සයුරංගනා මල්කාන්ති ගේ පාදයක් ස්පර්ශ කොට ඇයට වැන්දා ය. මේ ගමන ඇය ද කැටිව යන්නට තිබුණා නම් හොඳ ය. නමුත් මෝටර් රථයේ ඉඩ පහසුකම් මඳකම නිසා එසේ කළ නොහැකි ය.
“බුදු සරණයි…පරිස්සමෙන් ගිහින් එන්න. හිතේ මුකුත් කහටක් තියං යන්නෙපා රංගනා. සතුටෙන් ගිහින් එන්න”
මල්කාන්ති සයුරංගනා ගේ කොපුලක් සිඹ ආශිර්වාද කළා ය. ඇය එහෙම කියත්දී සයුරංගනා ට වඩාත් දුක ය. තිලකා වාගේ බණිනවා නම්, ඇනුම්පද කියනවා නම්, හිත රිදෙන බස් දොඩනවා නම් මේ තරම් හිත් බරක් නැත.
යශෝදර රියෙහි රියදුරු අසුනේ ද ඔහු ට යාබද ඉදිරි අසුනේ ජයරත්න ද අසුන්ගත වූයේ ය. පිටුපස අසුනේ සයුරංගනා, පාරමී හා තේමියයි. එසඳි දැනට සීයාපච්චි ගේ උකුළේ ය. ඇය අම්මා හා සීයාපච්චි ළඟ මාරුවෙන් මාරුවට යන්නට නියමිත ය.
රිය ඉදිරියට ඇදෙත්දී මල්කාන්ති අත වැනුවා ය. සයුරංගනා කිහිප වරක් ම පසුපස හැරී බැලුවා ය. තරහ ගෙන හිත තද කර ගන්නා එක, මේ විදිහට හිත රිදවාගන්නවාට වඩා පහසු ය.
“පාරමීල කියන්නෙ එයාල හෙට කොහොමත් මේ ගමන යනව කියල. ඒත් ඇන්ටි එපා කියනවනං මං නොයා ඉන්නං”
පෙර දා සන්ධ්‍යාවේ සයුරංගනා මල්කාන්ති වෙත ගොස් කීවා ය. ඇය එකවර මුණිවත බින්දේ නැත. නමුත් ඇගේ හිතේ අපමණ සිතිවිලි පොරබදමින් තිබිණ.
“ඔයා නොගියා කියල මොනා කරන්නද රංගනා…අපි දෙන්න මනමාලි බලන්න යන්න කියලයැ…”
මඳහසක් පෑවාට ඇගේ ස්වරයේ වූයේ සංවේගයකි. සන්තාපයකි.
“අපිට ඒගොල්ලො හදන්න වඩන්න පුළුවන්. ඒගොල්ලොංව ඔය තත්වෙට ගේන්න හැම කැපකිරීමක්ම කරන්න පුළුවන්. ඒගොල්ලො හොඳ තැනකට ආවට පස්සෙ අනාගතේ ගැන තීරණයක් ගන්න අපිට බෑ. ඒකනෙ ඔය කියන්නෙ”
“අනේ එහෙම හිතන්න එපා ඇන්ටි”
“ඕක හරි වැරදි කතාවක් අම්මෙ”
පාරමී මැද්දෙන් පැන්නා ය.
” දෙමව්පියො දරුවො හදනව තමයි..ඒගොල්ලොංගෙ සතුට වෙනුවෙන්. ඒගොල්ලො කැමති වෙලාවට…ඒගොල්ලො කැමති හොස්පිට්ල් එකක…ඒගොල්ලො කැමති නමක් තියල…ඒගොල්ලො කැමති ඇඳුං අන්දල..ඒගොල්ලො කැමති ඉස්කෝල වලට දාල…ඒ විතරක්ද…ඒගොල්ලො කැමති සබ්ජෙක්ට්ස් කරෝල…ඒගොල්ලො කැමකි ස්පෝට්ස් කරෝල…එහෙමයි කියල ඒ ළමයින්ගෙ ජීවිතේ එයාලටවත් අයිති නැද්ද…උන්ට බැරිද උස් මහත් වුණාට පස්සෙවත් කවුරුවත් නඩත්තු කරපු ජීවිතේ තමුං ආස විදිහට ගත කරන්නෙ…එතකොට දෙමව්පියො ළමයි හදන්නෙ ඉන්වෙස්ට්මන්ට් එකක් විදිහටද…නැත්තං ඉන්ශූවරන්ස් එකක් විදිහටද…නැත්තං තමුංගෙ ආසාවල් මුදුන්පත් කරගන්න රූකඩ විදිහටද…මාර අසාධාරණයිනෙ…හරි ළමයි හැදුව..උන් ලොකු වුණාට පස්සෙ අතාරින්න ඕනෙ. උන් ආස විදිහට ඉගිලිලා වරෙං කියල යන්න දෙන්න ඕනෙ. කැමති තැනක කැමති අය එක්ක කූඩු හදාගන්න ඇරල බලං ඉන්න ඕනෙ. තටු රිද්දගෙන ආවොත් බෙහෙත් කරල හිත හදන්න ඕනෙ. දෙමව්පියො ඉන්න ඕනෙ එහෙම නෙවෙයිද…”
නිහඬ වන ලෙසට සයුරංගනා පාරමීට කිහිප විටක් ඉඟි කළා ය. නමුත් සාමාන්‍යයෙන් ඇය කියන්නට ඇති දෙයක් ඕනෑ ම කෙනෙකුට කියා මිස නවතින්නෙකු නොවේ.
“අම්මෝ…කොහොමටත් උඹටනං මගුල් හොයන්නෑ මං”
මල්කාන්ති එසේ කීවේ සිත් වේදනාව ව්‍යාජ සිනහවකින් සඟවාගෙනයි.
“හොයන්නත් එපා සුදු නෝනා. ඒව ලස්සනට වෙයි. ඔයාට අපි රටක් වටින බෑණා කෙනෙකුයි ලේලිලා දෙන්නෙකුයි ගෙනත් දෙන්නංකො”
පාරමී අම්මා ගේ දෙකොපුල් මිරිකුවා ය. ඇගේ ශෝකී විලාශය සිහි වී මේ වෙලාවේත් සයුරංගනා ගේ සිත තුළ මීදුම් වලාවක් බඳු සංවේගයක් පැතිර යයි.
“අපේ අම්මලවයි ගිම්හාන්ගෙ අම්මයි ඔක්කොම දාගෙන ආයෙ ට්‍රිප් එකක් යන්න ඕනෙ”
යශෝදර නිහඬ බව බින්දේ ය. සැබවින් හැම කෙනෙකු ගේ ම හිත් වල තියෙන්නට ඇත්තේ මල්කාන්ති ගේ හිත රිදවා මේ ගමන යන්නට සිදු වීම ගැන සන්තාපයයි.
“ඒක හොඳයි. රත්නෙගෙ වෑන් එක කතා කරගෙන අටමස්තානෙ වැඳං එන්න යමු පුතා”
ජයරත්න ප්‍රීතිමත් උනන්දුවක් පෙන්වූයේ ය. ඊළඟට කට්ටිය කතා කළේ ඒ ගමන ගැන ය. එයින් අර මුලින් තිබූ ශෝක මීදුම ඈතට පාව ගොස් පරිසරය පැහැදිලි විය. තේමිය විශේෂයෙන් මතක් කොට සයුරංගනා ගෙන් ඉල්ලාගෙන ආ බිස්කට් ටින් එකට තට්ටු කරමින් ළමා ගීයක් කියන්නට පටන් ගත්තේ ය.
“සකලබුජෝ වතුර ගෙනෙං අම්ම කියන්නේ…සකලබුජෝ අතුගාපං අක්ක කියන්නේ…වළං පිඟං සෝදනවා…අපේ ළිඳෙන් වතුර අදිනවා…සකලබුජං කොට කලිසං තමයි අඳින්නේ.. වතුපිටි වල ගෙදර දොරේ වැඩ කර දෙන්නේ…සකලබුජං අහිංසකයි..අහිංසකයි වුණාට හරිම කඩිසරයි..”
