මෙහෙකාරියකගේ දුවෙක්ට මෙහෙකාරියක් නොවී දිසාපති කෙනෙක් වෙන්න පුලුවන්ද? ඔව්!

අධ්‍යාපන තරගයට දරුවන් ඇද දමන දෙමාපියන් ඉන්න ලෝකයක ඇය වෙනස් මවක්. ඇය දියණිය තරගයට ඇද දමන්නේ නෑ. ඒත් සිහිනයක් සොයා දෙනවා..ඉරණම පිළි ගැනීම වෙනුවට විශ්වාසයෙන් සටන් කිරීමේ මිහිරියාව දියණියට උගන්වනවා.

වෛද්‍යවරයෙක්ගේ දරුවෙක් වෛද්‍යවරයෙක් වෙන බවත් ඉංජිනේරුවන්ගේ දරුවන් ඉංජිනේරුවන් වන බවත් අපි විශ්වාස කරනවා.එතකොට සුළු රැකියා කරමින් ජීවිතය ගෙවන අයගේ දරුවන් ගැන අපි හිතන්නේ කොහොමද?

ඒ දෙමාපියන් කොහොම හරි කන්න හොයලා දෙනවා. දරුවොත් කොහොමහරි උස්මහත් වෙලා ජීවත් වෙන්න පාරක් හොයා ගන්නවා. එහෙම ද? එතකොට ඔවුන්ට බැරිද විශාල සිහින දකින්න?

ශාන්ති නිවසක මෙහෙකාරියක්.දුප්පත්කම හොඳින් අත් විඳින්නියක්. ඇගේ දියණිය අභිනයා දුප්පත්කම ගැන නිරතුරුව මැසිවිලි නගන පහළොස් හැවිරිදි දියණියක්.හැබැයි අභිට උවමනා නෑ ඒ දුප්පත්කම පරදවන මාර්ගයක් හොයා ගන්න.

“අම්මා සර්වන්ට් කෙනෙක් නම් දවසක මාත් සර්වන්ට් කෙනෙක් තමයි..”

ඒ ඇගේ පැහැදිලි තර්කය.ඇය නිකමටවත් එතැනින් ගොඩ ඒමක් ගැන හිතන්නෙම නෑ.

ඒත්, ශාන්ති හිතන්නේ ඔවුන්ගේ සියලු කරදර අවසන් කරන යතුර අධ්‍යාපනය බවයි.ඒත් අභි ඉගෙන ගන්න අකමැති දැරියක්.ගණිතය ඇගේ බියකරුම සිහිනය.යන්තමින් පාසල් පරීක්ෂණ සමත් වෙලා ජාමේ බේරා ගන්න අභි පාසල් වැඩ කරන්නේ හරිම අකමැත්තෙන්.

ශාන්ති නිතරම උත්සාහ කරන්නේ අභිව කෙසේ හෝ දහය වසරේ විභාගයෙන් සමත් කරන්න.අභි මුරණ්ඩු වෙමින් ඒ බලාපොරොත්තුව සුන් වෙන විදියට වැඩකරද්දී ශාන්ති දුක බෙදා ගන්නේ ඈ සේවය කරන ගෙදර නෝනා එක්ක.”අනේ මම ඉගෙන ගෙන තිබුණා නම් මට දූට උගන්වන්න තිබුණා”ශාන්ති එහෙම කියද්දී නෝනා ඇයට උදව් කරනවා. ඒක හරි අමුතු වෙනස් උදව්වක්.

ඒ ශාන්තිටත් අභි එක්ක එකම පන්තියක ඉගෙන ගන්න අවස්ථාව ලබා දීම.ජීවිතය තුළ අපිට කරන්න බැරි දෙයක් නෑ කියන දේ අභිට වටහා දෙමින් ශාන්ති ඉතා හොඳින් ඉගෙන ගනිමින් ලකුණු ලබා ගන්න පටන් ගන්නවා. අභිට තරගයක් ඇති වෙනවා. ඒ ඇගේම අම්මා සමඟ.ලැජ්ජාවටත් කෝපයටත් පත් වෙන අභි අම්මා එක්ක නිතරම රණ්ඩු කරන්න පටන් ගන්නවා. අන්තිමේදී ශාන්ති දුව එක්ක ඔට්ටුවක් අල්ලන්න එකඟ වෙනවා.

“ඔයා ගණිතයෙන් මාව පැරදුවොත් මං ඉස්කෝලේ නෑවිත් ඉන්නම්..”

මේ ධෛර්යමත් අම්මාව පරදන්න දූට පුලුවන් වේවි ද?

2016 ජූනි දහසය වැනිදා නිකුත්වූ මේ අපූරු දමිළ චිත්‍රපටිය අශ්විනි තිවාරිගේ අධ්‍යක්ෂණයක්. දෑසට කඳුළු උනන සංවේදී පිටපත රචනා කරන්නේත් අශ්විනි විසින්.අමලා පෝල් ශාන්ති ලෙසත් යුවාස්‍රී අභිනයා ලෙසත් රංගනයේ නිරත වෙනවා.IMDb අගය 7/10 ලැබී ඇති මේ චිත්‍රපටිය මලයාලම් චිත්‍රපටියකටත් පසුව ප්‍රතිනිර්මාණය වූවා.මෙය සම්මාන කිහිපයකට නිර්දේශ වූ චිත්‍රපටියක්.

අම්මා කෙනෙක් දරුවෙකු සිහින සහ අරමුණු වෙනුවෙන් මෙහෙයවන්න ඕනෑම දෙයක් කරනවා. ඒ ඇගේ ආදරයේ සහ ශක්තියේ බලය ඕනෑම යහපත් අරමුණකට දරුවෙකු රැගෙන බව ඇය විශ්වාස කරන නිසා.

අම්මා එක්ක ගණන් හදන්න. මේ චිත්‍රපටියත් බලන්න.ඊට පස්සේ ගිහින් ඔබේ අම්මාව වැළඳගෙන ඔබට දුන් හැම යහපතකටම ඈට ස්තූතියි කියන්න.

Related Articles

Don't Miss


Latest Articles