රන් මල් දම් – 16

0
5361

මන්දාරම් කාමරය පිසදා වීදුරු කටු අස් කලේය. සියල්ල සිදු කර අවසන් වනතුරු නිම්නාවී උන්නේ යහන මතට වීගෙනය.

” ඔහොම ඉන්නවා … අම්මාට කන්න දීලා එන්නම් මම … බෙහෙත් විදලා, මැහුම් දාගෙන එන්න වෙයි ….”

මන්දාරම් නිම්නාවීට එලෙස පවසමින් කාමරයෙන් පිටතට යන්නට සූදානම් වෙද්දීම, නිම්නාවී වහා යහනෙන් බසින්නට උත්සාහ කලාය. මන්දාරම් වෙතින් ඇයට ලැබුණේ දැඩි තරවටු බැල්මකි.

” බෙහෙත් ඕනි නෑ මන්දාරම් මහත්තයා.. මං හවසට දිලුම් මල්ලිට කියලා බෙහෙත් දාගන්නම් …. එහෙම කරදර වෙන්නෙපා …”

ඕ මන්දාරම්ගේ බැල්ම නිසා නැවති, එහෙත් නොබියව පිළිතුරු දුන්නාය.  මන්දාරම් කාමරයෙන් පිටතට ගියේ නිම්නාවී ගල් වන තරමේ බැල්මක් ඇයට හෙලමිනි. නිම්නාවී හේතුවක් සිතා ගත නොහී එලෙසම නැවතී උන්නාය.

නිම්නාවී අඩක් වන සේ සකසා තිබූ කිරිබත සකසා සීනි සම්බෝලයක්ද පිළියෙල කරගත් මන්දාරම් අම්මා උදෑසන ආහාරය ගන්නා තෙක් ඇය අසලට වී උන්නේය. බෙහෙත් ලබාදී, උදෑසන ව්‍යායාම ද කරවූයේය. ඉන් පසුව ඔහුට සහ නිම්නාවීට වන සේ කිරිබත් කැබලි දෙක බැඟින් පිඟන් දෙකකට දමාගෙන කාමරය වෙතට  ගියේය.

 දුටු දසුනින් මන්දාරම් මොහොතකට පියවි සිහියෙන් නික්මුණේය. ඔහුගේ යහන මත කොනටම වන සේ තද නින්දකට වැටී උන්නේ නිම්නාවීය. තවත් ඇහි පිල්ලමක වෙනසකින් ඇය යහනෙන් බිමය. මන්දාරම් හඬ නොනැඟෙන්නට ඇවිද ආවේය. පිඟන් දෙක මේසය මත තබා, ඇය නොවැටෙන සේ යහන අසලින්ම සිටගෙන උගුර පෑදුවේය. එහෙත් නිම්නාවීගේ චලනයක් හෝ වූයේ නැත.

මන්දාරම් වූයේ දෑස් නලලේ තියාගෙනය. හරියට නොදන්නා පිරිමියෙකුගේ කාමරයක, නුහුරු ඇඳක මෙහෙම නින්දක් යන්නට තරම් ඇයට හැකි වන්නේ කෙලෙසදැයි ආ හැඟීම පරයාගෙන සිතට නැඟුනේ ඇය යම් දැඩි වෙහෙසක ඉන්නවා විය යුතුය යන හැඟීමය.  මන්දාරම් ඇය වෙත නැඹුරු වී තුවේය.

” නැගිටින්න නිම්නාවී ….”

සිතූ ලෙසම මන්දාරම් අල්ලා නොගන්නට ඕ බිමය. ඕ කලබලයෙන් ඉන්නා තැන සිහි කරගන්නට උත්සාහ කලාය. ඉන් පසුව මන්දාරම්ගේ රුව සැනින් හඳුනාගෙන මුහුණ අකුලුවා ගත්තාය.

” කාලා ඉන්න ….”

මන්දාරම් ඇය අපහසුවේ නොහෙලාම පිඟාන පෑවේය.  නිම්නාවී එය අතට ගත්තේ යම් පැකිලීමක් එක්කමය. මන්දාරම් ඒ වගක් නැතිවාම මෙන් අසල පුටුවකට වැටුණේය.

” මටත් රසට උයන්න පුලුවන් … ඕක කාලා ඉන්න …”

ඇය එක් අතක රඳවා ගත් කිරිබත් පිඟාන සමඟ නිසොල්මනේම සිටින බව වටහාගත් මන්දාරම් යලි කීවේ සරදම් හඬක් එක්කමය. නිම්නාවී හිස සලා කිරිබත් කැබැල්ලක් මුවෙහි රුවා ගත්තාය.

ඒ සැනින්ම හිස ඔසවා මන්දාරම් දෙස බැලුවේය. මන්දාරම් උන්නේද ඇගේ ප්‍රතිචාර බලාපොරොත්තුවෙනි. ඕ ඒ බැල්මෙන් ධෛර්‍යමත් ව සිනාසී යලි පිඟානේම ඇස් ඇලෙව්වාය.

” නිම්නාවීගේ කොලිෆිකේශන් මොනවද ?…”

” මහත්තයා ?…”


නිම්නාවී එය නොවැටහුනාක් මෙන් සිටින්නට උත්සාහ කරන අතරේ පිළිතුරු  ගැලපුවාය. දිලුම් ඔහුට පැවසූ මුසාවන් ඉක්මවා නොයන සේ යමක් පැව්සිය  යුතු බව සිහියට ගත්තාය.

” ආහ් … අනේ හලෝ … මං හිතන්නේ එක්කෝ තමුසේ මට වඩා බාලයි .. නැත්නම් මට වඩා අවුරුද්දක් දෙකක් වැඩිමල් ඇති .. ඔය මහත්තයා මහත්තයා නොගා මන්දාරම් කියලා කතා කරනවද ?…… තමුසේ ඔහොම මහත්තයා මහත්තයා ගානවා අපේ ඔෆිස් එකේ මොකෙක්ට හරි නිකමටවත් ඇහුනොත් එහෙම මං කසාද බැඳලා කියලාත් හිතාවි …”

නිම්නාවී දෑස් විසල් කරගෙන මන්දාරම් පැවසූ යමක් වෙනුවෙන් අවධානය දෙන බව පෙන්වමින්, ඉකුත් ප්‍රශ්නය මඟ හරින්නට උත්සාහ කලාය.

” තේරුනාද ?…”

” හරි ….”

” අඩිය බිම තියන්න පුලුවන්ද ?…”

ඕ හිස සැලුවාය.

” අත සෝදගෙන එන්න .. ඔය ඇඳුමම ප්‍රශ්නයක් නෑ … මෙතන එහා තියෙනවා ප්‍රයිවට් චැනලින් සෙන්ටර් එකක් … බෙහෙත් විදලා, බෙහෙත් දාගෙන එමු ….”

නිම්නාවී මන්දාරම් වලක්වාගන්නට හැකි විදියක් දස අතේ කල්පනා කරන අතරේ කුස්සියට ගියාය.  බෙහෙත් දැමීම නම් කෙලෙසකින් හෝ ඉවසා ගන්නට හැක. එහෙත්, සිලින්ජර දිගු කරමින් බෙහෙත් විදීම ඉවසා ගන්නේ කෙසේද ?….

කෙලෙසක හෝ එය මඟ හැරිය යුතු බව නිම්නාවී තීරනය කලාය.

” බෙහෙත් විඳින්න ඕනි නෑනේද ?…”

” ඇයි ?.. නිම්නාවී මොකක් හරි දොස්තර උපාධියක් කරලාද ඉන්නේ ?…..”

” අනේ ..”

එහෙත් මන්දාරම් ඉක්ම යන්නට ඇයට ඉඩ ලැබුනේ නැත. මන්දාරම්ගේ මෝටර් රතයේ ඉදිරි අසුනේ හිඳ ගන්නටද  සිදු විය.  නිම්නාවී වීදුරු කටුවකට කකුල කපාගෙන බැවින් රෝහලට ගොස් පැමිනෙන තෙක් ඇඳෙන් නොබසින්නයැයි අම්මාට අවධාරනය කල මන්දාරම් නික්මුණේය.

” කවුද කිව්වේ උදේ පාන්දර කිරි හදලා මාව ඇහැරවන්න කියලා…”

චානකගේ වට්සැප් ගිණුමෙන් පැමින තිබූ නොසරුප් ස්ටිකරය දැක යමක් වටහා ගත්තා මෙන් මන්දාරම් විඅම්සුවේය.

” චානක  … මහත්තයා…”

” ඌ මහත්තයා නෙවෙයි .. ඌත් චානක …”

මන්දාරම් චානක කෙරෙහි වූ කෝපය නිම්නාවීට පෑවේය. නිම්නාවී හිස සැලුවාය.

” මොකද්ද ඌ කිව්වේ ….”

” සුදු කිරි එකක් රත් කරලා, සීනි චුට්ටක් දාලා හදාගෙන  පැය භාගෙකින් විතර ඇහැරවන්න කිව්වා….”

නිම්නාවී මෝටර් රියේ ඉදිරිපස බලාගෙන පිළිතුරු දුන්නේය. මන්දාරම්ගේ මුවඟට නැඟුණු මන්දස්මිතය ඒ නිසාම ඇයට මඟෑරුණි. මන්දාරම්ද එය නිවැරදි  නොකරම බලා උන්නේය.  එහෙම කීමෙන් පසු, ඇය මෙහෙම කිරීම තමන්ට මෙහෙම කිතියක් හදන්නේ ඇයිදැයි ඔහු සිතන්නට උත්සාහ කලේම නැත.

තුවාලය පිරිසිදු කර ඖෂධ ගල්වන තෙක් නිම්නාවී අපහසුවෙන් ඉවසා උන්නාය. එහෙත් හෙදිය සිලින්ජරයට ඖෂධ පිරවීම බලා සිටින්නටවත් ඇයට හැකි වූයේ නැත. ඕ වහා යහනෙන් බැස්සාය. මන්දාරම් උන්නේ මද දුරකිනි. ඇය එක්වරම කුමක් කරන්නට යන්නේදැයි සිතාගන්නට නොහැකිව මෙන් ඔහුද ඒ දෙසට ඇවිද ආවේය. හෙදියන් දෙදෙනක්ද වහා ඕ වෙත ආවෝය.

”  බෙහෙත් විඳින්න ඕනි නෑ… මට බෑ…”

ඕ මන්දාරම් වෙත එලෙස පවසමින් මන්දාරම්ගේ ටී ශර්ටයේ එල්ලුණාය. මන්දාරම්ට මහ හඬින් නැඟෙන්නට ආ සිනහව ඔහු ආයාසයෙන් ගිල ගත්තේය. එලෙස නම්  හේතුව මෙයය. මන්දාරම් ඇගේ අතකින් අල්ලා ගත්තේය.

” බැහැ කියලා බෑ.. මෙහෙ එන්න ….”

” අනේ බෑ .. කිව්වනේ බෑ … මම හවසට බෙහෙත් විද ගන්නම් දිලුම් මල්ලීට කියලා …”

නිම්නාවී ඇගේ සැබෑ ස්වරූපයේ වූ උස් හඬින් කෑ ගසා කිව්වාය. මන්දාරම් ඉන් පත්වූයේ තවත් අමන්දානන්දයටය.

” ඔය පුටුවක් ගන්න  මිස් .. මම අල්ලගන්නම්…”

එක් පසෙකි  හෙදිය අල්ලා සිටියදී, මන්දාරම් නිම්නාවීව තමා වෙතට තද වන සේ අල්ලාගත්තේය. ඇයට සෙලවෙන්නට හෝ ඉඩක් වූයේ නැත.

” හම්මෝ …පුදුම කෑ ගැහිල්ලක්නේ . නෝනද ගර්ල්ෆ්‍රෙන්ඩ්ද ?…”

බෙහෙත විද අවසානයේ හෙදියක ඇසුවාය.

” වෙන්න නෝනා …”

මන්දාරම් එලෙස කීවේය. ඉතින්…….., ජීවිතයට සැළසුමක් නැතැයි කොහොම කියන්නද ?…

අපේක්ෂා ගුණරත්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here