සුළි සුළඟක සුසුමක් – 29 වන කොටස

රැහැයියෝ නො කඩවා ගී ගැයූහ. කනාමැදිරියෝ එළියත් අර ගෙන ම අඳුරේ මිහිර විඳිමින් අවකාශයේ සැරිසැරූහ. ගෙමිදුලෙහි වවා ඇති අටෝරාසියක් මල් වලින් නික්මී, ශීත වායු අංශු වල මුහු වූ මල් සුවඳ, වෙන් කර හැඳින ගත නො හැකි සුසුවඳක් නාස් පුඬු මත තවරමින් හමා ගියේ ය. සඳ නැති අහසේ තාරකා නුගිනුරා බැලුම් හෙළමින් කෝළිත්තම් කරන්නට වී ය. රාත්‍රිය කියන්නේ විශ්වය ඉසිඹු ලන සුන්දරතම මොහොත කියා මට සිතිණි.

මම ඉතාමත් හෙමිහිට සංකල්ප වෙතින් මිදී ගතිමි.

“මං ගිටාර් එක අරං එන්නං”

සංකල්ප දුවගෙන වාගේ ගේට්ටුව පැත්තට ගියේ ය. මම ගෙට හිස පෙව්වෙමි.

“නීලම්මා…කෑම කාල නිදියන්න..සංකල්ප දැං සින්දු කියනව. මං නිදියන්න ටිකක් පරක්කු වෙයි”

නීලම්මා බරාඳයට ආවා ය.

“මට නිදිමතක් නෑ සුදු බබා. සුදු බබා සන්තෝසෙං ඉන්නවනං එච්චරයි”

තමන් ගැන නො තකා අනුන් ගේ සතුට ගැන හිතෙන ආදරය වූ කලී පුදුමාකාර හැඟීමකි. මේ මිනිස්සු මට ඒ ගැන මහා ලොකු පාඩමක් කියා දෙති. ආදරය තියෙන්නේ දෙන්නට මිස ළග තියා ගෙන හිතේ හිර කර ගෙන ඉන්නට මැවූ දෙයක් නො වන බව ද මම ඔවුන් වෙතින් උගෙනිමින් සිටිමි.

සංකල්ප ගිටාරය ද ගෙන එන අඳුරු සෙවනැල්ල මට ඈතට පෙනුණේ ය. මම යළි බංකුව වෙත ගියෙමි. ඔහු ළඟින් මෙහෙම හිඳ ගෙන, වෙන කිසිවෙකුත් නොමැති ව ඔහු මට විතරක් ගයනු අසා හිඳීමේ රහසිගත ආශාවක් මට වූ බව තවම සංකල්ප හෝ දන්නේ නැත.

“සීත අරණේ සුපුල් නා මල් සුවඳ ගැල්වූ ජීවිතේ…සීත හිම ගිර සීත නො දැනේ දැනේ උණුහුම ආදරේ”

ශෝකයේ අසීමිත බව දරා හිඳිනා අඳුරේ හදවත පසා කරමින් ඔහු ගේ හඬ සීතල සමග මුහු විය. මම හුස්මකුදු නො ගෙන සංකල්ප දෙස බලා සිටින්නට වීමි.

“ලතාවක් සේ වෙලී සියොළඟ පතමි රැකවරණය ඔබෙන්”

ඔහුත් එක්ක ම මට ඒ වචන ටික මිමිණී තිබුණේ ය. සංකල්ප ගේ නෙතු තාරකා වල එළිය මේ අඳුරේ මට වඩාත් හොඳින් දැනිණි.

“සදා දෝතින් මලක් සේ ඔබ වැළඳ ගන්නෙමි හදවතින්…හදවතින්..සීත අරණේ..සුපුල් නාමල් සුවඳ ගැල්වූ ජීවිතේ…සීත හිම ගිර සීත නොදැනේ දැනේ උණුහුම ආදරේ…”

ඒ ගැඹුරු ගීතවත් හඬ මේ වගේ රාත්‍රියකට කෙතරම් නම් කදිමට ගැළපෙන්නේ ද?  සංකල්ප තවත් ගීත කිහිපයක් ම ගැයුවේ ය. ගෙවා ආ සියල් උපන් දින සාද වලට වඩා මා සතුටෙන් ම තැබූ එක මේ යයි යටි හිත මට කොඳුරා කීවේ ය.

