අවදානය

මිහිලි ව රෝහල් ගත කරලා ගෙදර ආවට පස්සේත් සඳුන්ගේ හිත තිබුණේ අතිශය නොසන්සුන් කමක. ඒ නිසාම සඳුන් ආයේම සූදානම් වෙලා රෝහලට ගියා. ඒ වෙනකොට දෙන්නාගේම අම්මලා මිහිලිගේ තනියට රෝහල් කාමරේ හිටියා වුනත්, මිහිලි ඉන්න නොසන්සුන්කම සඳුන්ට හොඳටම පෙනුණා. අම්මලා එහාට මෙහාට වෙනකල් ඉඳලා සඳුන් මිහිලි ලඟින් ඉඳගත්තා.  සීසර් සැත්කමට වෙලාව ලැබිලා තිබුණත්,  පැය විසි හතරකට කලින් රෝහල් ගත වුණ නිසා ඒ වෙනුවෙන් තව දවස් භාගෙකටත් වඩා වෙලාව නම් තිබුණා. 

සඳුන් හෙමින් සීරුවේ මිහිලිගේ පිටි අල්ල පිරිමැද්දා. මිහිලි මහපටැඟිල්ල උඩින් දාලා සඳුන්ගේ අතින් අල්ල ගත්තා. ඊට පස්සේ ඇස් වල කඳුළු පුරවගෙන සඳුන් දිහා බැලුවා.  මිහිලිගේ ඇස් වලින්ම ඇගේ කතාවේ අඩක් වැටහුණත්, සඳුන් කිසිම දෙයක් අහන්නේ නැතුවම බලාගෙන හිටියේ මිහිලිටම ආරම්භයක් ගන්න ඉඩ දීලා. 

“මට බෑ සඳුන්…”

මිහිලි කෙඳිරුමක් ගානට එහෙම කිව්වා. සඳුන් මිහිලිගේ අත තදින් අල්ල ගත්තා. ඔලුව අත ගාලා, කම්මුලක් ඉම්බා.

“බය වෙලාද ?”

“මට බයයි… අපිට මෙහෙම නොවී ඉන්න තිබුණේ…”

අවුරුදු හයක යාළුකමක් , අවුරුදු පහක  ආදර කතාවකට පස්සේ, අවුරුදු තුනක විවාහ ජීවිතයක් ඇතුලේ කවදාකවත් නොපෙන්වපු තරමේ කලකිරීමක්, පීඩනයක් මිහිලිගේ හිතේ තියෙන බව සඳුන් බොහෝම ඉක්මනින් වටහා ගත්තා. ඒ නිසාම මිහිලිගේ අත තව තදින් අල්ල ගත්තා.

“අපි ඩොක්ටර් මීට් වෙන්න සෙශන් එකක් දාගමුද ?”

සඳුන් ඊට පස්සේ ඇහුවේ මිහිලිගේ තනියට තමන් ඉන්න වග හොඳින්ම දැනෙන්න දීලා. ඒත් මිහිලි එයට එකඟ  නැති වග පෙන්වන්න හිස සැලුවා. සඳුන් ඊට පස්සේ කලේ මිහිලිගේ කලබලයට හේතුව හොයාගන්න උත්සාහ කල එක.

” බැරි වෙලාවත් බබා ඩිසේබල් වුනෝතින් අපි මොකක්ද කරන්නේ ?”

ඒ කතාව අවසානේදි මිහිලි එහෙම ඇහුවම සඳුන් ඇගේ දිහාවෙන් ඇස් ඉවතට ගන්නේම නැතුව හිටියා. තනියෙන්ම ඒ ගැන කල්පනා කරපු වෙහෙස ඇගේ වචන වල පවා තැවරිලා තිබුණා.

“එහෙම වෙන්නේ නෑ මිහිලි. අපි චෙක් කරලානේ තියෙන්නේ… අනෙක එහෙම වුනත්, එයා අපි දෙන්නාගේ නේහ්.. එහෙම නේද ?”

මිහිලි සඳුන්ගේ දිහාවට ඔලුව වැනුවා. ඒත් ඒ අවබෝධයක් ඇතුව නෙවෙයි කියලා සඳුන්ට වැටහුණා. ප්‍රසූතිය වෙලාවෙදී අනිවාර්යයෙන්ම තමන් ඇය ළඟින් ඉන්න බවත්, අනිවාර්යයෙන්ම හැමදේම හොඳින් සිදු වෙන බවත් ඇයට ඒත්තු ගන්වන්න සඳුන්  පැහැදිලි කිරීම් වගේම, ආදරණීය ස්පර්ශ කිරීම් අඩු නැතුවම පාවිච්චි කලා. 

අම්මලා එක්ක මිහිලිව තියලා, තමන් ප්‍රතිකාර ගන්න වෛද්‍යවරියව මුණ ගැහෙන අවස්ථාවක් වෙන් කරගන්නත්  සඳුන් අමතක කලේ නැහැ. 

මිහිලිව ප්‍රසූතිකාගාරයට ඇතුළු කරගත්තේ පහුවෙනිදා පාන්දර. මිහිලිගේ අත අත් නොහැරම සඳුන් ඇය ළඟ උන්නා. 

අන්තිමේදි, මිහිලි වගේම ඇස් තියෙන පුංචි කෙලි පැටියෙක් අඬාගෙන මිහිලිගෙයි, සඳුන්ගෙයි ජීවිත වලට ආවා. මිහිලිගේ හදිසි වෙනස්වීම ගැන හොඳින්ම වටහාගෙන හිටිය නිසා සඳුන්ගේ වැඩි අවධානය මිහිලිට දෙන්න වග බලා ගත්තා. 

රෝහලේ හෙදියන්ගේ වගේම අම්මලා දෙන්නාගේ සහයෝගයෙන් මිහිලි පලවෙනි දවස අවසන් කරන විදිය ගැන සඳුන් අවධානයෙන් හිටියේ.

ඒ හැම වෙලාවකම මිහිලිගේ ඇස් වලට අහුවෙන මානෙක ඉන්න සඳුන් පරෙස්සම් වුණා. ඇස් වලින් ඉඟි කලා. පුලුවන් වුන ගමන්ම ලඟට වුණා.

“එයා ඔයා වගේ….”

මිහිලි එහෙම කියනකල්ම සඳුන් බබා ගැන කිසිම දෙයක් කිව්වේ නැහැ. ඊට පස්සේ   කලෙත් මිහිලි  බබා ගැන කීව දේවල් වලට හූ මිටි තිව්ව එක. ඒ හැම වෙලාවකම  තමන් ඇයට ආදරේ කරන තරම අඟවන්නත් සඳුන් අමතක කලේ නැහැ.

දවස් දෙකකින් පස්සේ අලුත් බබාවත් අරගෙනම කට්ටිය ගෙදර ආවා. ඒත් මිහිලි ඉන්නේම තිගැස්මෙන් බව අම්මලා දෙන්නා වගේම සඳුනුත් හොඳටම තේරුම් අරගෙන තිබුණේ.  ඒ නිසාම මිහිලි ට ඉස්සර ගෙවපු ජීවිතේටම ඉඩ දීලා අලුත් බබාගේ වැඩ අනෙක් අය බෙදාගෙන කටයුතු කලා. මිහිලි කලේ කිරි දෙන එක විතරයි.

“මට බයයි සඳුන්.. එයා පොඩියි…”

මිහිලි පහුවෙනිදා එහෙම කිව්වම සඳුන් මිහිලි ලඟින් ඉඳගත්තා. ඊට පස්සේ දෙන්නාගේ ජීවිතේ ඉස්සරම දවස් වල ඉඳන් තිබුණ ලස්සන හීන ගැන කතා කලා. ආදරෙන් ගෙවපු දවස් ගැන මතක් කලා. ඉටු වුණ බලාපොරොත්තු ගැන හිතන්න දුන්නා.

“සමහර දවස් එනවා මිහිලි .., අපිට තව කාගේම හරි උදව් ඕනි වෙන .. අපි ඩොක්ටර් කෙනෙක් මුණ ගැහෙමු…?”

අන්තිමේදි සඳුන් එහෙම කියනකොට මිහිලි හොඳටම අඬන්න ගත්තා. වෛද්‍යවරයෙක් මුණ ගැහෙන්න තරමට තමන්ට තියෙන රෝගී තත්වය මොකක්ද කියලා සඳුන්ගෙන් ඇහුවා 

“ලෙඩක් නෙවෙයි .. ඒත් ඔයාට තේරෙනවා නේද ඔයා බැලන්ස් නැහැ කියලා … ම්ම් ?”

සඳුන් ඉවසීමෙන්, කරුණාවන්ත වෙලා මිහිලිට ඉඩ දුන්නා. මිහිලි හිස සැලුවා. ඒ හරි හැටි අවබෝධයක් ඇතිව නෙවෙයි. එහෙම වුනත් තමන්ට දරාගන්න බැරි තත්වයක් තියෙන බව මිහිලිටත් වැටහුණා.

එදාම හවස දෙන්නම උපදේශන සහාය වෙනුවෙන් යොමු වුණා. වැඩි වගකීම් සඳුන් දරාගන්න උත්සාහ කලා. ඊළඟ දින තුනකින් ආයෙම උපදේශන සහාය වෙනුවෙන් මිහිලි ම ඉදිරිපත් වුණා.

සති දෙකක් යනකොට මිහිලි බබා එක්ක ගෙවන කාලේ ටික ටික වැඩි වුණා. බබා වෙනුවෙන් වැය කරන්න දවසේ වැඩිපුර වෙලා හදාගන්න උත්සාහ කලා.

ඒ අතරට උපදේශන සහායත්, සඳුන්ගේ සහ අම්මලා දෙන්නාගේ සහායත් අඩු නැතිව තිබුණා.

“පසු ප්‍රසව විශාද තත්වයක් නිසා කටුනායක මවක් සියදිවි නසා ගනී..”

ඊට අවුරුදු දෙකකට විතර පස්සේ එහෙම ප්‍රවෘත්තියක් ඇහැ ගැටුණා. මිහිලි සඳුන්ගේ දිහා බැලුවා. සඳුන් බබා එක්ක සෙල්ලමක. එදා සඳුන් තමාව හරි හැටි කියවා නොගන්න, තමන්ගේ ජීවිතේ ඉරණමත් ඒ වගේම වෙන්න තිබුණ බව මිහිලිට හිතුණා.

| අපේක්ෂා ගුණරත්න |

ReplyForwardAdd reaction

More Stories

Don't Miss


Latest Articles