පාරමී එතැනින් පටන් ගත්තා ය.
“පුළුන් කොට්ට අත් දෙක තබලා හොරෙන් හොරෙන් මා දෙස බලලා ගමන් බිමන් යාමට හපනා බළල් හාමිනේ…හෙමින් සැරේ මා දෙස බලලා ඤාව් ඤාව් ගීතය ගයලා මගේ උකුල් තලයට පනිනා බළල් හාමිනේ…”
“මේ පොඩි බස් රිය ඔබේය සිතලා කුරුටු ගෑම හරිනෑ ඉරි ඇඳලා.. අසුන් කඩා බිඳ දමා නොයන්නේ ඔබේය මේ බස් රිය රැක ගන්නේ…උදෑසනම පොඩි අපි දිව එනවා කොහේද සැඟවී එළියට එනවා උදේ පාන්දර පාසල් යන්නට බසයක් ඇවිදින් කතා කරනවා…පී පීප් පීප්..පී පීප් පීප්..”
යශෝදර ඒ තාලයට හෝන් එක ද ගැසුවේ ය. එසඳි අත් දෙක ඉනේ තබාගෙන ඔවුන් දෙස මාරුවෙන් මාරුවට බලා සිටියා ය.
“මේ මොකද අනේ…මේ ගොල්ලො පොඩි බබාල වගේනෙ..ඕගොල්ලො ඕව කිව්වහම දැන් මට කියන්න සින්දු කෝ..”
ඒ සුරතල් සර මෝටර් රථය තුළ සිනහ සයුරක් ඇති කරනා ලදී. පාරමී අත ඉස්සරහාට දමා එසඳි ගේ අතක් මිරිකුවා ය.
“සූකිලි බූකිලි කෝලම…ගමන ගිහිං එනකොට මං ඔයාව මිරිකල මිරිකල තලල දාල ඉඳී”
එය සතුටු ලෝකයකි. හැම කෙනෙකු ගේ ම මුහුණු සිනහවකින් පිරී තිබිණ. ඕනවටත් වැඩිය සිනහ වෙන්නට බොහෝ පුංචි කාරණා ප්‍රමාණවත් බව ඔවුන් උනුන්ට ම ප්‍රත්‍යක්ෂ කරමින් සිටියහ.
“අපි මෙහෙම හිනා වෙවී ගියාට අම්ම අඬනවද දන්නෙත් නෑ”
හදිසියේ ම පාරමී සිහිපත් කළා ය. ඉදිරි කැඩපතින් යශෝදර වහා සයුරංගනා දෙස බැලුවේ ය. ඒ මොහොතේ ම ඇයත් ඒ බැල්මට හසු වූවා ය.
“දැං අම්ම දන්නවනෙ ඒක කවදාවත් වෙන්නැති දෙයක් කියල”
යශෝදර සිය මතයෙහි ම එල්බගෙන සිටියේ ය. පාරමී එය අනුමත කරමින් හිස සැළුවා ය.
“මට බය ඕගොල්ලොන්ගෙ අම්ම මාත් එක්ක තරහ වෙයිද කියලයි”
සයුරංගනා ගෙන් පිට වූයේ සැබවින් ම ඇගේ හිත තුළ පෙර දා සිට ම ගුලි වී තිබි අදහසයි.
“දුව එක්ක තරහ වෙන්නෙ මොකටද…දුව මේ ගමන අද යන්න ඕනමයි කිව්වෙ නෑනෙ”
“ඒකනෙ. ඔයා අහක යන තොප්පි දාගන්නැතුව ඉන්න. අපේ අම්මව හැන්ඩ්ල් කරන විදිහ මං දන්නව”
පාරමී විශ්වාසයෙන් යුතුව කීවා ය. මල්කාන්ති ගැන හෝ ඒ සිදුවීම ගැන ඉන්පසු කතා බහක් සිදු වූයේ නැත. නමුත් සයුරංගනා ගේ හිත යට සියුම් කටුවක් සේ එය ඇනී තිබිණ. වරින් වර කටුව තවත් ගැඹුරට ඇනී පෑරිණ.
