රන් මල් දම් – 19


……… අපරාදේ සෙත්, ඔයා ඉස්කෝලෙන් මාරු වෙලා ගියේ නැත්නම්, ඒ ලියුම ඔයාට ලැබෙන්න තිබුනා. එහෙම වුනා නම් ඔයා මට මොකක්ම හරි උත්තරයක් දෙන්නත් තිබුනා. ඒ උත්තරේ මොක වුනත් එහෙනම් මට දැන් සැනසීමවත් තියෙනවා.
කමක් නැහැ. ආදරේ කියන්නේ විශ්වීය දෙයක් කියලා හිතන්නම්. ඔයා කොහේ හරි සන්තෝසෙන් හොඳින් ඉන්න බව ප්‍රාර්තනා කරන්නම් . ඔයාව මට නොලැබුනත්, මං ඔයාට කොයි තරම් ආදරේ කරාද කියලා ඔයා නොදැනගත්තත්, මං ප්‍රාර්තනා කරනවා සෙත්, ඔයාගේ සැනසීම, සතුට, ජයග්‍රහණය …
ආදරණීය නිම්නාවි ..
නිම්නාවී යළි ලියුම කියෙව්වාය. සෙත් පිළිබඳව වලලා තිබූ මතක ගොඩ ඇද්දාට පසු යළි ඔහු ගැන සොයා බැලීමේ නොනිත් ආශාව මතුව ඇති බව ඕ ඉරිදා රාත්‍රියේ වටහා ගත්තාය. අම්මා නිසා අතැර දමා තිබූ පාසැල් මිතුරු කවයෙන් මිතුරියන් කිහිප දෙනෙකුට වට්සැප් පණිවිඩ යොමු කෙරූ ඕ නින්දට ගියේ පසන් ගුවන්තොටුලේ සිට ලබාගත් ඇමතුමද ඕනෑවට එපාවට පිළිතුරු දෙමින් ය. සෙත් පිළිබඳව ලැබෙන ඕනෑම පණීවිඩයක් පිළිගන්නට සූදානමින් සිටිය යුතු බවද ඒ අතරේ සිතා ගත්තාය.
එහෙත්, නින්දේදී මන්දාරම්ගේ සිනහව සහ ඔහුගේ ස්පර්ෂය නිසාවෙන් නැඟුණු විදුලිය ඇයට බාධා කලේය. නමුත් ඒ විදුලියෙන් තමාට බාධා වෙන්නට තරම් හේතුව සිතන්නට අවැසි නොවන තරමින් සෙත් උඩ මතුව උන්නේය. සෙත්ගේ ඉළන්ධාරි ඇස් සහ ස්වර රටා ඇයට නිදාගන්නට දුන්නේම නැත. අනෙක් පසින් එහෙත් මන්දාරම්ගේ කරදරය නිම වූයේද නැත. ඔහු විටින් විට ඇගේ සිතුවිලි අතරින් උඩ පැන්නේය. බොහෝ දෑ මතක් කරමින් එහෙ මෙහෙ දිව්වේය.
සඳුදා උදෑසන මල්ලීගේ මිතුරාගේ නිවසට ගොස් ඔහු සමඟම පාදයට බෙහෙත් දමාගෙන , යළි සූදානම් වී බසයක් එන තුරු පාරේ සිටියදී මන්දාරම්ගෙන් ඇමතුමක් පැමිණියේය. ඊයේ දිනයේ නිහඬවම උන් මේ වදකාර මිනිසා උදෑසනම අමතන්නේ කිනම් කාරණයකටදැයි නොසිතාම ඕ ඇමතුම මඟ හැරියාය. දැන් අවැසි සෙත් ගැන ඉඟියක් මිස මන්දාරම්ගේ ඉඟි වලින් සැනහීමක් නොවේය.
” එකත් එකටම බෙහෙත් දාන්න යන්න කතා කරන්න වෙන්න ඇති .. ඔය මිනිහාට වැඩිය කරට එන්න දෙන්න හොඳ නැහැ . මාරම ඇණයක් වෙන්නේ.. ඊළඟට යන එන තැන් ෆලෝ කරන්න ගත්තොත් එහෙම ඊට එහා නේ …”
නිම්නාවී එලෙස සිතුවාය. ඕ මන්දාරම්ගේ නිවෙස අසලින් බැස නිවසට ඇතුලු වෙද්දී චානක උන්නේ මිදුලේය. ඕ ඔහුට රැවුමක් පා කලාය. ඔහුට කුඩු පට්ටම් වෙන්නට පහරක් දෙන්නට තරම් කෝපයක් ඇත. ඔහු නිසා මෙතැන වැඩිපුර කතාවක්ද තැනුනේය. මන්දාරම් තමා වෙත පිවිසෙන්නට උත්සාහ කරන හේතු තැනුනේය. ඒ අතරේ, තම සිතෙහිද යම් වික්ශිප්ත පැටලීමක් ඇත.
චානකද ඕ නොදැක්කා මෙන් ඉවත බැලුවාය. මන්දාරම්ගෙන් සියල්ල දැන උන් නිසා නිම්නාවී ඔහු පසු කරාට පසු හැරී ඇගේ පාදය දෙස බැලුවාය. ඇගේ පාදය වෙලුම් පටියකින් වෙලා දමා තිබුණි. තමාගේ විහිළුවෙන් ඇස් රතුවී ඇති වග ඔහුට වැටහුණේය.
” සොරි වෙන්න ඕනි ඈ …”
ඔහු ඇයට ඇසෙන්නට කීවේය. නිම්නාවී නිවෙසට ඇතුලු වූයේ ඒ බවක් නෑසුණා සේය. චානකද ඒ හැසිරීම ඉවසූවේය. මන්දාරම් පැවසූ විස්තර වලට අනුව ඇය තමා සමඟ කෙතරම් කෝපයෙන් සිටින්නේදැයි සැක නැත. ඊළඟ අවස්තාවේ ඇය ඉදිරියටම ගොස් සමාව ඉල්ලීමට චානක තීරනය කලේය. ඒ නැතත්, ඇය සඟවාගෙන සිටින්නේ කුමක්දැයි සොය ගන්නට නම් , ඇය සමඟ හිතවත්කමක් සකසා ගත යුතුය. එසේ නොවන්නට තමා හෝ මන්දාරම් නොදැනම යම් කුණාටුවක් තම ජීව්ත වටා හමා යන්නට හැක.
මන්දාරම් අම්මා නාවා පිරිසිදු කර අවසන් කර කාමරයෙන් පිටතට ආවෙත්, නිම්නාවී කාමරයට එබුනේත් එකම වෙලාවේය. දෙදෙනා ගැටුණි. මන්දාරම් අල්ලා නොගන්නට ඕ විසිව ගොස් වැටෙන්නේය.
” සොරි …”
දෙදෙනාම එකිනෙකාට පැවසූහ. නිම්නාවී වහා ඔහුගෙන් පසෙකට වූවාය. මන්දාරම් වෙත රැවුමක් පා කලාය.
” කෝ ෆෝන් එක ?…”
මන්දාරම් එවෙලෙහි එම සිදුවීම වහා පසෙකට කරමින් විමසුවේය. නිම්නාවී අත් බෑගයෙන් මන්දාරම්ට පෙනෙන්නට භාවිතා කරන ජංගම දුරකතන ගෙන එහි වූ මඟ හැරුණු ඇමතුම් දැක විමතියට පත් වූ වග පෙන්වූවාය. මන්දාරම්ට ඇගේ ව්‍යාජ හැසිරීම නොදැනුනා නොවේය.
” හදිසියක්ද කෝල් කරේ ?…”
ඕ ආමන්ත්‍රණයක් යොදා නොගෙනම කතා කලාය. කොහොමටත් සිතා මතා මන්දාරම් මහත්තයා ලෙසින් ඇමතීම ඇයට වදයක්ව තිබුණි. එනිසාම මෙහෙම සාමාන්‍ය වීම ඇයට පහසුවකි.
” ඇයි දැන් හදිසියක් නම් විතරද කතා කරන්න පුලුවන් ?…”
මන්දාරම් ඇයට කඩා පැන්නේය. ඇය මුල් දින දෙක තුනෙහි උන් ස්වරූපය අඩකින් පමණ වෙනස්ව ඇති බව පෙනේ.
” නෑ .එහෙම නෑ . මම ඩිස්පෙන්සරි එකේ හිටියේ …. ඒකයි ආන්සර් කරන්න බැරි උනේ ..අනෙක මම පරක්කු නැහැනේ.. .”
නිම්නාවී ගණනකට නැතිව කීවාය. මන්දාරම්ගේ මුහුණෙහි සැදුණ වෙනස ඕ පැහැදිලිවම දුටුවාය. එසේම ඒ වෙනස සඟවාගන්නට මන්දාරම් දැරූ අසාර්තක උත්සාහයද ඕ දුටුවාය. දෙදෙනා එකිනෙකාට යමක් සඟවමින්, එය මතුවීම කියවාගනිමින් උන්නෝය. එයට හේතුවක් සිතන්නට වෙලාවක් නොදීම මන්දාරම් කතා කලේය.
” බෙහෙත් දාගෙනද ආවේ ?….”
” ඔව් ….”
” තනියම …”
” ඔව් …”
නිම්නාවී ගණනකට නැතිව කීවාය.
” හරි … අද ඔයාට ලොකු වැඩක් නෑ … මම අම්මාව වොශ් දාලා තියෙන්නේ … ඔයා ඔතනින් ඉඳගෙන එක්සයිස් ටික කරවන්න …. අදත් ලතා නෑ .. ඒත් උයන්න ඕනි නෑ … කෑම ඕර්ඩර් කරාවි චානක .. ඌ අද ගෙදර …”
” මට එහෙම අමාරුවක් නෑ .. මම උයන්නම් …”
” ඕනි මඟුලක් කරගන්නවා එහෙනම් .. කියන දෙයක් අහන්න බැරි ගෑණු ඔක්කොමලා ….”
මන්දාරම් එවෙලෙහි නොවූ කෝපයක් මවාගෙන කාමරය තුලට වැදුනේය. නිම්නාවීද ඒ කෝපය ගනනකට හෝ නොගෙන ස්වර්ණාගේ කාමරයට එබුනාය. ස්වර්ණා යහනේ දෙපා දික්ව සිටින සේ හිඳගෙන හිස කේ පිසලමින් උන්නාය.
නිම්නාවී ඇය වෙත ඇවිද යද්දී ඕ නිම්නාවී වෙත විමසිලිමත් බැල්මක් හෙලුවාය. ඇගේ දෙපා දෙස විමසිලිමත් බැල්මක් හෙලුවාය. නිම්නාවී ඇයට සිනාසෙමින් අය වෙත ඇවිද ගියාය.
” ඔයා අදත් ගෙදර ඉන්නෙපාය දරුවෝ … “
” මට එහෙමට අමාරුවක් නෑනේ මිස් .. අනෙක චුට්ටයි කිව්වා කකුල කැපිලා තියෙන්නේ … මැහුම් දාලාවත් එහෙම නෑ නේ … අනෙක මම නාවොත් මන්දාරම් මහත්තයා ගේ වැඩ වලටත් ඩිස්ටර්බ් නේ …”
ඕ සිතා මතාම ආමන්ත්‍රණය එක් කරන්නට උත්සුක වූවාය. ස්වර්ණා එහෙත් නිම්නාවීට කිසිඳු වැඩක් නොකර සිටින මෙන් අවධාරනය කලාය. නිම්නාවී එයට එකඟ වෙමින් උදෑසන ආහාරය වෙනුවෙන් සූදානම් වන්නටද ඇයට පවසමින් කාමරයෙන් නික්මුණාය.
එදින චානකට උදෑසන පන්ති නොතිබුන දවසක් විය. එනිසාම ඔහු මිදුලට වී ජංගම දුරකතනය ඔබමින් උන්නේය. මන්දාරම් නිම්නාවීට කිසිත් නොපවසාම නිවසින් බැහැර වූයේය. නිම්නාවී උදෑසනට නූඩ්ල්ස් සමඟ පරිප්පු සහ පොල් සම්බල් සකසා බිත්තර ඔම්ලට් සැකසුවාය. චානක ඒ බවක් නොදැන උදෑසන ආහාරය ඇණවුම් කලේය.
” කෑම කන්න …”
නිම්නාවී ජනේලයෙන් කෑ ගසා පවසන විට චානක පත් වූයේ උහතෝකෝටිකයකටය. ඔහු වහා මන්දාරම් ඇමතුවේය.
” කියපං …”
” උඹ මොකටද බං මට කිව්වේ කෑම ඕර්ඩර් කරන්න කියලා.. අරකි අර කියන්නේ කෑම ලෑස්තියි කියලා…”
” ඒක මගෙන් අහලා වැඩක් තියෙනවද ඕයි .. ඒකිගෙන් අහපං … මඟුල…”
” උඹට මොකෝ මේ මළ පැනලා….”
” වැඩක් නැත්නම් ෆෝන් එක තියපං බං .මට වැඩ ..”
තමාට දැනෙන කෝපයට හේතුව මන්දාරම්ට වැටහුණේ නැත. මන්දාරම්ගේ කෝපයට හේතුව චානකට වැටහුනේද නැත.
අපේක්ෂා ගුණරත්න

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles