පොත් කාමරයේ වූ කෙටි සෙටියේ ගුලිව නින්දට වැටී උන් යුවතිය ඉන් පසුව ඉතාම සීරුවෙන් මන්දාරම්ගේ හදවත් සයනය මතට වැඩියාය. වැඩියා නොව, මන්දාරම් බලෙන්ම ඔසවා ඇය තම හද සයනයේ සතපවා ගත්තාය. ඉන් පසුව නිම්නාවී දෙස බලා උන්නාය. ඇගේ අතකින් පහලට වැටී තිබුණේ කෞශල්‍ය කුමාරසිංහගේ මේ රහස් කවුළුවෙන් එබෙන්න පොතෙහි අලුත්ම කවරය සමග තමා මිලයට ගත් පොතය.
” මේකිටත් මෙවෙලේ කියවන්න සෙට් වෙලා තියෙන්නේ මේකමද ?…”
පොතෙහි අන්තර්ගතය ගැන මනා අවබෝධයකින් උන් මන්දාරම් තමාටම කියා ගත්තේය. බිම වැටී තිබූ පොත ගෙන මේසය මත තැබුවේය. යළි නිම්නාවී දෙස බැලුවාය. විදුලි පංකාව ක්‍රියාත්මක කර නොතිබූ නිසා ඇගේ නළල මත දා බිඳු මතුව තිබුණි. ගෙලෙහි පසෙකින්ද තෙත මතුව තිබුණි. මන්දාරම් විදුලි පංකාවේ වේගය අඩු කර එය ක්‍රියාත්මක කලේය. තත්පර කිහිපයක් යන්නට පෙර නිම්නාවී ඇහැරුණාය. තමා ඉන්නේ කොහිදැයි වටහා ගන්නට ඇයට තවත් තත්පර කිහිපයක් ගත විය. ඉන් පසුව ඕ වහා නැගිට්ටේ තමා අතෙහි වූ පොත සොයන අතරේය.
පසෙක සිටගෙන උන් මන්දාරම් දුටු ඇයට කෑ ගැසුණි. මන්දාරම් වහා ඇගේ මුව තද වන්නට අල්ලාගෙන ඇයව තමා වෙත නතු කරගත්තේය. නිම්නාවී වහා ඔහුගෙන් මිදෙන්නට උත්සාහ කලා වුවද, ඉඩක් ලැබුනේ නැත.
” අතාරින්නම් කෑ ගහන්න බෑ තේරුනාද ?..”
නිම්නාවී රොබෝවියක මෙන් හිස සැලුවාය. මන්දාරම් ඇය අතැර පසෙකට වූවෙය. තමා කියවමින් උන් පොත මේසය මත ඇති බව දුටු නිම්නාවි වහා පොත් කාමරයෙන් පිටතට යන්නට ආවාය. එහෙත් මන්දාරම් පවුරක් ලෙසින් දොර ඉදිරියේ මතු වෙන්නට ගියේ තත්පරයකිනුත් දහයෙන් පංගුවකි. නිම්නාවී ඔහු පසෙකට කරමින් කාමරයෙන් පිටව යන්නට උත්සාහ කලාය. එහෙත් මන්දාරම් උන්නේ නොසැලෙමිනි.
“යන්න දෙන්න …”
” බෑ … “
මන්දාරම් දැඩි හඬින් කීවේය.
” මට ගෙදර යන්න පරක්කු වෙනවා….”
එවර නිම්නාවී මන්දාරම් සහ දොරේ උලුවස්ස අතරින් රිංගන්නට උත්සාහ කලාය. ඕ උන්නේ සෙත් මඟ හැර ගන්නට අවැසි මානසිකත්වයේය.
“මං ආවේ නැත්නම් අද රෑ මෙහෙ ඉන්න නේ වෙන්නේ … තද නින්දේ නේ හිටියේ …”
” හරි දැන් ඔයා ආවානේ .. යන්න දෙන්න ..ප්ලීස් …”
ඇගේ හඬ ක්ශව යමින් තිබුණි. සෙත් ගේ ඉදිරියේ තමා මෙතරම් දුර්වලව යන බව ඕ දැන උන්නාය. ඔහුගෙන් ඈතට දුවන්නටද, ඔහු වෙත සෙනෙහෙන් බැඳෙන්නටද අවැසි වෙමින්ද ගෙවන හැම තත්පරයම්ක නිම්නාවී මෙතෙක් කල් ගෙවූ හැම දවසකටම වඩා අපහසු විය.
” එහෙ මෙහෙ ඇදලා දාපු පොත් ටික පිළිවෙල කරලා යන දිහාවක යන්න පුලුවන් …”
මන්දාරම් එක්වරම එලෙස කීවේය. ඒ නිම්නාවී කාමරය තුළට යවාගෙන දොර වසාලන්නට සිතමිනි. සිතූ පරිද්දෙන්ම ඕ පොත් රාක්ක වෙත ඇවිද ගියාය. මන්දාරම් වහා දොර වසා දමා දොරට වාරු වී සිට ගත්තේය.
නිම්නාවී ආපසු හැරී බලා, කිසිඳු හැඟිමක් නොපෙන්වාම රාක්කයක් ඉදිරියේ සිට ගත්තාය. එහෙත්, එහෙන් මෙහෙන් ඇද දැමූ පොත් එකක්වත්, යළි තැබිය යුතු තැනක් නිම්නාවීට සිහි වූයේ නැත. ඕ ව්‍යාජ බැල්මන් පොත් වෙත හෙලමින් රාක්ක අතර ඇවිද්දාය.
මන්දාරම් දෑත් ළය මතින් බැඳගෙන ඇය දෙස බලා උන්නේය.
” මට මතක නෑ මෙව්වා ආයෙම ඇරේන්ජ් කරන්න …”
නිම්නාවී ආපසු හැරී බලා කීවාය. මන්දාරම් එය ගණනකට නොමැතිව මෙන් බලා උන්නේය.නිම්නාවී ඔහු වෙත ඇවිද ආවාය.
” යන්න දෙන්න…”
” ඇයි මාව මඟාරින්නේ ? .. අම්මා එක්ක ප්‍රශ්නේ මම සෙට්ල් කරගත්තා කියද්දීත් ….”
” ඔයා අම්මා එක්ක ප්‍රශ්නේ සෙට්ල් කරගන්න ඕනි මම හින්දා නෙවෙයි .. ඒ ඔයාගේ අම්මා නිසා.. ඒක සෙට්ල් කරගත්ත පලියට ඇයි ඔහොම අහන්නේ …”
හදවත පුපුරා යන වේදනාව තමා තුළම සඟවාගෙන නිම්නාවී ව්‍යාජ ස්වරයකින් විමසුවාය.
” අනේ මාව අල්ලගන්නකෝ සෙත් .. කිසි කෙනෙක්ට මාව ගෙනියන්න නොදී මාව අල්ලගන්නකෝ සෙත් …”
ඇගේ හදවත එලෙසින් හඬා වැටෙමින් තිබුණි. එහෙත්, දෛවය තමාට එතරම් කාරුණික නොවන බව නිම්නාවී දනී. කෙතරම් ධෛර්‍යකින් උත්සාහ කලද, පසන්ගේ දැලෙන් ගැලවී මන්දාරම්ගේ කැදැල්ලේ ලැඟුම් ගන්නට තමාට අවසරයක් හිමි නොවන බව ඕ සිතුවාය. අම්මලා සමඟ ගැටෙන්නට සවියක් නැති බව ගෙවුණු අවසන් රැය පුරා තනිව සිතා බලා ඕ තීරණය කරගෙන තිබුනාය.
” මොකක්ද නිම්නාවී වුනේ ?… එදා ඔයා හිටියේ මෙහෙම නෙවෙයි …”
“: මම මේ ගෙදර මේඩ් .. ස්වර්ණා මිස්ව බලා කියාගන්න ආවේ.. ඒක අමතක වෙලා වගේ ඔහොම හැසිරෙන එක නවත්තන්න ප්ලීස් …”
නිම්නාවී අතීතයේ සිට තමා දරා ගත් බොහෝ දෑ මතින් ගොඩ නඟා ගත් පන්නරය ඉස්සර කරගෙන එහෙමද කීවාය. මන්දාරම් උන්නේ ක්‍රමයෙන් තමා තුළට කාන්දු වන කෝපය පාලනය කරගන්නට උත්සාහ කරමිනි.
” මොන විකාරයක්ද නිම්නාවී ?….”
” මම නෙවෙයි විකාරයක් කරන්නේ .. ඔයා … මට මගේ වැඩ ටික කරලා යන්න දෙන්නේ නැතුව ඔයයි විකාරයක් කරන්නේ ..ප්ලීස් .. එදා තුවාල වුන දවසේ වෙච්ච දේවල් නිසා ඔයා මෙහෙම දේවල් හිතනවා නම් ඒක අතෑරගන්න …මම එහෙම දෙයකට සූදානම් නැහැ.. ලංකාවෙන් යනකල් පින්සිද්දවෙයි මට මේ ජොබ් එක හිතේ සැනසීමෙන් කරගෙන කීයක් හරි හොයාගන්න දෙන්න .. ප්ලීස් …”
නිම්නාවී ඉතා පහත්, එහෙත් දැඩි ස්වරයක් ආඩ්‍ය කරගත්තාය. මන්දාරම් දෑත් එහෙමම පපුව මැදින් බැඳගෙන ඕ දෙස බලා උන්නේය.
” තමුසේ කොහේවත් යන්නේ නෑ …”
ඔහු ඉන් පසුව තම තීරණය එය බව හඟවන ස්වරයකින් කීවේය. නිම්නාවී එය නොවැටහුනාක් මෙන් බලා උන්නාය.
” මොකක්ද කියන්නේ ?…”
” තමුසේ රට යන්නේ නෑ .. මට තමුසේගේ සීවි එකක් ගෙනල්ලා දෙනවා.. මම ජොබ් එකක් හොයලා දෙන්නම් .. ඒ නැත්නම් අපි සීවී එකක් හදමු .. ජොබ් එකක් හොයාගන්න අමාරු නෑ ප්‍රයිවට් සෙක්ටර් එකේ…”
නිම්නාවීගේ හදවතේ ගැස්ම, මන්දාරම්ට ඇසේයැයි බියෙන් මෙන් ඈ අඩි කිහිපයක් ආපස්සට ගියාය. ඔහු මෙතරම් තීරණ තමා ගැන ගන්නට තරම් බැඳීමක් ?…
” මොනවාද කියවන්නේ ?…”
” මං හිතන්නේ ඔයාට ඇහුණා නිම්නාවී මම කියපු දේ … මම ඔයාට රට යන්න දෙන්නේ නෑ …”
” මොන විකාර කතාවක්ද ඒ ?… පිස්සු හැදීගෙන එනවාද ?…. ඔයා කවුද මගේ ජීවිතේ ගැන එහෙම තීරණ ගන්න …. “
” මං ඔයාගේ ජීවිතේ ගැන එහෙම තීරණ ගන්න තරම් වටින කෙනෙක් නෙවෙයිද නිම්නාවී ?…”
මන්දාරම් නිම්නාවීගේ දෑතේ උඩු බාහු දෙකෙන් අල්ලා තම දෑස් මතට අතිපිහිත වනසේ ඇගේ දෑස් රඳවාගෙනම ඇසුවේය. නිම්නාවීට ඔහු ඉක්මවා යන්නට ඉඩක් ලැබුනේම නැත
” මගේ දිහා බලාගෙන කියන්න නිම්නාවී, මම ඔයාගේ කවුරුත්ම නෙවෙයිද ?…”
නිම්නාවී අසීරුවෙන් ගල් කරගෙන උන් හදවත දියවී වැක්කෙරෙන්නට ගත්තේය.
අපේක්ෂා ගුණරත්න
ReplyForwardAdd reaction |