හිමිදිරි පෙදෙස යනු සැබවින් දවස පුරා ම හිමිදිරියකි. සිංහරාජ අඩවිය මායිම් කරගෙන වනාන්තරය තුළ ගුලිව යන හිමිදිරියක් සේ එය පෙනේ. අවට කඳු නිසා මේ පෙදෙසට හිරු කිරණ වැටෙන්නේ අඩුවෙනි. මිහිදුම තුළ දිය වූ සිහිලැල් වායුගෝලය නිසා සැබවින් ඒ විවේක සුවයෙන් සොබා දහම විඳින්නට කදිම තෝතැන්නකි. ඔවුන් වෙනුවෙන් නවාතැනක් තේමිය විසින් කලින් ම වෙන් කරවාගෙන තිබුණෙන් පහසු විය. ජීවිතය අභිමුවට පැමිණි බලාපොරොත්තු නොවූ පිරිපත හා හිත් රිදීම් නිසා ළතැවුලෙන් පිරී තිබි සයුරංගනා ගේ හිත ඒ පරිසරය තුළ සමවත් සුවයෙන් සන්සුන් වූයේ ය. සොබා දහමේ අංශුවක් බවට පත් වත්දී හදවතට දැනෙන්නා වූ නිස්කලංක සුවදායක බව ඔවුහු හදවතින් ම විඳගත්හ.
“මොනාද කන්නෙ…”
ඒ හිමිදිරිය තුළ සීතල අංශුවක් බවට පත්ව සිටි සයුරංගනා වෙත විත් යශෝදර විමසුවේ ය. හිතට යමක් සිදු වෙනු ඇයට දැනිණ. එය අයිතිවාසිකමක් ගැන හැඟීමකි. නමුත් හිතට එහෙම දුරක යා දිය නො හැකි බව දැන් ඇය දනී. ආයේ එන්නට පාර හොයා ගන්නට හැකි දුරක අතරමං විය යුතුව තිබේ.
“අනිත් අයගෙං අහමු”
“මං අහන්නෙ ඔයාගෙන්”
යශෝදර ගේ පිරිමිකාර බැල්ම හිරු මඬලක් සේ ය. ඇගේ ග්ලැසියර ආත්මය දිය කොට හරින්නට තැත් කරයි.
“අම්ම ගැන කල්පනා කරන්නෙපා”
ඇයට වචන මතක් වෙන්නේ නැත. ඇය දිය වී යන බව පමණක් සයුරංගනා ට දැනේ.
“අපාචි මෙහේ. මං හෙව්ව හැම තැනම”
කියාගෙන විත් එසඳි යශෝදර ගේ ඇඟේ එල්ලුණා ය. ඔහු ඇය වඩාගත්තේ තාත්තෙකු මෙනි. සයුරංගනා අතකින් යන්තම් ළය මඬල පිරිමැද ගත්තා ය.
“ඔයා සතුටෙන් ඉන්නයි ඕනෙ. මෙහෙ ඇවිල්ලත් කල්පනා කරන්න නෙවෙයි”
එසඳිට නො දැනෙන සේ යශෝදර මිමිණුවේ ය.
“යං…කන්න දේවල් ඕඩර් කරමු”
ඔහු ඇගේ බඳ පිටුපසින් අතක් තැබුවේ ය. සයුරංගනා ඒ මීදුම් දුමාරයෙහි සීතල අංශුවක් වී සිටියා ය.
කෑම ගැනීමෙන් පසු තේමිය හා පාරමී සින්දු කියන්නට පටන් ගත්හ. සයුරංගනා ද ඒ ගොඩට වැටී සිටියා ය. ජයරත්න පරිසරයේ වෙනස්කම් ගැන හිතමින් ඔබ මොබ ඇවිද්දේ ය. යශෝදර හෙමිහිට ඔහු වෙතට සමීප වූයේ ය.
