දිලුම් මන්දාරම් අමතා නිම්නාවීගේ පණිවිඩය කීවේ, නිම්නාවී කිසිලෙසකින්වත් යලි ස්වර්ණා රැක බලා නොගනිමියි පැවසූ නිසාය. නිම්නාවී ඇගේ ජංගම දුරකතන අංකයද විසන්ධි කර දැම්මාය.
” අක්කේ… අඩුම තරමේ වුනේ මොකක්ද කියලාවත් මට කියලා ඉන්නවා…. අර මන්දාරම් මට දිගට හරහට කෝල් ගන්නවා .. උගේ යාලුවත් ගත්තා … එක වතාවක් ඔයාට ඇවිල්ලා යන්න කියන්නලු .. එක්කො ඉන්න තැනකට හරි එන්නම්ලු …”
රාත්‍රී එකොළහත් පසුවී තිබියදී දිලුම් නිම්නාවීගේ කාමරයට කඩා වැදුනේ එලෙස විමසමිනි. නිම්නාවී කිසිවක් නොපවසා ඇය උන් කල්පනාවෙන් මිදුණ බවක් පෙන්වමින් සන්සුන් වන්නට උත්සාහ කලාය. හඬා ඉදිමී තිබූ දෑස් දිලුම්ගෙන් සඟවාගන්නට අසාර්තක ලෙසින් වෙහෙසුණාය. එහෙත් දිලුම් උන්නේ අක්කාගේ හුස්මක් වුවත් හඳුනාගන්නට හැකි තරමින් ය.
” මොකකද වුනේ කියනවා අක්කා.. එහෙම නැත්නම් රෑ කියලා බලන්නේ නැතුව, මම ගිහිල්ලා මන්දාරම්ගේ කනට දෙකක් දීලා අහගෙන එන්නම් ඌ තමුසේට මොන මඟුලක්ද කලේ කියලා….”
එවර නිම්නාවී තිගැස්සී මෙන් දිලුම් දෙස බැලුවාය. දිලුම් ඉන්නේ සැබැවින්ම කෝපයෙන් බවට සැක නැත. ඔහු එහෙම කෝප සිදුවීම් විසඳන්නේ කොහොමදැයි අත්දැකීම්ද නිම්නාවීට නැතිවාම නොවේ.
” ඔයා පාඩුවේ ඉන්න.. ඔයාට අදාල නැහැනේ ….”
නිම්නාවී අක්කා කම ඉස්සර කරන්නට උත්සාහ කලාය. එහෙත් දිලුම් උන්නේ අක්කා ඉක්මවා යන සහෝදරකම්ක් එක්කය.
” ඌ ඔයාට මොකඛරි බලහත්කාරකමක් කරන්න ආවද ?.. එක්කෝ අර අනෙක් එකා …”
දිලුම් නිම්නාවී දෙස ඉතා විමසිලිමත් බැල් මක් හෙලමින් තුරුම්පු වඩා අවධානම් පිළිවෙලට විසි කරන්නට ගත්තේය. නිම්නාවී යක්කිනියක ලෙසින් දිලුම් වෙත කඩා පැන්නාය.
” පිස්සුද මල්ලි .. ඒ මිනිස්සු එහෙම මිනිස්සු නෙවෙයි ….”
දිලුම් ඉන් පසුව කිසිත් නොවිමසා නිම්නාවීටම කතා කරන්නට ඉඩ දී බලා සිටීමේ දෙවන තුරුම්පුවද විසි කලේය.නිම්නාවී එයට හසු නොවෙන්නට උත්සාහ කරමින් නිහඬවම උන්නාය.
” අක්කේ ….”
” එහෙම අවුලක් නැහැ.. මට ඇති හිතුනා.. දැන් ඒ ආන්ටිට ටිකක් සනීපයි … අනෙක දැන් මට එහෙමට ගිල්ටි ෆීලින් එක්කුත් නැහැ.. අනෙක් අතට, මන්දාරම්ලා ආන්ටිගේ ඇක්සිඩන්ට් එක ගැන එහෙමට හොයන පාටකුත් නැහැ දැන්… ඉතින් , මට ඇති කියන්නේ ඒකයි .. මට ගෙවල් වල වැඩකාරකම් කරන්න බැහැනේ හැමදාම ..පසන් ආවහම කොහොමටත් මේක කරන්න වෙන්නේ නැහැනේ.. එයා වෙඩින් එකේ වැඩවලට යන්න ඕනි කියලත් කිව්වා …”
නිම්නාවී තුන් හිතකවත් නොවූ යමක්ද අමුණා ඇගේ පැත්තෙන් වූ අවසන්, උපරිම නිදහස කරුණ දිලුම් වෙත ගසා දැම්මේය. එහෙත් දිලුම් උන්නේ එහෙමට ලෙහෙසියෙන් අක්කා පිළිගන්නට නොවේය.
” නිකන් බොරු කියන්න එපා අක්කේ .. ඔයාට මොකද්ද ඔච්චර හදිසි පසන්ව මැරි කරන්න ….?”
” එහෙම හදිසියක් නෙවෙයි .. මං කියන්නේ, කවදා කොහොම හරි ඒක වෙනවානේ …”
” අරූ තමුසේට මොකක් හරි කිව්වා නේද ?…”
” කවුද ?…”
” මන්දාරම් ?…”
” පිස්සුද මල්ලි … ගිහින් නිදාගන්නවා .. විකාර කියවන්න ආවා…”
” එතකොට මන්දාරම් තමුසේගෙන් කැමැත්ත ඇහුවේම නෑ?…”
දිලුම් උස් හඬින් විමසුවේය. නිම්නාවී තිගැස්ම පාලනය කරගෙන දිලුම් දෙස නොබලා උන්නාය. හද ගැස්ම දිලුම්ට ඇසේවියැයි ඇයට බියය. මල්ලී තමා නොහඳුනන්නෙකු නොවන බව නිම්නාවී දනී. ඔහුට එක්වරම තමා සිටින මානසිකත්වය හඳුනා ගන්නට නොහැකි වුවද. ඔහු කෙමෙන් කෙමෙන් තමා කියවාගන්නට සමතෙකු බව ඕ දනී.. මේ එහෙම වන පළමු, දෙවන අවස්තාව නොවේය. එලෙසින්ම සෙත්ගේ කඩි කුලප්පු කලබලය සහ නොසන්සුන්කම ඇතැම්විට මල්ලීට බොහෝ දේ වටහා ගන්නට ඉඩ දෙන්නටද ඇත.
” ශිට් ..අපරාදේ මේකට මල්ලිව ගාවගත්තේ … මට තිබ්බේ, කෙලින්ම මමම මේ ගැන කතාකරලා නවත්තන්න …. මම මෝඩ වැඩක් කලේ.. මේකෙන් වෙන්නේමල්ලි කෙලින්ම මේකට ඉන්වෝල්ව් වෙන එක … සෙත් වුනත්, මේකෙන් ලේසියෙන් මල්ලිට පැත්තකට වෙන්න දෙන එකක් නැහැ…. මේ යකා කාමරෙන් යන්නේත් නැහැ … “
නිම්නාවී අපහසුවෙන් එලෙසින් සිතුවාය. තම සිත තුල ඇති පීඩනාය් සහ කැළැඹීම නිම්නාවී සඟවා ඉන්නේ අපහසුවෙනි. සෙත් වර්ණකුල නම් ලෙසින් වන තරුණයාට තමා කෙතරම් පෙම් කරනවාදැයි නිම්නාවී දනී. ඔහු වෙනුවෙන් ගෙවුණු වසර එකොළහ පුරාවටම තමා පිරූ ආශිර්වාද ප්‍රාර්තනා කෙරෙහි විශ්වයේ අවධානය යොමුව ඇති බවද ඇයට සැක නැත. එතෙකින් නොනැවතී විශ්වය තමා වෙනුවෙන් තවත් යමක් කරන්නට නොපැකිලී ඉදිරිපත්ව ඇති බව ඇයට විශ්වාසය. එසේ නැතිනම්, අනපේක්ෂිත අනතුරකින් ඇරඹී සියල්ල මේ ලෙසින් සිදුවන්නේ නැත. තමා ගනනකටවත් නොගෙන උන් ස්වර්ණාගේ එකම පුතා තමා දෙස එතරම් ප්‍රේමයකින් බලා සිත අවුලවන්නේද නැත.
නිම්නාවීට හෙලුණු සුසුම හෙලුනේ ඉබේටමය. ඇයටද නොදැනීමය. එහෙත් දිලුම් උන්නේ අවධානයෙනි. මන්දාරම්ගේ කලබලය පසුපස ඔහු බොහෝ දෑ ගලපාගෙන උන්නේය.
” ආහ් අක්කා…”
නිම්නාවී ඉතා කලබලයෙන් දිලුම් දෙස බැලුවාය. වූ කල්පනාව නිසා දිලුම් එහි ඉන්නවාය වගක්වත් නොවූ බව සිහිපත් වූවාය.
” ඇයි ?…”
” මන්දාරම් තමුසේගෙන් කැමැත්ත අහලාද ?…”
” තමුසේගේ වැඩක් බලාගන්න බැරිද මල්ලී ?.. මොන විකාරයක්ද මේ… ඔයා ඔය කියවිල්ල නැවැත්තුවේ නැත්නම් එහෙම මම පසන්ට කියනවා…”
දිලුම් සරදම් සිනහවක් පාමින් නිම්නාවීගේ සයනයේ පසෙක හිඳගත්තේය. සියල්ල ඉතා ඉක්මනින් පැහැදිලි වන බව ඔහුට විශ්වාසය.
” පසන්ට … ඇයි පසන්ට කියලා ඔයා මට මොකක් කරන්නද ?.. ඔච්චර විශ්වාස නම් කියලා කරවනවකෝ බලන්න මට …”
දිලුම් නිම්නාවී ගොලු කරවමින් කීවේය. ඇයගේ සිත කියවාගන්නට නම්, ඕ ඉක්මවා යන තත්වයක් නිර්මාණය කල ගත යුතු බව දිලුම් වටහාගෙන උන්නේය.
” අනේ ඇයි මල්ලී ?…”
” හරි අමරුවෙන් ජීවිතේට හොඳ දෙයක් වෙන්න යනකොට උඩ පැනලා ඒක වෙන පැත්තකට විසි කරලා දන්න සූදානම් වෙන්නෙපා අක්කේ.. අඩුම තරමේ පොඩ්ඩක් සන්සුන් වෙලා, මොකක්ද මේ වෙන්න යන්නේ හිතලා, ඒ වෙනස අත්දැකීමක් විදියට හරි විඳගෙන බලන්න ….. ඔයාට ජීවිතේ එපාම වෙච්ච දාක, ජීවිතේ වෙනුවෙන් ඔයා මෙච්චර දේවල් කලා කියන සැණසීමවත් නැතිව යනවා ඔයාට ඔය කරන දේවල් නිසා..”
” මට පාඩුවේ ඉන්න දෙනවා මල්ලී .. මට හොඳ දේවල් ඕනි නෑ ජීවිතේට.. දැනටම මට වෙන්න තියෙන ඔක්කොම නරක දේවල් වෙලා තියෙන්නේ…”
“පේන බලන්නේ නැතුව, අර මන්දාරම් කාරයා එක්ක පොඩ්ඩක් කතා කරනවා අක්කේ…. ඔයාට එහෙ යන්න බැරි නම් ඒක හා … ඒ වුනාට අරූගේ අර යක් කුලප්පුවට පොඩි නිවීමක් දෙනවා හලෝ ඌට කතා කරලා…”
දිලුම් එතරම් සැහැල්ලුවක් මවාගෙන කීවේය.
නිම්නාවී හිස පසෙකට ඇල කරගෙන දිලුම් පවසන්නේ කුමක්දැයි නොවැටහෙන බව ඇඟවූවාය.
ReplyForwardAdd reaction |