නිම්නාවි නිවසට ගොස් කාමරයේ දොර වසාගත්තාය. කණ්ණාඩිය ඉදිරියේ සිටගෙන තමා දෙස බැලුවාය. ඇඳුම් එකින් එක උනා දැම්මාය. තමා වෙනුවෙන් නොවූ ජීවිතයක් තිස් වසක් තිස්සේ ගෙවි ගොස් ඇත. අම්මා කපා දැමූ තටු නිසා, අහසේ පියඹාගන්නට නොහැකිව හෙමි හෙමින් බිම දිගේ ඇවිද යන්නට සිදු වූ අතීත දවස් ඇයට අමතක නැත. එක රෑනට උන් සියලු දෙනා තටු සවි කරගෙන පියඹා යද්දී තමාට වූයේ ඉබි ගමනින්, ඉතා වෙහෙසෙන් රිසි ඉලක්ක හඹා යන්නටය. බොහෝ ඉලක්ක ජය ගත හැකිව තිබූනද, ඒ සියල් ඉලක්කයන් අතැර දමන්නට තමා තීරණය කලේ අම්මාගේ වදයෙන් ගැලවී පාඩුවේ සිටින්නට පව නිම්නාවීට මතකය.
තමා නිවසට වී සිටියදී අම්මාගේ මානසික වදයන්ගෙන් තමාට ගැලවීම ලැබෙන බව වටහා ගත් පසු නිම්නාවී සමාජයට මුහු වෙන්නට දැරූ සියලු උත්සාහයන්ද අතැර දැම්මාය.
” මම සෙත්ට දෙන්න කියලා දුන්න ලියුම ඇත්තටම එයාට ලැබුනේ නැතිව ඇති .. ඒ නැතත් එයා හිතාගෙන ඉන්නේ ඒ ලියුම මම දුන්නා නෙවෙයි කියලා වෙන්නත් පුලුවන් …. මට එයාව අඳුනගන්න බැරිව ගිය එකට නම් හේතු තියෙනවා… ඒත් එයාට මාව පොඩ්ඩක්වත් අඳුනගන්න බැරි වෙන්නේ කොහොමද ? .. සමහරවිට මං එයා දිහා කොච්චර බලාගෙන උන්නත්, එයාගේ ඇස් දෙක අමාලිගෙන් පිට යන්නේ නැතුව ඇති … ඒත් , සෙත් අද හැසිරුන විදිය මොකක්ද ? මේ සති ගානට එයා කොහොමද සංසාර හුරුවක් ගැන කතා කරන්නේ … අනෙක් අතට, මගේ ලියුම එයාට ලැබුනානම්, ඒකට උත්තරයක් නොදී ඉඳලා, දැන් මේ මාව අඳුනගෙන මගේ එක්ක ඉන්න උත්සාහ කරනවා වෙන්නත් බෑ….”
නිම්නාවී කල්පනා කල සියල්ල වූයේ එකිනෙක මත පැටලීගෙනය. සෙත් තමා හඳුනාගත්තේ නම්, තමා මෙවැනි රැකියාවක් කිරීම පිළිබඳව ඔහුට සැක සිතිය යුතුය.
” එක්කෝ නෑ… එයා ඉස්කෝලේ කාලේ අපේ අම්මලා ගැන විස්තර කොහොමටත් දැනගන්න විදියක් නැහැනේ…. අනෙක, දැන් කාගෙන් ඇහුවත් ඒ කිසි කෙනෙක් මං ගැන එහෙමට කියලා විස්තරයක් කියන්න දන්නේත් නැහැනේ… මට තේරෙන්නේ නෑ දෙයියනේ … මේ ඔක්කොම එක පෝලිමට කොහොමද කඩාගෙන වටෙන්නේ…
බැරි වෙලාවත් සෙත් දැනගත්තොත්, මම ඇයි මෙහෙම කරන්නේ කියලා… ආන්ටිව ඇක්සිඩන්ට් වුනේ මගේ අතින් කියලා… එයා මට කීයටවත් සමාව දෙන එකක් නෑහ්…. සමාව දුන්නත් මං ගැන මේ දැනෙන හැඟීම් ජීවත් කරවන එකක් නෑ එයා ….
මං මේ ඔයාට කරන්නේ, කෙනෙක්ට දුකක් වේදනාවක් දෙන්න තියෙන නරකම විදියෙන් ඒක දෙන එක නේද සෙත් … මං .. මං මේ ඔක්කොම කරන්නේ මගේ සැනසීමට … මට හිත හදාගන්න …. ඔයාව මං මෙහෙම රවට්ටන්නේ ආත්මාර්තකාමී වෙලා නේද සෙත් …
මං නිසා… මගේ හිතුවක්කාර වචන නිසා, ජිනේන්ද්‍ර අයියාට එයාගේ ආදරේ නැති වුනා … මල්ලි ජිනේන්ද්‍ර අයියා එක්ක තියෙන යාලුකමට තරහ අරගෙන, මම කාව්‍යාට ජිනේන්ද්‍ර අයියා ගැන ඒ බොරුව නොකිව්වා නම්, අද ඒ දෙන්නා සතුටින් … මම.. මම නිසයි , මං හදපු රැවටීමක් නිසා ඒ හැමදේම විනාශ වෙලා ගියේ …
මට මං කල දේ නිවැරදි කරන්න ඕනි කියලාවත් නොහිතුනේ, ජිනේන්ද්‍ර අයියා නිසා මල්ලිගේ ජීවිතේ නාස්ති වේවි කියන බයටද අප්පා…”
ජිනේන්ද්‍ර දිලුම්ද සමඟ රාත්‍රි සාද සහ යතුරුපැදි ධාවන තරඟ නැරඹීමට යන්නට ඇබ්බැහිව ඇති බව දැනගත් පසු තමා ජිනේන්ද්‍ර සමඟ කෙතරම් තරහකින් උන්නාදැයි ඇයට අමතක නැත. එලෙසම දිලුම්ද තමා සමඟ හිතුවක්කාර වෙමින්, එක දිගටම ගෙවා දැමූ සති කිහිපයක් ගැන නිම්නාවීට අමතක නැත.
ඒ ආසන්න දිනයකම, කාව්‍යා මල්ලි සහ ජිනේන්ද්‍ර සමඟ සාදයකට ගොස් ඇති බව මල්ලිගෙන් දැනගත් තමා, කාව්‍යාට ජිනේන්ද්‍ර පිළිබඳව පැවසූයේ කුමක්දැයි ඇයට අමතක නැත.
” කාව්‍යා … මං මේ ඔයාගේ හොඳට කියන්නේ නංගී.. අනෙක ඔයා මගේ ජූනියර් කෙනෙක් නිසා මට ඔයාට මෙහෙම කියන්න අයිතියකුත් තියෙනවා…. ඔය ජිනේන්ද්‍ර කියන්නේ ඔයාට ඔය විදියේ සම්බන්ධතාවයක් පවත්වගෙන යන්න කොහොමටවත්ම සුදුසු කෙනෙක් නෙවෙයි… එයාලා සල්ලිකාරයෝ ..ඒක හරි .. ඒත් සල්ලිකාර ජීවිත වල ඔයා නොදන්න තව අඳුරු කතන්දර ගොඩක් තියෙනවා නංගී … ඔය ජිනේන්ද්‍ර ඩ්‍රග් ඇඩික්ටඩ් මිනිහෙක් … ක්ලබ් වල ජීවත්වෙන්නේ ..ඔයා හිතන්න මෙච්චර වයස වෙලා ජොබ් එකක්වත් නොකර බොරුවට තාත්තාගේ බිස්නස් වලට ඇලි ඇලි ඔය මනුස්සයා කරන්නේ මොකක්ද කියලා … ඔයා මගේ ගැන කොහොම හිතාවිද මම දන්නේ නෑ .. ඒත් මට මේ ටික ඔයාට නොකියා බැහැ … මොකද, මං ආස නැහැ මම දැන දැන ඔයා අමාරුවේ වැටෙනවාට … කල්පනා කරලා බලන්න .. ඔයාගේ අම්මා තාත්තා මේ ප්‍රශ්නේදී කොහොම හැසිරේවිද හිතන්න ,..ඔයාගේ අම්මලා අමාරුවෙන් සල්ලි හොයාගෙන මේ ප්‍රයිවට් යුනි එකකට ඔයාව එව්වේ කුඩු කාරයෙක්ට අහුවෙලා විනාස වෙන්න නෙවෙයිනේ … නේද ?…”
කාව්‍යා ඉන් පසුව තමා හා බොහෝ හිතවත් වූ බවත්, ජිනේන්ද්‍ර සමඟ වූ සම්බන්ධතාවය බිඳ දැමූ බවත් ඇයට මතකය.
” ජිනේන්ද්‍ර අයියා හරියට බොනවා.. ඒත් මම හිතුවේ නැ අක්කී එයා එහෙම ඩ්‍රග්ස් වලට ඇඩික්ට් කියලා… මට එහෙම මිනිහෙක් එක්ක ජීවත් වෙන්න ඕනි ණෑ.. එයාගෙන් ඇහුවම මම, එයත් කිව්වා ඔව් කියලා…. මගෙන් ඇහුවා කොහොමද දන්නේ කියලා… මම කිව්වේ නෑ …”
කාව්‍යා එහෙම පවසද්දීවත් තමාට එය නිවැරදි කරන්නට නොසිතුනේ, ජිනේන්ද්‍ර නිසා තමාට මල්ලිගේ සමාගමය අහිමිව යෑමේ බිය නිසාදැයි නිම්නාවී සිතුවාය.
ඉන් පසුව ජිනේන්ද්‍ර මල්ලි සමඟද කාලයක් අමනාපව උන් බවද නිම්නාවීට මතකය. එහෙත්, කාලයත් සමඟ යලි ඒ දෙදෙනාගේ මිතුරුකම දලු ලෑ වගද ඕ දන්නීය.
එහෙත්, ජිනේන්ද්‍ර කිසිම දවසක තමා මුන ගැසෙන්නටවත් නොදී මඟ හැරි වගද නිම්නාවී දන්නීය. එහෙත් මල්ලි වෙනුවෙන් ඔහු තමා තින් සිදුවූ අනතුරේ ආරක්ෂිත කැමරා දර්ශන පවා මකා දමා තම ගැලවීම වෙනුවෙන් සිට ගත්තේය.
ජිනේන්ද්‍රට තමා විසින් කල ද්‍රෝහි කම ගන නිම්නාවීට කිසිදිනෙක නොවූ බරක් දැනෙන්නට ගත්තේය. ජිනේන්ද්‍ර යනු තමා පැවසූ ආකාරයේ මත්ලෝලියෙකු නොවන වගද හොඳින්ම වැටහී තිබූ නිසා ඒ බර ඉතා සැරෙන් දැනෙන්නට විය.
” රැවටීමක් … නෑ… ආයේ රැවටීමක් නෑ ..මට හයියක් නෑ සෙත්, ඔයා ඉස්සරහ වැරදිකාරයෙක් වෙන්න … මට බෑ….”
ඕ අවසානයේ ශවරය යටට වී හඬා වැටුණාය.
යළි ස්වර්ණා වෙනුවෙන්වත්, සෙත් වෙනුවෙන්වත් එහි නොයන්නට තීරණය කලාය. සෙත් නමින් දරන ප්‍රේමය එහෙමම සඟවාගෙන දරාගන්නට තීරණය කලාය. තම ජීවිතය වෙනුවෙන් බිඳක්වත් සටන් නොකරම මියෙන්නට තීරණය කලාය.
” මල්ලි.. දැන් මන්දාරම්ගේ අම්මට ටිකක් සනීපයි .. මටත් දැන් හරිම ටයඩ් එහෙ වැඩ … ඔයා හෙට විතර මන්දාරම්ට කතා කරලා කියනවාද? මගේ ජොබ් වීසා ඇවිල්ලා.. මම යන්න ඩිසයිඩ් කරලා කියලා.. අරහේ මල්ලිටත්කියලා තියන්න විස්තරේ …”
නිම්නාවී තෙත බේරෙන හිසකේ පිටින්ම දිලුම්ට ඒ කෙටි පණිවිඩය යැව්වාය.
” එහෙනම් අපි හිතුවා වගේම, මන්දාරම් අක්කාගෙන් කැමැත්ත අහලා.. එයා මේ හැංගෙන්න හදන්නේ ඒ නිසා….”
දිලුම් රන්දුලාට කීවේ, ඒ කෙටි පණිවිඩය පෙන්වන අතරේමය. රන්දුලාද එය අනුමත කරමින් හිස සැලුවාය. එසේ නොවන්නට අක්කා මෙහෙම අතැර දමන්නට සූදානම් වන්නේ නැත.
අපේක්ෂා ගුණරත්න
ReplyForwardAdd reaction |