එකම එක හාදුවක් – 13

0
57

කොහිලවත්තේ ශාර්වරී සහස්විනි බස්නායකගේ ගෙදර ඔහොම වෙද්දී ලස්සන, උස ජරා මිනිහා උන්නේ ශාර්වරී කියන නම ටයිප් කර කර ෆේස්බුක් එකෙත් ඉන්ස්ටග්‍රෑම් එකෙත් රෙස්ටුරන්ට් එකේ වැඩ කරන බිම්මල් කෙල්ලව හොයන ගමන් ය.

නෙවින් සේනාරත්න ගෑණු දාහක් එක්ක විතර නිදාගන්න ජරා මිනිහෙක් විදියට ශාර්වරීගේ හිත අස්සේ ඇඳෙද්දී නෙවින්ට උවමනාව තිබ්බේ ශාර්වරී යාලුවෙලා ඉන්න, ඔය කියන විදියට රෙස්ටුරන්ට් එකෙන් එයාව ගෙදරට ගෙනිහින් ඩ්‍රොප් කරන කොල්ලා කවුද කියා දැනගන්නය.

“ඔච්චර ඔය මහ ලොකුවට ඉන්නවා කියලා කිව්වේ කාත් එක්කද දන්නෙ නෑ යාලුවෙලා ඉන්නෙ. මොකෝ බැට්මෑන් එක්ක යාලුවෙන්නද?” කියමින් කොච්චර හෙව්වත් ශාර්වරී කියා කෙල්ලෙක්ගේ ප්රොෆයිල් එකක් හොයාගන්න නෙවින් සේනාරත්නට පුලුවන්කමක් ලැබුණේ නැත. අනෙක් අතට රෙස්ටුරන්ට් එකට ගිහින් ශාර්වරී ඉන්නවද කියා බලන්න උවමනාවක් තිබ්බත් තියෙන ආඩම්බර කමට එහෙම කරන්න නෙවින්ට උවමනාවකුත් නැත.

ශාර්වරී උන්නේ කැන්ටින් එකේ වාඩි වී පරණ ෆෝන් කට්ටෙන් ඉන්ස්ටග්‍රෑම් එකට ගොස් නෙවින් සේනාරත්නගේ ප්‍රොෆයිල් එක බලන ගමන් ය. පබ්ලික් ප්‍රොෆයිල් එකක් හන්දා ෆලෝ රික්වෙස්ට් එකක් යවන්නෙ නැතුවත් පින්තූර බලාගන්න තිබ්බ එක හොඳය. එහෙම නැත්තම් තමන් රික්වෙස්ට් එකක් දැම්මොතින් වෙන්නෙ ඔය මනුස්සයා තමන් එයාගෙ පස්සෙන් එනවා යැයි හිතන එකය.  මුල ඉඳන් අග්ගිස්සටම පින්තූරවල තිබ්බෙ ඇඟේ කොහේ හෝ කෑල්ලක් පෙන්නගෙන ඉන්න එකක් ය. එක්කො ජිම් එකේ ශර්ට් එක ගලවන වීඩියෝවකි. එහෙම නැත්තම් පුංචි කොට කලිසමක් ඇඳගෙන ස්විමින් පූල් එකක බැහැගෙන ඉන්න එකකි. 

“මෙච්චර ඇඟ පේන ඒව පෙන්නගෙන ඉන්නෙ කෙල්ලො අල්ලගන්න වෙන්නැති.” කියා හිතුවට ශාර්වරී පින්තූර බලන එකනම් නතර කර දැම්මේ නැත. 

“ඔයා මොනවද නෙවින්ගෙ ප්‍රොෆයිල් එක දිහා බලාගෙන කරන්නෙ?” 

ශාර්වරී උඩ ගිහින් ඇහැරුනේ ඔන්න ඒ සද්දෙටය. කණ පිටිපස්සෙන් ඇසෙන කැඩිච්ච ඉංගිරිසි වචන අයිති ඉතින් කාටද කියන එක අමුතුවෙන් කියන්න දෙයක් නොවේ. තීක්ෂණාට එච් එන් ඩී එක ඇතුලෙ කෙල්ලො කොල්ලො නැති තැන්වලදි ගලි මවුත් කියන්නෙ කොහොමත් අනුන්ගෙ මගුල් හොය හොය තැන් තැන්වල ඒක කිය කිය යන හන්දා බව නොදන්න කෙනෙක් මේ එච් එන් ඩී එකේ නැත.

“මට හිතුනා එදා දාපු ඩ්‍රාමා එකේ හැටියට. නෙවින් ඉන්නෙ ඔයා අර පාට් ටයිම් කරන රෙස්ටුරන්ට් එකේ කියල මම දන්නෙ නෑ කියලද හිතාගෙන ඉන්නෙ?” කියා තීක්ෂණා කැන්ටින් එකේ ඉන්න හැමෝටම ඇහෙන්න කියන්නෙ ඉතින් තමන්ට ලැජ්ජ කරන්න හිතාගෙන බව ශාර්වරීට නොතේරුනා නොවේ. ඒ උනාට ඔය පුස් ඉංගිරිසි තීක්ෂණා නොදන්න කාරණාවක් මෙතන තිබේ. ඒ තීක්ෂණා කොහෙන් ආවත් තමන් ආවේ කොහිලවත්තෙන් කියන කතාවය.

“ඔයා දන්න ඒව ගැන ඉතින් මං දැනගන්නෙ මොකටද?”

“ආහ් කටේ සද්දෙ නම් තියෙනව නේද? එදා බොරුවට ඉවෙන්ට් එකේදි වැටිලා නෙවින්ගෙ ඇඟේ කෑමත් හලද්දි මට හිතුනා මොකක් හරි ඩ්‍රාමා එකකට තමයි ලෑස්ති වෙන්නෙ කියලා. ඊයා ලැජ්ජ නැද්ද හලෝ? ඔයා හිතන්නෙ ඔය ඉන්ස්ටග්‍රෑම් එකෙන් ස්ටෝක් කරලා රෙස්ටුරන්ට් එකට නෙවින් ආවම බොරු අහිංසක මූණු දාලා එයාව අල්ලගන්න හිතාගෙන නම් ඒ නෝ වේ හරිද?

මගෙ කසින් අක්කි කෙනෙක් එක්ක තමයි නෙවින් යාලුවෙලා හිටියෙ. පොශ්, ලස්සනයි. එයාලා දෙන්න සෙට් වෙලා තිබුනෙත් නෙවින් ෆිට් මොඩ්ල් කරන කම්පනි එකක ඩිසයිනර් විදියට ඉඳියෙ ඒ අක්කි. මාර ලස්සනයි. දැන් ඉන්නෙ ෆ්‍රාන්ස් වල ක්ලොතින් කම්පනි එකක ෆැශන් ඩිසයිනර් විදියට”

“ඉතින් මට මොකද්ද කියන්නෙ?”

“කියන්නෙ ඉතින් ඔයා වගේ අයට නම් නෙවින් වගේ අයව එහෙම ලේසියෙන් අල්ලගන්න බෑ කියල තමයි”

“මට ඉතින් එහෙම කවුරුවත් අල්ලගන්න උවමනාවක් නෑ කොහොමත්”

“එහෙනම් මොකටද එයාගෙ ප්‍රොෆයිල් එක ස්ටෝක් කරන්නෙ?”

“ආහ් හරි කතාවක්නෙ? මට ඕන මනුස්සයෙක්ගෙ පින්තූරයක් බලන්න මම දැන් ඔයාගෙන් අවසර ගන්න ඕනද? වාත වෙන්නෙ නැතුව යන්න අනේ යන්න” කියා මේසෙන් නැගිට්ටාට තීක්ෂණා නම් උන්නේ ලේසියෙන් ශාර්වරීට එතනින් යන්න දෙන අදහසක නොවේ.

“මෙයාට ඉතින් කොහොමත් පුරුදුයිනෙ බොරු අහිංසක පාට දාලා, අහිංසකකම මාකට් කරලා ලෙක්චර්ස්ලවත් අල්ලගෙන. නැත්තම් ඉතින් චෙෆ් වීරරත්න උනත් මොකටද මෙයාටම මේ තියෙන ඔක්කොම පාට් ටයිම් වැඩයි අනික් ඒවයි සෙට් කරලා දෙන්නෙ”

“මං පාට් ටයිම් කරන්නෙ මට සල්ලි ඕන හන්දා. ඒක කියන්න ලැජ්ජ වෙන්න ඕන නැනෙ. අනික ඉතින් ඔය ගේ ගෙම්බා වගේ ගේ අස්සටම වෙලා අම්මල තාත්තලගෙ කකා බිබී ඉන්නවට වඩා මම කැමතියි මමම කීයක් හරි හම්බ කරගෙන ගොඩයන්න” ඔය ටික කිව්වයින් පස්සෙ එතනින් යන්න නැගිට්ටත් ශාර්වරී උන්නේ ලැජ්ජාවයි තරහයි දෙකම හිත අස්සේ පුරවගෙනය. එක පැත්තකින් ලැජ්ජාව අර යකාගෙ පින්තූර බලන එක මේ ගලි මවුත් දැක්ක එකය. අනික් කාරණාව තමන් මොන ජාතියේ පාට් ටයිම් එකක් කරත්, ඒක කොතන කරත් තමන් මේ ගෑණියෙන් කන්නෙ බොන්නෙ නැති එකේ මෙයා මෙච්චර ඕක ලොකු කරගෙන කෑගහන එක ගැනය. ඒ උනාට ඉතින් පාරෙ යන බල්ලො පුරාගෙන පස්සෙන්  එද්දි බල්ලට බුරන සීන් එකක් මිනිස්සු වෙන අපි ලඟ නැති හන්දා වඩාත්ම සුදුසු දේ මෙතනින් කට වහගෙන යන එක ය.

“ඔයා දන්නවද අපේ කසින් අක්කි ඇයි නෙවින් එක්ක බ්‍රේක් අප් උනේ කියල?”

“මං කොහොමද දන්නේ?” කියා අහන්න උවමනාව තිබ්බත් කටෙන් පැන්නේ නම් වෙන එකක් ය.

“ඇයි ඔයා ඒකටත් උදැල්ල දාන්න ගියාද?”

“මට ඔය එක එක අයගෙ ඒවට උදලු දාන්න උවමනාවක් නෑ. එයා නෙවින් එක්ක බ්‍රේකප් උනේ බිකෝස් හී ඊස් බයි. හී ලයික්ස් බෝත් ලේඩීස් ඇන්ඩ් ගයිස්”

තමන් විනාඩි ගාණක් කට ඇරගෙන උන්න විත්තිය ශාර්වරීට තේරුනේ නැත. ඒ උනාට තමන්ගේ මූණ ඉස්සරහින් හිටගෙන කිරි පැකට් එකේ බටයට කට ගහගෙන මහ නසරාණි තාලෙට සමච්චලේට තමන් දිහා බලාගෙන ඉන්න තීක්ෂණාගෙ මූණ තමන් විනාඩි ගාණක් පුරාවට දැක්ක බව පමණක් ශාර්වරීට මතක තිබ්බාය.

එදා ලෙක්චර්ස් ඉවර වී රෙස්ටුරන්ට් එකට යන අතරවාරයේත් ශාර්වරී කල්පනා කලේ ඕන් ඕක ගැනය.

“මාර ජරා මිනිහෙක්නෙ. මං කවුරු කියලා හිතාගෙන ඉඳලද දන්නෙ නෑ එදා අරහෙම කතාවක් කිව්වෙ. චික්. මං කියන්නෙ එහෙම උනාට කමක් නෑ ඒ උනාට දකින දකින කෙල්ල එක්ක ඔහොම ලයින් දාන්න යන එක මාර කැතයි කියල තේරෙන්නෙ නැද්ද?

ජරා මිනිහා” 

ඔය විදියට රෙස්ටුරන්ට් එකට එන පාර දිගේත් නෙවින්ට හිතෙන් බැන බැන එන ගමන් අපාට්මන්ට්ස් වලට යන දොරටුව දිහා බලන්න ශාර්වරී අමතක කරේත් නැත. 

එදා මධුර රෙස්ටුරන්ට් එකට එන්න පරක්කු වෙන බව දන්වා තිබ්බ හන්දා හවස් වරුවේ ආව ඔක්කොම ඕඩර්ස් වගේ භාරගන්න උනේ ශාර්වරීටය. මොකක් හෝ හේතුවකට එදා අපාට්මන්ට්ස් කීපයකින්ම ඕඩර්ස් කීපයක්ම ආ හන්දා හවස හය හමාර හත වෙද්දී ශාර්වරී ඇත්තටම උන්නෙ ඩිංගක් විතර මහන්සියෙනි. “ගෙදර යන්න තිබ්බ නම් හොඳයි” හිතුනේ ඇත්තටම හිතට මහන්සි හන්දද එහෙමත් නැත්තම් උදේ ඉඳන්, දැන් දවස් ගාණක් තිස්සේ දැනෙන වස කම්මැලිකම නිසාද කියා හිතන ගමන්ම ශාර්වරී රෙස්ටුරන්ට් එකේ ඉන්ටර්නල් ෆෝන් එකට ආව තවත් ඇමතුමකට සම්බන්ධ වුණාය.

“හෙලෝ, මම කතාකරන්නෙ අපාට්මන්ට් නම්බර් 915 වලින්. මට ඩිනර් එක අපාට්මන්ට් එකට ගෙන්න ගන්න පුලුවන්ද? පැස්ටා ඩිශස් දෙසයි, කාල්ස්බර්ග් දෙකයි” කියා ඇහෙන හඬ කාගෙද කියා අඳුරගන්න ආයෙ ඉතින් ශාර්වරීට අමුතුවෙන් හේතු කාරණා ඕන නැත.

“ඕකේ සර්” කියා භාරගත්ත ඕඩර් එක ගිහින් දෙන්න වෙන්නේ තමන් ටය. “දෙකක් ඕඩර් කරේ ඉතින් තනියෙන් කන්න වෙන්න බෑනෙ නේද?” කියා හිතන ගමන් ශාර්වරී කල්පනා කලේ අද මොන ජාතියේ කෙල්ලෙක් එක්ක මේ යකා ඉන්නවා ඇද්ද කියන එකය. 

චෙෆ් කෑම ප්ලැටර්ස් දෙක රෙඩි කර කවුන්ටර් එක උඩින් තිබ්බයින් පස්සේ ඒවත් අරගෙන ලිෆ්ට් එකේ උඩම තට්ටුවට යන අතරවාරෙත් ශාර්වරී කල්පනා කලේ ආන් ඒක ගැනය.

අපාට්මන්ට් නම්බර් 915 ලඟට ගොස් තමන් ආ බව දැනුම් දී දොර ඇරෙන තුරුත් ශාර්වරී බලා උන්නේ දහසක් ප්‍රශ්න හිත අස්සේ පත්තු වෙද්දිය. ඇරුණ දොර එහා පැත්තෙන් හිටගෙන උන්නේ නෙවින් ය. ඒ සුපුරුදු විදියටම සුදු පාට ටවල් එකක් ඇඳගෙනය.

“ඒ බැලුවොත් ඇත්තම් මෙයා ඉන්නෙ තුවාය ඇඳන්නෙ? ගෙදෙට්ට ඇඳුම් නැතුව ඉඳලා මං එද්දි ටවල් එක දාගන්නවද දන්නෙ නෑ” කියා හිතමින් කෑම බන්දේසිය උස්සගෙන ගිය ශාර්වරී බන්දේසිය කවුන්ටර් ටොප් එක උඩ තියා බිල් එක නෙවින් අතට දෙන්නට හැරුණාය.

කට ඇරුනේ ඉන්පස්සෙ දකින්න වෙච්ච එකටය.

“මං අද නෙවින් එක්ක මෙහෙ ඉන්නවා, ඔව් අනේ ගොඩ දවසකින්නෙ මං ආවෙ” කියාගෙන සුදු පාට ටවල් එකක ඇඳගෙන තව කොල්ලෙක් කාමරේ ඉඳන් එනවා දැක්කම ශාර්වරීට මතක් උනේ එකම එක දෙයකි.

“අපේ කසින් අක්කි එයා එක්ක බ්‍රේක් අප් උනේ බිකෝස් හී ඊස් බයි” කියා තික්ෂණා කිව්ව එකය. 

මේ පේන විදියට ඔය කතාව ඇත්ත වෙන්න පුලුවන් ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here