fbpx

විශ්වාසය

අංජන කාර්‍යාලයට යන්න ලෑස්ති වුණේ ටිකක් ප්‍රමාද වෙලා. දසුනි කුස්සියෙ උයන හඬ අංජනට ඇහුනා. කීප වරක්ම දසුනිගේ දුරකතනය නාද වන හඬත් දසුනි හෙමින් හෙමින් කතා කරන හඬත් අංජනට ඇහුණා.

” දසුනි ? කෑම එක හරිද ? “

” අනේ අංජන තව විනාඩි පහක් දෙන්නකෝ “

” දැනටමත් පරක්කු වෙලානෙ තියෙන්නෙ . ඔය කියන දෙයක් එක්ක ඉක්මණට දෙන්න දසුනි “

දසුනි ලහි ලහියේම අංජන ගේ බත් පාර්සලේ ලෑස්ති කලා. ඒ අතරේ අංජන ගේ ඇහැ ගියේ කුස්සියේ මේසය උඩ තිබුණ දසුනිගේ දුරකථනය දිහාවට

” මේක රිං වෙනවා මට උදේ ඉඳන් ඇහුණා. කවුද උදේ පාන්දරම කෝල් කරේ ? “

” ක.. කවුරුත් නෑ “

” නැත්තෙ කොහෙද මට ඇහුණා නේ ? “

එහෙම කියාගෙන අංජන දසුනිගේ දුරකථනය අතට ගත්තා. එතකොටම අංජන ගේ සාක්කුවෙ තිබුණ ඔහුගේ දුරකථනය නාද උනා. ඇමතුම ආවේ කාර්යාලයෙන් .

” අනූ නමයෙන් මම අද බේරුනේ මලිත්. තව පොඩ්ඩෙන් අංජනට අහු වෙනවා . වෙලාවට එයාට ඔෆිස් එකෙන් කෝල් එකක් ආවා පරක්කු වෙලා තිබුන නිසා එයා ගියා “

” ඉතිං දසුනි ඔයා මගෙන් ආව කෝල් ඩිලීට් කරේ නැද්ද ?”

” මම උදේ උයන ගමන් නේ හිටියේ . ඒ කලබලේ මට ඒක අමතක උනා “

දසුනිත් අංජනත් විවාහ වෙලා ඒ වෙනකොට ගත වෙලා තිබුනේ අවුරුද්දකට වැඩි කාලයක් විතර‍යි . අවුරුදු හතරක් තිබුන ආදර සම්බන්ධයක ප්‍රතිඵලයක් විදිහට ඔවුන්ගේ විවාහය සිද්ධ වුණා. ඉඳහිට පොඩි පොඩි විරසක වීම් ඇති වුණත් දෙන්නා බොහොම ආදරයෙන් ජීවත් වුණා. අංජන පෞද්ගලික ආයතනයක වැඩ කරන අතරේ දසුනි ගෙදරට වෙලා වෙබ් අඩවි කීපයක වැඩ කරමින් මුදල් ඉපයීම කළා

දවසක් හදිසියේම අංජන පුරුදු වෙලාවට කලින් ගෙදර ආවා.දවල් ඉඳලා තිබුණ හිස කැක්කුම නිසා අංජන නිවාඩුවක් දැම්මෙ ගෙදර යන්න හිතාගෙනමයි . ගේට්ටුව අගුලු දාල තිබුනෙ නැති උනත් ගෙදර දොර අගුලු දාලා තියෙනවා කියලා අංජන ඈත තියාම දැක්කා. දසුනිගේ දුරකථනයට කීප වරක් ඇමතුවත් දසුනි ඒ ඇමතුම් එකකට වත් ප්‍රතිචාර දැක්වුයේ නැහැ

වැරැන්ඩා එකේ තියෙන පුටුවකින් වාඩි වුණ අංජන ඇස් පියා ගත්තා. කෝපයේ ගිනි දැල් හිත යට දැල්වෙනවා අංජනට දැනෙද්දි තමන්ටත් නොකියා දසුනි කොහේ ගියාද කියල හිතාගන්න අංජනට බැරි වුණා. දෑස් පියාගෙන හිටපු අංජනට නින්ද ගිහින් තිබුනා.ඔහු ඇහැරුනේ ගේට්ටුව අරින හඬින් . දසුනි ඉක්මන් ගමනින් දකිද්දිම අංජන ගේ කෝපය ඇවිස්සුනා

” තමුසෙ කොහෙද මටත් නොකියාම ගියේ ? “

” අ..අනේ අංජන.. මේ.. මම යාලුවෙක් හම්බ වෙන්න ගියා “

” මට කියල ගියේ නැත්තෙ මොකද ? ඒ කියන්නේ තමුසෙ වෙනදටත් මම ඔෆිස් ගියාම එහෙ මෙහෙ රවුම් ගහනවා ද ? “

” න්.. නෑ අංජන.. මම මෙ අද ගියේ මේ.. “

දසුනිගේ වචන පැටලුනා.

” එතකොට ෆෝන් එක ආන්සර් කරේ නැත්තෙ ?”

” ම.. මට ඇහුනෙ නෑ “

දසුනි ඉක්මනින්ම අත්බෑගයේ තිබුන ගෙදර යතුර අරගෙන දොර ඇරලා ගේ ඇතුලට ආවා . තවමත් නොනිවුණ කෝපයෙන් අංජන නිදන කාමරයට ආවා

” ඊයේ පෙරේදා ඉඳල තමුසේ මොකක් හරි නාඩගමක් නටනව කියල නම් මට තේරෙනවා දසුනි හොඳටම “

” මොනවද අංජන ඔයා මේ කියන්නේ ? මම ගියේ මගේ ඉස්කෝලේ යාලුවෙක් හම්බවෙන්න .හදිස්සියේ ගිය නිසා ඔයාට කියන්න මට අමතක උනා . ඕක ඔච්චර තරහ ගන්න දෙයක් නෙමෙයිනේ “

” කෝ තමුසෙගෙ ෆෝන් එක දෙනවා මෙහාට ? “

” මොකටද ෆෝන් එක ? මම ඔයාගේ ෆෝන් එක බලන්නේ නැහැනේ ? “

දසුනිගේ වචන වෙනදාට වඩා අමුතු වුණත් ඒවා හරිම සන්සුන් වුණා. දසුනිගේ මේ අමුතු හැසිරීම් ගැන නිගමනයකට එන්න අංජනට බැරි වුණා. ආදරය කරන කාලෙදි වත් දසුනි ගෙ ෆෝන් එක පරික්ෂා කළේ නැති නිසා අංජන නිහඬ වුණා

දසුනි හීන් හඬින් සිංදුවක් මුමුණමින් නාන කාමරේට ගියා

” මෙච්චර දෙයක් වෙලත් මේ ගෑණිට ගානක් නැති හැටි “

අංජන හිතුවේ එහෙම.

ඉක්මනින් රෑට කෑම ලෑස්ති කරපු දසුනි කිසිවක් නොවුන ගානට අංජන එක්ක වාඩිවෙලා කෑම කෑවා. ඊට පස්සේ ලැප්ටොප් එකට මූන ඔබාගත්ත දසුනි ඒකෙන් ඇස් අහකට ගත්තෙම නැහැ.

” මොකෙක් හරි එක්ක චැට් කරනවද දන්නේ නෑ.වෙලාව ආවහම මම අතටම අල්ල ගන්නම්කෝ “

අංජන කෝපයෙන් දත්මිටි කමින් හිතුවා. කවදාවත්ම දසුනිව සැක කරපු නැති අංජනට දසුනි ගැන තිබුන සැකය එන්න එන්නම වැඩි වුණා

” අංජන. අද මම දිලිනි එක්ක පොඩ්ඩක් එළියට යනවා. එයාගේ වෙඩින් එකට ඕන බඩු වගයක් ගන්න “

” දිලිනි කිව්වේ අර අපේ වෙඩින් එකට ආව දිලිනි ද ?”

” ඔව් එයා තමයි . ඔන්න මම අද කියලමයි යන්නේ හොඳද “

ඒ විදිහට දවසින් දවස දසුනිට එක එක විදිහේ ගමන් යෙදුනා. හොරෙන් හොරෙන් කෙරෙන දුරකථන සංවාද පවා අංජන ඉවසාගෙන හිටියා.

” දසුනි ? අද දවස ඔයාට මතකද ? “

” අද ? අද අඟහරුවාදා “

” ඒක නෙමෙයි. අද දවස මොකක්ද කියලා ඔයාට මතක නැද්ද ? “

” මොකද්ද ? “

” අද අපේ දෙවෙනි වෙඩින් ඇනිවසරි එක කියලා ඔයාට මතක නැද්ද එතකොට ? “

” අ..අනේ අංජන.. මට අමතක උනානේ.. මේ වැඩත් එක්ක. අනේ සොරි අංජන “

” අනේ මේ මම නොදන්නවද තමුසෙට තියෙන වැඩ. wedding anniversary එකවත් මතක නැති ගෑනියෙක්වනේ මම බැඳලා තියෙන්නේ “

අංජන කෝපයෙන් පිපිරෙන ගමන් ගෙදරින් පිටත් වුණා. කාර්යාලයේ දී ත් ඔහුගේ හිතට එකලාසයක් තිබුණෙ නැහැ. පුරාම ඔහුට මතක් උනේ පහුගිය ටිකේම දැක්ක දසුනිගේ වෙනස් හැසිරීම සහ විවාහ සංවත්සරය අමතක කිරීමයි. වෙනදාටත් වඩා පරක්කු වෙලා ගෙදර යන්න හිතපු අංජන කාර්යාල වේලාවෙන් පසුවත් කාර්යාලයටම වෙලා හිටියා.

