රස ගුණ පිරි ආයුර්වේද පානයන්

නීරෝගීකම කියන්නෙ අපි සතු හොඳම ධනය කියලනෙ අපි කතාවටත් කියන්නෙ. නීරෝගීකම ගැන වැඩිපුර කතාබහට ලක්වෙන කාලයක, නිරෝගී බවට වැඩි වටිනාකමක් ලැබෙන කාලයක ඔබේ නීරෝගීකම රැකගන්න උදව්වක් වෙන්න පුළුවන් නම් එය අපිට ලොකු සතුටක්.

ඒ නිසා නිරෝගීබව රැකගෙන සුවපත් ජීවිතයක් ගත කරන්න උදව් වෙන ගුණදායක වගේම රසවත් පානයන් තුනක් ගැන විස්තර ඔබත් එක්ක බෙදාගන්නයි අපි අද මේ සූදානම් වෙන්නෙ.

සුදුළූණු කැඳ

සුදුළූණු කියන්නෙ හෙළ වෙදකමේදි නිතරම භාවිතයට ගැනෙන ඉතාම ගුණදායක ඖෂධයක් වගේම ස්වභාවික ආහාර රස සහ සුවඳ කාරකයක්නෙ.

රුධිරයේ සීනි සහ කොලෙස්ට්‍රෝල් මට්ටම නිසි විදිහට පවත්වා ගන්න, ප්‍රතිශක්තීකරණය වර්ධනයට, හෘ ද රෝග ඇතිවීමේ අවධානම අඩු කරගන්න, අස්ථි ශක්තිමත් කරන්න, රුධිර පීඩනය අඩු කරන්න වගේම උණ රෝගයෙන් ඇතිවන බලපෑම අඩු කරන්න සුදුළූණු වලින් ලබා දෙන්නෙ කිසිසේත්ම අඩුතක්සේරු කළ නොහැකි උදව්වක්. 

එහෙනම් සුදුළූණු කැඳ හදන්න අපිට අවශ්‍ය මොනවද කියල අපි මුලින්ම බලමු.

අවශ්‍ය ද්‍රව්‍ය

  • සහල් මිටක්
  • සුදුළූනු බික් 10 ක් පමණ
  • අඟලක පමණ ඉඟුරු කැබැල්ලක්
  • පොල්කිරි කෝප්ප 01 ක්
  • රම්පෙ කැබැල්ලක්
  • ලුණු කුඩු

සාදාගන්නා ආකාරය

මුලින්ම සහල් මිටක් පමණ භාජනයකට දමා එයට වතුර කෝප්පයක් පමණ දමා සහල් හොඳින් තම්බා ගන්න. 

සහල් තැම්බුණු පසු එයට පෙති කපාගත් සුදුළූණු එක්කර තම්බා ගන්න.

සුදුළූණු සහ සහල් හොඳින් තැම්බී යන්තමට වතුර භාජනය අඩියේ ඉතිරිවෙන ප්‍රමාණයට වතුර හින්ඳවා ගන්න.

දැන් බත් සහ සුදුළූණු හැන්දකින් හෝ බ්ලෙන්ඩරකට දමා හොඳින් පොඩිකර ගන්න.

පොඩිකරගත් බත් මිශ්‍රණයට පොල්කිරි කෝප්පයක්, රම්පා කැබැල්ලක් සහ ඉඟුරු කැබැල්ලක් එක්කර ලිපතබා ගන්න. 

එයටම රස අනුව ලුණු එකතු කරන්නත් අමතක කරන්න එපා. 

පොල්කිරි හොඳින් නටනතුරු මඳ ගින්නෙ හැඳි ගාමින් පිසගන්න.

පොල්කිරි නටන උෂ්ණත්වයට පත්වුනු පසු විනාඩි 05 ක් පමණ හැඳිගාමින් තබා ලිපෙන් ඉවත්කර ගන්න.

ඔබට කැමති නම් ගම්මිරිස් ඇට 04 ක් 05 ක් එකතු කරගන්නත් පුළුවන්.

ඉඟුරු සහ රම්පෙ කැබැල්ල ඉවත් කර මඳ රස්නෙන්ම පානය කරන්න. 

දකුණු ඉන්දියානු රසම් පානය

උණ, සෙම්ප්‍රතිශ්‍යාව වගේ බෝවෙන රෝග වලින් පෙලෙද්දි වගේම ශරීර දුර්වලතා ඇති විටත් ආහාර අරුචිය ඇති අවස්ථා වලදීත් බත් සමඟ වගේම කෑමට පෙරත් පානය කරන්න පුළුවන් රසවත් වගේම ඉතාම ගුණදායක පානයක් තමයි රසම් කියන්නෙ.

ඉතිං අපි බලමු සාම්ප්‍රදායික ක්‍රමයට දකුණු ඉන්දියානු රසම් හදන්න අපිට අවශ්‍ය ද්‍රව්‍ය මොනවද කියල.

අවශ්‍ය ද්‍රව්‍ය

  • ලුණු දමා වියලන ලද සියඹලා 05 ක් 06 ක් පමණ
  • වතුර කෝප්ප 03 ක්
  • දිග අතට පෙති කපාගත් සුදුළූණු බික් 06 ක්
  • හීන් කොච්චි 04 ක් ( සැර අනුව නයි මිරිස් හෝ අමු මිරිස් භාවිතා කල හැක)
  • ඉති 03 ක පමණ කරපිංචා කොළ
  • ගම්මිරිස් ඇට තේ හැඳි 01 ක් 
  • සූදුරු තේ හැඳි 1 ½ ක්
  • කොටු හැඩයට කපාගත් තක්කාලි ගෙඩියක්
  • පොල්තෙල් මේස හැඳි 01 ක්
  • අබ තේ හැඳි 01 ක්
  • උළුහාල් තේ හැඳි ¼ ක්
  • වියළි මිරිස් කරල් 03 ක්
  • කහ තේ හැඳි ½ ක්
  • මිරිස් කුඩු තේ හැඳි ½ ක්
  • ලුණු කුඩු 
  • කුඩු කරගත් හකුරු තේ හැඳි 01 ක්
  • කොත්තමල්ලි කොළ

සාදාගන්නා ආකාරය

මුලින්ම වීදුරු භාජනයක් ගෙන එයට සියඹලා සහ වතුර කෝප්ප 01 ක් එක්කර ගන්න.

සියඹලා අතින් පොඩිකරමින් වතුර සමඟ මිශ්‍රකර තවත් හොඳින් දියවීමට පැය භාගයක් පමණ තබන්න.

සුදුළූණු, කොච්චි සහ කරපිංචා සාමාන්‍ය ප්‍රමාණයට තලාගන්න.

එයටම ගම්මිරිස් ඇට සහ සූදුරුත් එක්කර තලාගෙන පසෙකින් තබන්න. 

දැන් සියඹලා හොඳින් පොඩිකරමින් සියඹලා දියවූ වතුර වෙනම භාජනයකට දමාගන්න.

නැවත වතුර කෝප්ප දෙකක සියඹලා පොඩිකර නැවත දියකරමින් එම වතුර කෝප්ප දෙකත් කලින් සියඹලා දියකරගත් වතුරටම මිශ්‍ර කරගන්න. 

දැන් කොටු හැඩයට කපාගත් තක්කාලි එම සියඹලා මිශ්‍ර වතුරට දමා තක්කාලි කැබලි මඳක් පොඩිකරගන්න.

භාජනයක් ලිපතබා (මැටි භාජනයක් නම් වඩා සුදුසුයි) එයට පොල්තෙල් එකතු කර හොඳින් රත්කරගන්න.

පොල්තෙල් රත්වූ පසු අබ සහ උළුහාල් එක්කර අබ ඇට පුපුරන විට වියළි මිරිස් කැබලි වලට කඩා එක්කර ගන්න.

එයටම තලාගත් සුදුළූණු මිශ්‍රණය එක්කරගෙන හොඳින් හැඳිගාමින් විනාඩියක් පමණ තබාගන්න.

කහ කුඩු, මිරිස් කුඩු සහ රස අනුව ලුණු කුඩු එකතු කර හොඳින් කලවම් කරගන්න.

දැන් මේ මිශ්‍රණයට සියඹලා සහ තක්කාලි මිශ්‍ර වතුර කෝප්ප තුන එක්කර හොඳින් හැඳිගාමින් සාමාන්‍ය ගින්දරේ රත්කර ගන්න. 

වතුර නටන උෂ්ණත්වයට පත්වූ විට එයට හකුරු කුඩු එකතු කර විනාඩියක් පමණ හැඳිගාන්න.

කොත්තමල්ලි කොළ කුඩාවට කපාගෙන එයටම එකතු කර හොඳින් හැඳි ගාමින් විනාඩියක් පමණ තබා ලිප නිවා පියනකින් ආවරණය කර විනාඩි 05 ක් පමණ තබන්න. 

ඔන්න දැන් රස වගේම සුවඳ පිරුණු රසවත් රසම් පානය සූදානම්.

උණුසුම්වම පිළිගන්වන්න. 

ඉඟුරු මී පැණි පානය

ඔබ නිතරම ඇතිවෙන උගුරේ වේදනාවෙන් සහ කැස්සෙන් පෙළෙනව නම් මේ ආයුර්වේද පානය ඔබට වඩාත් ගුණදායක වෙනව.

අවශ්‍ය ද්‍රව්‍ය

  • අඟල් 02 ක පමණ ඉඟුරු කැබැල්ලක්
  • වතුර 500 ml ක්
  • අඟලක පමණ කුරුඳු පොතු කැබැල්ලක්
  • කරදමුංගු ගෙඩි 01 ක්
  • කරාබුනැටි 02 ක්
  • ගම්මිරිස් ඇට 04 ක් 05 ක් 
  • කහ තේ හැඳි ⅛ ක්
  • මී පැණි තේ හැඳි 02 ක්
  • දෙහි ගෙඩි භාගයක යුෂ

සාදාගන්නා ආකාරය

මුලින්ම ඉඟුරු කැබැල්ල හොඳින් තලාගන්න.

වතුර භාජනයක් ලිපතබා එයට ඉඟුරු, කුරුඳුපොතු, කරදමුංගු, කරාබුනැටි, ලොකු කැබලි වලට කුඩු කරගත් ගම්මිරිස් සහ කහ එකතු කර රත්කර ගන්න.

වතුර නටන උෂ්ණත්වයට පත්වූ පසු විනාඩි 03 ක් 04 ක් පමණ වතුර නටන්නට තබා ලිපෙන් ඉවතට ගන්න.

කෝප්පයකට මී පැණි සහ දෙහි එක්කර සාදාගත් ඉඟුරු තම්බාගත් වතුර එයට පෙරාගන්න.

මී පැණි, දෙහි සහ ඉඟුරු තම්බාගත් වතුර හොඳින් කලවම් කර උණුසුම්ව පානය කරන්න. 

මේ ආයුර්වේද පානයන් සාදාගෙන පානය කරන්න ලෙඩක් අසනීපයක් හැදෙනකම්ම ඉන්න අවශ්‍ය නෑ කියලත් අපි ඔබට මතක් කරනව.

එහෙනම් නැවත හමුවෙමු.

එතෙක්, සුවෙන් සිටින්න.

සටහන – දුලානි නවෝද්‍යා

Related Articles

Don't Miss


Latest Articles