මුහුදු සුළඟ

මුහුදු හුළං එක්ක යාලු වෙලා හිතෙන හිතෙන අතට දුවන කෙහෙරැලි එකට එකතු කරලා බැඳලා දාන්න ඕනෑකමක් මට තිබුණේ නෑ. අගක් මුලක් හොයාගන්න බැරි තරමට ම පැටලුන නූල් බෝලයක් වගේ හිතක් එක්ක ඉන්න මට නිදහස කියන දේ උවමනාවටත් වඩා ඕනේ වෙලා ඉන්න වෙලාවක් මේක.. ඉතිං එහෙව් මම මගේ කොණ්ඩෙට නිදහස දුන්නා ඕනෑ ඕනෑ විදිහට දඟලන්න.හිත නැතත් අඩුම මගේ ශරීරෙවත්.

ඈත ඉර බැහැන් යන්න හදනවා. ඒත් මම තාම පැය කීපෙකට කලින් ආව විදිහටම වෙරළේ ඉඳගෙන මුහුද දිහා බලන් ඉන්නවා.. එහෙම ඉන්නකොට මගේ ඇස් දෙකත් මුහුදත් අතර මැද , ඔයාව මාව අපේ අතීතේ ෆිල්ම් එකක් වගේ මට පේන්න ගන්නවා.ෆිල්ම් වලට ඕනවටත් වඩා ආස කරන මම හැමදාම වගේ මේ ෆිල්ම් එක බලන්න බය වෙනවා.ඒත් මට මෙතනින් ඔයාව නොපෙනෙන තැනකට නැඟිටලා යන්න තරම් හයියක් නෑ.. ඒ නිසාම මට රිදෙන තරමට මමම තද කරලා ඇස් පියාගන්නවා.ඔයා හිතේ හොල්මන් කරන බව මම දන්නවා ඒත් මට දකින්න ඕන නෑ..

” සකුණි “

නුපුරුදු විදිහට උනත් ඔයාගේ පරක්කු වෙන පුරුද්දත් එක්කම ඔයා මට කතා කරනවා. ඒ හඬ මට ළඟයි.ඒත් ඒ ආමන්ත්‍රණය ගව් ගාණක් දුරයි. අද අඬන්නේ නෑමයි කියලා හිතන් හිටිය මගේ ඇස් නලියනවා.ඉබේම ඇස් ඇරෙනවා. මගේ වම් උරිස්ස පැත්තෙන් එහාට වෙන්න උසට මට ඔයාගේ කඩවසම් රූපේ පේනවා.වෙනදටත් වඩා කඩවසම් විදිහට.

” ඔහොම හිනා වෙනවට වඩා හොඳයි හිනා නොවීම ඉන්නවා නම්”

මං ඔයාව පිළිගන්න ඔයා එක්ක පුරුද්දට හිනා වෙලා කියලා මම දන්නෙත් ඔයා කියපු ඒ වචන වලින්. ඒත් ඒ වචන එක්ක මගේ මූණට මහ නපුරු හිනාවක් ආවේ.. ඔයා ලොකු වැරැද්දක් කලා වගේ කලබලෙන් අහක බලාගත්තා.ප්‍රශ්නවලින් පැනල යන එක මේ තරමට ම ඔයාට ලේසී උනේ කොහොමද ?

” මාව මුණගැහෙන්න ඕන කිව්වේ ? “

ඔයා එක්ක පැටලි පැටලි ඉස්සර වගේ කතා කරන්න උවමනාවක් තිබුනත් උවමනාවක් නෑ වගේ රඟපාන්න මම ගොඩක් මහන්සි උනා.ඉතිං , ඔව් මගේ ඒ වෙනස ඔයාට තේරුන නිසාම ඔයා මම දිහා ටිකක් පුදුමෙන් බලලා මට ලං නොවී ටිකක් ඈතට වෙන්න වෙරළෙන් ඉඳගත්තා.මට විශ්වාසයි ඔයාට වඩා ඒ වෙනස රිදුනේ හරියටම මගේ පපුවේ වම් පැත්තට වෙන්න තැනකට.