ඉනික්බිති සිදු වෙන්නට නියමිත දේවල් ගැන හිතන්නට මට ඕන වුණේ නැත. හිත සතුටෙන් තිබි බව මම දැන සිටියෙමි. කඳු නිම්න මිටියාවත් වල සුන්දරත්වය විඳිමින් අපි ඒවා පුරා ඇවිද ගියෙමු. යළිත් මම සිනහ වෙන්නට පටන් ගෙන සිටියෙමි.

අයියා අපේ විවාහය තීන්දු කොට ඇති බව මට දැනුම් දුන්නේ ඒ අතරේ ය.

“මට බෑ. අන්තිමට මට දොස් කියන්නත් එපා”

මම කෑ ගැහුවෙමි.

“ඇයි තමුසෙ හිතං ඉන්නෙ ඔහෙට වෙලා ඔය හිඟන්නත් එක්ක මගුල් නටන්නද…”

ඔහු කිසිදු විචාරයකින් තොර ව මට නො දෙවෙනි ව කෑ ගැසුවේ ය.

“මෙහෙ ඇවිත් වෙඩින් එකට ලෑස්ති වෙනව. ඩොක්ටට මේ සැරේ සිංගප්පූරු යන්න කලින් වෙඩින් එක අරං යන්න ඕනලු. මං ඒකට කැමති වෙලා ඉවරයි”

“ඔයා කැමති වුණා නං ඔයා බඳින්න. මං කැමැත්ත දුන්නෙ නෑනෙ ඔයාට එහෙම තීරණ ගන්න”

මම ද කිසි සේත් යටත් නොවී සිටියෙමි.

“හැබැයි මේක කෙරෙන්නෙ නැති වුණොත් තමුසෙට සත පහක දෙයක් ලැබෙයි කියල හිතන්න එපා හරිද”

මම සමච්චල් සිනහවක් හෙළුවෙමි. අප්පච්චි මිස අයියා හරි හම්බ කළ සතයකුදු ඔය ව්‍යාපාර වල නොමැති බව මම දනිමි. නමුත් ඒ සියල්ලට වඩා හිතේ සතුට හා සැනසීම යන දේවල් වටිනා වග අන් කවර දාටත් වඩා දැන් මම දන්නෙමි.

“අයියට කියන්න මට ඕනෙ ඔයාව විතරයි කියල”

අප අතර සිදු වූ කතා බහ ගැන දැන ගත් සංකල්ප කීවේ ය. කෙසේ වෙතත් ඔහු ගේ හිත රිදේවියි බියට, අයියා ඔහු කී දේවල් මම නො කියා සිටියෙමි.

“කොහොම වුණත් ඔයාට මාව විතරක්නං බාර ගන්න වෙන්නෑ”

මල් පොහොට්ටු සිනහවක් මගේ දෙනෙතු මත්තේ නළියන්නට ඇත.

“මාවයි අම්මයි දෙන්නවම බලා ගන්න වෙනව. මට අයිති බිස්නස් ටිකත්…”

“අම්ම වුණත් මට එයාගෙ මෙච්චර වටින දුවව දෙන්න කැමති වෙයි කියල හිතන්න එපා උත්තරා”

“එහෙනං මොකටද දන්නෑ නේ අවුරුදු ගාණක් මං නිසා බලං හිටියෙ…”

ඔහු ගේ නළල රැළි නැංවී තිබිණි. නමුත් පුරුදු දඟකාර මන්දස්මිතය ඒ දෙතොලතර වූයේ ය.

“කවද කොයි වෙලේ හරි නළුවෙක් වගේ ඉන්න මේ කොල්ලට කැමති වෙනව කියන ශුවර් එක මට තිබුණා”

“නළුවෙක්…”

මම හඬ නගා හිනැහුණෙමි. එතකොට ම හයිලන්ඩ් ගෙස්ට් ඉදිරියේ නතර වූ රියකින් මල්ෂා බැස ගත්තා ය.

“මේ ළමය ඔයා ගැන බලාපොරොත්තු තියං ඉන්නෙ සංකල්ප”

“ඉතිං ඒකට මං මොකද්ද කරන්නෙ…”

මල්ෂා, අප සිටි ගල් බැම්ම වෙත ආවේ සිනහවෙන් විකසිත වූ වතකිනි. වෙනදා මා සංකල්ප සමීපයේ සිටිනු දකිත්දී මැළවෙන ඒ මුහුණේ වෙනසක් නො විණි.

“ඔන්න ඔයා මට දාපු පාට් ඉවරයි හරිද…”

ඈ කියන්න ට උත්සාහ කළ දේ ගැන අවබෝධයක් නොමැති සංකල්ප ඇස් කුඩා කොට බැලුවේ ය. මල්ෂා සංකල්ප ගේ සිරුරේ ගෑවී නො ගෑවී වගේ බැම්ම මතින් හිඳ ගත්තේ ය. සංකල්ප ටිකක් මගේ පැත්තට ඇදී ආවේ ය.

“මොකද…මට කොරෝනා කියල හිතුවද…”

ඇය රවා බලා ඇසුවාය.

“කියන්න බෑනෙ ඉතිං නේ…”

සංකල්ප මෝඩ සිනහවක් පෑවේ ය. එසැනෙන් ඔහු සිය ඉරියව් වෙනස් කරමින් ඇය වෙත නැඹුරු වූයේ ය.

“මොකද්ද අර..පාට් දාල ඉවර කතාවක් කිව්වෙ දන්නෑ නේ…”

“ආ ඒකද…ඒක කියන්න තමයි මං මේ ආවෙත්. ලෑස්ති වෙන්න අපේ වෙඩින් එකට”

“මොකක්…”

“අපේ තාත්ති ඔයාගෙ තාත්ත එක්ක කතා කරල අපි ගැන. ඔයාගෙ තාත්තගෙත් කිසිම අකමැත්තක් නෑලු. මට හොඳ දෑවැද්දක් දෙනව හරිද…ඒක නිසා ඔයා බොරුවට ඩිමාන්ඩ් කරන්න ඕන නෑ”

මගේ හිසට බිමට නැඹුරු වී තිබිණි. ප්‍රශ්න එනකොට එන්නේ පෝලිම් ගැසී යයි කතාවක් තියේ. මේ පුංචි කෙල්ල මා වගේ නොවන බවට, මට මුල සිට ම අවබෝධයක් විය. ඇය ඇයට ඕනේ කියා හිතෙන දෙයක් කෙසේ හෝ ලබා ගන්නා විදිහේ කෙනෙකි.

“මොනාද මල්ෂා ඔයා මේ කරන වැඩ…පිස්සුද ඔයාට..මං ඔයාට පැහැදිළිව ම කියල තියෙනව නේද…”

“එක්ස්කියුස් මී”

මම බැම්ම මතින් බිම පැන ගතිමි.

“මං හිතන්නෙ මෙතනට මං වැඩක් නෑ කියලයි…එහෙනං…මං යන්නද…”

“යන්න ඕන්නෑ. ඔයා ඉන්න”

සංකල්ප තරමක් දැඩි ව කීවේ ය..

“ඒ ළමයට ඉන්න කියන්නෙ මොකටද…එයාට බෝරිං ඇතිනෙ…මේක අපේ පර්සනල් කතාවක්නෙ අනිත් එක”

මල්ෂා සිය ආධිපත්‍යය මනා ලෙස පතුරුවන්නට පටන් ගෙන සිටියා ය. මාත් එක්ක බලත්දී ඇය සිටින්නේ මට ගව් ගාණක් ඉදිරියෙනි. මීට ටික දිනකට පෙර, සංකල්ප ගේ කැමැත්ත ලබා ගනු වස් ඇය මගෙන් උදව් ඉල්ලා සිටියා ය. නමුත් ඒ මත බලා සිටිය නොහැකි බව ඇය ඉක්මනින් ම වටහා ගන්නට ඇත. වක්‍ර මාර්ග අත් හැර දැමූ ඕ සංකල්ප ගේ නීත්‍යානුකූල අයිතිය හිමි කර ගනු වස් යා යුතු විධිමත් පිරේ ගමන් කොට තිබේ!