“අංකල්”
ලොකු කතාවක් කියන්නට ඇති බවක් ඒ තනි වචනය තුළ ගැබ්වී තිබිණ. ජයරත්න සිනහවකට අරාඳිමින් යශෝදර දෙස බැලුවේ ය.
“මට…අංකල් එක්ක කතා කරන්න දෙයක් තියනව”
“මොකද්ද පුතා…කියන්න”
එහෙම ප්‍රතිචාර දැක්වූවාට ඒ කියන්නට ඇති කතාව කල් තියා ම දැනගෙන සිටියා වන් බැල්මක් ජයරත්න ගේ මුහුණ මත විය.
“අංකල් මං ගැන වැරදියට හිතන්න එපා. මේක අද නැතත් කවදම හරි අංකල්ට කියන්න ඕනෙ. අනිත් එක..මං මේ ගැන මගෙ තාත්තටත් කලින් කියන්නෙ අංකල්ට. ගිම්හාන් වෙනුවෙන් මං ඒක කරන්න ඕනෙ”
“කියන්න පුතා”
“අංකල් මං සයුරංගනා ගැන බලාපොරොත්තු තියං ඉන්නව. සයූවයි එසඳිවයි ගිම්හාන් වගේම බලාගන්න මට පුළුවන් අංකල්. අපේ අම්මල මොනා හිතං හිටියත්…මගෙ තීරණේ වෙනස් වෙන්නෑ”
ජයරත්න ඇස් මඳක් කුඩා කොට යශෝදර දෙස බැලුවේ ය. ඉනික්බිති ඔහු ගේ උරහිසක් මත අත තබා කතා කළේ ය.
“ඉලන්දාරිය..මට ආඩම්බරයි මේ ගැන මාත් එක්ක කතා කරන්න හිතපු එක ගැන. කෙල්ලගෙ අකමැත්තක් නැත්තං මං මොකටද අකමැති වෙන්නෙ…”
“සයූට මං මේ ගැන කියල තියනව අංකල්. ඒත් එයා මට වචනයක් දීල නෑ. කොහොමත් දැන් මේ අපේ අම්ම මනමාලියක් ලෑස්ති කරං නිසා එයා පස්ස ගහයි. ඒත් මගෙ තීරණේ වෙනසක් නෑ අංකල්”
“මල්කාන්තිත් අම්ම කෙනෙක්නෙ පුතා. මට ඒ අම්මගෙ හිත තේරෙනව. කිසිම අම්ම කෙනෙක් මෙහෙම වෙලාවක එකපාරටම කැමැත්ත දෙන්න තරං හිත දියුණු කරල නෑ. ඒක හැටියක්. ඒත් පුතා මේ කෙල්ලො දෙන්නගෙ වගකීම බාර ගන්නව කියල කියපු එක…මගෙ ඔළුව උඩ පැටවිල තිබුණ ලොකු බරක් නිදහස් කරන්න හේතු වුණා වගේ. මුං දෙන්න අහිංසකයි පුතා. අසරණයි. උන්ට දැන් තියන එකම හයිය මං. මගෙ පුතා මැරුනට මට මේ කෙල්ල අහක දාන්න බෑ. මං ඒකිගෙත් අප්පච්චි. පුතාගෙ වචන මට හයියක්. මේ වයසක මිනිහගෙ හිත හෑල්ලු කළාට මං මොනාද කියන්නෙ…හැබැයි මේක කරන එක ලේසි වෙන්නෑ කොල්ලො”
“අංකල් මගෙ පැත්තෙ ඉන්නවනං මට බයක් නෑ”
“ඉස්සල්ල කෙල්ල කැමති කර ගන්න එපැයි…ආ…”
එසේ කියමින් ජයරත්න හඬනගා හිනැහුණේ ය. යශෝදර සිනහවකින් බිම බැලුවේ ය.
“අපේ අම්මව කැමති කර ගන්නවටත් වැඩිය අමාරු වැඩේ ඒක අංකල්”
ජයරත්න ගේ සිනහව හිමිදිරි පෙදෙස සිප හමා ගිය මීදුමේ පැටලී දුරට ඇදී ගියේ ය.