කලගුණ

“පැතුම්,මේ මගේ යාළුවෙක්.රුවිනි.මෙයා මේ එක්සෑම් එකකට උදව් ගන්න කෙනෙක් හොයනවා”

දිල්මි පැතුම්ට එහෙම කිව්වේ මිතුරිය හඳුන්වා දෙන ගමන්.මිතුරිය මේ දවස්වල ඉන්නේ අධ්‍යාපනික වැඩ ගොඩක හිරවෙලා නිසා ඇයට හැකිතරම් උදව් කිරිම තමන්ගේ වගකීමක් කියලයි දිල්මි හිතුවේ.

“ඔයාට ඕනම දේකට මම ඉන්නවා.බය නැතිව ඒ වැඩ ටික කරගන්න”

ඇය නිතරම රුවිනිට කිව්වේ ඒ නිසා.ඉගෙන ගන්නවා කියන එකත් ලේසි දෙයක් නොවන බව දිල්මි දැනගෙන හිටියා.ඒ නිසාම තවත් කෙනෙක් මහන්සියෙන් ඉගෙන ගන්න කොට එයාට පුළුවන් තරම් උපකාර කිරීම දිල්මිගේ සාමාන්‍ය සිරිතක්.

“ඉගෙන ගන්න කෙනෙකුට උදව් කරනවා තරම් පිනක් වෙන නෑ.”

දිල්මිගේ ජීවන දර්ශනය එයට විතරක් සීමා වුණේ නැහැ.ඕනෑම කෙනෙකුට උදව් අවශ්‍ය මොහොතක උදව් කිරීම මනුෂ්‍ය ගතියක් කියලයි දිල්මි හැම වෙලාවකම හිතුවේ.

“රුවී,ඔයා ඔය විභාගෙට පාඩම් කර කර බෝඩිමට වෙලා තනියම  උයාපිහා ගන්නෙ කොහොමද? මං කියන්නද ඔයා එන්න අපේ ගෙදර මං ඔයාව බලාගන්නම්.”

දිල්මි මිතුරියට එහෙම ආරාධනා කරන්නත් අමතක කළේ නැහැ.ඉගෙන ගන්න සැබෑ දක්ෂයෙක් වුණු තමන්ගේ පෙම්වතාව ගෙන්නාගෙන රුවිනිට පාඩම් දැන ගන්න උදව් කරන්නත් දිල්මි වග බලා ගත්තා.

“ඉගෙන ගන්නේ නැතුව මේ රටේ ගොඩ යෑමක් නෑ පුළුවන් තරම් හොඳට ඉගෙන ගන්න අපි යාලුවෝ ඉන්නේ අපි අපිට උදව් කර ගන්න.”

දිල්මි හැම මොහොතකම මිතුරියට එහෙම කිව්වේ තමන් විශ්වාස කරන දේ ගැන හිතලා.කෙනෙකුට උදව් කරන්න තියෙනවා නම් දිල්මි කියන්නේ වෙස්සන්තර කෙනෙක් කියලා අනිත් යාලුවෝ හිනා උනාට දිල්මි දිගින් දිගටම රුවිනිට උදව් කළා.

“ඔය රුවිනි මහ කපටි මනුස්සයෙක් කියලා එයත් එක්ක කැම්පස් එකේ ඉගෙන ගත්ත කීපදෙනෙක්ම මට කිව්වා. පරිස්සමින් හොඳේ.”

තවත් මිතුරියක් වුණු තාරකා ඒ විදිහට යද්දී පවා ඒ ගැන වැඩිය නොහිතා ඉන්න දිල්මී වගබලාගත්තා. ඇත්තටම රුවිනි කියන්නේ මොන තරං අහිංසක ගෑනු ළමයෙක්ද කියලා විතරක් දිල්මි හිතුවා.

රුවිනිගේ විභාග කටයුතු ඉවර වෙනකම්ම ඇයට අවශ්‍ය කෑම බීම සැපයුවේ දිල්මි.දේශන වලට සහභාගි වෙලා,රෑ එළිවෙනකම් පාඩම් කරන රුවිනිගේ රෙදි ටික පවා හෝදලා දෙන්න දිල්මි කාරුණික වුණා.පාන්දර වෙනකන් ඇහැරගෙන ඉඳලා හොඳටම සෙම වැඩි කරගන්න දවසට රුවිනිට දිල්මි පිහිට වුණේ අම්මා කෙනෙක් වගේ.

“මේ දේවල් වලට මම ඔයාට කොහොම ස්තුති කරන්නද මන්දා.”

රුවිනි එහෙම කියනකොට දිල්මි කළේ හිනා වෙන එක විතරයි.කෙනෙකුට උදව් කරලා කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්න දිල්මිට ඕනෑ වුණේ නෑ.

හැබැයි රුවිනි හිතුවාටත් වඩා හොඳට තමන්ට ස්තූති කළ බව දිල්මි තේරුම් ගන්නකොට පෙරහැර ගිහින් ඉවරයි.

“දැන් රුවිනිට බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවනෙ.ඔයා ඒක දන්නවද?”

එකම කාර්යාලයේ එකට සේවය කරන මිතුරියක් එහෙම අහනකොට දිල්මි පුදුම වුණා.අධ්‍යාපනික වැඩ කටයුතු තවදුරටත් කරගෙන අහවර කරගෙනම විවාහයක් ගැන හිතනවා කියලා රුවිනි නිතරම කියන හැටි දිල්මිට මතක් වුණා.

“එයාට දැන්ම මැරි කරන අදහසක් නම් නෑ.”

දිල්මි එහෙම කිව්වේ ආශාගේ ඕපාදූපය ගැන ඒ තරම් හිතන්න යන්නේ නැතුව.ආශාටත් අනුන්ගේ දෙයක් කියන්න තියෙනවා නම් ඊටත් වඩා දෙයක් නැති බව දිල්මි හිතුවා.

“මේ දවස්වල පැතුම් මාත් එක්ක නිතරම රණ්ඩුවට එනවා රුවී.”

තමන්ට ඉන්න විශ්වාසවන්තම යෙහෙලියට විතරක් තමන්ගේ වේදනාවක් ගැන කියන්න දිල්මිට හිතුණේ ඔය අතරේ.ඇත්තටම පැතුම් දැන් ඉස්සරට වඩා සෑහෙන දුරට වෙනස්.හැම වෙලාවකම බලන්නේ රණ්ඩු වෙන්න හේතුවක් හොයාගන්න.දිල්මි හැරුණත් වැරැද්දක් දකින්න පැතුම් ට ඒ හැටි වෙලාවක් යන්නේ නෑ.

“ඔයා මේ මාර ගෑනු ළමයෙක් නං නෙමේ.ඔයාට වඩා හොඳ කෙල්ලො ඉන්න ඕන තරම් මේ ලෝකේ ඉන්නවා.”

ඉස්සර තමන්ට වඩා හොද කෙනෙක් නොහිටපු පැතුම් ට මේ හදිසියේ වූ විපර්යාසය ගැන දිල්මිට හිතා ගන්නත් බෑ.ඒත් හැමෝම එක්ක වේදනාවන් කියන්න බැරි නිසා පැතුම්ගේ වෙනස ගැන රුවිනිත් එක්ක කියන්න දිල්මි කල්පනා කළා.

“ඔයාලා කසාද බැඳලා නෑ නේ.අදහස් ගැළපෙන්නෙ නැත්තම් වෙන්වෙන එක නෙමෙයිද හොඳ?”

ඒ තරම් උනන්දුවෙන් මිතුරියට ඇහුම්කම් නොදීපු රුවිනි ගෙනාවේ එහෙම යෝජනාවක්.ඇය කියන තරමට ලේසියෙන් වෙන්වෙන්න බැරි බව කියන්න හිතුනත් දිල්මි මොකුත්ම නොකියා හිටියා.

“අපි අනිත් අයව තේරුම් ගන්න තරම් සමහර වෙලාවට එයාලා අපිව තේරුම් ගන්නෙ නෑ.”

දිල්මි එහෙම හිතලා හිත හදාගන්න උත්සාහ කළා.රුවිනිට උදව්වක් කළ පලියට ඇය තමන්ට කළ ගුණ සැලකිය යුතු නැති බවත් දිල්මි හිතුවා.ඒත් මේ හිත රිදෙන වෙලාවේ හොඳ යාළුවෙක් ලඟින් හිටියා නම් මොන තරම් හොඳද කියල දිල්මිට නොහිතුණා නෙවෙයි.

“ඔයා ළඟකදි අපේ ගෙදර ආවෙ නෑනෙ. එන්නකෝ වෙලාවක”

විභාග කටයුතු ඉවර වෙනකම්ම නැවතිලා හිටපු ගෙදරට දැන් රුවිනි නිකමටවත් නොඑන නිසා දිල්මි ඒ යෝජනාව කළේ නිකමට වගේ.රුවිනි කලබලයෙන් හිනාවෙලා මිතුරිය දිහා බැලුවා.

” වෙලාවක එන්නම්කො දිලූ.”

ඇය ඒ ආරාධනාව පිළිගත්තේ නොපිළිගෙන බැරිකමට ද කියලා දිල්මිට නොහිතුණා නෙවෙයි.

ඒත් කිසිම කෙනෙක් ගැන හොයන්න බලන්න සහ කතා කරන්න නොසිතෙන තරමට මානසික කඩා වැටීමකට දිල්මිට මුහුණ දෙන්න සිදුවුණේ ඔය අතරෙදි.පැතුම් ඇයගෙන් සදහටම සමුගන්න තීරණය කරලා තිබුණා.මේ සම්බන්ධය තවදුරටත් ඉදිරියට ගෙන යා යුතු නැති බවට ඔහු තීරණය කරලා තිබුණේ ඒකමතිකව.

“අපි අතරේ එහෙම වෙන් වෙන්න තියෙන ප්‍රශ්නෙ මොකක්ද පැතුම්? අපේ වෙඩින් එකට පවා හැම දෙයක්ම ලෑස්ති කරලනෙ තිබුණේ”

මේ හදිසි කුණාටුව ගැන හිතාගන්න බැරුව දිල්මි එහෙම ප්‍රශ්න කරන්න පටන් ගත්තා.එක්ව ආපු අවුරුදු කිහිපයට ගෞරවයක් දීලා හොඳ සමුගැනීමක් තිළිණ කරන්න වත් නොකැමති වුණු පැතුම් පෙම්වතිය දිහා බැලුවේ සමච්චල් බැල්මකින්.

“අවුරුදු ගාණක් කසාද බැඳලා හිටපු මිනිස්සු ඩිවෝස් වෙනවානම් අවුරුදු කීපයක් ආස්සරේ කරපු අපිට වෙන් වෙන්න බැරි කමක් නෑ නේද?”

ඔහු සමුගත්තේ ඉතාම රළු විදිහට කියලා දිල්මිට හිතෙන්න ගන්නකොට ඇය දැඩි මානසික පීඩාවට ලක් වෙන්න පටන් අරගෙන තිබුණා.හැමදේකටම ළඟින් හිටපු රුවිනි පවා දැන් බොහොම කාර්යබහුලයි.ඒ නිසාම වේදනාවක් ගැන කියාගන්න කෙනෙක් නැතුව දිල්මි දවසින් දවස දුර්වල වෙන්න පටන් ගත්තා.

නමුත් තාරකා ඈත ඉඳන් ඇය දිහා බලාගෙන ඉඳලා තිබුණා.

“අෆෙයා එකක් බ්‍රේකප් වෙන එක මහා වේදනාවක් තමයි.එහෙමයි කියලා ඒ වේදනාවට අපිව විනාශ කරල දාන්න දෙන්න බෑනෙ.අපි හිත හදාගන්න උත්සාහ කරමු.”

තාරකා මිතුරිය ව මනෝ උපදේශනය වෙත රැගෙන ගියා.සිදුවුණු දේවල් හාරා අවුස්සා අවුස්සා අහනවා වෙනුවට තමන්ගේ මානසික සහනය ගැන හිටපු තාරකා ගැන දිල්මිට ඇති වුණේ ආදරයක්.යාළුවෙක් නම් එහෙම විය යුතු බවට ඇය කීප වතාවක්ම හිතුවා.හැම මනෝඋපදේශන වාරයකටම තමන් එක්ක එන,සාප්පු සවාරියක්,පොඩි රස්තියාදුවක් ගිහින් තමන්ව සැහැල්ලුවෙන් තියන්න උත්සාහ කරන තාරකා හොඳ මිතුරියක් කියලා දිල්මිට අනන්ත වාරයක් ම හිතුණා.

“පැතුම් විතරක් නෙමේ රුවිනිත්  එකපාරටම මගෙන් ඈත් උනා නේ.මට ඒ සිද්ධි දෙකම දරාගන්න බැරුව ගියා මං හිතන්නේ.”

දිල්මි එහෙම කියද්දී තාරකා හිනාවෙලා කිව්වේ ජනප්‍රිය වාක්‍යයක්.

“ඕන කණකොකෙක් ඉගිලෙනකොටලු සුද පේන්නේ.ඔයා සනීප වෙන්නකො.හැම මනුස්සයාගේ ම ඇත්ත ස්වරූපය එළියට එයි.”

රුවිනි කාර්යාලයෙන් ඉවත් වුණෙත් තමන් රැකියාව හැර යන බව දිල්මිට වචනයකින්වත් නොකියන්න ප්‍රවේසම් වෙන ගමන්.ඇය එහෙම කළේ ඇයි කියලා හිතමින් ඉන්නකොට මාස කිහිපයක් තිස්සේ සිදු වුණු දේවල් මොනතරම් නරකද කියලා වැටහෙන දවසක් දිල්මිට ආවා.

“රුවිනි මැරි කරලා දිලූ.”

තාරකා දවසක් මිතුරියට කිව්වෙ බොහොම ප්‍රවේසමෙන්.දිල්මි ඒ මංගල ඡායාරූප දිහා බලාගෙන ඉඳලා ලා මඳහසක් නැඟුවා.මනෝ උපදේශනවලින් ශක්තිමත් වෙලා තියෙන ඇගේ හිත රිදවන්න දැන් ටිකක් අමාරුයි.

“පැතුම්ට මාව නරක් වෙලා තියෙන්නේ රුවිනි දැක්කට පස්සෙ එහෙනම්.”

වැඩියෙන්ම නරක මිතුරියගෙන් උදව් ගන්න අතරේ ඇගේ පෙම්වතා එක්ක සම්බන්ධයක් ඇති කර ගත්තු රුවිනි ද එහෙම නැත්නම් තමන්ගේ පෙම්වතියගේ මිතුරිය එක්ක සම්බන්ධයක් ඇති කරගත්තු පැතුම් ද කියලා හිතන්න කාලය වැය නොකරම දිල්මි හිනා වුණා.

“කලගුණ නොදැන තමන් ගැන ව්තරක්ම හිතන මිනිස්සු කොහෙන් හරි මට්ටු වෙනව තරූ.”

ඇය එහෙම කිව්වේ සැබෑ සැනසීමකින්.සමහර මිනිස්සු ජීවිතෙන් ඈත් වෙන්නේ තමන්ට නො ඇසෙන කතා සොබාදහමට ඇහෙන නිසා කියලා කොහෙන්දෝ අහපු කතාවක් දිල්මිට ඒ එක්කම මතක් වුණා.

More Stories

Don't Miss


Latest Articles