මතක දිගහැරුම 76 – අප්සාරි සිංහබාහු තිලකරත්න

හැත්තෑ හයවන දිගහැරුම ,

ලෝක කුසලාන තරඟාවලිය නැරඹීම සඳහා ගිය අප සම්පූර්ණයෙන්ම දකුණු අප්‍රිකාව පුරාම ගමන් කලෙමු.එක් දිනයකදී තරඟ පැවැත්වුනු පිටියට කිලෝමීටර් දාහකට වඩා ඈතින් තවත් දිනයක තරග පැවැත්වෙන පිටිය පිහිටා තිබෙන නිසා ඒ ආකාරයට එහා මෙහා යාමට අපට සිදුවිය.එහිදී ,කිලෝමීටර් 800 යනු අප ගමන් කළ කෙටිම දුර විය.එසේ විශාල දුර ගමන් කිරීමට තිබෙන විට අලුයම 6 වන විට උදෑසන ආහාරය ලබා ගන්නා අප සැම දෙනාම අපගේ බඩු බාහිරාදිය ද රැගෙන පිටත් වන්නෙමු.

දකුණු අප්‍රිකාවේ සුදු ජාතිකයන් ජීවත්වන වෙනම පළාත් ද , කළු ජාතිකයන් ජීවත්වන වෙනම පළාත් ද ඇත.ඇතැම් ප්‍රදේශවල ඒ වන විටත් නොදියුණු ගෝත්‍ර ද ජීවත් වූ අතර ඔවුන් ජීවත්වන එක පෙලට පෙළට පිහිටා තිබෙන කුඩා ගෙවල්ද අප දුටුවෙමු. කළු ජාතිකයන් සිටිනා ප්‍රදේශවලදී වාහනයෙන් පිටතට නොබසින ලෙසත් , කිසිම හේතුවකට වාහනය නතර නොකරන ලෙසත් ,දකුණු අප්‍රිකාවේ ජීවත් වන අපට හිතවත් අයගෙනුත්,හෂාන්ගේ මිතුරන්ගෙනුත් අප හට උපදෙස් ලැබී තිබුණි.මන්ද එවැනි ප්‍රදේශවල අධික ලෙස හොරකම් සහ මංකොල්ලකෑම් සිදු වන බවට ප්‍රසිද්ධ වී තිබුණි.සුදු ජාතිකයන් ජීවත්වන පලාත් වල පිහිටි හෝටල් සහ පරිසරය දකින විට අපට එහි සිටින්නේ සුදු ජාතිකයන් බව හඳුනාගත හැකිය. එවැනි නගරයක් හමු වූ විට දහවල් ආහාරය සඳහා අප නතර වූයෙමු.දහවල් ආහාරය ගැනීමෙන් පසුව නැවතත් හවස් වන තුරුම අප සිදු කරන්නේ නියමිත ස්ථානය වන තෙක් අපගේ වාහනයෙන් ගමන් කිරීමය.වෙනත් කිසිදු ස්ථානයක වාහනය නතර නොකරන අප අඳුර වැටෙන්නට පෙර ,එනම් සවස හය පමණ වන විට ගමන නතර කරන අතර , අප නවාතැන් ගන්නේ සුදු ජාතිකයන් ජීවත් වන ප්‍රදේශයකය.එම නගර වලට ඇතුළු වන විටම City hotels නම් හෝටල් ජාලයේ හෝටල් පිහිටා තිබෙන අතර ඒවායෙහි නවාතැන් ගන්නේ ව්‍යාපාර කටයුතු වලට හෝ වෙනත් කටයුතුවලට දකුණු අප්‍රිකාවට පැමිණෙන අය ය.එම හෝටල් කරා යන අප කාමර වෙන් කරවාගෙන නවාතැන් ගන්නෙමු.
සුදු ජාතිකයන් ජීවත්වන ප්‍රදේශ නිසා පිටතට යාම අනතුරුදායක නොවන බැවින් සවස් කාලයේ පිටතට යන අප නගරය පුරා ඇවිදින්නෙමු. පිටතින් ආහාර ගෙන සිරි නරඹමින් කාලය ගත කරන අප නැවත නවාතැනට පැමිණෙන්නේ රෑ බෝ වීමෙන් පසුවය.

දකුණු අප්‍රිකාවේ අධිවේගී මාර්ගවල ගමන් කිරීමේදී ගමන් කළ යුතු උපරිම වේගය වන්නේ පැයට කිලෝමීටර් 160 ක වේගයකිනි.වර්තමානයේදී මෙන් එකල මාර්ග උපදේශ සහය ලබා ගැනීමට තරම් දියුණු තාක්ෂණයක් නොතිබුණ නිසා රියදුරු අසුනට එහා අසුනේ තාත්තා හෝ වෙනත් අයෙකු අසුන් ගෙන සිතියමකට අනුව මඟ පෙන්වීම සිදු කරයි.එසේත් නොමැති නම් මා මගෙ උකුල මත සිතියම තබාගෙන වාහනය ධාවනය කල අවස්ථාද තිබුණි.අධිවේගී මාර්ගය එක දිගට ඉතා ඈතට විහිදී ඇති බැවින් වාහනය ධාවනය කිරීම එක් අතකින් පහසුවක්ද විය. පැයට කිලෝමීටර 160 ක වේගයෙන් වාහනය ධාවනය කරන ඇතැම් අවස්ථා වලදී වාහනයේ සුක්කානමට එය දැනෙන අවස්ථාද තිබුණි.නමුත් එම වේගයටම අප ගමන් කළ යුතුව තිබුණේ එසේ නොවුණහොත් අපගේ ගමන ප්‍රමාද වන බැවිනි.දුර ප්‍රදේශ වලට ගමන් කරන විට කෙසේ හෝ දින දෙකක් තුළ අපගේ ගමන අවසන් කිරීම අපගේ අරමුණ විය.

බොහෝ ස්ථානවල පාර දෙපස ඉලෙක්ට්‍රොනික වැටවල් සවි කර ඇත.ඒවා එසේ සවිකර ඇත්තේ අලි ඇතුන් ,සීබ්‍රාවන් ,මුවන් වැනි සතුන් පාරට ඇතුළු වීම වැළැක්වීම සඳහාය.මාර්ගයේ අප ගමන් කරන විට දක්නට ඇත්තේ විශාල වනාන්තර හෝ තෘණ භූමි ය.ඒවායින් පිටතට පැමිණෙන සතුන් පාර දෙපස සිටිනු අප බොහෝ අවස්ථාවන්වල දැක ඇත්තෙමු.වාහනය තුළ සිටි දරුවන් දෙදෙනා එම සතුන් සහ පරිසරයේ අසිරිය දැක බොහෝ සතුටු විය.

කළු ජාතිකයන් ජීවත් වන ප්‍රදේශවල ගමන් කරන විට ,ගැටුමක් හෝ වෙන මොනයම් හේතුවක් නිසා හෝ මරණයට පත්වී පාරේ වැටී සිටි මිනිසුන්වද අප දුටුවෙමු.ඒවා අප සිත් වලට තරමක බියක් ඇති කළ අත්දැකීම් විය.කෙසේ හෝ දින දෙකක් පුරාවට ගමන් කරන අප අපගේ ගමනාන්තයට ළඟා වන්නේ ඉන්පසුවය.හෂාන් ඇතුළු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ගුවනින් ගමන් කලත් අප ගොඩබිමින් යාමට ගත් තීරණය එක් අතකට හොද යැයි අපට සිතුනේ ගුවනින් ගමන් කරද්දී විවිධ නගර , පරිසරය සහ සතුන් දැක ගැනීමට අප හට අවස්ථාව අහිමි වන නිසාය.නමුත් නගර හරහා ගමන් කළ අප බොහෝ අත්දැකීම් අප ජීවිත වලට එකතු කර ගත්තෙමු.

මතු සම්බන්දයි

Related Articles

Don't Miss


Latest Articles