වෙලාව යනවා මට දැනුනේ නෑ.. ඒත් ඕනවටත් වඩා මගේ පපුව ගැහෙන විදිහ නම් මටම දැනුනා. ඔයා නොදන්නවා උනාට මම ඇත්තටම දන්නවා ඔයා ඇයි මට කතා කරන්න ඕන කියලා කියපු හේතුව. ඉතිං මට බය හිතුනා.ඔයා දිහා නොබලා ඉන්න මං පරිස්සම් උනා.දිග හුස්මක් අතෑරපු ඔයා ම කතාව පටන්ගත්තා.

” ජීවිතෙත් හරියට මුහුද වගේ නේද ? එකක් ඉවර වෙනකොට එකක් ආයේ ආයෙම රැළි හැදෙනවා , වෙරළට ගලනවා , බිඳෙනවා , ආපහු යනවා.ආයේ ආයෙම එකම දේ සිද්ධ වෙනවා “

ඒක හරි.ඔයාට මම ආදරේ කරන්න පටන් ගත්ත දවසේ ඉඳන් හරිම කෙළිලොල් විදිහට ගලන් ගිය මගේ ජීවිතෙත් මුහුදක් වගේ උනා.එකපිට එක කිසිම අනුකම්පාවක් නැති විදිහේ රැළි මාව යටකරගන්න හැදුවා.ඔයාලගේ අම්මා , මගේ පවුලේ පසුබිම , ඔයාගේ වත්පොහොසත්කම් , මගේ දුප්පත්කම් , ඔයාගේ ධනපති පංතිය , මගේ නිර්ධන පංතිය වගේ ගොඩක් රැලි වලින් යට උනත් මම ඉවසන් හිටියේ ඒ හැම දේම දරාගෙන මට වැටිලා ඉන්න ලස්සන වෙරළක් වගේ හිතක් ඔයා ළඟ තිබුන නිසා.ඒත් රැළි වල බරටද මන්දා ඒ වෙරළත් ටික ටික වෙනස් උනා.

මං හ්ම්ම් හඬකින්වත් ඔයාගේ කතාවට හවුල් උනේ නෑ.. ඔයා දැනගන්න ඕන මට රිදෙන තරම. ඒ තරමටම මට ඔයාට රිද්දන්න ඕන උනා.ආදරේ කරපු හිතක් රිද්දන්නේ කෝමද කියලා කිව්වට මේ වගේ වෙලාවල් ජීවිතේට ආවා නම් ඔය ප්‍රශ්නේ ඔයිට වඩා අනිවාර්යයෙන්ම වෙනස් වෙනවා.නිහඬව ගෙවුන තත්පර ටිකකට පස්සේ ඔයාගේ හඬ ආයෙම මට ඇහුනා.

” නිශානිට අපේ අම්මලා කැමති උනා “

ඒ වචන මට පුදුමයට හේතුවක් උනේ නෑ. ඒ මම බලාපොරොත්තුවෙන් හිටිය වචන ටික. අහන්න වෙනවාමයි කියලා කලින් දැනන් හිටිය වචන ටිකක් අහන්න වෙද්දී මොන මනුස්සයද අලුතින් පුදුම වෙන්නේ ?
ඔයා හිතුව නම් මම ඔය වචන අහලා අඬයි කියලා , නෑ මගේ ඇස්වල තිබ්බ කඳුලුත් වේලිලා දැන්.

” හොඳයිනේ “

ඒ මම කියන්න හිටපු වචන නොවෙන වග මට විශ්වාසයි. මට ඕන උනේ ” ඔයා කොහොමද මට මෙහෙම කරන්නේ ? ඔයා කොහොමද මගේ ආදරේට මෙහෙම කරන්නේ ? ඔයාට පුලුවන්ද මේ දේවල් මෙහෙම සිද්ධ වෙනකම් බලන් ඉන්න ? ” වගේ දේවල්. ඉස්සර උන්න මම අද හිටියා නම් මම මේ දැන්ම ගිහින් මුහුදට පනිවී. ඒත් ඔයා ම මාව හයිය කෙල්ලක් කලා ටිකෙන් ටික මාව රිද්දලා. දැන් මම අඬන කෙල්ලක් නෙමේ.
ඔයා මගෙන් දුර ඈතකට යන්න ඔයාගේ පවුල එක හේතුවක් උනත් නිශානිට ඔයාට ළං වෙන්න ලොකුම හේතුව උනෙත් ඒ පවුලමයි. ඉතිං මේ ලෝකේ හරිම අසාධාරණයි කියලා ඔයාට හිතෙන් නැද්ද ?

” හ්ම්ම්ම්ම් .. ඇත්තට ම හොඳයිද ? “

ඈත ක්ෂිතිජයේ තිබ්බ ඔයාගේ ඇස් මගේ පැත්තට හැරවිලා තියනවා මට ඇස් කොණින් පෙනුනා.

” ඔව් හොඳයි ! ඇත්තටම හොඳයි. මනුස්සයෙක් බලාපොරොත්තු වෙන ආදරයක් , ජීවිතයක් ලැබෙද්දී ඇත්තටම මට සතුටුයි. මොකද එහෙම බලාපොරොත්තු ඉෂ්ට වෙනකොට තියන සතුට ගොඩක් වටිනවා.තමන් ආදරය කරන කෙනාව ම තමන්ට ලැබෙද්දී ඒක ලොකු දිනුමක් ; සැනසීමක්.මට නැතත් ඒ සතුට කාටමහරි ලැබෙනවනේ කියලා මට සතුටු වෙන්න පුලුවන්. ඒ ඇති ! “

” මටත් රිදෙනවා “

” ඊට වඩා ගොඩක් මට රිදුනා “

මගේ හඬ වෙව්ලනවා.. තමන් මුලු ලෝකයක් කරන් ආදරේ කරපු මනුෂ්‍යයා තමන්ට තව දුරටත් අයිති නෑ කියලා හිතෙද්දී දැනෙන වේදනාව මට ආයේ ආයෙම දැනෙමින් තිබුනා.ඒත් එයා කතාව වෙනස් කලා.

” මට ඕන වුනා මේ දේ ඔයාට කියන්න සකුණි , ඒකමයි ඔයාව මුණ ගැහෙන්න ඕන කිව්වේ. “

එහෙම කියපු ඔයා මට හිතන්නවත් වෙලාවක් නොඳී මගේ අතින් තිබ්බේ ලියුම් කවරයක්.ඔයාට කියාගන බැරි ගොඩක් දේවල් මේ කවරේ ඇතුලේ තියනවා කියලා මට කිව්වේ ඔයාගෙ ඇස්.ඒත් ඒ ඇස්වල තියන්නේ ආදරයක් අහිමිවීමක දුකක් නෙමේ , තමන් කලේ වැරැද්දක් කියන සිතුවිල්ලෙන් මිදෙන්න බැරිකමක් ; ආත්මානුකම්පාවක් කියන දේ ආයේ ආයේම ඔලුවට එද්දී මට ඇත්තටම ඔයා එක්ක තරහක් එනවා.

” මට සමාවෙන්න ! “

මේ වෙනකම් අපේ සම්බන්ධකම ඇතුලේ කවමදාකවත් ඔයා නොකිව්ව වචනයක් ඔයා මට අද කියනවා. මේ හැම හිත් බිඳීමක්ම ඒ වචනෙන් සුව වෙනවා කියලා ඔයාට හිතුනාවත් ද ? එහෙම නැත්තම් මේ වෙනකම් නොකිව්ව දේවල් පවා කියලා ඔයාට මගෙන් ඈත් වෙන්න ඕන උනාද ?

” සතුටින් ඉන්න නිම්න ! ” මගේ හඬේ වෙව්ලිල්ල තාම අඬුවක් නෑ. ඒත් මම කඳුලු හැලුවේ නෑ.. මේ මම ජිවීතේ මූණදෙන අසීරුම තත්පර කීපයක් කියලා මගේ මුලු ආත්මෙටම දැනෙමින් තිබුනා.

” මම ගිහින් එන්නම්. ජීවිතේ හැමදාම මම කලේ මට ඕන දේ වෙනකොට මම දන්නවා මේ කරන්න යන ඉල්ලීම අන්තිම අසාධාරණයි කියලා. ඒත් මම කැමති එදාට ඔයාව දකින්න.. පරිස්සමින් ඉන්න “

ඔයා ඉස්සර වගේ නෙමේ හරිම පරිස්සමින් මගේ ඉස්සරහා වචන පාවිච්චි කලා. හරිම ආගන්තුක විදිහට මට ගොඩක් දුර විදිහට. අද මීට කලින් අතීතේ දවසක් උනානම් මේ සමු ගැනීම මොන තරම් නම් ආදරණීයය ද ? මේ වෙරළේ රළ හඬ මොන තරම් නම් ලයාන්විතද ? මේ හුළඟ මොන තරම් සුවබර ද ? මේ හවස් යාමය මොන තරම් නම් ප්‍රේමණීය ද ? ඔයයි මමයි ගෙවපු ඒ හැන්දෑ වරු ආයේ කවමදාවත් එන්නේ නෑ නේද ?

මේ පැත්තෙන් ඉර බැහැගෙන යනවා . අනිත් පැත්තෙන් ඔයා මගෙන් ඈතට ඈතට යනවා.. දන්නවද මට දැනෙනේ හරියට මගේ මුලු ලෝකෙම ඉර නැතුව අඳුරේ ගිලෙනවා වගේ..

වෙව්ලන ඇඟිලි තුඩු වලින් මම ලියුම් කවරේ දිග ඇරියා. ලස්සන වැල් අකුරින් ලොකුවට ” Nimna & Nishani ” කියන නම් දෙක මම දැක්කා. ඒ නම් පවා කොච්චර ගැලපෙනවද ? දිනය වෙලාව තැන හැම දේම ලෑස්ති.. ඒ කියන්නෙ ඔයත් ලෑස්ති ඇති නේද නිම්න ?

ඔයා නැතුව හුස්ම ගන්න බෑ කියලා හිතං හිටිය මම දැන් අලුතින් හුස්ම ගන්න ඕන කියන එක මට දැනෙනවා.. අමාරුයි.. ඒත් මොනවා කරන්නද ? එහෙම නොකරොත් අනිවාර්යයෙන්ම මම මැරෙනවා.. ඒ නිසා මට හුස්ම ගන්නම වෙනවා. මගේ මරණෙට හේතුව ඔයා වෙනවට මම ආස නෑ. ආදරේ නෙමේ ඒ මට ඔයා එක්ක තියන තරහා කියලා හිතන්නයි මම ආසම.

“ටිං”
දුරකථන තිරය මත අවුරුද්දක විතර කාලයක් තිස්සේ කෙටිපණිවිඩයක් එයි කියලා මඟ බලන් හිටිය අංකයකින් පණිවිඩයක් සටහන් වෙලා.
” මට පුලුවන්නම් සමාව දෙන්න “
මම වටපිට බැලුවේ පුරුද්දට. ඉස්සර වගේ මට මැසේජ් එකක් දාලා මම ඒකට රියැක්ට් කරන විදිහ හොරෙන් බලන් ඉන්නවද බලන්න.ඒත් ඒක එහෙම නෙමේ කියල මට තේරුනේ ඔයා ආව මෝටර් රිය මගේ ඇස්වලට පේන මානෙකවත් නොවුන නිසා නිම්න.

මම දන්නවා ඔයා දැන් මම වෙනුවෙන් දුක් වෙනවා කියලා.මට අනුකම්පාකරනවා කියලා.මට ඔයාගේ අනුකම්පාව ඕන නෑ.ඔයා මම වෙනුවෙන් දුක් වෙන්න් ඕනත් නෑ. ඒ වගේම ඔයාට ජීවිත කාලෙම විඳවන්න ‘මම’ හේතුවක් කරන්නත් මට ඕන නෑ..

” සමාව ඉල්ලන්නේ වැරදිකාරයෝ. ඔයා එහෙම කෙනෙක් නෙමේනේ.මම ඔයාව මේ හැමදේකින්ම නිදහස් කරලා ගොඩක් කල් නිම්න.ඒ නිසා අතීතේ අමතක කරන්න. මං ඔයාට ආදරේ කලා. ඔයත් මට ආදරේ කලා ( කියලා මම හිතනවා ). කොහොම උනත් ඒ හැම දේම අතීතේ.. වර්තමානෙවත් අනාගතේවත් නෙමේ. සතුටින් ඉන්න ! මම එදාට ඇවිත් යන්නම් ඔයාව වැරදිකාරයෙක් නොකර. “

‘ මං ආදරෙයි නිම්න ‘ කියලා කියන්න ඕන උනත් ඒ වචන මට වඩා ආදරණීයව නිශානිගේ හඬින් ඇහෙනවා ඇතිනේ කියලා හිතලා මම මුලු මුහුදටම ඇහෙන්න කෑ ගැහුවා..
ඒත් ඔයාට ඇහෙන්න නැති වෙන්න මම පරිස්සම් උනා.

  • චේතානි මල්ෂි මගගමගේ

More Stories

Don't Miss



Latest Articles

සුහදිනි -76

ජයග්‍රහණය කියන්නේ උණුසුම් හැඟීමකට ය.අහස් උපදින්නටත් පෙර වසරක දිනා ගත් ලෝක කුසලානයක් මිසක ශ්‍රී ලංකාවට ලෝක කුසලාන හිමිකමක් නොවිණ.ඒ හිමිකම අත පොවන...

නිබ්බුත ගීත -26

මම සෑම ඍතුවක ම ජීවිතයට ආදරය කළ ගෑනු ළමයෙකු වීමි. කුස ගින්න ඇතුලු දරිද්‍රතාවයේ සියල් අංග අවි අමෝරා අප වට කොට ගත්දීත්...

(අ)හිමි සිහින -230

මිනිස්සු එකිනෙකා හා බැඳෙන්නේ හදවතින් මිස බාහිර උවමනා එපාකම් වලින් නෙවෙයි.ඥාති හිතමිත්‍ර කමක් වුණත් හටගන්නේ එහෙමයි. සුධාරකගේ වැඩිමල් සහෝදරිය...

නිබ්බුත ගීත -25

තාප්පය අයිනේ කහ පාට බෝඩරයක් ව දිස් වන තාරුකා මල් තීරය දිය බත් කර ගෙන වැස්ස වහිමින් තිබිණ. අලුතෙන් උදලු ගෑම නිසා...

රෝගී වූ ගුරුතුමිය අත් නොහැරි පන්තියේ දඟකාරයෝ

පන්තිභාර ගුරුතුමියට අම්මා මෙන් සලකන දරුවන් ඕනෑතරම් හිඳිනවා.එසේ වන්නට ඇය කළ එක් ක්‍රියාවක් ඕනෑවටත් වඩා ප්‍රමාණවත් වන්නට පුළුවන්.නව යොවුන් වියේ පසුවන දරුවන්...