නික්ම ගිහින් දෙවන දිනයේ දී නිධී ආර්ය ට දුරකතන ඇමතුමක් ගත්තා ය. ඇගේ නමින් එය හැඬවෙනයුරු, තිරය දෙසට නෙතු අලවාන ආර්ය බලා සිටියේ ය. හදවතෙහි වූයේ අතිශය උදාසීනත්වයකි. අඩු තරමින් ඇමතුමට සම්බන්ධ වී ඇයට බැණ වදින්නට හෝ උවමනාවක් ඔහු ට දැනුණේ නැත. සන්දේශ් සමගින් අලුත් ජීවිතයක් පටන් ගන්නට යන බව ඇගේ අකුරෙන් ම ලියා තිබෙනු දුටු මොහොතේ නිධී ආර්ය ගේ හදවතෙහි මිය ගියා ය. මේ ඇමතුම එන විට ඔහු ඇගේ අවසන් කටයුතු ද සිදු කොට හමාර ය. මිය ගිය අයට යළි පණ දිය හැකි නොවේ. දුරකතනයට පිළිතුරු දෙන්නට ආර්ය ට උවමනා නො වුණේ එබැවිනි.
නිධී අහසින් පොළොවට කඩා වැටුණේ සන්දේශ් ඇයට නොකියා ම යන්නට ගොස් ඇති බව දැනගත් වෙලාවේයි. ඇය සිහිනයෙන් අවදි විය යුතුව තිබිණ. ඒ සිදු වූයේ කුමක් ද කියාත් ඇයට නිවැරදිව සිහියට නැගුණේ ඉනික්බිති ය. ආර්ය ගෙන් ඇයට කිසිදු වරදක් හෝ මදිපාඩුවක් නොවූ බව පිළිගත යුතුව තිබේ. නමුත් ඒ විවාහය තුළ නිරන්තර ඇය අසහනකාරී අතෘප්තිමත් බවක් අත්වින්දා ය. ඈ ආර්ය හා විවාහ වීම තෝරා ගත්තේ සැබවින් ඔහු ඈ කැමති විදිහේ පිරිමියා වූ නිසා නොවේ. ඇය තුළ ඔහු කෙරේ ප්‍රේමයක් හෝ ස්නේහයක් ඇතිව තිබූ හින්දාත් නොවේ. ඒ වෙලාවේ ඇයට යා හැකි ආරක්ෂිත ම මාර්ගය එය වූ හින්දා ය. මව් පිය දෙදෙනා ම අහිමි ව ඥාති නිවෙස් වල ටික ටික හැදුණ ඇය පාරක් සොයමින් සිටියා ය. හැකි තරම් කැප වී ඉගෙන ගත්තේත් ඒ මාර්ගය සොයා ගැනීම වෙනුවෙනි. ඈ කැමැත්තෙන් සිටි බොහෝ තරුණයන් ට ලං විය නො හැකි වූයේ ඇගේ අනාථ භාවය නිසා ය. ඇයට දෙමාපියන් හෝ පරම්පරාවක් නොමැති බව හෙළිදරව් වෙත්දී හිත බැඳුණු තැන් වලින් ප්‍රතික්ශේප විය. නමුත් ඇය විවාහය නමැති සුරක්ෂිත නවාතැන සොය සොයා සිටියා ය. ආර්ය ගේ නම ඇයට ඈඳා ආයතනය තුළ විහිළු තහළු කෙරුණේ එහෙව් පසුබිමක ය. මුලින් ම ඇයට විවාහයක බැඳෙන්නට අවැසි විය. කල වයස පහු වී යන්නට පෙර, ලෝකයා ප්‍රශ්න කරන්නට පෙර, ඇයට විවාහයක් අවශ්‍ය විය. සියල්ල සිදු වූයේ එසේ ය. ආර්ය නිර්වාන් මහානාම වූ කලී ඈ කැමති පිරිමියා නොවන බව මුල සිට ම නිධී දැන සිටියා ය. ඔහු කෙතරම් හොඳ කළ ද ඇයට හොඳක් පෙනුණේ ම නැත. නැති වැරදි පවා සොයාගෙන රණ්ඩු ඇති කරගන්නට ඈ සමත් වූවා ය. එතකොට ආර්ය වඩ වඩාත් නිශ්ශබ්ධ විය. ඔහු ප්‍රශ්න වලට අකමැති වූ බැවිනි. ගෙදර අයට ඇහෙන්නට රණ්ඩු කරගන්නට අකමැති වූ බැවිනි. එහිදී ඔවුන් අතරේ පරතරය තව තවත් වැඩි විය. ඇයට හිස්කමක් දැනිණ. කොහෙන් හෝ සන්තෘප්ත කරගත යුතු අතෘප්තිමත් බවක් දැනෙමින් තිබිණ. දඟකාර යෞවනයෙකු වන සන්දේශ් කෙරේ ඇගේ හිත ඇදී යන්නේ ඒ තත්වය යටතේ ය. ඇය තමන්ගේ ම වූ හීන ලෝකයක් මවා ගත්තා ය. එහි සිටියේ ඇය හා සන්දේශ් පමණකි. ජීවිතය බෝ කාලයක් තිස්සේ බොහෝ දේ නිධීගෙන් උදුරාගනිමින් සිටියේ ය. ඇය ඉච්ඡා භංගත්වයක් තුළ පීඩා වින්දා ය. ඇගේ මනස බලාපොරොත්තුවෙන් සිටියේ ඒ අඳුරු කලාපයෙන් බැහැර වෙන්නට පමණකි. එහිදී ඇයට සිය ස්වාමියා හෝ දරුවා අමතක වූයේ ය. තමන්ගේ මැදිහත්වීම මත අඳුරු කලාපය ආලෝකවත් කරගත හැකි බව අමතක වී ගියේ ය. ඇය සෙවූයේ අලුත් ගමනකි. අලුත් නවාතැනකි. අලුත් ජීවිතයකි. ලැබී ඇති දේහි වටිනාකම් මඳ කොට තැකීම නිසා ඈ නතර වී තිබුණේ ඒවා යළි ලබාගත නො හැකි තැනෙක ය. නෙලූ පලා අතැර දමා ඇය දුවන මුවෙකු හඹා දිව තිබිණ. ඒ දිවීම මිරිඟුවක් වී තිබුණේ ය.
නිධී සන්දේශ් ගේ දුරකතනය සම්බන්ධ කරගන්නට බොහෝ උත්සාහ කළා ය. ආර්ය ට කතා කළේ එසේ බැරි තැනයි. ඔහුත් පිළිතරු නොදෙත්දී ඇයට පිස්සු වැටුණ තරම ය. විවාහ වීමට පෙර ඇය නතර වී සිටි නැන්දා වෙතට ගොස් දිනක් දෙකක් සිටිත හැකි විය.
“තියන ප්‍රශ්නයක් ආර්ය පුතා එක්ක කතා කරල විසඳගෙන ගෙදර යන්න නිධී. කිරි සප්පයෙක්ව නේද ඔයා දාල ඇවිත් තියෙන්නෙ…”
නැන්දා නිතර නිතර මතක් කළා ය. ඇය සිතා සිටියේ ආර්ය සමග බහින් බස් වීමක් වී නිධී පැමිණ ඇති බවකි.
“අනික වචනයක් එහෙ මෙහෙ වුණ ගමන් දමල ගහල එන දෙයක් නෙවෙයි පවුල් ජීවිතේ කියන්නෙ. ඒක වගකීමක්. ඕගොල්ලොන්ට දරුවෙක් ඉන්නව. ඔයිට වැඩිය වගකීමක් ඇතුව වැඩ කරන්න. මටනං මේ දේවලට අනුබල දෙන්න බෑ. ඔයාව මෙහෙම තියාගන්න එකත් මං කරන වරදක්. ඒක නිසා ඔයා ගෙදර යන්න”
නැන්දා ගේ කංකරච්චලය නිසා නිධී ඒ ගෙදරින් නික්මුණා ය. තැන තැන රැය පහන් කරන අහිගුඨික ජීවිතයක් ඇයට උරුම වී තිබිණ. එක ම පිළිසරණය ආර්ය බව ඈ දැන සිටියා ය. ඔහු වූ කලී නිහඬ සෞම්‍ය මිනිසෙකි. කෙසේ හෝ යළිදු ඔහු ගේ සිත හදා ගැනීම ඇගේ අලුත් ම අරමුණ වූයේ ය. නමුත් ආර්ය දුරකතනයට පිළිතුරු නොදෙයි. සන්දේශ් ගේ නම ඈඳා ලියා තබා ආ සටහන නිසා ඇයට බිය සැක නැතිව ආර්ය ගේ ගෙදර යා නො හැකි ය. ඊට ඔහු ගේ අනුමැතිය ලැබිය යුතු වේ. ආර්ය ගෙදර නොමැති වෙලාවේ වුව ඔහු ගේ අම්මා මණී නිසා එහි යන්නට ඈ පසුබෑවා ය. මහානාම නිවසේ ගෘහස්ථ දුරකතනයට කතා කොට මණී ගේ හිත මෙළෙක් කරගන්නට ඈ තීරණය කළේ ඉනික්බිති ය.
“අනේ අම්මෙ මං අතින් වරදක් වුණා තමයි. ඒත් මට ආයු නැතුව ඉන්න බෑ. ආර්යට කියන්න මට සමාවෙලා ගෙදර එන්න දෙන්න කියල. ආයෙ ජීවිතේ තියෙන තුරාවට මගෙ අතින් එහෙම වරදක් වෙන්නෑ”
නිධී ගේ කඳුළු කිඹුල් කඳුළු ය. නමුත් දරුවා වෙනුවෙන් ඇයට මේ අවස්ථාව දෙන එක හොඳ යයි මණී සිතුවා ය. හැන්දෑවට ආර්ය ගෙදර පැමිණි කල මේ ගැන කතා බහ කිරීම ගැන ඇය හිතමින් සිටියා ය.
ආර්ය පැමිණෙන වෙලාවේ අමාගී ද මහානාම නිවසේ සිටියා ය. ආර්ය මගදී සිහි වී බේක් හවුස් කැෆේ එකෙන් කේක් කැබලි දෙකක් ගත්තේ ය. එකක් චොක්ලට් කේක් කැබැල්ලකි. අනෙක පයිනැපල් ගැටෝ එකකි.
මණී තේ පිළියෙළ කරන්නට සූදානමින් සිටියා ය. කේතලයෙහි වතුර පැසෙමින් වාෂ්පය විස්ල් හඬ නැංවී ය. හැන්දෑවට සැමියා හා පුතුන් ගෙදර එන්නේ එක එක වෙලාවට ය. ඒ නිසා මණී ඇයට සිතුණ විට තේ හදා බී ගෙදර නැති අයගේ කොටස් ලොකු උණුවතුර බෝතලයට දමා තබයි.
“අම්මට මේක”
කියමින් ආර්ය චොක්ලට් කේක් කැබැල්ල මණී ට දුන්නේ ය. ඒ වෙලාවේ ආයු සිටියේ අමාගී ගේ අතේයි.
“මේක ඔයා මා එක්ක කන්න”
කියා ඔහු පයිනැපල් ගැටෝ එක ආයු ට දුන්නේ ය. අමාගී ගේ පපුවේ කොහේදෝ දුර ඈත තැනක විදුලියක් කෙටුවේ ය. ආයු ට වහා එය දිගහැර බලන්නට ඕනේ විය. පයිනැපල් ගැටෝ කැබැල්ල දුටු අමාගී ගේ හදවතේ මෝසම් අහසක වාගේ අකුණු පිපිරුවේ ය. මීට වසර ගණනාවකට පෙර උපුල් මහානාම ගෙන ආ කේක් කැබලි කිහිපයක් අතරේ වූ පයිනැපල් ගැටෝ කැබැල්ල මේ දැන් වාගේ ඇයට සිහි විය. ඒ වර්ගයෙන් තිබුණේ එක ම එකකි. ආර්ය එය ඔහු සතු කරගත්තේ ය.
“මට ඕනෙ අරකෙං”
අනිත් අයියලා ඇය වෙනුවෙන් තමන්ගේ සියලු කේක් දෙන්නට සූදානමින් සිටියදීත් අමාගී ට ඕන වුණේ ආර්යගේ කේක් කැබැල්ලෙනි. නමුත් ඔහු ඇය නො සලකා හරිමින් එය රැගෙන කාමරයට ගියේ ය. අමාගී තිර රෙද්ද මෑත් කොට ඔහු දෙස හොරෙන් බැලුවා ය. බේක් හවුස් එකේදී පයිනැපල් ගැටෝ කැබැල්ල දුටු විට ආර්යට ඒ සිදුවීම සිහි වූයේ ය. ඒ වර්ගයෙන් තිබුණේ එකකි. එබැවින් ඔහු අම්මාට චොක්ලට් කේක් කැබැල්ලක් ගත්තේ ය.
අමාගී කේක් කැබැල්ලක් ආයු ගේ මුවෙහි තැබුවා ය.
“මා කන්න”
ඔහු හුරතලයෙන් කීවා ය.
“මට එපා බබා. මං පයිනැපල් ගැටෝ වලට කැමතිම නෑ. පොඩි කාලෙ දවසක් මට පයිනැපල් ගැටෝ අප්පිරිය වුණා”
අමාගී ඇඟට පතට නො දැනී කියා දැමුවා ය. මේ මොහොතේත් එදා වාගේ ම ඇගේ හිත රිදේ. ඒ රිදුම උගුර මුල හිර වී තිබේ. ආර්ය බිම බලාගෙන කිසිත් නො දන්නා සේ මේස පුටුවක හිඳගත්තේ ය. ඔහු ට කාමරයට යන ඕනකමක් දැනුණා නොවේ. අතීතයේ ඔහු ට කරදර කරමින් අතේ එල්ලෙන්නට හැදූ, සෙල්ලමට එන ලෙස ඉල්ලමින් පස්සෙන් ආ දැරිය දැන් ඒ කුඩා අහිංසක කෙල්ල නොවේ. ඇය ඇනුම්පද කියන්නට දක්ෂ තරුණියකි. රවන්නට ගස්සන්නට පුප්පන්නට දන්නා එකියකි. ඇයට සිය ළමා විය හා බැඳුණු මතකයන් ද අමතක නැත. ආර්ය හරියට ඇයව දකින්නේත් දැන් ය. ආයු ට ආදරය කිරීම මත ඔහු තුල අමාගී ගැන ගෞරවයක් ඇති වෙන්නට පටන් ගනිමින් තිබේ.
“ලොකු පුතා” කියමින් මණී හැරෙත්දී ම ආර්ය “අම්මෙ” කියමින් මණී දෙස බැලුවේ ය. අම්මා ගේ මුව මත මව්වත් සිනහවක් නැගුණු අතර හැමදාමත් වාගේ ඇය ඇගේ වාරය දෙවනුවට ගන්නට සිතුවා ය.
“ලොකු පුතා කියන්නකො”
“අම්මෙ මං ඩිවෝස් කේස් එක ෆයිල් කරන්න තීරණේ කළා. ඔෆිස් එකේ ඉන්න ගමන් ලෝයර් ට කතා කරල කේස් එක අදම බාර දුන්න”
මණී ගේ පමණකුදු නොව අමාගී ගේ හදවතෙහි ද හිරවීමක් විය.
“ලොකු පුතා ඒ තීරණේ ගන්න කලින් තව හිතුවොත් මොකද…මොනා වුණත් මේ කිරිසප්පයට අම්ම කෙනෙක් ඕනනෙ. නිධී අද ගෙදර ෆෝන් එකට කතා කරල ඇඬුව. එයාගෙන් ආයෙ ඒ වරද වෙන්නෑ කියල සමාව ඉල්ලුව. වැරදි කියන ඒව ඕන මනුස්සයෙක් අතින් වෙන්න පුළුවන්නෙ ලොකු පුතා. ඔන්නොහෙ අපි එක සැරයක් නිධීට සමාව දෙමු මේ පොඩි එකා වෙනුවෙන්”
අමාගී ගේ හදවත ඉල්ලා සිටි දේ මණී වෙතින් කියැවී තිබිණ. කිසිවෙකු ඇගේ අදහසක් බලාපොරොත්තු නොවී ද අමාගී ගේ හිස යන්තම් සැළුණේ එබැවිනි.
“ඒක වෙන්න බෑ අම්මෙ. මට ආයෙ කවදාවත් එයා ගැන විශ්වාසයක් ඇති කරගන්න බැරි වෙයි. අවිශ්වාසයක් නොතිබුණ කාලෙකත් මගෙ දරුවව අතෑරල ගිය එයා එක්ක ආයෙ එක ජීවිතයක් ගෙවන්න හිත හදාගන්න මට කවදාවත් බෑ”
ආර්ය කතා කළේ ආවාට ගියාට නොවේ. ගැඹුරු කල්පනාවක නිමග්නව ය. ඔහු ගේ තීරණයේ ස්ථිරසාර බවක් විය.
“මා කන්න”
කියමින් ආයු අතින් පොඩි කොට චොර කර ගත් ගැටෝ කැබැල්ලක් අමාගී වෙත පෑවේ ය. අතීතයේ කෙසේ වී ද මෙහෙම කෑමක් කටට දමාගන්නා එක අප්පිරියාවකි. නමුත් ආයු ගේ තියුණු නිල් පාට ඇස් ඇය ගැන විශ්වාසයෙන් බලාපොරොත්තු සහගතව බලා හිඳී. ඔහු ගේ සිඟිති අත ඇගේ මුව වෙතට ගෙනැවිත් අමාගී ඒ ගැටෝ කැබැල්ල මුවෙහි දමාගත්තා ය. ආයු ගේ මුවෙහි කිරි සිනහවක් ඇඳිණි. අමාගී බිළිඳාව තදින් පපුවට තුරුලු කොට ගත්තා ය.
ලොකු හුස්මක් ගත් ආර්ය, හඩ පිට නොවෙන සේ මුව මඳක් විවර කොට ඒ සුසුම පිට කොට හැරියේ ය.