මන්දාරම් අම්මාගේ රාත්‍රී ආහාරයද රැගෙන කාමරය තුලට පිවිසියේය. මේ අවුරුදු විසි නවයටම නොදැණුන නුහුරක්, වරදකාරී හැඟීමක් ඔහුට දැනෙන්නේය. එහෙත් කිසිවක් ආපස්සට ගෙන සැකසිය හැකි නොවේය. මන්දාරම් අම්මා වෙත ආහාර පිඟාන ලං කර අසලින් වු අසුනක හිඳ ගත්තේය.
” සුදු පුතා කාලද ?..”
අම්මාගේ හඬ වෙනදා ස්වරයෙන්ම ඇසෙද්දී මන්දාරම් මොහොතකට නතර වූයේය. අම්මලා එහෙම බව ඔහු ඒ සැනින් සිහිපත් කර ගත්තේය.
” චානා ආවහම කන්නම් .. අම්මා කන්න …”
” දවල්ට කෑවෙත් නෑනේ සුදු පුතේ .. කාලා ඉන්නකෝ .. චානක ආවහම ආයේ කන්න බැරිය …”
එසේ නම් නිම්නාවී ඒ ගින්නද අම්මා වෙත ලං කර ගොස් ඇත. මන්දාරම් සිත ඇතුලින් සිනාසුනේය. තමා ගැන ඇය අවධානයෙන් සිටින්නට ඇති බවට තවත් සාක්ෂියක් එක් කර ගත්තේය.
” බෙදාගෙන එන්න ..”
මන්දාරම් එවර අම්මාට අවනතව නැගිට්ටේය. බත් පිඟානට යන්තමින් බත් බෙදාගෙන විත් නිහඬවම හිඳගත්තේය. ආහාර ගෙන අවසන් වන තුරුම අම්මා සහ පුතා අතර තිබුණේ මුනිවතය. මන්දාරම් සියල්ල අස් කර දමා සකසා තිබූ පළතුරු සලාදයක්ද අම්මා වෙත ගෙන ආවේය. ඒ අසලින්ම හිඳ ගත්තේය. ස්වර්ණා පුතු දෙස බැලුවේ සියල්ල සඳහා හිත හදාගෙනය. මේ දශක තුනක් තමාගේ සෙවනැල්ලය. තවත් සඟවන්නට තරම් දෙයක් තබා නොගන්නට ඕ තීරණය කලාය.
” ඔව් … සුදු පුතා හිතන දේ හරි. අම්මා කෙනෙක්ට ආදරේ කරනවා.. අදක ඊයෙක ඉඳන් නෙවෙයි. සුදු පුතා ඉපදෙන්නත් ඈත කාලෙක, අවුරුදු තිස් අටකට එහා කාලෙක ඉඳන් …”
ස්වර්ණා මන්දාරම්ට කිසිවක් විමසන්නට දුන්නේ නැත. මන්දාරම්ට කිසිවක් පවසාගන්නට හැකි වූයේද නැත.
” ප්‍රියලාල් සමරක්කොඩි … ඒ දවස් වල මීගමුව අවට ඉස්කෝලේ ගියපු කෙල්ලන්ගේ හීන කුමාරයා … දක්ෂ බයිසිකල් රේස් කාරයෙක් ඉස්කෝලේ යනකොටත් .dඒ වගේම දක්ෂ කතා කාරයෙක් ..සුදු පුතා වගේම ..”
ස්වර්ණා සුසුමක් හෙලුවාය. මන්දාරම්ගේ හුස්ම හිර වෙන්නා සේ දැනෙන්නට ගෙන තිබුණි.
“………… ඕලෙවල් පන්තියේදී සමස්ත ලංකා රේස් එකකටත් පැද්දා ..කතික තරඟ වලින් කප් ගැහුවා…ඒ හින්දාම කෙල්ලොන්ට ඉස්පාසුවක් තිබුනේ නෑ එයා ගැන. කවුරු කොහොම හිටියත් ප්‍රියලාල් ගේ හිත නැවතුනේ මගේ ලඟ.. එතකොට අපි උසස් පෙල පන්තියේ ..මං ඉස්කොලේ ඇරලා බස් එකට එන විනාඩි දෙක තුනට ප්‍රියලාල් ඉස්කෝලේ ලඟින් කොහොමම හරි මතුවෙනවා.. අපි පොඩ්ඩ පොඩ්ඩ ලං වුනා.. කැම්පස් ගියාම අපේ ජීවිත එකක් වුනා … කිසිම බාධාවක් තිබුනේ නෑ .. අපි සන්තෝසෙන් හිටියා ….
ඒත් හැමදේම ඉවර වුනේ අපේ මාමලා, බාප්පලා, අය්යලා ප්‍රියලාල් ගැන දැනගත්තම .. ඒ හත් මුතු පරම්පරාවටම උන්න එකම කෙල්ල මම .. කවුරුත් ලෑස්ති වුනේ නෑ මගේ කැමැත්තට ඉඩ දෙන්න .. කැම්පස් ඉවර වෙච්ච ගමන් මම හිර අඩස්සියට වැටුණා… ඒත් ප්‍රියලාල් මාව අතෑරියේ නෑ .. අපි දෙන්නා පැනලා ආවා….”
ස්වර්ණා එතෙක් පවසා කඳුළු පිස දැමුවාය. හදවත කෙතරම් රිදුම් දෙන්නේද පුතුට පහදන්නට වීමේ වේදනාව ඇයව වඩාත් පීඩාවට පත් කරමින් තිබුනි. මන්දාරම් උන්නේ අම්මාගේ පාපොච්චාරණය ඉදිරියේ ගල් ගැසී යමිනි. ඔහු මෙවැන්නක් සිතා තිබුනේවත් නැත.
” ඒත් අපිට බඳින්න ඉඩක් ලැබුනේ නෑ.. මගේ අයිඩින්ටිය අයියලා හංගලා තිබුනේ… මම ගෙදරින් ආවේ සුදු පුතේ ගෙදරට උන්න ඇඳුම පිටින්…කොහොමහරි ප්‍රියලාලුයි මායි එකට ජීවත් වුනා.. කුරුනෑගල ඒගොල්ලන්ගේ අත්තම්මා කෙනෙක්ගේ ගෙදර .අපි හරි සැනසීමෙන් උන්නා.. එහෙ වතු වල අපිට කරන්න ඕනේ තරම් වැඩ තිබුනා … ඉතින් සල්ලිත් තිබුණා…. ඒ අතරේ ප්‍රියලාල්ගෙන් මට දරුවෙක් ලැබෙන්න ආවා .. අපි දෙන්නාට කරන්න කිසිම දෙයක් හිතා ගන්න බැරි වුනා.. ප්‍රියලාල් අන්තිමේදී තීරණය කලා අපේ ගෙදර ගිහින්, අයියලාට මේ සිද්දිය කියලා, අපිට කසාද බඳින්න ඕනි කරන දේවල් ලෑස්ති කරගන්න …
එයා කිව්වා වගේම අපේ ග්දර ගියා.. ඒත් මගේ අයියලා බාප්පලා, මාමලා එක්ක එකතු වෙලා අපිව රැවැට්ටුවා.. දරුවා ලැබෙනකල් බඳින්න හදිසි නොවී ඉමු කිව්වා.. අපි උන්න ගෙදරම ඉන්න දේවල් ලෑස්ති කලා….මම හිතුවා හැමදේම හොඳින් වේවි කියලා….
දවසක් මම ලිස්සලා වැටුණා කාමරේ… එදයින් ආයේ ජීවිත වෙනස් වුනා…..
දැන් මට හිතෙන්නේ ඒ වැටුණ එක සැලැස්මක් කියලා… මට සිහියක් තිබුනේ නෑ හොස්පිටල් යනකොටත් … අන්තිමේදී මගේ දරුවා බඩේදීම මැරුණා කිව්වා ….. ප්‍රියලාල් ඒ වේදනාවට එල්ලිලා මැරුණා කියලා මට කිව්වේ ප්‍රියලාල් ගැන අහලා මම කලබල කරන්න අරගෙන සතියක් විතර ගියාම..
මට පිස්සු හැදුණා.. මාස ගානක් ගෙවන වාට්ටුවක තියාගෙන අයියලායි බාප්පලායි , මාමලායි මට බෙහෙත් කරා.. එතකොටත් අපේ තාත්තා නෑ.. අම්මා කලේ බාප්පලා කියපු දේ … මම සනීප වෙනකොටම, මාව සරත් මායාදුන්නේට යෝජනා කලා… ඒ මිනිහා සතෙක් විත්තිය මම දැනගෙන හිටියේ … ප්‍රියලාල් මට කියලා තිබුනා ඒ ගැන .. ඒත් මට ඕනි වුනෙත් මගෙන් පලිගන්න … විඳවන්න .. මම සරත්ව බැන්දා … සරත් මට ආදරේ කලේ නෑ .. ඒත් සැලකුවා.. සරත්ට වෙනම පවුලක් හිටියා .. මං දන්නේ නෑ කොහේද කියලා.. ඒත් හිටියා .. සරත්ගේ බිස්නස්, වතු පිටි ඔක්කොම ඒ ගෑණිගේ නමට තිබුනේ…
මං ළමයි නොහදා ඉන්නම හිටියේ.. සරත්ටත් එහෙම වුවමනාවක් තිබ්බේ නෑ …. ඒත් සරත්ට එක පාරටම ඕනි වුනා දරුවෙක් … “
ස්වර්ණා ඉකි බිඳිමින් හැඬුවාය. මන්දාරම්ගේ හදවතද වේගයෙන් ඉකි ලන්නට පටන් ගත්තේය. තමා අම්මාට අවැසි නොවූ යමක්ද ? ඔහු උන්නේ සීමාව ඉක්මවා සංවේදී වෙමිනි. එහෙත් කිසිවක් නොවිමසව්මිනි.
” ඔයා ලැබෙන්න ආවා කියලා දැනගත්තාම ඔයාගේ තාත්තා වෙනස් වුනා.. මට දරාගන්න බැරි තරම් ආදරේ කරන්න ගත්තා… මං පිස්සු නැටුවා මට ආදරේ කරන්න එපා කියලා මට .. ඒත් ඔයාගේ තාත්තා ඒ හැමදේම ඉවසුවා…දවසක් මම ඇහුවා, ඇයි මේ හැමදේම කියලා.. ඒත් එයා මට මුකුත් කිව්වේ නෑ.. ඔයා ලැබුනම අපේ ජීවිත තව වෙනස් වුනා… තාත්තා මගේ ලඟින් ඇස් ඈතට ගත්තේ එහෙමත් වෙලාවක .. එච්චරට ආදරේ කලා.. මම ඔයාගේ තාත්තට ආදරේ කරන්න ඉඩ දීලා උන්න. මගේ වගකීම් ගැන හිතුවා …
ඒත්, එක දවසක් හැමදේම වෙනස් වුනා. සරත්ගේ අම්මා අපේ ගෙදර ආවා. ඒ මං හීනෙකින්වත් බලාපොරොත්තු නොවුන ගින්නක් අරගෙන.
සරත් කලින් යාලුවෙලා, ලමයි දෙන්නෙකුත් දීලා ඉඳලා තියෙන්නේ සරත්ගේම සහෝදරියකට… ඒ කියන්නේ සරත්ගේ තාත්තා ට දාව වෙන ගෑණියෙක්ට ඉපදුණු කෙල්ලෙක්ට . සරත්ගෙන් ඒ කෙල්ලට ලැබුණ ළමයි දෙන්නම අඩු වයසින් මැරිලා .. මට සරත්ව එපා වුනා …
මට තේරුණා එයා මට ආදරේ කරන්න පටන් අරගෙන තියෙන්නේ ඒ ඇත්ත විස්තරේ දැනගත්තම කියලා.. අම්මා කිව්වා ඒ සිද්දිය දැනගත්තම ඒ කෙල්ලත් එල්ලිලා මැරිලා කියලා…
මම සරත්ගෙන් පුලුවන් තරම් ඈත් වුනා. සුදු පුතාට ඒ කාලේ මතක ඇති. ඔයාගේ තාත්තාගේ ඇස් මගේ දිහාවට වැටෙන්නවත් දුන්නේ නැහැ මම ………. .ඔයාවත් එයාගෙන් ඈත් කලා….. මම ආයෙ වතාවක් ආත්මාර්තකාමී වුනා සරත්ට … සරත්ට ඒ දැනුණ හිඩැස පුරවගන්න බැරිව ගියා….. එයා තීරණය කලා හැමදේම දාලා යන්න. මැරෙන්න දවස් දෙකකට කලින් රෑ එයා අඬ අඬා මගෙන් ඉල්ලුවා හැමදේම අමතක කරලා ජීවත්වෙන්න එක අවස්තාවක්… ඒත් මම කලේ ඔහේ බලාගෙන උන්න එක. මට මතක් වුනේ මගේ මැරුණු දරුවා, ඒ දරුවා නිසා මාව දාලා ගිය ප්‍රියලාල් …. ඒ දෙන්නම ඔහේ මැරුණා නම් මට සරත්ගේ මරණය ගැන දැනීමක් කොයින්ද හිතෙන්න ඇති …
අන්තිමේදී ඔයාගේ තාත්තා මැරුණා… වෙන විදියකට කියනවා නම්, මම ඔයාගේ තාත්තාට මැරෙන්න ඉඩ දීලා ඔහේ බලාගෙන හිටියා සුදු පුතා ….”
ස්වර්ණා මහ හඬින් ඇඬුවාය. මන්දාරම් උන්නේ හදවත ගල් කරගෙනය. තාත්තා පිළිබඳව වූ නුරුස්නා හැඟීම වේදනාවකට, අපුලකට, කලකිරීමකට, යලි වේදනාවකට පෙරලෙමින් සිත තුල උඩ යට පෙරලෙන බව මන්දාරම්ට වැටහුනේය.
අපේක්ෂා ගුණරත්න
ReplyForwardAdd reaction |