ඉතින් අහක බලාගන්න එක හරි එතනින් එහාට යන එක හරි තමයි.
නෙවින්ගේ ජීවිතයේ ගැහැණුන් වෙනුවෙන් වෙන් කල තාවකාලික ඉඩ හෝරාවන් මෙන්ම අඩ හෝරාවන් අනන්තයක් තිබුණේය. ඒ බොහෝ අය ආවේත් ගියේත් ඒ වනාහී තාවකාලික බැඳීමක් බව දැන දැනමය. එලෙස ආ බොහෝ කාන්තාවන්ට තිබුණ එකම අවශ්‍යතාවය නම් නෙවින්ව ආශ්‍රය කිරීම ඔස්සේ විඳින්න ඉඩ ලැබුණ“නෙවින් එක්කත් මං හිටියා” කියන අන්දමේ ආතල් හැඟීමකි.
එය නෙවින්ට නොතේරෙනවා යැයි සිතූ ලක්ෂාන් අතීතයේ අවස්තා කිහිපයකම “ඔය උඹට ක්ලබ් වලදියි පැජන්ට් වලදියි සෙට් වෙන කෙල්ලන් උඹත් එක්ක එන්නෙ උඹට තියෙන ආදරේකට නෙවෙයි. උඹේ පෙනුමයි, සල්ලියි, ස්ටේටස් එකටයි තියෙන ආදරේට. උඹත් ඉතින් ගොනා හැරෙන්නෙ පොල් පැලේට කියනව වගේ එහෙම එකියක් ඇවිල්ලා උකුලෙන් වාඩිවෙච්ච ගමන් ඒකිව උස්සන් මෙහෙට එනවා” කියලා.
“ඒ කෙල්ලො මාත් එක්ක එන්න ලෑස්ති නම් මං ඉතින් මොකටද බං එපා කියන්නෙ. අනික හිතපංකො මුලු ජීවිත කාලෙම එකම ගෑණියෙක් එක්ක ඉන්න පුලුවන් කාටද? එහෙම ඉද්දි එපා වෙන්නෙ නැද්ද. උඹ මාව ඉස්කෝලෙ යන කාලෙ ඉඳල දන්න මිනිහා. මට කවදාවත් සිරා අෆෙයාර් එකක් තිබ්බෙ නෑ කියලා හොඳටම දන්නවා. එහෙම එකේ මේ ජීවිතේ මට ආතල්. මං කැමති දෙයක් කරලා, මං කැමති දෙයක් කාලා බීලා, ආතල් එකක් අරගෙන ඉන්න පුලුවන්. මට සල්ලි වලින් අඩුවකුත් නෑ. මොඩ්ලින් ද, ෆිට් මොඩ්ලින්ද මට සල්ලි ඕන තරම් හම්බෙනවා. කවදහරි මේ ෆීල්ඩ් එකෙන් අයින් වෙන්න උනත් මට මේ බිස්නස් එක තියෙනවා. මොනවා නැතත් කොළඹ මට කියලා ඉන්න හිටින්න තැනක් තියෙනවා. ඉතින් මොකටද නිකන් මම හැමදාම එකම පරිප්පුව කන්නෙ?”
“නෙවින් මචං, උඹ දැන් ඔහොම හිතන්නෙ උබේ පෙනුමයි, සල්ලියි, ස්ටේට්ස් එකයි තියෙන හන්දා ඕනම ගෑණියෙක් කෙල්ලෙක් එනවා කියල දන්න හන්දනෙ. ඔය ලස්සන එහෙම නැතිවෙන දවසක් එනවා පුතේ. එදාට අසනීපයක්, ලෙඩක් දුකක් හැදුනම ළඟ ඉඳන් වතුර උගුරක් හරි පොවන්න තමන්ගෙ කියලා කෙනෙක් තමන්ට ඉන්න ඕන. අම්මයි තාත්තයිත් නැති එකේ, අයියයි අක්කයි දෙන්නා ඉන්නෙත් රට වෙච්ච එකේ උඹට මේ රටේ තමන්ගෙ කියලා කෙනෙක් තවම නෑනෙ. කොච්චර පිළිගත්තත් නැත්ත මං හිතන්නෙම උඹ ඔය උඹේ ප්ලේ බෝයි සීන් එක කල් ඇදගෙන ආව දුර වැඩියි. අවුරුදු හතලිහක් කියන්නෙ මනුස්සයෙක් සෙට්ල් වෙන්න ඕන කාලෙ. මං මේ කියන්නෙ දරුවෙක් මල්ලෙක් හදන එකක ගැන නෙවෙයි. තමන්ට තමන්ගෙ කියලා කෙනෙක් ඉන්න ඕන කියන එක”
“ඒකට තමයි මට උඹ ඉන්නෙ” කියා නෙවින් කියද්දී ලක්ෂාන් ඉන් අනතුරුව එක වචනයක්වත් කියවන්නේ නැත.
සූදානම් වී අවසානයේ නෙවින් කණ්ණාඩියෙන් අවසන් වරටත් තමන්ගේ කඩවසම් රුව දෙස බලා හිත සතුටු කරගෙන ගෙයින් පිටවෙන්නට තැනුවත් ඒ ගමන වැළකුණේ දුරකතනයට ආ ඇමතුම නිසාවෙනි.
“ආලියා” කියමින් දුරකතන මුහුණත මත වැටුණ නම දුටු විට මෙච්චර වෙලා ලස්සනට සිනාවකින් සරසාගෙන උන් මුහුණ අවලස්සන වන්නට එක තප්පරයක්වත් ගෙවුණේ නැති තරම් ය.
“වන් නයිට් ස්ටෑන්ඩ් එකක් කියන්නෙ ඒක වන් නයිට් එකක් විතරයි කියලා මේ ගෑණුන්ට තේරෙන්නේ නෑනෙ” කියා සිතමින් ම ඇමතුම හා සම්බන්ධ නොවීම විසන්ධි කල නෙවින් අපාට්මන්ට් එකෙන් පිටවුණේ එක් අතක තමන්ගේ කාරයේ යතුර රඳවාගෙන අනිත් අතින් දුරකතන රඳවාගෙනය.
දැන් ඉතින් මේ ගෙවන්න යන පැය කීපය ඇතුලේ රෝස පාට ඇඳුම් ඇඳගත්ත කෙල්ලො ස්ටේජ් එක උඩ නටන ඒවත්, ලෝකෙ තියෙන හැම පාටක්ම මූණෙ උලාගත්ත නිළියො ඇවිත් සම්මාන අරගෙන “අනේ ඔයාලා වෙනුවෙන් තමයි අපි මේ රඟපාන්නෙ” කියා කියන කතාත් අහගෙන ඉන්න වෙන බව නෙවින් නොදන්නවා නොවේ. උත්සවය පැවැත්වෙන කාල්ටන් සමූහ ව්‍යාපාරයට අයත් වෝටර්ස් බේ හෝටලය සහ උත්සව ශාලාව වෙත වාහනය පදවගෙන යන අතරවාරෙත් නෙවින් කල්පනා කලේ ඒ ගැනය. වෝටර්ස් බේ හි කාර් පාක් එකෙන් කාර් එක නතර කල නෙවින් කාර් එකෙන් බහින්නට පෙර ආයෙම වතාවක් දුරකතනය ඔස්සේ නෙවින් හොයා එන්න ආලියා අමතක කර තිබුණේ නැත..
කෝපයෙන් වුණත් නෙවින් මේ වතාවේ ඒ ඇමතුම සම්බන්ධ කරගත්තේ උත්සවය ඇරඹුණාට පස්සෙත් ආලියා දිගින් දිගටම තමන් අමතාවි යැයි බියෙනි.
“හෙලෝ” කියා එහා පසින් ඇසෙන ආලියාගේ හඬේ ඕනවටත් වඩා සරාගී බව රැඳී තිබුණද මෙයට දින කිහිපයකට පෙර බාර් එකේදි හොඳටම මත් වී උන් මොහොතක ඒ හඬට වශී වුනා මෙන් වශී වෙන්න මේ වෙලාවෙ හොඳ සිහියෙන් උන්නු නෙවින්ට හේතුවක් තිබුණේ නැත.
ඒ නිසාම “ඉයස් ආලියා” කියා ඇසූ නෙවින්ගේ කටහඬේ රැඳී තිබුණේ සියුම් කෝපයක් තැවරුණ හැඟීමක් මිස ආදරය, සරාගය තැවරුණ හැඟීමක් නොවේ.
“හායි නෙවීඊඊන්, ඇයි ඔයා මගේ කෝල්ස් රිටර්න් කලේ නැත්තෙ?” කියා අහද්දීත් කියන්න ඕන තරම් දේවල් තිබුණද ඕනම දෙයකට අවම සදාචාරයක් තියෙන බව දන්න හන්දාම නෙවින් ඒ හිතුන සිතුවිලි එකක්වත් එහෙම පිටින්ම එලියට දැම්මේ නැත.
“මට ඇත්තටම ඔයාට කෝල් බැක් කරන්න හේතුවක් තිබ්බෙ නෑ. අනික ඔයාට මට කෝල් කරන්න මොකක් හරි ස්පෙශල් රීසන් එකක් තිබුනද?” කියා ඇහුව තමන්ගේ කටහඬේත් ඒ වචනවලත් ඕනවට වඩා කියන්න ඕන හැමදේම ගෑවි තිබුණද ආලියා වනාහි එවන් දෙයක් තේරුම්ගන්නට පුලුවන් හෝ උත්සහ කරන කෙල්ලෙක් නොවන බව නෙවින් ඒ වනවිටත් තේරුම් ගෙන උන්නේ එක රැයක් අවසානයේය.
“ඇයි නෙවින් එහෙම කියන්නේ? ඔයා එච්චර ඉක්මනට අමතක කරන්න පුලුවන් උනාද එදා රෑ? මට තාම ඒක අමතක කරන්න බෑ. මං ඒකයි ඔයාට කතා කරේ. ආයෙ කවද්ද අපි හම්බෙන්නෙ කියලා අහන්න” කියා ආලියා පහත් හඬකින් කරන ඇරයුම තේරුම්ගන්න බැරිකමක් නැති නිසාම නෙවින්ගේ දෙතොල් මෑත් වී ඇඳුනේ සමච්චල් සහගත හිනාවකි.
“It was just a one night stand Alia. මම හිතුවෙ ක්ලබින් කරන, ඩ්‍රින්ක්ස් ගන්න, ඩාන්ස් පාටි වලට එන ඔයා වගේ ෆෝවඩ් කෙල්ලෙක් ඒක දැනගෙන තමයි මාත් එක්ක එදා ආවෙ කියල. මම ඔය රිලේශන්ශිප් කියන සීන් එකේ ඉන්න මිනිහෙක් නෙවෙයි. I don’t do that shit. ඒ නිසා ආයෙ මේ විදියට මට කතාකරලා හම්බෙමුද කියල අහන්න එපා. මං ඒවගේ දේවල් කරලත් නෑ, කරන්නෙත් නෑ.
ඔයාට ආයෙ මොනවහරි දෙයක් මගෙන් දැනගන්න තියෙනම්, ඒ කිව්වේ මේ මීට් වෙමුද වගේ කියන බහුබූත නැතුව වෙන උදව්වක් වගේ ඕන වෙලා කතා කරන වෙලාවක උනත් එකපාර මට දිගට හරහට කෝල් කරන්නෙ නැතුව මැසේජ් එකක් දාලා මගේ ඇවේලබිලිටි එක බලන්න. මොකද මම හරි බිසී මනුස්සයෙක්. එහෙම කෝල්ස් එන එන පාරට ආන්ස්වර් කරන්න මට බෑ ආලියා” කියා නෙවින් හීන් සීරුවේ වුණත් තදින්, තේරෙන්න ඕන හොඳම විදියට ආලියාට කිව්වේය. එහෙත් ආලියා උන්නේ එහෙම ලේසියෙන් නෙවින්ව අමතක කරන්න හිත හදාගෙන නොවේ. සරාගී බවින් බැරිනම් අහිංසක, අසරණ කෙල්ලකගේ චරිතය හෝ රඟපා නෙවින් හා බැඳෙන්න හැකිනම් එය කරන තැනකට ආලියා ඒ මොහොතේ හිත හදාගෙන උන්නාය.
“ඔයාට ඔච්චර ඉක්මනට මාව එපා උනේ කොහොමද නෙවින්? ඔයා එදා රෑ කිව්වෙ ඔහොම දේවල් නෙවිනෙ. ඔයාට වෙන කවුරුහරි ඊටපස්සෙ සෙට් වුනාද?” කියා ආලියා අහද්දිත් හිත අස්සේ විදුලියක් කෙටුවා වගේ කාගෙ හෝ මනස්කාන්ත දෙනෙතක් ඇඳී නොඇඳී පෙනී නොපෙනී ගිය වගක් නෙවින්ට තේරුණේය.
සිත සසැලුනේ කවදාවත් වුණේ නැති විදියටය.