සුහදිනි -64

එදින රැයේ සකී සිහිනයක් දුටුවා ය.ඇගේ සිහිනය නැවතත්! පුරුදු ආකාර සිහිනය කාලයකට පසු දකින බව තේරුම් ගිය ද ඇයට අවදි වීමට පහසු වූයේ නැත.සකී සිහිනයෙන් යථාර්ථය දකින්නට වූවා ය.

වසර ගණනාවකට පෙර නොදන්නා තරුණයෙකු ගිලී ගිය වන ලැහැබ තවදුරටත් එතැන නැත.ඒ නොදන්නා රූපය වෙනුවෙන් සසැළුණු සකීගේ හදවත වඩාත් තදින් සසැලෙන්නට ගත්තේ රූපයක් හිමි තරුණයෙකු සැබෑවටම ජීවත් වන බව දැනගත්තාට පසුව ය.ඔහු ක්‍රිකට් තාරකාවක් වී හදිසියේ දුටු දින පටන් ඇය ජීවත් වූයේ කැළඹීමෙනි.එවැනි රූපයක් හිමි තරුණයෙකු ජීවත් වීම හන්දා ඇති වූ කැළඹීමට වඩා සිය දහස් ගුණයක කැළඹීමක් සකී අත් විඳින්නට ගත්තේ ඔහුගේ වූ දවසේ පටන් ය.ඔහු ජීවිතය තුළ මුහුණ දෙන කුණාටු ගැන පුරෝකථනය වීම ම ඇයට මහත් පීඩනයක් විය.

නමුත් අහස් ගිලී ගිය වන ලැහැබ අතුරුදහන් වී තිබේ.තව දුරටත් රූස්ස ගස් එතැන නැත.මහා අඳුර දෑස් වෙළා ගන්නේ නැත.සකී තෘණ යාය මත සෙමින් ඇවිද ගියා ය.නොදන්නා කුඩා මල් පිපෙමින් ඇති ඒ තෘණ යාය හදිසියේ ගිලා බසින්නට ඉඩ තිබේ.

නමුත් එවැන්නක් සිදු වූයේ නැත!

පෙරදා සිහිනයේ තරමට අඩුව නොවුණ ද මුල්ම කාලයේ සිහිනවල තරමට සූරියකාන්ත මල් ද පිපෙන්නේ නැත.සකී ප්‍රවේසම් සහගතව ඒ මල් යායේ ඇවිද ගියා ය.දැන් ඒ මල් ගස් අතර වළ ගොඩැලි වේ.කකුල රිදී යන තරමේ වේදනාවන් සකීට දැනෙන්නට විය.අහස් කොහේවත්ම පෙනෙන්නට නැත.ඈ හඬ නඟා ඔහු ඇමතුවා ය.

අහස්!

ඔහු මැරී යන ගස් ගලවා ඉවත් කරමින් හිඳියි.ඔහු අත පොහොර බඳුනක් ද බීජ බඳුනක් ද වේ.සකී ඔහු අසල හිඳ ගත්තා ය.ඉතා මිහිරි කාලයක් ගෙවී යද්දී ඇය ඇස හැරියා ය.

රාත්‍රිය අන්ධකාරයෙන් වෙලී තිබේ.සකී ජංගම දුරකථනයේ වෙලාව බලන්නට සිතුවා ය.මේ පාන්දර තුන ද පසු වී යන මොහොතකි.බියක් නොදැනෙන හෙයින් අහස් අවදි කරන්නට ඇයට නුවුමනා ය.ඒ හන්දාම සකී නැවත සිහින නොපෙනෙන නින්දකට වැටුණා ය.

“අපි දැන් ඉන්නේ එකට.ආයේ එක එක විදියේ කරදර අපිට එන්නේ නෑ.”

අහස් ඒ සිහිනය විග්‍රහ කළේ පසුදා උදෑසන ය.කාය වර්ධන මධ්‍යස්ථානයට යාමට ඇති හන්දා ඔහු සකීට ද වඩා උදෑසනින් අවදි වේ.ඉතා වෙහෙසකාරී ක්‍රියාකාරකම් වල යෙදෙන ඔහුගේ කෙටි වීඩියෝ පට සමාජ ජාලා වල සංසරණය වන්නට ගනිද්දී ඒවාට යුවතියන් එකතු කරන ප්‍රතිචාර බලමින් සකී කොනිත්තන්නේ නිම්නාගේ අත ය.ඒ හන්දා නිම්නා පවසන අන්දමට අහස්ගේ ව්‍යායාම හන්දා දඬුවම් විඳින්නේ නිම්නා ය.

“අපිට ඕනෑතරම් කරදර එන්න පුලුවං”

ගැහැනු දරුවන්ගේ ප්‍රතිචාර ද සිහි කරමින් සකී පිළිතුරු දුන්නා ය.ඇය ඒ සිහිනය කියවා ගත්තේ ඒ ආකාරයෙන් නොවේ.

“මම කියන්නේ එහෙම නෙවෙයි,හිතන්නකො..අපිට එක එක විදියේ කරදර ආවා.ගොඩක් ඒ කරදර එන්න හේතුව අපි ඒ කරදර තේරුම් ගත්තේ නැති නිසා.ඒත් අපි දැන් ඉන්නේ හොඳ අවබෝධයක.ඔයා දන්නවද? අපිට ඉස්සරහට එන්නේ දන්න කරදර.”

සකීගේ කියවීම ගැන අහස් බලා සිටියේ ආදරයෙනි.ජීවිතය කියවා ගන්නා තරුණියක සමඟ මොනතරමට සැනසීමක්දැයි කියන්නට ඔහුට වචන නොවේ.හසාරා හන්දා රිදුණු හදවත යුවතියන්ගේ ආදරය සරදමට ගත් කාලය අතීතයට එක් වීම සැනසීමකි.ආදරයට අවංක නොවී සියුම්ගේ ආදර කතාවට ඊර්ෂ්‍යා කළ අතීතය ඔහු සිනාවකින් සිහි කළේ ය.

“අපේ ජීවිතේ තියන වල් පැළ ගලවන්න ඕනත් අපි,පෝර වතුර දාලා මල් පැළ බලා ගන්න ඕනත් අපි.පරිස්සමින් අඩිය තියලා බොරු වළවල් මඟ අරින්න ඕනත් අපි.ආයේ හීනයක් බලල පහුවදාට ලෑස්ති වෙන්න නැති එකම මදැයි.”

සකීට සැබෑවටම සැනසීමක් දැනේ.අහස් තමන් ගැන ආත්ම විශ්වාසයෙන් පසු වේ.ඔහු එකම එක පුහුණුවීමක්වත් මඟ හරින්නේ නැත.පසුගිය තරග සිය වාරයක් පමණ නරඹමින් ඔහු ඔහු ගැනම තක්සේරු කරන අන්දම සකීට පැවසුවේ ඉලංගසිංහ මහත්මිය ය.ලෝක වාර්තා කිහිපයක් අබියස හිඳින අහස් මඟ බලන්නේ මෙවර ලෝක කුසලාන තරගාවලියේදී ඒ වාර්තා සම්පූර්ණ කරන්නට ය.පන්දු යැවීම වඩාත් ප්‍රිය කරන ඔහු ක්‍රීඩකයන් කිහිප දෙනෙකුගේ කඩුලු ගැන වඩාත් බලාපොරොත්තු සහගත ය.සකීට දැනෙන්නේ පුදුමාකාර සතුටකි.කකුල කඩා ගන්නට රුසියෙකු යැයි අහස් ගැන සමාජ ජාලා ඔස්සේ ලියූ අයම ඔහුට “අපේ එකා” යැයි ලියන සටහන් ඇය සුරක්ෂිත කරන්නේ මඳ සිනාවකිනි.

“ඔයා හින්දා එන ගොසිප් දරා ගන්න,ගෑනු ළමයින්ගෙ මැසේජ් කියෝලා ලේ නරක් කරගන්නේ නැතුව ඉන්න,ඔයා නැති පාළුව දරා ගන්න මාත් පුරුදු වෙන්නම්කො.එතකොට ගොඩක් වල් පැළ නිකම්ම ගැළවෙනවා.”

සකී සැනසුම පිරුණු හඬකින් පැවසුවා ය.අහස් ඔහුට වඩා ආදරය දැනෙන සෑම මොහොතකම කරන්නාක් මෙන් ඇගේ හිස් මුදුන අවුල් කර දැමුවේ ය.

“ඒ ඔක්කොමත් එක්ක ඔය ළමයා කැම්පස් එකේ වැඩ ටික හරියටම කරන්න ඕන.ෆස්ට් ක්ලාස් එකක් එක්ක ඩිග්‍රි එක කරන්න ඕන.ඊට පස්සෙ අපි ඊළඟ ඩිග්‍රි එකට ඔයා කැමතිම රටට යමු.ඔයා ඔයාට පුලුවන් තරම් දුර ඉගෙන ගන්නෝන.මං ආසයි ඒකට.”

හසාරා ඇගේ මාවතේ බලහත්කාරයෙන් ඔහු රැගෙන යන්නට යත්න දැරුවා ය.එහෙත් සකී ඇගේ මාවත යම් දුරකින් ඔහු නිසා අවසන් කරන්නට වුවත් සූදානම් බව අහස්ට වැටහේ.එයට ඉඩ දීමට ඔහු අකමැති ය.ඇය ඉගෙනීමට හපනියකි.ඇයට ඇගේ මාවතේ හැකිතරමක් දුර යන්නට ඉඩ දිය යුතුම වේ.

“හීන පෙනුණේ වැඩියෙන්ම ඔයාට.මම හීන දැකලා බය වෙන එකනම් ඔයාගේ චිත්‍ර නිසා නැතිම වුණා.ඔයාටත් හීන පේන එක නැති වෙලා ගිය එක හොඳයි එකාතකට.”

එසේ පැවසූ අහස්ට කියන්නට තවත් දෙයක් වේ.ක්‍රීඩා පිටියේදී කෙල්ලන් වශී කරන ඒ සිනාව නැඟෙන්නේ හොඳ කතාවක් කියන්නට නොවන බව සකී දන්නී ය.ඇය ඒ හන්දාම ඔහුගේ මුහුණ දෙස නොබලන්නට ප්‍රවේසම් වූවා ය.

“ඔය සන් ෆ්ලවර්ස් අස්සේ පොඩි බට්ටියක්ව දැක්කම ඇති ඔයා.ජීවිතේ මට ඉතුරු එකම හීනේ එච්චරයි.”

සකී ඔහුගේ අත සිහින්ව කෙනිත්තූවා ය.ඔහුගේ පිරිසිදු ආදරයයැයි අහස් හඳුන්වන කණ්ඩායම් සගයාගේ සිඟිති දියණිය සකීට සිහි විය.ඇය සහ අහස්ගේ ආදරණීය ඡායාරූප ද වීඩියෝ පට ද ඇයට මැවී පෙනේ.කොහොමටත් ආදරය උදුරාගන්නා සුළු දැරියක වන ඇයට එතරමකට ආදරයක් දෙන අහස් ඔහුගේ දියණියකට මොනතරමට ආදරය කරාවිදැයි සකීට කියන්නට පවා නොතේරේ.

තමන්ටත් වඩා උස ක්‍රිකට් පිත්තක් උස්සා ගත් කුඩා අහස් කෙනෙකුගේ රූපය අමතක කළ සකී අහස්ගේ සිහිනය දකින්නට සතුටු වූවා ය.

(සකීටත් අහස්ටත් ඔබේ ආදරය වචනයෙන් තබා යන්න.🌻)

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles