එකම එක හාදුවක් – 20

0
5552

20

ආලියා උන්නේ නෙවින්ට කතාකරගන්න කරන්න පුලුවන් උපරිම දහං ගැට ටික දමමින් උනත් නෙවින් ආලියාට තමන්ට ලංවෙන්න තියන සියලුම මාර්ගයන් වසා තිබුන නිසාත් දුරකතනයට ඇමතුම් දුන්නද ඒ හා සම්බන්ධ උනේ නැති හන්දා ආලියා උන්නේ කුපිත වීය.

“මට තේරෙන්නෙ නැත්තෙ නෙවින්ට මාව මෙච්චර ඉක්මනට එපා වෙන්න තරම් මගෙ තියෙන අඩුපාඩුව මොකද්ද කියන එක? මම ලස්සන නැතුවද? මම එයාගෙ තරමට වගේ උස නැතුවද? සෙක්සි නැතුවද? මට තේරෙන්නෙ නෑ ජෙනී” කියා ආලියා කිව්වේ අපාට්මන්ට් එකේ එහා ඇඳේ හාන්සි වී ඉන්න රූම් මේට් වෙච්ච ජෙනිෆර්ටය.

වෘත්තියෙන් ක්ලබ් එකක ඩීජේ කෙනෙක් වෙච්ච ජෙනිෆර් එක්ක ඉන්න එක බොන කන ඒවද, ක්ලබ් වලට යන ඒවටද පහසු ක්‍රම හදා දෙන හන්දා ආලියා ජෙනිෆර් එක්ක ඉතාම ලඟ මිතුරු සබඳතාවයක් පවත්වාගෙන ගියාය. නෙවින්ව හම්බුනේත් නෙවින් දිනෙක ජෙනිෆර් සේවය කරන ඒ ක්ලබ් එකට ආ දවසකය. කුරුණෑගල ඉඳන් කොළඹ ඇවිත් මොඩ්ල් කෙනෙක් වෙන්න උපරිම උත්සහ දැරුවද රෑම්ප් වෝකින් හෝ හයි එන්ඩ් මොඩ්ල් කෙනෙක් වෙන්න වරම් නොලැබිච්ච තැන වැඩිය පිලිනොගන්නා බියුටි පැජන්ට් එකකට සම්බන්ධ වී සල්ලිත් තව ඒවත් දී ජයග්‍රහණයක් ලබා ගත්ත එක ආලියාට මොඩ්ලින් ලෝකයේ පස්සෙ දොරක් විවර කල දුන්නාය.

නෙවින් වනාහී තමන්ට මොඩ්ල් ලෝකයේ වගේම තව බොහෝ ලෝකවලට දොර හැර දෙන්න හේතුවක් වන බව දැනගෙන උන්නු එකම එදා ක්ලබ් එකේදි මත් වී උන්නු නෙවින් සේනාරත්නව තමන්ගේ තුරුලට ගන්නට ආලියාට හේතුවක් වුණාය. තමන්ගෙ තියෙන ලස්සන, සරාගී බව මනාව නඩත්තු කල සිරුර නෙවින් සේනාරත්නව පිස්සු වට්ටන්න හේතුවක් වනවා ඇතැයි කියා ආලියා සිතුවද අන්තිමේ උනේ නෙවින් තමාව පිස්සු වට්ටපු එකය. 

“ඌ ඉතින් එහෙම සීරියස් රිලේශන්ශිප් වල ඉන්න එකෙක් නෙවෙයිනෙ. ඌ කවදාවත් මම දැකලා නෑ ඉන්ටවිව් එකකදිවත් එහෙම කෙල්ලෙක්, රිලේශන්ශිප් එකක් ගැන කතාකරනවා” කියන ගමන් ජෙනිෆර් අතේ තිබ්බ ප්‍රීමා කොත්තු මී නූඩ්ලස් එකෙන් කටක් කෑවාය.

“හරි ඒ උනාට මං ප්ලෑන් කරගෙන හිටියෙ එහෙම මේ වන් නයිට් ස්ටෑන්ඩ් එකකින් ඉවර වෙන විදියෙ කතාවක් නෙවෙයි. ඌ නිකන් මාත් එක්ක නිදාගෙන අන්තිමේ මාව දන්නෙ නෑ වගේ ඉන්න තරම් මං එහෙම අඩුපාඩුවක් තියෙන කෙනෙක් නෙවෙයිනෙ”

“උඹ ඌ වටේට තව ප්ලෑන් ගහගෙන උන්නට ඌ එහෙම නැතුව ඇති බං. ඔය කොල්ලො එහෙම ලේසියෙන් කෙල්ලන්ට වහ වැටේවි කියල මම හිතන්නෙ නෑ. අනික ඉතින් මූදෙ ඉන්නෙ එක මාලුවද බං? ඔය නෙවින් විතරද ඉන්නෙ මේ ලෝකේ?”

“නෙවින් විතරයි නෙවෙයි තමයි ඉන්නෙ. ඒ උනාට නෙවින් වගේ ඉන්නෙ නෙවින් විතරයිනෙ බං. මට ඌව එහෙම ලේසියෙන් අමතක කරන්න බෑ. ඌට වඩා ලස්සන මොඩ්ල්ස්ලා ඕන තරම් ඉන්නවා. අර මං කාලයක් චැට් කල කවිත් එහෙමත් මාර ලස්සනයි අනික නෙවින්ට වඩා තරුණයිනෙ.

ඒ උනාට බං නෙවින්ගෙ ලඟ තියෙනව මොකක් හරි කියන්න තේරෙන්නෙ නැති මොකද්ද එක්ක. මාට ඇට්‍රෑක්ශන් එකක්. අනික ඌ කොච්චර ගෑණු එක්ක ඉඳියත් ඉන්ඩස්ට්‍රි එක ඇතුලේ ඌ මාර ලස්සනට ස්ටේටස් තියන් ඉන්නෙ. අනික සල්ලිද අඩු? එහෙම එකෙක්ව රිප්ලේස් කරන්න පුලුවන් වෙන එකෙක් මට තාම සෙට් වෙලා නෑ”

“වෙන එකක් සෙට් වෙන එකක් නෑ කොහොමත් උඹ ඌ මත්තෙම නැහෙන්න යද්දි. අනික බං නෙවින් නෙවෙයි මොන කොල්ලෙක් උනත් කැමති නෑ බං තමන්ගෙ පස්සෙන් අර කකුල්  ලෙවකන ගාණට එන කෙල්ලන්ට. උන්ට ඕන අල්ලගන්න අමාරු කෙල්ලො. මොකෝ උන් දන්නවා එහෙම කෙල්ලෙක්ව කොහොමත් වෙන එකෙක්ට අල්ලගන්නත් අමාරුයි ඒ නිසා ලේසියෙන් පිට යන්නෙත් නෑ කියලා”

“මට නෙවින් එක්ක එක පාරක් හම්බෙලා කතා කරන්න තිබ්බ නම් හරි බං. කොහෙද මේ යකා ෆෝන් එකවත් ආන්ස්වර් කරන්නෙ නෑනෙ. මම දාන මැසේජස් වලටත් රිප්ලයි කරන්නෙ නෑ. කොටින්ම මම මිනිහගෙ ඉන්ස්ටග්‍රෑම් ස්ටෝරීස් වලටත් රිප්ලයි කරා. ඒත් මිනිහා අඩුම තරමෙ සීන් කරන්නෙවත් නෑනෙ”

“ඒක තමයි බං, ඌ හදන්නෙ උඹට ඌව අල්ලගන්න බැරි ලෙවල් එකකට ගෙනැල්ල ඩෙස්පරේට් කරන්නෙ. එහෙම මිනිහෙක් එක්ක උඹ ඔය විදියට ඩීල් කරලා හරියන්නෙ නෑ. උඹටත් තිබ්බෙ වැඩිය ඩෝන්ට් කෙයා සීන් එකක ඉන්න”

“ඒක ඉතින් දැන් නෙ අපි දෙන්නා කතාකරන්නෙ. දැන් මට මොකද්ද කරන්න පුලුවන් කියලා කියහංකො. මට නිකන් පිස්සු වගේ බං. උගෙ අපාට්මන්ට් එක උඹ දකින්න තිබ්බෙ. අපේ ඒවා අපාට්මන්ට් කියන්න බෑ බං. පුදුම ලොකුයි. උඹ කියන්නෙ මාර ගති නෙලුම් කුලුන එහෙමත් පේනවා නෙවින්ගෙ බෙඩ් රූම් එකට. පුදුම ලස්සනයි බං. මිනිහා ඒක පර්මනන්ට්ම අරගෙනලු තියෙන්නෙ. එහෙම එකේ මට ඒ ඔක්කොම අමතක කරලා දාන්න බෑ බං. මං කොහොමහරි ඌව ආයෙ සෙට් කරගන්න ඕන. මට උදව් කරපංකො ඒකට”

“මට ඉතින් කරන්න පුලුවන් එකම උදව්ව ඉතින් ආයෙ දවසක් උඹව ක්ලබ් එකට අරගෙන යන එක තමයි. වෙන ඉතින් මොකෝ උගෙ කකුල් දෙක ලඟට ගිහිල්ලා අනේ මෙයාව භාරගන්න කියන්න මොකෝ මං උඹේ අම්මද?” කියා ජෙනිෆර් කියද්දි තමන්ගේ මැසේජ් එකකටවත් නෙවින් රිප්ලයි නොකරන එකේ ක්ලබ් එකේදි හරි මිනිහව සෙට් කරගන්න තිබුනා නම් හොඳ බව ආලියා සිතුවාය. 

ආලියා නෙවින්ව හම්බුවෙන්න ඔය වගේ දේවල් ප්ලෑන් කරද්දි එදා රෙස්ටුරන්ට් එකේදි හම්බුනයින් පස්සේ ආයෙම ශාර්වරීව දකින්න අවස්තාවක් නෙවින්ට ආවෙ නැත. ලඟ ලඟ එන ෆැශන් වීක් එකේ රිහර්සල් වලට යන්න වෙච්ච එකේ නෙවින් උන්නේ උදේ පාන්දර සිට ආයෙ රෑවන තුරු ඉතාම බිසී කාලසටහනක් අස්සෙ හිරවීය.

රුවට රුව හම්බුනේ නැති උනද කවදාවත් නැති තරම් ශාර්වරීගේ දුරකතනය කාර්‍යබහුල කරන්න තරම් නෙවින්ගේ හිත අස්සේ ගොඩ ගැසී තිබිච්ච කතන්දර වලට පුලුවන් විය.

“ඔයා මට මේ මැසේජ් කරන්නෙ මොන මොනව හිතේ තියාගෙනද කියන්න මම දන්නෙ නෑ. හැබැයි එහෙම ඒවට මගෙන් නම් ඉඩ ලැබෙන්නෙ නෑ කියන එක අමතක කරන්න එපා” කියා ශාර්වරී ලොකු සීන් දාද්දි උනත් දුරකතනයේ එහා පැත්තේ ඉම රැඳී උන්නු නෙවින් නම් කලේ ඕවට හිනාවෙච්ච එකය.

“මං මොනව හිතේ තියාගෙන ඉන්නවද කියල ඔයා කොහොමද දන්නේ?”

“ඔය කොල්ලො එන්නෙ මොනවටද කියල මට හිතාගන්න බෑ කියලා ද හිතන් ඉන්නෙ. මම හොඳට එලියට බැහැල රට තොට අඳුරන කෙල්ලෙක් හරිද. කොල්ලො එන්නෙ මොකටද කියන එක මට හොඳට තේරෙනවා”

“ආහ් ඒ කියන්නෙ මම දැන් කොල්ලෙක්ද?” නෙවින්ට ඒ මැසේජ් එක දැක්කම නම් ඇත්තටම හිනා ගියේය. එහෙම ප්‍රශ්නයක් අනිත් පැත්තට ටයිප් කර යැව්වේත් ඒ ආතල් එකට දෙතොල් උඩ ඕනවටත් වඩා හොඳට පැතිරෙන්න ඉඩ දෙමිනි.

“ඇයි කොල්ලෙක් නැත්තං වෙන මොකෙක්ද?”

“කලින් ඔය ලස්සන, චූටි කටින්ම නේද මට අංකල් කියලා කිව්වෙ” කියා නෙවින් කීයටවත් එවාවි කියා ශාර්වරී ඇත්තටම හිතුවේ නැත. අනික් අතට මොන තරම් ලොකු සීන් ටයිප් කර යැව්වත් කැන්ටිමේ වාඩි වෙලා උන්නු ශාර්වරීගේ දෙතොල අස්සේ පිපී තිබිච්ච ලස්සන සිනාව නෝට් වෙච්ච අය කීප දෙනෙක්ම එවෙලේ කැන්ටින් එකෙ උන්නහ. අනෙක් අතට නෙවින් එක්ක කල කතා බහ කොච්චර රසවත් ද යත් මේසෙ උඩ තිබ්බ තේක ඔහේ ඇල්වෙන බවත් ශාර්වරීට අමතක වී තිබුණාය.

“මං මේ වෙලාවෙ ලඟ හිටියනම් ඔය මට දැන් කොල්ලා කිව්ව, කලින් අංකල් කිව්ව කට වහලා දානවා” තමන්ගේ කල්පනාව අස්සේ නෙවින් තව මැසේජ් එකක් එවා තිබෙනු දුටු ශාර්වරී ඒකට ටයිප් කල යැව්වේ “මගේ කට වහන එක නම් එච්චර ලේසි වෙන්නෙ නෑ. මගේ කට වහන්න ආවොත් මම දෙනවා ශොට් එක හත්මුතු පරම්පරාව මතක් වෙන්න” කියාය.

එහෙත් නෙවින් ඒකට එව්වේ කම්මුල් රතු පාට වන හිත කීරිගැස්සෙන උත්තරයකි.

“ඔය කිව්වට, මං කට වහන විදියට මට ශොට් එක දෙන එක කෙසේ වෙතත් ඔයා මගේ බෙල්ල වටේ අත් දෙක යවලා තුරුල් වෙනවා කියන එක නම් ශුවර්” 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here