මල් බිඟුන් – 35

ඇට්ටේරියා හා විහාර ඉද්ද මල් වල සුවඳින් කුඩා මිදුල පිරී තිබිණ. ඒ සියල්ල පරයා අමාගී ට වඩාත් ළඟින් දැනුණේ තාත්තා සුවඳ ය. ඔහු ළඟින් මෙහෙම ඉද්දී දැනෙනා හැඟීම, ඔහු ගේ ඇඟිල්ලක් අල්වාගත් විට ළමා වියෙහි දී පමණක් නොව දැනුදු දැනෙනා රැකවරණය හා මුහු වූ හැඟීම, අසමසම වේ. ඒ වෙන කිසිදු තැනෙකදී නො දැනෙනා හැඟීමකි. ආර්ය ළඟදී ඊට ආසන්න සුවයක් දැනෙන බව පිළිගත හැක.

දුරේශ් ගේ අත් ගොබය මත කම්මුලක් තියාගෙන අමාගී ටික වෙලාවක් ඔහේ සිටියා ය. දුරේශ් ගේ අතට කඳුලු කැටයක සීතල තෙතමනය දැනිණ.

“සුදු පුතා ඉන්නෙ හිතේ කරදරෙන්ද…”

ඒ මහා මුණිවර හඬ අස සියල් පිරිපත සිඳී යන නිවීමක් දැනේ.

“නෑ තාත්ති”

ඈ එසේ මිමිණුවේ කටට ආවාට වුව එය එසේ නොවන බව දුරේශ් ද දනී.

“හිතට බරක් වෙලා තියන දෙයක් ළඟ කෙනෙක් එක්ක කතා කළාම සැහැල්ලු වෙන්න පුළුවන්. ප්‍රශ්නෙට උත්තරයක් නැතත්… ඒ සැහැල්ලුව වුණත් හරියට වටිනව”

“ලොකු දෙයක් නෙවෙයි වෙන්නැති තාත්ති. ඒත් මට ටිකක් දුකයි. ලොකූ මණී ආන්ටිටත් කියල අර ප්‍රපෝසල් එකට කැමති වෙන්න කියල මට අවවාද කරන්න කියල”

“හ්ම්… ඒකද….”

දුරේශ් ලොකු හුස්මක් ගත්තේ ය. තරුණ ළමයින්ගේ තාත්තා කෙනෙකු විදිහට, විශේෂයෙන් ම අම්මා කෙනෙකු නැති තරුණ දූවරුන් තිදෙනෙකු ගේ පියෙකු වශයෙන් දුරේශ් ඔවුන් ගේ ජීවිත දෙස බැලුවේ ඉතා පරිස්සමෙනි.  ඔවුන් ගේ ගැටළුවකට අත තැබුවේ අතිශය සංවේදී බවකින් යුතුව ය. ගෑනු දරුවන් ගේ හිත් වූ කලී පළිඟු බඳුන් සේ ය. බිඳුණොත් යළි තිබුණ තත්වයෙන් පිරියම් කළ හැකි නොවේ. වඩා ශක්තිමත් අලුත් තත්වයක් නිර්මාණය වීමට පිළිවන. නමුත් පරණ තිබූ තත්වය යළි කිසි සේත් ඇති කරගත හැකි නොවේ.

“සුදු පුතා…  එක්කෙනෙකුගෙ කතාව විතරක් අහනව කියල කියන්නෙ කවදාවත් අපිට සම්පූර්ණ කතාව තේරුං ගන්න බෑ කියන එකට. ඒ කතාව සම්පූර්ණ වෙන්නනං දෙන්නගෙම කතා අහන්න ඕනෙ. මොකද… එක්කෙනෙක් නොදන්න ගොඩක් දේවල් අනිත් කෙනාගෙ කතාව ඇතුළෙ තියෙන්න පුළුවන්. එක්කෙනෙක් නොදැකපු ගොඩක් පැති අනිත් කෙනාට පෙනිල තියෙන්න පුළුවන්. ඒක නිසා සුදු පුතා… ඔයා හිතන පැත්තෙන් හිතල අක්ක ගැන කලකිරීම් ඇති කරගන්නෙපා”

“එහෙම නෑ තාත්ති”

“අක්ක කියන්නෙ අම්ම කෙනෙක් වගේ ඔය තුන් දෙනාවම බලාගත්ත කෙනෙක්. පොඩි කාලෙ ඕගොල්ලො තුන් දෙනාගෙන් කවුරු හරි වරදක් කළත් මං බණියි කියල ඒ වරද එයා පිට පටෝගත්ත කෙනෙක් අක්ක. දැනටත් ඕගොල්ලොංගෙ අතින් වරදක් වුණත් ඒක වරදක් කියල බාරගන්න පුළුවන් හිතක් එයාට නෑ. මං ඒක හොඳටම තේරුං ගත්තෙ නිධී එක්ක සන්දේශ් දාගත්ත ප්‍රශ්නෙ වෙලාවෙ. එයා අක්ක වුණාට එයාගෙ පපුව අම්ම කෙනෙක්ගෙ සුදු පුතා. ඒකයි එයාට ඕනෙ ඕගොල්ලොන්ට හොඳම දේවල් ලැබෙනව බලන්න”

“ලොකූ කරපු හැම දෙයක් ම මං දන්නව තාත්ති. මට මැරෙනකල් අමතක වෙන්නෙත් නෑ. මං ඒ හැම දේටම ණයගැතියි. ඒත් මං හිතුවෙ නෑ තාත්ති… දවසක ඒ  දේවල් වලට මට ජීවිතෙන් වන්දි ගෙවන්න වෙයි කියල”

ඒ අන්තිම වාක්‍ය ඊ හිසක් සේ දුරේශ් ගේ පපුව තුළින් හදවත සිදුරු කරගෙන කිඳා බැස්සේ ය. ඔහු හිතුවාටත වැඩියෙන් අමාගී මෙය බරට ගෙන තිබේ. ඔහු බලාපොරොත්තු වූවාටත් වැඩියෙන් පුංචි දියණියගේ හිත තුවාල වී තිබේ!

“අපි කලබල වෙන්නැතුව බලමුකො ඒ ළමයත් කවුද කියල. එතකොට අක්කගෙ හිත රිදෙන්නෙත් නෑනෙ. ඒ ළමයව නොදැක කතා නොකරම අකමැති වෙනකොට අක්කත් කලබල වෙනව. හැබැයි ඒ ළමයව දැන අඳුනගෙන හේතු ඇතුව එයාට අකමැතියි කියන්න සුදු පුතාටත් අයිතිය තියනව. ඉවසීම තමයි පුතා වැදගත්ම දේ. අපි කැමති නැති ප්‍රශ්නයක් අපේ ඉස්සරහට ආවහම කලබල වෙලා තවත් අවුල් ඇති කරගන්නවට වැඩිය… ඉවසීමෙන් මූණ දිල හොඳ ප්‍රතිඵලයක් ලබාගන්න පුළුවන්. ඕගොල්ලොන්ගෙ පවුල් ජීවිත වලදි වුණත් ඒ පිළිවෙල හරිම වටිනව. දැන් කාලෙ ළමයි අපිටත් වැඩිය දේවල් දන්නව. හැබැයි ඉවසීම කියන දේ ඇත්තෙම නෑ. පවුල් කැඩිල බිඳිල යන්න ලොකුම හේතුව ඒක”

තාත්තා කියන්නේ නිකං ම වචනයක් නොවේ. කොහෙත් ම නාම පදයක් නම් නොවේ. තාත්තා වූ කලී පර්යාය පද නොවන ක්‍රියා සමූහයකි. දරුවෙකු ගේ උපතේ පටන් ඔහු සම්බන්ධ හැම සිදුවීමකදී ම ක්‍රියාවෙන් මැදිහත් වන්නට සිදු වන්නේ තාත්තා ට ය. අම්මා නැති ගෙදරක තාත්තා සම්පූර්ණ වගකීම බවට පත් වේ. දුරේශ් කියන්නේ එහෙම තාත්තා කෙනෙකි. පැටවුන් හතර දෙනා වට කොටගෙන ඔවුන් ට ජීවිතය කියා දෙමින් ඔවුන් සමග පරිණත වූ තාත්තා කෙනෙකි.

තාත්තා කීවා සේ කලබල නොවී ඉවසීමෙන් හා ස්ථානෝචිත ප්‍රඥාවෙන් කටයුතු කරන්නට අමාගී ද තීරණය කළා ය.

සති අන්තයේ දී ශාක්‍ය ගෙන් විශේෂ ඇරයුමක් ලැබිණ. ඒ මහානාම පවුලට සේ ම මල්වත්තගේ පවුලේ අයට රාත්‍රී භෝජනයක් සඳහා ය. ඔහු විසින්  බොජුන් හලක වෙනම කාමරයක් ඒ සඳහා වෙන් කොට ගනු ලැබ තිබිණ. එසේ ම ගෙවල් දෙකේ ම අයගේ ප්‍රවාහණ පහසුව සඳහා ඔහු මිතුරෙකු ගේ වෑන් රියක් ඉල්ලා ගෙන ද තිබිණ.

“ශාක්‍ය පුතාගෙ උපන් දිනේ එහෙම නෙවෙයි නේද… අනේ මන්දා හේතුවක් දන්නැති නිසා අපි තෑග්ගක් ගත්තෙත් නෑ”

දුරේශ් වෑන් රියට ගොඩ වූයේ එහෙම කියමිනි. මොහොතකට සිනහවක් ඉතිර ගියේ ය. සන්දේශ් ට ද ශාක්‍ය අමතක නොකොට ඇරයුම් කොට තිබූ අතර ඔහු ද යතුරුපැදිය ගෙදර දමා වෑන් රියෙහි පිරිස සමග ම එකතු වී සිටියේ ය. අමාගී ගේ හිතේ ගැස්මක් නො තිබුණා නොවේ. නමුත් ඇය සිදු වෙන්නට නියමිත ඕනෑ ම දේකට මූණ දෙන්නට හිත හදාගෙන සිටියා ය.

ඒ බොජුන් හල, ජපන් චිත්‍රපට වල දැක ඇති ආකාරයට රතු පාට විදුලි පහන් වලින් ආලෝකවත් කළ එකකි. ඔවුන් වෙනුවෙන් මේස කිහිපයක් එක් කොට දිගු මේසයක් සේ සැකසූ වෙනම කුඩා ශාලාවක ආසන පනවා තිබිණ. රතු නෙළුම් මල් කිහිපයක් දැමූ මැටි භාජනයක් මේසය මැද වූයේ ය.

“මේක වෙනස් වයිබ් එකක් තියන තැනක් නේ…”

රුසිරු වට පිට බලමින් කීවේ ය. ආයු අමාගි ගේ අතින් ඇදගෙන මේසය වටේ රවුම් ගැහුවේ ය. කොහොමටත් දෙගිඩියාවේ සිටි ඇගේ මුහුණේ වූ කැළඹීම නිසා ම ආර්ය ආයු ට සැර කොට ඔහු ගේ උකුල මත්තට ගත්තේ ය.

“මං මෙහෙම ඕගොල්ලො ඔක්කොටම එන්න කිව්වෙ… වැදගත් දෙයක් ගැන කතා කරන්න”

ශාක්‍ය එසේ කතාව ඇරඹූයේ කෑමට පෙර සුප් බඳුන් මේසයට පැමිණියාට පසුයි. අශ්විනී ගේ හදවත ‘දඩස්’ ගා ගැහිණ. ඇයට හිතුණේ ම මේ ආර්ය ගේ සැලසුමක් බවයි. නමුත් ශාක්‍ය ගේ ඊළඟ වාක්‍යයත් සමග ම ඒ අදහස හකුලා ගන්නට ඇයට සිදු විය. 

“සාන්වියි මායි අතරෙ සම්බන්දයක් ඇති වෙලා තියෙනව. ඒක එච්චර පරණ එකක්නං නෙවෙයි. අපි හිතනව අපිට එක ගමනක් යන්න පුළුවන් කියල. මෙහෙම සම්බන්දයක් ඇතුළෙ අපි අපිව එච්චරම අඳුරන්නෙ නැති වුණත්… ඉක්මනට මැරි කරල හෙමි හෙමිහිට අපි අපිව අඳුරගමු කියල අපි දෙන්නම එකඟ වෙලා ඉන්නෙ. ඔයාල දැන් හිතයි මැරි කරන්න කලබල වෙන්නෙ මොකටද කියල. ඒත් මං හිතනව ඒක එහෙම වෙන එක හොඳයි කියල. ඉතිං අපිට ඕගොල්ලොංගෙ අවසරයයි ආශිර්වාදයයි ඕනෙ. දුරේ අංකල් මට සාන්වි දෙන්න කැමතිනං…”

“මේගොල්ලො ඔක්කොම කතා කරගෙන තීරණේ කරගෙන දැන් අපෙන් අහනව. නැද්ද මහා…”

දුරේශ් ගේ ප්‍රතිචාරය ලැබෙන තුරු කෑම ශාලාව කෑලි කැපිය හැකි නිහඬතාවයක පැවතිණ. අමාගී ඈ අස අසුනේ හිඳ උන් සාන්වී ගේ උරහිස වටා දෑත ම දමා ඈ සිප ගත්තා ය.   

“මටවත් කිව්වෙ නෑ”

ඒ වූ කලී ආදරණීය නෝක්කාඩුවකි. සාන්වී හෙමිහිට ඇස් බිමට හැරවූවා ය. මණී නම් සතුටට ඇස් පිසදා ගත්තා ය.

“අනේ ඉතිං දුරේ කැමතිනං මටනං මේක අහල සන්තෝසෙ බෑ”

“මං මොකට අකමැති වෙනවද මණී… මං නොදන්න කොල්ලෙක්ද ශාක්‍ය… නොදන්න යක්කුන්ට වඩා දන්න යක්කු කොහොමත් හොඳයි කියනවනෙ”

“අනේ දුරේ බොරු කියන්නෙ මොකටද ළමයි පොඩි කාලෙත් මට හිතිල තියෙනව අපේ පවුල් දෙක මේ විදිහට හැමදාම බැඳිල තියෙන්න අපේ කොල්ලො තුන්දෙනෙක් දුරේගෙ කෙල්ලො තුන්දෙනාව බැන්දනං මොකද කියල”

මණී ගේ ඒ නිර්ව්‍යාජ කතාවට නම් කෑම කාමරය එක ම සිනහවකින් ගිගුම් දෙන්නට වූයේ ය.     

“නෑ මං කියන්නෙ… එහෙනං ඉතිං එක එක පැති වලට විසිරිල යන්නැතුව අපිට හැමදාම එක පවුලක් වගේ ඉන්න තිබුණනෙ. එහෙම වුන්නෑ තමයි ඉතිං. ලොකු පුතා නිධීව බැන්ද. ආශ් පුතා කසුන් එක්ක එන්ගේජ් වුණා. ඉතිං මේ එකෙක් දෙන්නෙක්හරි අපි අතරෙම ඉන්වනං… අනේ ඇත්තමයි මට අද හරිම සතුටුයි. දෙයියනේ එහෙනං අපේ පවුල් දෙක ඇත්තටම නෑදෑයො වුණා”

රුසිරු ගේ අඩ සිනහවේ ලියැවී තිබුණේ “ඒ නෑදෑකං තව ඉස්සරහට තව වැඩිවෙයි” වගේ කතාවකි. අමාගී ඔහු ගේ ඇස් වලට හසු වෙන්නේ නැතිව ම සිටියා ය. ඒ භෝජන සංග්‍රහය සැබවින් රස ගුලාවක් වූයේ ය. කාගේත් සිත් තුළ වූයේ සතුටකි. සාන්වී ගේ පෙම් සබඳකම බිඳ වැටීම මත ඈ ගැන හිත් බරකින් සිටි අශ්විනී ට පවා මේ සැනසෙන්නට හේතුවක් විය. ශාක්‍ය යනු ඔහු ගේ ම ව්‍යාපාරයක් කරගෙන යන තැනැත්තෙකි. ඔහු ට එය දියුණු කරගැනීමේ හැබෑ උවමනාවක් ඇති බව ද ඒ සඳහා උත්සාහ කරන බව ද සන්දේශ් දැන සිටියේ ය. සිය නැගණියක ගේ විවාහය සඳහා තරුණයෙකු තෝරා ගත්දී අයියා කෙනෙකු වශයෙන් හිස මත පැටවිය හැකි බරෙන් ශාක්‍ය සනදේශ් ව නිදහස් කොට තිබිණ. පවුල් දෙක එක පවුලක් වෙන්නට යන සතුට, බෝ රෑ බෝ වන තුරු ම ඔවුන් විසින් සමරනා ලදී. අශ්විනී ගේ විවාහය සිදු වන දිනයේ දී ම සාන්වී ගේ විවාහය ද සිදු කරන්නට ඒ අනුව එකඟතාවයකට පැමිණෙන ලදී.

“ඒත් කසුන් අයිය එහෙම කැමති වෙයිද…”

සාන්වී අශ්විනී ගේ සවනට මිමිණුවා ය.

“එයා අකමැති වෙන්නෑ. මාත් එහෙම ආසයි. සුදූත් එදාම මනමාලියෙක් වුණානං හරි  නේ තාත්ති…”

අමාගී ගේ ඇස් වහාම ආර්ය වෙත යොමු විය. එසැනෙන් බිම බැලුවේත් ඇය ම ය.

“නෑ. සුදූ ඔහොම හිටපුදෙන්. අපි ඉස්සෙල්ල ඔය දෙන්නගෙ වැඩේ කරල ඉමුකො”

දුරේශ් තීරණාත්මක පිළිතුර දුන්නේ ය. අමාගී ගේ දෙතොල් අතරේ සිනහවක් සරැලි නඟාගෙන ගියේ ය.

ඔවුන් යළි ගෙවල් වලට යන විට  මැදියම් රැය ද උදා වී තිබිණ. සන්දේශ් හෙල්මට් එක දමාගෙන යතුරු පැදියට නැගෙන්නට ගියේ ය.

“මේ මහ රෑ යන්නෝනෙ නෑ. ගෙදර නිදාගන්නව”     

දුරේශ් ගේ ඒ තීන්දුවත් එක්ක මොහොතකට සියලු දෙනා ගල් ගැසෙන්නට ඇත. කකුලක් පවා ඔසවාගෙන සිටි සන්දේශ් එය පහළ දමා හෙල්මට් එක ගලවා ගත්තේ ය. අමාගී දුරේශ් ව බදා ගත්තා ය.

“මගෙ හොඳ තාත්ති”

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles