සඳ ගංතෙර – 36

“මනුස්සයෙක් ආදරෙයි කිව්වම ඒ මනුස්සයව මඟ අරින අරුම පුදුම කෙල්ලෙක් දැක්කමයි.”

ජම්බු ගසකින් බිමට පත බෑ කෙල්ලක මෙන් කාමරයටම කොටු වී සිටින දුලන්‍යා වෙත තාරකා පැමිණියේ එසේ කියාගෙන ය. දුලන්‍යා හැකි තරමට ලැජ්ජාශීලි සිනාවක් නඟා ගත්තා ය. ඔහු දුලන්‍යාගෙන් අහන්නේවත් නැතිව ඔවුන්ගේ කතාව අක්කාට කියා තිබේ. මේ තරහ වෙන්නටත් හොඳ කාරණාවකි.

“මමත් කෙල්ලෙක්නෙ. කෙල්ලො කටින් නොකියා ඇස්වල හංගන් ඉන්න කාරණා මං හොඳට දන්නවා. හැබැයි ඉතිං අපේ මල්ලිට ඒක තේරුණු එකම ලොකු දෙයක්.”

පෙනෙන හැටියට තාරකානම් ඒ ආදරයට ආශිර්වාද කරන්නී ය. සැබෑවටම තාරකා සිටියේ සතුටිනි. මල්ලිගේ ඇති සෙල්ලක්කාරකමට ඔහු කොහෙටවත් නැති කෙල්ලක පටලවාගෙන දුක් විඳින්නට ඉඩ ඇතැයි තාරකා සිටියේ බියෙනි. දැන් එහෙම බය වෙන්නට ඕනෑ නැත. තාරකා දන්නා සුන්දරම දැරිය මල්ලී තෝරාගෙන තිබේ.

“මං ඔයාව බය කරනව නෙවෙයි. මම,ඔයාලගෙ අම්මා අප්පච්චි ඔක්කොම ඔයාලට කැමැත්ත දෙයි. ඒත් දුලාජ් අපේ මල්ලිව හොඳට දන්නවා පැටියෝ.”

සඳරැස් සමහර විකාර වැඩ හන්දා සහමුලින්ම අවුල් වී සිටියදී ඔහුට වඩා ඒවා ගැන තැවෙන්නේ තාරකා ය. එවැනි මොහොතක ප්‍රශ්න විසඳන දුක අහන අයියා වන්නේ දුලාජ් ය. ඒ හන්දම දුලාජ් සඳරැස් ගැන ඇති සැටියෙන් දනියි.එවැනි සෙල්ලකාරයෙකුට හදවතේ හොඳම කොටස පිරිනමන්නට දුලාජ් හිත හදා ගන්නට ඉඩක් නැති බව තාරකාට සහතික ය. එහෙත් ඇයට දුලන්‍යා රිදවන්නටත් බියට පත් කරන්නටත් ඕනෑ වූයේ ද නැත.

“මොනවා වුණත් තමන් ආදරේ කරන ගෑනි කියන දේ අහන තැනකට පිරිමි එන වෙලාවල් තියනවා නංගි. අන්න ඒ තැනට දුලාජ් නෑවිදින් ඉන්න එකක් නෑ. මං කියන දේවල් ඇත්ත බව එයා තේරුම් ගන්න දවසක ඔයාලට බය වෙන්න ඕනෑත් නැහැ.”

එය එසේ බව ඇත්තකි. අයියා වඩාත්ම නිවෙන්නේ අක්කා අසල ය. විය යුත්තේ ද එය බව දුලන්‍යා සිතුවා ය. ඕනෑවටත් වඩා ආදරය කරන්නට කෙනෙකු සිටිය දී නිවීම අපහසු නොවේ.

“ඔය සේරටම වඩා මට සහස් ගැන නංගි එක්ක කතා කරන්න තියනවා”

දුලන්‍යා අක්කා දෙස බැලුවා ය. මොනවා වුණත් සහස්ගේ අනාරාධිත කඩා වැදීම අක්කාව කළඹන්නට ඇති ඉඩ ද වැඩි ය. ඔහු සමඟ කිසිම ගනුදෙනුවක් නැති බව කියන්නට දුලන්‍යා සැලකිය යුතු වෙලාවක් වැය කළා ය.

