එකම එක හාදුවක් – 18

0
3944

ලිෆ්ට් එකේ නැගී පල්ලෙහා තට්ටුවට එන අතරවාරයේ නෙවින් සහ ශාර්වරී අතර කතාබහක් ඇතිඋනේ නැති තරම් ය. ශාර්වරී උන්නේ නෙවින් විසින් කියූ කතාව ඔස්සේ හිත අස්සෙන් බොහෝ දේ හිතන ගමන් ය. 

“අද විතරයි එහෙම වුණේ. ආයෙ කවදාවත් මං දාලා යන්නෙ නෑ” කියා කියන්නට තරම් නෙවින්ට හේතුවක් තිබේද කියා සිතුවිලි ගංගාවක ඇලී ගැලී ශාර්වරී ඉන්න වෙලාවේ නෙවින් හිතමින් උන්නේ එකම එක දේකි.

“මං එහෙම කිව්ව එක ගැන එයා මොනවා හිතුවද දන්නෙ නෑ” කියන එකය. ලිෆ්ට් එක උඩම තට්ටුවේ හිඳ පල්ලෙහා රෙස්ටුරන්ට් එකට එන විනාඩි කිහිපය ශාර්වරීටත් නෙවින්ටත් දැනුනේ පැය ගාණක් වගේය. 

ශාර්වරීත්, නෙවිනුත් රෙස්ටුරන්ට් එක ඇතුලට එද්දී වෙනදාට වඩා වැඩි සෙනගක් එදා රෙස්ටුරන්ට් එකට එකතු වී උන්නහ. රෙස්ටුරන්ට් එකේ මේස කිහිපයක්ම පිරී ගොස් තිබුණ ඒ වෙලාවේ කවුන්ටරයෙන් ඇතුලේ මධුර උන්නේ කඩියෙකු වගේ වේගයෙන් තමන්ගේ අත පය හසුරවමිනි. කෑම ටික භාර දී එහෙමම පල්ලෙහට එන්නේ නැතුව තමන් නෙවින් පස්සේ ඔහුගේ අපාට්මන්ට් එකට ගිය එක ගැන හිතේ ඇතිවිච්ච පසුතැවිල්ල ශාර්වරීව වේගයෙන් මෙන් කවුන්ටරය පැත්තට අරගෙන ගියාය.

“ඔයා ඕඩර්ස් ටික අරගත්තද මධුර?”

“ඔව්, මම කුස්සියට ඕඩර්ස් ටික දුන්න. අර කෙලවරේ ඉන්න කපල් එක ලෙමන් මොහිටෝ දෙකක් ඕඩර් කරා. ඔයාට පුලුවන් ද ඒක ගිහින් දෙන්න? මික්ස්චර් එක ෆ්‍රිජ් එකේ” කියා කියන ගමන් බියර් බෝතල් දෙකක් ට්‍රේ එකක තබාගත්ත මධුර එතනින් නික්ම යද්දී නෙවින් විත් බාර් එක ඉස්සරහ තියා තිබෙන ස්ටූල් එකක වාඩි වුණේය.

ශාර්වරී මොහිතෝ එක හදන්න සියල්ල ලෑස්ති කරන අතරවාරයේම ඒ වෙද්දි කවුන්ටරය මතට ඇවිත් තිබුණ නෙවින් විසින් ඇණවුම් කරන ලද කෑම පිඟාන ඔහු ඉදිරියෙන් තැබුවාය.

“මං මෙතන ඉන්න එක ඔයාට කරදරයක්ද?” නෙවින් ඇහුවේ අද ශාර්වරීට කලබල දවසක් බව තේරිච්ච හන්දාය.

“අනේ නෑ, ඇයි එහෙම ඇහුවෙ?”

“නෑ අද වෙනදට වඩා ගෙස්ට්ලා ඇවිත් ඉන්නවනෙ ඒකයි”

“අයියෝ නෑ, ඉතින් සරුත් එයින් එක ගෙස්ට් කෙනෙක්නෙ. අපිව අරගෙන තියෙන්නෙ ඒකටනෙ. අපේ රස්සාව ඒකනෙ” කියා ශාර්වරී ආයෙම බීම හදන්න යද්දී “ඔයාට මාව ගෙස්ට් කෙනෙක් විතරද?” කියා හිතුණ ප්‍රශ්නය නෙවින් හිත අස්සේම හිරකරගත්තේය. එහෙත් ඒ හැඟීම උගුර අස්සේ හිරවී කිසිම කෑම කටක, බීම උගුරක රස නොදැනෙන්නට ඕනවටත් වඩා හේතු කාරණා සැපයුවේය.

කූඹිච්චි වගේ වැඩි උසක් නැති පුංචි ඇඟ කරකව කරකව ශාර්වරී රෙස්ටුරන්ට් එක ඇතුලේ එහෙට මෙහෙට දුවයනවා බලන් ඉද්දී නෙවින්ට කල්පනා කරන්න බොහෝ දේ තිබුණේය.

“මං කැමති නෑ බං ඔය සෙට්ල් වෙනවා කියන වචනෙට. සෙට්ල් වෙනවා කියන අපේ මිනිස්සු මාර පොසිටිව් දෙයක් විදියට දැක්කට මට හිතෙන්නෙම ඒක මාර රෙස්ට්‍රික්ට් කරන දෙයක් තව මනුස්සයෙක්ව. ඉතින් එහෙම එකේ ඔය බොරුවට සෙට්ල් වෙනවා කියලා හිතලා මට එහෙම රෙස්ට්‍රික්ට් වෙන්න උවමනාවක් නෑ. අනික් එක මං හිතන්නෙ නෑ මට කවදාවත් පුලුවන් වෙයි කියල එහෙම එක ගෑණියෙක් ලඟ නතර වෙන්න. උඹ දන්නවනෙ මට එකම එක සීරියස් අෆෙයාර් එකක් තමයි තිබිලා තියෙන්නෙ කැම්පස් යද්දි. ඊටපස්සෙ මොඩ්ලින් වලට ආවයින් පස්සෙ මම කවදාවත් එහෙම සීරියස් රිලේශන්ශිප්ස් වලට ආවෙ නෑ.

උඹට මතකනෙ අර මැන්ඩිගෙ කේස් එක. මට ඒකි එක්ක ලිවින් ටුගෙදර් උන්නු මාස ගාණට ඔය කසාද කියන ඔක්කොම ඒව එපා උනා. ඒකිට ඕන ඕන හැටියට නටන්න තමයි මට ඒ මාස ගාණෙ උනේ. මං ජිම් යද්දි ඒකිත් එන්නයි, රණ්ඩු උනාම ඔක්කොම පොට්ටනි ගහගෙන ගිහින් හොටෙල් වල ඉන්නයි. ඔය ඩ්‍රාමා මට සෙට් වෙන්නෙ නෑ. ඒ හන්දා මට සෙට්ල් වෙනවට වඩා හොඳයි මෙහෙම තනියෙන් ඉන්න එක” කියා තමන් ලක්ශාන්ට කිව්ව වාර ගණන අනන්තය. එහෙම කිව්ව මනුස්සයාව මේ වගේ වෙනස් කරන්න තරම් ශාර්වරී ලඟ තිබ්බේ මොනවද කියා නෙවින්ට තමන්ගේ හිතෙන් නොඅසා ඉන්න පුලුවන්කමක් නැත. 

ශාර්වරී එහෙට මෙහෙට පැන පැන වැඩ පල ටික කරද්දී එක ටේබල් එකකට ඕඩර් එකක් සර්ව් කර කවුන්ටර් එක පැත්තට ආ මධුර නෙවින් එක්ක සිනාසුනේය.

“අද චුට්ටක් බිසී නිසා මට සර්ගෙන් මොනව හරි තව ඕනද කියලා අහන්නත් බැරිඋනා? සර් තව මොනවහරි ගන්නවද?”

“කන්න නම් මුකුත් එපා, හැබැයි තව බියර් එකක් තිබුණා නම් හොඳයි”

“මං ගේන්නම් සර්. සර් වෙනදට රෙස්ටුරන්ට් එකට ඇවිල්ලා ඩිනර් ගන්නෙ නෑ නේද අපාට්මන්ට් එකටනෙ ගෙන්න ගන්නෙ”

“ඔව් අද හිතුනා වෙනසකටත් එක්ක ඇවිත් බලන්න. මම දැනන් ඉඳියෙ නෑ මෙච්චර කට්ටිය එනවා කියල රෙස්ටුරන්ට් එකට ඩිනර් ගන්න”

“හැමදාම නෑ හරිම කලාතුරකින් තමා අද වගේ පොඩ්ඩක් පිරෙන්නෙ. මටත් අද හිතාගන්න බෑ සතියෙ මැද දවසක මෙහෙම කට්ටිය ආ එක ගැන. වෙනදට නම් වීක් ඩේස් වල තියෙන්නෙ උඩ අපාට්මන්ට්ස් වලට කෑම ගෙනිහින් දෙන්න විතරයි සර්. අද එකපාර පොඩ්ඩක් බිසී උනා”

“සාමාන්‍යෙන් ඔයාලා කීය වගේ වෙනකම් ඉන්නවද?”

“ඩිපෙන්ඩ්ස් සර්. නෝමල් දවස් වලට නම් ඉතින් අපි එකොලහමාර දොලහ වගේ වෙනකම් ඉන්නවා. හැබැයි පාටීස් වගේ තියෙනම් ඉතින් ඊට වඩා වෙලා ඉන්නව. එහෙම දවස්වලට හොටෙල් එකෙනුත් ස්ටාෆ් එක හැබැයි අරගෙන එනවා. දැන් මේ අපාට්මන්ට්ස් වල ඇනිවසරි පාටි එක එනවනෙ නෙක්ස්ට් මන්ත් එකෙ. ඒක එතකොට මෙහෙනෙ තියන්නෙ. ඉතින් එදාට වැඩ තියෙනවා ගොඩක්. රෑ වෙනකම් ඉන්නත් වෙනවා” කියා මධුර කියන්නේ යාන්තමට හිනාවෙන ගමන් වීදුරු වගයක් උස්සගෙන එතනට ආ ශාර්වරීගේ ඔලුවට ටොක්කක් අනිමිනි.

“රෑ වෙන දවසට ට්‍රාන්ස්පෝට් දෙනවද?”

“ඔව් සර් දෙනවා. මොකක් හරි වෙලා ට්‍රාන්ස්පෝට් දෙන්නෙ නැති දවසක් නම් අපි වෙහිකල් එකක් දාගෙන යනවා. මම යන ගමන් ශාර්වරිවත් ඩ්‍රොප් කරගෙන යනවා” 

නෙවින් ගේ හිත ඇතුලේ රතු පාට බල්බ් එකක් පත්තු උනේ ඒ වෙලාවේය. “මූ මොකටද ශාර්වරීව ඩ්‍රොප් කරගෙන යන්නෙ, ඒක කරන්නනෙ එයාගෙ බෝයි ෆ්‍රෙන්ඩ් ඉන්නෙ? මූත් ට්‍රයි කරනවද දන්නෙ නෑ කෙල්ලට” කියන සිතුවිල්ල හිත අස්සේ රතු ලයිට් එක පත්තු කරන්න හේතු වුණේය.

“ඇයි එයාව එක්කරගෙන යන්න මාතලී කෙනෙක් නැද්ද?” කියා ඒ රතු ලයිට් එක එලියට නොපෙනෙන පරිද්දෙන් නෙවින් ඇහුවේ හීනි හිනාවක් දාන ගමන් මධුර වීදුරුවට බියර් වක්කරන එක දිහා බලාගෙනය.

“අනේ නෑ සර්, ඔය අවුරුදු විසි හයක් වුණාට තාම පොඩි එකා වගේ. අම්මායි නංගියි විතරනෙ ඉන්නෙ. අම්මා ඉතින් කියල තියෙන්නෙ කවුරුවත් නැත්තන් මට කියලා ගෙදරට ඩ්‍රොප් කරවගන්න කියලා.

තාම කොල්ලෙක් නෑ”

ඒ වචන ටික ඇහුනයින් පස්සේ උන්නේ කොහෙද කියා අමතක වෙච්ච පාර නෙවින් කවුන්ටරයෙන් අත් දෙක දමා මධුරව බදාගත්තේය.

“උඹ මගේ එකා බං” කියා නෙවින් කිව්වේ මොන පිස්සුවකටද කියා හිතාගන්න බැරිවෙච්ච මධුර හිස් බියර් බෝතලේ අතේ තියාගෙන නෙවින් දිහා බලං උන්නේ “මේ මොකද මේ?” කියා හිතන ගමන් ය.

වෙන මේසෙකට බීම ගිහින් තියන ගමන් උන්නු ශාර්වරී ඕක දැක්කේ අහම්බෙන්‍ ය. ඒක දැක්ක ශාර්වරීට හිතන්න තිබ්බේ එකම එක දේකි.

“තීක්ෂණා කිව්ව එක ඇත්ත මං හිතන්නෙ. මෙයා බයි තමයි. පව් මධුර අයියා” 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here