“කමක් නෑ සංකල්ප…මං යන්නං”

ඔහු ගේ එකඟතාවක් නොමැතිව ම මම ඉක්මන් ගමනෙන් නික්ම ආවෙමි. මල්ෂා ට මගේ අතින් බලවත් වරදක් වූ බවට හැඟීමක් මට වද දෙන්නට වූයේ ය. ඇය මා කෙර් තැබූ විශ්වාසය මාතින් දැනටමත් බිඳී ගොස් තිබේ. ඈ පෙම් කළ සංකල්ප සමග, ඒ බව දැන දැන ම මා හදිසියේ පෙමින් බැඳීම ගැන දැන ගත හොත් මල්ෂා උදහස් වනු නියත ය. අනිත් අතට එවැන්නක් දැන ගත්තත් ඈ සිය අභිමතාර්ථය ඉටු කොට ගෙන මිස අඩියක් පස්සට තබාවියි සිතිය හැකි ද?

හැන්දෑවේ අම්මා ආවා ය. ඈ ආ එක මට සතුටක් විය. මෙතෙක් කාලයක් අම්මා සමග කියා ගත නොහැකි වූ සේ ම ඇගෙන් ඇසා ගත නො හැකි වූ කතා ද බොහෝ ඇති බව මට දැනුණේ ය. ඒ මොනවා නැතත්, කතා නො කොට හෝ අම්මා ළඟ දැවටී හිඳීම කෙතරම් සැපතක් ද කියා දැනෙන්නේ ඇගෙන් දුරස් වී මේ විදිහට ජීවත් වෙනකොට ය.

“අයිය මට මහ නරක විදිහට බලපෑම් කරන්න හදනව අම්ම. මං කිව්වනෙ අර ඩොක්ටර්ව මැරි කරන්න කැමැත්තක් මට දැනෙන්නෑ කියල”

පිළිසරණක් වේ නම් ඒ අම්මා ළඟ ම පමණකැයි හැඟීමෙන් මම ඇගේ උකුලේ හිස කියා ගෙන කීවෙමි. අප හිට්යේ බරාඳයේ ය. අම්මා ඉපැරණි තේක්ක පුටුවක හිඳ සිටියා ය. මම ඈ පා මුල බිම හිඳ, හිසේ ඇගේ උකුල මත හොවා සිටියෙමි. අම්මා සිය ස්නේහයේ අතැඟිලි වලින් මහිස පිරිමදිමදින්නට වූවා ය.

“තාම ඔයාට එයාව හුරු නෑනෙ උත්තරා. ඒව ඇරිල යයි ටිකක් ආශ්‍රය කරනකොට”

“ඒ වුණත් අම්ම….එහෙම නොදන්න මනුස්සයෙක්ව බඳින්න පුළුවන් ද…”

“ඒකනෙ ඉතිං මං ඔයාගෙං අහන්නෙ…ඔයා කැමති විදිහෙ කෙනෙක් ඉන්නවද කියල”

“අම්ම අප්පච්චිව මැරි කළේ ප්‍රපෝසල් එකකින්ද…”

“අපේ කාලෙ ගෑනු ළමයි වැඩිය පිරිමිංව ආශ්‍රය කළේ නෑ උත්තරා. බැන්දට පස්සෙ තමයි ඉතිං…බඳින කෙනාව වුණත් හරියට දැන ඇඳින ගන්නෙ”

“ඒ වුණත් අප්පච්චියි අම්මයි හොඳට හිටියනෙ”

“හ්ම්. ඒක තමයි මං ඔයාටත් කියන්නෙ. හැබැයි ඉතිං…ඔයාගෙ හිතේ දැනටමත් කෙනෙක් ඉන්නවනං…”

“අප්පච්චිව බඳිනකොට අම්මගෙ හිතෙත් වෙන කෙනෙක් හිටියද…”

අම්මා ගැස්සී ගියා ය. මා ඇගේ මුහුණ දෙස ම බලා සිටියත් ඈ මගේ ඇස් මගහැරියා කියා සිතමි.

“වැදගත් වෙන්නෙ කලින් අපේ හිත් වල මොනාද තියෙන්නෙ කියන එක නෙවෙයි උත්තරා. බැන්දට පස්සෙ අපි මොනාද කරන්නෙ කියන එක…අපිට අපේ විවාහය වෙනුවෙන් හස්බන් වෙනුවෙන් දරුවො වෙනුවෙන් කොයි තරං කැප වෙන්න පුළුවන් ද කියන එක…”

“මං දන්නව…අම්ම හොඳ වයිෆ් කෙනෙක්…හොඳම හොඳ අම්ම කෙනෙක්”

මම ඇගේ උකුල වැළඳ ඉතාමත් හෙමිහිට මිමිණුවෙමි. අම්මා ගේ අතැඟිලි මගේ හිස මත සෙනෙහස තැවරුවේ ය.

“ආ…මෙන්න වැඩක්. අම්මත් එක්ක හුරතල් වෙනවද මෙයා…”

මා හිස එසවූයේ විගසිනි. සංකල්ප අපේ බරාඳයට ගොඩ වෙමින් සිටියේ ය. ඔහු ගේ දෙතොල් මත වූ සිනහවට හැඟීම් අතින් සමාන සිනහවක් අම්මා ගේ මුහුණේ ද තිබෙනු මට පෙනිණි.

“කියලා වැඩක් නෑ පුතා. තාම හිතං ඉන්නෙ එයා චූටි බබෙක් කියල. අපි මේ කාට හරි දීල නිදහස් වෙන්න බලං ඉන්නව…ඉඳගන්න පුතා”

මම නැගී සිටියෙමි. සංකල්ප ගේ ඇස් වල වන විදුලි එළි අම්මා දකීවියි බියක් මවෙත විය.

“කාටම හරි දීල නිදහස් වෙන්නනෙ හදන්නෙ…ඒ තරං මං ගැන බර…”

“දුවෙක් කියන්නෙ ඉතිං දෙමව්පියන්ගෙ හිතට බරක් තමයි. හොඳ ළමයෙක් ට බාර දෙනකල්..නේද පුතා…”

සංකල්ප බිම බලා ගෙන සිනහ වූයේ ය.

“දැං ඉතිං තේ බොන වෙලාවත් පහු වුණානෙ. සංකල්ප පුතා අපිත් එක්ක කෑම කාල යමු”

ඒ සංකල්ප හෝ මා කිසි සේත් බලාපොරොත්තු නොවූ විදිහේ ඇරයුමකි. ඔහු මගේ මුහුණ බැලුවේ ප්‍රශ්නාර්ථයෙනි.

අනෙක් කොටස්

More Stories

Popular

Don't Miss




Latest Articles

මුතු බෙලි හදවත -22

දොර හැරි ගමන් ආදිත්‍යා කළේ යටිගිරියෙන් කෑ ගසනා එක ය. ඇය දෙතුන් වරක් එසේ කෑ ගැසුවා ය. ආමන්තා ඇඳෙන් බැස ඈ වෙත...

බබ්බු බැලිල්ල.

නාලිකා කාර්යාල මේසය උඩින් අත් බෑගය තිබ්බේ සද්දේ ඇහෙන්න.ඊටත් පස්සේ වටේම බැලුවේ කවුරුහරි ඒකට හේතු අහයි වගේ.කාවින්දිට හිනා යන්න ආවත් හිනාව හංගාගෙන...

මීදුම් මාරුත -19

"සකුණ භාවනාගෙන් බ්‍රේකප් නේද?"උදාරා එසේ අසද්දී කාව්‍යා සුසුමක් හෙළුවා ය.නංගී ප්‍රේමයකින් පැරදීම මහා කාරණාවක්ව නොගන්නා බව ඇය දනියි.නමුත්...

මතක දිගහැරුම 75 – අප්සාරි සිංහබාහු තිලකරත්න

හැත්තෑ පස්වන දිගහැරුම ,දරුවන්‍ට ඉතා හොඳ අධ්‍යාපනයක් ලබාදීම සඳහා ඔවුන්ව හොඳ පාසලකට ඇතුළත් කිරීම අපගේ ඊළඟ අරමුණ විය.ඒ...

මුතු බෙලි හදවත – 21 වන කොටස

ආදිත්‍යා ට මුලින් ම දැනුණේ සිය දෙපා සීතල වෙනවා ය. ඒ සීතල වීමත් එක්ක අයිස් සේ ගල් වීමක් ද සිදු විය. ඇගේ...
Click to Hide Advanced Floating Content
Click to Hide Advanced Floating Content