“මං ඒක දන්නවා මෝඩයෝ. ආයේ ආයේ ආයේ කියන්න ඕන නෑ.”

තාරකා හිනැහේ. ඉනික්බිතිව කියන්නට ඇත්තේ හිනා යන්නට කතාවක් නම් නොවේ.

“සහස්ගේ තාත්තා කමල් විජේවර්ධන. ඔය නිතරම ටීවි එකේ පේන්න ඉන්න බිස්නස්මන් කෙනෙක්. චන්දෙ නොඉල්ලුවට ඔය ගොඩක් පොලිටීෂියන්ලා පාලනය කරන මනුස්සයෙක්. බබා එයා ගැන දන්නවද?”

සහස්ගේ තාත්තා ලොකු කකුලක් බව ඇය ද සරසවියේ දී අසා තිබේ. නමුත් සම්පූර්ණ විස්තර දුලන්‍යා දැන සිටියේ නැත.

“කමල් විජේවර්ධන කියන්නේ නංගි, අපේ අම්මගෙ හස්බන්. අම්මා අපිව දාලා එයා ගාවට ගියේ. ඒ යනකොටනම් කමල් පොඩි පොඩි බිස්නස් වගයක් කරපු මනුස්සයෙක්. මම අහලා තියනවා කමල් අංකල් දියුණු වුණේ අම්මගෙ වාසනාවට කියලා. සහස් විහස් දෙන්නව මං සහෝදරයෝ කියලා බාර ගන්න දවසක් ආවත් මල්ලිට ඒක කවදාවත්ම කරන්න බෑ”

දුලන්‍යාට දැනුණේ හිස මත අකුණු පිපිරුණු වගකි. අයියා සහ මල්ලි ඇය වෙනුවෙන් සටන් කරන්නට සැරසෙති. එහෙත් මේ හින්දි චිත්‍රපටියක් නොවේ. සැබෑ ජීවිතය ය.

“සහස්ට අයියව රිද්දන්න දෙන්න බැහැ අක්කේ. ආන්ටිව උදුරා ගත්තා කියලාම එයා කොච්චර තරහින්ද ඇත්තේ.”

දුලන්‍යා එසේ කියන්නේ වේදනාවෙනි. සඳරැස් ජීවිතය පුරා අම්මාගේ ආදරය හොයන්නෙකි. ඔහු දුලන්‍යාගේ අම්මාගෙන් ද තාරකාගෙන් ද ඒ අඩුව පුරවා ගන්නට යත්න දරන තැන් ඇයට නිතරම දකින්නට ලැබී තිබේ 

“අර එදා මල් එක එහෙම එවන්න ඇත්තෙත් සහස් අක්කේ. අපි ෆේස්බුක් ෆොටෝස් දැම්මනෙ. සහස් අක්කලා ගැන දන්නවානම් සහස්ට හිතෙන්න ඇති අක්කලාට රිද්දන්න. මිනිස්සුන්ට ප්ලෑන් කර කර රිද්දන එක තරමට මල ජරා වැඩක් මට නම් පේන්නේ නෑ.”

එසේ පැවසූ දුලන්‍යා තාරකා අක්කාගේ අතකින් අල්ලා ගත්තා ය. ඇයට අක්කාට දෙන්නට පොරොන්දුවක් තිබේ.

“අක්කේ, සඳරැස් අයියට මාව එපා වෙන දවසක් එයිද කියලානම් මම දන්නේ නැහැ. එහෙම නාවොත් මට මොනවා නැති වුණත් මම එයා එක්ක ඉන්නවා. අයියගෙ හිත කැඩෙන්න දෙන් නෑ”

මේ මොහොතේ දුලන්‍යාට දෙන්නට ඊටවඩා හොඳ පොරොන්දුවක් නොවේ.

(ඒ තරම් හොඳට නොලියවෙන කාලයක්. ඒ නිසා වැඩිය දිග නැති මේ කොටස වෙනුවෙන් සමාවෙන්න. අපි හෙට දිගට කතාව කියවමු. මම ඔයාලාගෙ හැම කමෙන්ට් එකක්ම කියවන නිසා මගේ දවස ලස්සන කරන්න දුලන්‍යා වෙනුවෙන් මොනවා හරි ලියන්න)

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles