කළු පාට චිත්‍ර

“ඉක්මනට කනව ළමයො…”

දීප්ති සැර කරාම පුංචි ෂෙහාර ඇස් ලොකු කරලා අම්මා දිහා බැලුවා.දීප්ති බත් අනන්නේ මිරිකනවා වගේ.

“මට වැඩ තියනව..මේ කටත් කනවා.විකාර නටන්න වෙලාවක් නෑ.”

ෂෙහාර කටේ තිබුණු බත් කට එතනම බිම අතෑරියා.ඊටත් පස්සේ මුහුණ නරක් කරගෙන එතනින් යන්න ගියා.දීප්ති කෑම එක අරන් ගිහින් පිළිකන්නට හැලුවා. එහා ගෙදර රෝසි කිටී ඕනනම් ඇවිල්ලා කන්නේ නැතැයි.

ෂෙහාර කෝටුවකුත් අරගෙන මල් ගස්වලට ගහ ගහ ඇවිදින හැටි දීප්ති දැක්කේ සාලේ ජනේලයෙන්.එයා වේවැලත් අරගෙන ඉක්මනට එතැනට ගියා.මල් කඩේට ගිනි ගණන් දීලා අරන් ආව රෝස ගහේ කොළ සීසීකඩ ඉහිරිලා. බෝගන්විලා පෙති හැමතැනම වැටිලා.ආපු ආවේගයට දීප්ති පුතාට ගහගෙන ගහගෙන ගියා.ශෙහාරගේ ඇහෙන් එක කඳුලක් වැටුණේ නෑ.හැබැයි එයා අම්මට පුලුවන් තරම් නරකට රවන්න පටන් ගත්තා.

“අයියෝ දීප්ති මේ බලන්න..”

දවසක් එහා ගෙදර යසෝ නැන්දා ඔලුවේ අතගහගෙන කෑගහනවා.දීප්ති එතැනට ගියේ වේගයෙන්.යසෝ නැන්දා එක අතකින් ශෙහාරව අල්ලාගෙන.ශෙහාර ඉන්නේ ඇට්ටර හිනාවක් දාන ගමන්.

“යසෝ නැන්දගෙ මොනව හරි බින්දද?

දීප්ති ඇහුවේ ළඟ තියන පේර ගහකින් කෝටුවක් කඩන ගමන්.පාර අයිනේ තියන ලොකු කාණුව ඇතුළෙන් යසෝගේ මුණුපුරා වෙච්ච කසුන් මතු වුණේ ඒ වෙලාවේ.කසුන්ගේ අතේ කූඩයක්.ඒ කූඩේ රෝසි පූසිට ඊයේ පෙරේදා ලැබුණු පැටව් ටික වෙව්ලමින් හිටියා.

“බලන්නකො.මේ කොල්ලා පූස් පැටව් ඔක්කොම කානුවට අතෑරල..”

යසෝ කිව්වේ එච්චරයි.දීප්ති පුතාට ගහන්න ගත්තෙ යකෙක් ආවේස වුණු ගානට.

“අනේ එපා දීප්ති අක්කේ.මම දැක්කා පැටවුන්ව අල්ලන්න ගිහිල්ලා රෝසි පුතාට පිඹිනවා.ඒ තරහ වෙන්න ඇති ඔය..”

කසුන් පූස් පැටව් හිටපු කූඩය තියලා පොඩි එකාව මුවා කරගත්තා.

“මේ ළමයව මොකක් කරලාවත් හදන්න බෑනේ..” දීප්ති හිතුවේ කේන්තියෙන්.

ශෙහාරට හිතපු දේ ඒ වෙලාවෙම ඕනේ.නැත්නම් බිම පෙරළි පෙරළි අඬනවා. මේ පුරුද්ද නිවැරදි කරගන්න කවදාවත් දීප්තිට පුළුවන් වුණේ නෑ.පුතා හඬන හැම වෙලාවෙම දේශාන් බනින්නේ දීප්තිට.මොන්ටිසෝරි යන්න ගත්තම සේරම හරියාවි කියලා හිතුවත් තත්වෙ තවත් දරුණු වුණා.එක්කෝ කාට හරි පැන්සලෙන් අනිනවා.යාලුවන්ගේ කෑම පෙට්ටි බිම දානවා.

“මේ ශෙහාර එලීනාගේ කොණ්ඩෙ කපලා ඩාලිං..”

වැදගත් පහේ අම්මා කෙනෙක් දවසක් දීප්තිව ගේට්ටුව ගාවදී අල්ලා ගත්තේ එහෙම කියාගෙන.පොඩි දෝණිගේ කොණ්ඩේ කාවෝ කාලා වගේ තිබුණත් ඒ අම්මා ඒ හැටි කෝප ගත්තේ නෑ.වෙනදට අනිත් අම්මලගෙන් බැනුම් අහලා තිත්ත වෙලා හිටපු දීප්ති ඒ අම්මට අහිංසක හිනාවක් දෙන්න වග බලා ගත්තා.

“මෙයා ඔහොමමයි අනේ..මොකක්හරි දඟ වැඩක් කරනව”

දීප්ති කිව්වේ වේදනාවෙන්.එලීනාගේ අම්මා ජයනි හිනාවකින් දීප්ති දිහා බැලුවා.

“දඟ නැත්තං ළමයි නෙවේනෙ අනේ.ඒත් ඔයා චුට්ටක් විපරමින් ඉන්නකො.පුතා ඔහොම වෙන්න මොකක්ම හරි හේතුවක් ඇති..”

ශෙහාර නරක වැඩ නොනවත්වාම කළා.දේශාන් දීප්තිත් එක්ක රණ්ඩු වෙන ඕනෑම වෙලාවකට පස්සේ ඒ දඟ වැඩ දෙතුන් ගුණයකින් වැඩි වුණා.ඉවරයක් නැතුව රණ්ඩු කරන අම්මයි තාත්තයි සන්සුන් කරන්න ශෙහාර ගිරිය යටින් කෑගහමින් තරහ පළකළා.

ඉවරයක් නැති දඟ වැඩ වලට හේතුව දීප්තිටත් තේරුනේ නංගිගේ පැමිණීමත් එක්ක.හැමතිස්සෙම ගිරිය යටින් කෑ ගහන, බඩු පොළොවේ ගහන, ගිහින් ඉන්න පුංචි පුතා දිහා සුමාලි බලාගෙන හිටියේ ප්‍රවේසමෙන්.

“අක්කේ ඔයා අයියත් එක්ක තියෙන හැම තරහම පිටකරන්න පුතාගෙන්.දැන් ඔය අයියත් එක්ක තරහෙන් කෝල් එකක හිටියා නේද? ඊට පස්සේ පුතා බිස්කට් ඉල්ලුවම බැන්නා..මම කීප වතාවක්ම බලාගෙන.ඔයාගේ හැම තරහ ක්ම දුකක්ම පිටවෙන්නෙ එයාගෙන්.”

දීප්තිට ඇඬෙන තරමේ දුකක් ආවා.ඇත්තටම වෙන්නේ ඒක නෙවෙයිද?දේශාන් එක්ක තරහ ගියාම පුතා මොනවා ඇහුවත් බනින හැටි දීප්ති මතක් කළා.

“ඔයා ඔයාගේ තරහ පුතා පිටින් පිටකරනවා.එයා මොන්ටිසෝරියේ යාලුවන්ට ,ගස් කොළන් වලට පූසන්ට වද දෙනවා..එයාටත් තරහ පිට කරන්න විදිහක් තියෙන්න එපාය..අක්කෙ පොඩි අය කියන්නේ සුදු කඩදාසි වගේ දේකට.අපි එයාලට දෙන දේවල් තමයි එයාලා ඒ කඩදාසියේ අඳින්නේ.බලන්න..අපේ පුතා දැන් කළුපාට චිත්‍රයක් වෙන්න අරගෙන..”

දීප්ති ඒ කතාවට ඉකි බිඳිමින් අඬන්න පටන් ගත්තා.සුමාලි අක්කාව අල්ලා ගත්තේ ආදරයෙන්.

“අඬන්න එපා අක්කෙ.අපි ඕනනම් පුතාව ළමා උපදේශනයට අරන් යමු..ඊට පස්සේ ඔයාටත් පුලුවන් කවුන්සිලින් ගන්න.ඒ ඔයාගේ සම්පතනෙ අක්කේ.අපි එයාව කළු චිත්‍රයක් නොකර දේදුන්නක් කරමු..”

සුමාලි අක්කාගේ කඳුළු පිහදැම්මේ එහෙම කියන ගමන්.

හැම දරුවෙක්ම ලස්සන දේදුන්නක්, උදෑසන හිරු කිරණ තරමටම ලස්සන දෙයක්.පිනි බිංදුවක් තරමට ඉමිහිරි දෙයක්.එයාලට කළු චිත්‍රයක් වෙන්න නොදී පරිස්සම් කරන්න පුලුවන් අම්මාට විතරමයි.

More Stories

Don't Miss


Latest Articles