රන් මල් දම් – 20


මන්දාරම් නිවෙසට එන විට නිම්නාවී යන්නට සූදානම්ව උන්නාය. මන්දාරම් ඇගෙන් කිසිවක් නොවිමසාම කාමරය තුලට වැදුනේය. නිම්නාවී ඉන් පත්වූයේ කෝපයටය. මද වැස්සක් තිබියදී, ස්වර්ණා තමාට පිටත්ව යන ලෙස පවසද්දීත් සිටියේ ඔහු මුණ ගැසී යන්නය.තමාට යම් හෝ අදාලත්වයක් නැති බව සිතා අත් හල යා හැකි වුවද නැවතී උන්නේ ඔහු වෙනුවෙනි. එහෙත් ඔහු පිරිමහන්නේ කිනම් කෝපයක්ද?. මේ කිනම් උද්දක්ච්චකමක්ද ?
නිම්නාවි ආපසු හැරුණාය. තමා මේ නිවසේ ස්වර්ණාගේ අත් උදව්වට පැමිණෙන අත් උදව්කාරියක බව, සහායක හෙදියක මොහොතකට අමතක ව තිබුණි. ඒ වෙනුවට නිම්නාවී අලහකෝන් නම් වූ යුවතිය මතුව උන්නාය. ඒ තියා මේ තරම් කාලයක් තමාම තමාටම සඟවාගෙන උන් ස්වභාවය මතුව තිබුණි. නිම්නාවී දැන් ජීවිතේ හුස්ම අල්ලන්නේ අමුතුම තාලයකටය.
නිම්නාවී මන්දාරම්ගේ කාමරය අසලට ගියාය. සිතා බලන්නට හෝ ඉඩක් ගන්නේ නැතිවම ඕ කාමරයේ දොරට තට්ටු කලාය. බලා උන්නාය. ප්‍රතිචාරයක් නොවූ තැන යළි දොරට තට්ටු කලාය. යලි බලා උන්නාය. යළි දොරට තට්ටු කලාය.
මන්දාරම් උන්නේ දොර වසා දමා සයනය මතට එහෙමම පෙරලීගෙනය. අද දිනයම ගෙවුනේ තමාට ම නොදැනෙන නොරිස්සුමක් සමඟය. දිනය පුරා කරන්නට තිබූ වැඩ කටයුතු රැසක් එහෙ මෙහෙ විය. උදෑසනම නිම්නාවීගේ හිතුවක්කාරවීම ඒ නොරිස්සුමට හේතුව වගද ඔහු වටහාගෙන උන්නේය. එහෙත් ඇගේ හිතුවක්කාරකමින් තමා නොරිස්සුමක් තනා ගන්නේ ඇයිදැයි ඔහුට වැටහුනේ නැත.
ඇගේ හැසිරීම් මත තම හැසිරීම්, හැඟීම් එහෙ මෙහෙ වීමේ ප්‍රතිපලය විය හැක්කේ කුමක්දැයි මන්දාරම් නොදැන උන්නා නොවේය. එහෙත් මේ හිතුවක්කාරකම ඉවරයක් නැත.
කර අවසන් කරන්නට සිතා උන් වැඩද අඩක් නිම කර දමා ඔහු නිවෙසට එන්නට පිටත් වූයේ නිම්නාවී දකින්නට සිත ඉතා තද ඉල්ලීමක් කරමින් උන් නිසා බවද මන්දාරම් දන්නේය. ඒවා අර කිව් හිතුවක්කාරකමේම කොටස් ය. එහෙත් නිවසට ඇතුළු වනවිටම නිම්නාවීට මුහුණ දී ඇය හා ගැටෙන්නට නොහැකි බව ඔහුට දැණුණි. එනිසා ඒ නොහැකියාව කෝපයකට තවරා ඔහු කාමරයට වැදුනේය.
දොරට තට්ටු කරන්නේ කවුරුන්දැයි සිතාගන්නට නොහැකි වූ නිසාමන්දාරම් ඔහේ බලා උන්නේය. දෙවන වරද තට්ටු කරනු ඇසෙද්දී මන්දාරම් වහා සයනයෙන් කෙලින් වී දොර වෙත ඇවිද ගියේය. ක්ෂණයෙන් දොර විවෘත කලේය. නිම්නාවී එක් අතක වූ අත් බෑගය අනෙක් අතට මාරු කර යලි දොරට තට්ටු කරන්නට සිතුවා පමණි. දොර විවෘතව තිබුණි.
මන්දාරම් ඇය දෙස බලා උන්නේ එක්වරම මතුවීම විශ්වාස කරගන්නට නොහැකි බැල්මකිනි.
” කතා කරන්න ඕනි …”
නිම්නාවී දැඩි ස්වරයෙන් එලෙස පවසන විට මන්දාරම් තිගැස්සී ගියේය. ඇගෙන් එවන් ස්වරයක් බලාපොරොත්තු නොවූ නිසාම තත්පර කිහිපයකට ප්‍රතිචාර දැක්වීමද ප්‍රමාද විය. ඇය උදෑසනද මෙවන්ම හැසිරීමකින් තමා ඉක්මවා ගිය බව මන්දාරම්ට සිහි විය. ඇයට සිදුවී ඇත්තේ කුමක්ද ? ඇය උත්සාහ කරන්නේ කුමකටද ?….
” කතා කරන්න ඕනි …”
දෙවන වරට ආපස්සට හැරී බලමින් නිම්නාවී පෙරට වඩා යම් පහත් හඬකින් කීවාය. මන්දාරම් ඉන් පියවි සිහියට පිවිසියේය. ඇය තමා ඉක්මවා යෑමෙන් තමන්ට කෝප හැඟීම් නොතැනිය යුතු බව ඒ අතරේ ඔහු සිතාගත්තේය. ඇය තමාට නතු වන්නියක නොවේ. තමා පඩි ලබා දෙන්නේ ඇගේ සේවයට මිස, තමාට අවැසි ලෙසින් ඇගේ හැඟීම් පෙන්වනවාට නොවන බව මන්දාරම්ට හීන් හඬකින් කවුරුන්දෝ පවසනු ඇසුනේය.
” කියන්න …”
මන්දාරම් කීවේ නිම්නාවී තරමටම පහත් හඬකිනි.
” එලියට එන්න … “
නිම්නාවී යෝජනාවක් ලෙසින් නොව අණ දීමක් ලෙසින් එලෙස පවසාගෙන පිටතට ආවාය. මන්දාරම් කාමරයෙන් පිටතට විත් යළි ඇය යන මඟ දෙස නොසොල්මනේ තත්පරයක් බලා හිඳ, ඉන් පසුව ඇය පසුපස ගියේය. ඔහු උන්නේ මදක් වික්ෂිප්ත වෙමිනි.
නිම්නාවී නැවතුනේ මිදුලේ ස්වර්ණාගේ කාමරයට නොපෙනෙන කොනෙහිය. ඕ මන්දාරම් එන මඟ දෙස ආපසු හැරී බලා උන්නාය. මන්දාරම්ට කිසිත් සිතා ගන්නට හැකි වූයේ නැත.
” මොකක්ද ප්‍රශ්නේ ?…”
” එහෙම කලබල වෙන්න දෙයක් නැද්ද කියලා මම දන්නේ නෑ .. ඒත් , මේක කියලා තියෙන එක හොඳයි හිතුනා…”
මන්දාරම් නිහඬව සිටිමිනි ඇයට අනුමැතිය දෙන බැල්මකින් බලා උන්නේය. එහෙත් ය පවසන්නට යන්නේ කුමක්දැයි ඔහුටද සිතාගන්නට හැකි වූයේ නැත.
” මිස් එකොළහට විතර මගෙන් ඇහුවා ටව්න් එකට ගිහින් එන්න පුලුවන්ද කියලා… මං හා කිව්වා … මට කිව්වා බැංකුව ළඟට මිස්ගේ යාලුවෙක් පොත් වගයක් ගෙනල්ලා දේවි .. ඒ ටික අරගෙන එන්න එහෙනම් කියලා …. ඒ මිස් කලබලේ ගමනක් යන ගමන් නිසා ආයේ මේ පැත්තට එන්න වෙන්නේ නෑ කිව්වා…ඒත් අපේ මිස්ට ඒ පොත් ටික ගන්නම ඕනි කිව්වා.. මගෙන් ඇහුවා කරදරයක්ද එහෙම යන එක ? කමක් නැද්ද එහෙම උදව්වක් ඉල්ලුවාට කියලා ?…. “
” කැළණියටද ?..”
මන්දාරම් තිගැස්ම සඟවාගෙන ඇසුවේය.
” නෑ ..කිරිබත්ගොඩට …”
” ඉතින් …”
” මං මිස්ට බොන්න බීම එකකුත් හදලා තියලා යන්න ලෑස්ති වුනා. යන්න ලෑස්ති වුනාම මිස් සල්ලි දීලා පික් මී එකක් දාගන්න කියලත් කිව්වා..මම බස් එකේ යන්නම් කියද්දී බලෙන්ම පර්ස් එක ගේන්න කියලා මට සල්ලි දුන්නා… ඒ යාලුවා ඇවිල්ලා කෝල් කරනකල් මට තිලකවර්ධන එකෙන් ඉඳගෙන ඉන්න කියලත් කිව්වා කකුල අමාරු නිසා..මිස්ට කෝල් එක ආවාම මට කියන්නම් කිව්වා….”
” ඉතින් ?…”
” මට එවෙලේ එහෙම ලොකුවට වෙනසක් දැනුනේ නෑ … ඒත් මඟක් ගියාම අමුතුයි හිතුණා…. මම කැලණියෙන් බැහැලා, ආයෙම වීල් එකක් අරන් ගෙවල් ලඟට ගිහින් බැහැලා, ගෙදරට යන්න බලනකොට ගේට් එක ඇතුලෙන් ලොක් කරලා ….”
නිම්නාවී පහත් හඬින් නැවති නැවතී කීවාය. මන්දාරම්ට හුස්ම හිර වූවා සේ දැණුනි.
” මොකක් ?….”
” ඔව් ….. එලියේ පොඩි කාර් එකක් නවත්තල තිබ්බා .. ඒක හයර් කරපු එකක් ම හිතන්නේ … අර කාර් ඩොට් එල් කේ එකෙන්.. ඒකේ නම්බර් එක මම වට්සැප් කරා ඔයාට ….”
” ඊට පස්සේ ?….”
” ඊට පස්සේ මිස් මට කෝල් කරන්නම් කියලනේ කිව්වේ යාලුවා කිරිබත්ගොඩට ආවාම… මම පැයක් විතර එහා පාරේ හිටගෙන ඉඳලා ඉඳලා බැරිම තැන මිස්ට කෝල් කරා ..මගේ කකුලත් රිදෙන්න අල්ලලා තිබුනේ…”
” ඉතින් ….”
මන්දාරම්ගේ හදවත තවත් වේගවත් වෙමින් තිබුණි. අම්මා යම් විපතක හෙලී ඇතිදැයි වන හැඟීම ඉතා තදින් ඔහුට වද දෙන්නට පටන් ගෙන තිබුණි.
” මිස් කෝල් එක ආන්සර් කරලා කිව්වා, මට බඩගිනි නම් මොනා හරි කන්න …. තවම යාලුවා මග කියලා…..”
“හ්ම්ම්ම්ම් …ඉතින් ..”
” මං තව පැයක් විතරම ඒ පාරේ බලන් හිටියා .. එකපාරටම අර කාර් එක ගියා … ඒ ගිහින් විනාඩි පහකින් මිස් කතා කරලා කිව්වා… හදිසියක් වෙලා ඒ යාලුවා එහෙමම ගිහින්, පොත් ටික වෙන දවසක එනවා කිව්වා, මට ගෙදර එන්න කිව්වා …”
මන්දාරම් නිම්නාවී දෙස වඩා වික්ෂිප්තව බලා උන්නේය. කිසිවක් වැටහෙන්නේ නැත. අම්මා මෙතරම් සැලසුම් සහගතව කුමක් කරන්නේද ? මේ තමාට සිතෙන්නේ සැබෑවටම සිදුවන දෙයද? මන්දාරම් නිම්නාවී දෙස බැලුවේ ඕ සිතන්නේ කුමක්දැයි දැනගන්නට මෙන් ය.
අපේක්ෂා ගුණරත්න

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles