තේ වෙලාවට පොඩ්ඩන්ට හදලා දෙන්න රසවත් අග්ගලා වර්ග තුනක්.

පිටි සහ තෙල් වැඩි ආහාර නිතරම ආහාරයට ගැනීම නිසා දරුවන් කෙලවරක් නැතුව රෝගවලට ලක් වීම දැන් බරපතල ගැටලුවක් වෙලා. ඒ නිසා දරුවන්ට ගෙදරදී පෝෂ්‍යදායක ස්නැක් වර්ග හදලා දෙන්න ඔබේ අවධානය ලක් විය යුතුම කාලයක් මේ.

චූන් පාන් වාහනෙන් මොනවා හරි අරන් හවස තේ එක්ක බබාලට නොදී රසවත් අග්ගලා හදලා දෙමුද? මේ තියෙන්නේ එහෙම හදා ගන්න පුලුවන් අග්ගලා වර්ග.

බත් අග්ගලා.

මේ අග්ගලා වර්ගය ඕනෑම වෙලාවක හදා ගන්න පුලුවන් ජනප්‍රියම අග්ගලා වර්ගයක්. රස විඳපු කෙනෙක් නැති තරම්. 

  • ඉතිරි වූ බත් වේලාගෙන පිරිසිදු තැටියක දමා අව්වේ රත් කර ගන්න.
  • ඊට පසු කබලක දමා හොඳින් බැද ගන්න.
  • ග්‍රයින්ඩරයේ දමා කොටා ගන්න.

ඒ තමයි පිටි මිශ්‍රණය.

  • පොල්,සීනි සහ ලුණු අවශ්‍ය ප්‍රමාණයට අරගෙන බත් පිටි සමඟ මිශ්‍ර කර ගන්න. 
  • ගම්මිරිස් ස්වල්පයක් ද එකතු කරන්න.
  • වතුර ස්වල්පයක් එකතු කර අතේ නොඇලෙන මට්ටමට අනා කුඩා ගුලි සාදා ගන්න

කොස් ඇට අග්ගලා.

කොස් ඇට අග්ගලා අපූරු කෑමක්. පොඩිත්තෝ මේ අග්ගලා කන්න ගොඩක් කැමති වේවි.

අවශ්‍ය දේවල්

  • කොස් ඇට 
  • ගා ගත් පොල්
  • ලුණු
  • සීනි
  • වතුර

සාදා ගන්නා ආකාරය.

  • කොස් ඇට පොතු නොඇර හොඳින් සෝදා ගන්න
  • අඩු ගින්දරේ භාජනයක් ලිප තබා කොස් ඇට එයට දමා දුඹුරු පැහැ වන තෙක් බැද ගන්න.
  • කොස් ඇට අතින් ඇල්ලිය හැකි තරමට නිවුණු පසු පොතු ගලවා ගන්න.
  • මඳක් උණුසුම්ව තිබියදීම වංගෙඩියක හෝ ග්‍රයින්ඩරයේ කොටා ගන්න.
  • එයට සීනි,රස අනුව ලුණු ස්වල්පයක් සහ පොල් එකතු කර වතුර ස්වල්පයක් දමා අනා ගන්න.
  • ගුලි සකසා පොඩිත්තන්ට පිළි ගන්වන්න.

හාල් පිටි අග්ගලා.

අවශ්‍ය දේ

  • සහල් 
  • සීනි හෝ පැණි
  • එනසාල් හෝ සූදුරු
  • බැදපු ගම්මිරිස් කුඩු 

සාදා ගන්නා ආකාරය

  • හාල් පැයක් පමණ පොඟන්නට දමා බ්ලෙන්ඩ් කර ගන්න.
  • ඒ පිටි හලා ගන්න.
  • රන් පැහැ වෙනතුරු කබලක හෝ භාජනයකට දමා බැද ගන්න.
  • සීනි වලට වතුර ස්වල්පයක් දමා ලිපේ තබා රන්පැහැ පැණියක් සකසා ගන්න.
  • කිතුල් පැණි තිබෙනවා නම් එය මඳක් උණු කර ගන්න.
  • එනසාල් හෝ සූදුරු සමඟ බැදපු ගම්මිරිස් කුඩු ටිකක් පිටි මිශ්‍රණයට එක් කරන්න.
  • පිටි ස්වල්පයක් පසෙකින් තබා ගන්න
  • පැණි හොඳින් නිවුණු පසු පිටි මිශ්‍රණයට පැණි එක් කර අනමින් අග්ගලා ගුලි සාදා ගන්න.
  • අග්ගලා පසෙකින් තබා ගත් පිටි මිශ්‍රණයේ දවටා ගන්න.

රසවත් සහල් පිටි අග්ගලා පොඩිත්තන් වෙනුවෙන් සූදානම්.

Related Articles

Don't Miss


Latest Articles