” අංජන. උඹ බිසීද ? “

අංජන කැරැකෙන පුටුවේ වාඩිවෙලා කල්පනා කර කර ඉන්න අතරේ කාර්යාලයේ මිතුරෙක් වුන සාගර ආවා

” නෑ බන් ඇයි ?”

” කාලෙකින් සෙට් උනේ නැති එකේ අද පොඩ්ඩක් සෙට් වෙමුද ?”

සාගරගේ යෝජනාවට අංජන එක පයින්ම කැමැති වුණේ හිතේ තියෙන වේදනාව දිය කරලා හරින්න මේක හොඳම අවස්ථාවක් කියලා හිතලයි.

” මම දන්නවා මරු ප්ලේස් එකක් එතනට යමු . මම වාහනේ ගන්නද ? “

සාගර රියදුරු අසුනේ ඉඩ දීපු අංජන අනෙක් අසුනට ගොඩවුණා. ගාලුපාර දිගේ වාහනය පදවගෙන ගිහින් සාගර වාහනය නතර කළේ සුඛෝපභෝගී හෝටලයක අසලයි. දසුනිටවත් නොකියා ආව ගමන ගැන අංජන ටිකක්වත් පසුතැවුණේ නැහැ.හෝටලයට ඇතුල්වෙලා සාගරගේ පස්සෙන් ඇවිදගෙන ගියපු අංජන සාගර ඇරපු දොරකින් ඇතුළු වුණා

” සප්‍රායිස්ස්ස්ස් “

එකවරම පිරිසක් කෑගහන හඬින් අංජන තිගැස්සුණා. පුංචි ශාලාවක් පිරෙන්න අංජනගේ හිත මිත්‍රයන් බොහෝ දෙනකුත් , අංජන ගේ දෙමාපියන් වගේම දසුනිගේ දෙමව්පියනුත් සිනාමුසු මුහුණින් හිටියා.

දෙවන විවාහ සංවත්සරය වෙනුවෙන් අංජනව සතුටු කරන්න දසුනි සාදයක් ලෑස්ති කරලා තිබුනේ අංජනව පුදුම කරන්නයි. කිසිම අඩුපාඩුවක් නැතිව සූදානම් කරලා තිබුන සාදයේදී අංජන ගොඩක්ම සතුටු වුණේ විවාහ දිනයේන් පස්සේ මුණගැහුණු නැති ගොඩක් හිතමිතුරන් සාදයේදී මුණ ගැහුණු නිසයි .

සාදය ඉවර වෙලා ගෙදර එනකොට කියාගන්නේ මොනවද කියලා හිතාගන්න බැරුව අංජන නිරුත්තර වෙලා හිටියා. ඒත් දසුනි ඒ නිහඬතාවය බින්දා

” මට ගොඩක් දේවල් වලට උදව් කළේ ඔයාගේ හොඳම යාළුවා මලිත් “

පහුගිය දිනවල තමන්ට නිතර නිතර ආව දුරකතන ඇමතුම් ගැනත් , අංජනට හොරෙන් ගිය ගමන් ගැනත් වගේම සාදයේ අනිත් හැම දේම තමනදේම තමන් තනිවම සැලසුම්කල විදිහත් දසුනි අංජනට කිව්වා.

නිකරුනේ දසුනි ව සැක කරපු එක ගැන අංජනට තමන් ගැනම ඇතිවුනේ ලැජ්ජාවක් . තමන්ගේ සතුට ගැන හිතලා තමන්ව පුදුම කරන්න ආදරණීය බිරිඳක් හැටියට දසුනේ මේ කරපු දේ අංජනගේ හිතේ තදින්ම තැන්පත් වුණා .

” ඔයා හිතුවා නේද මට වෙන කවුරුහරි ඉන්නවා කියලා ? “

දසුනි කට කොණකට හිනාවක් නගාගෙන එහෙම අහනකොට අංජන ගාලු පාර අයිනෙන් වාහනය නතර කළා

” සැකය කියන්නේ අපි අපේ ජීවිත වලට ගාවගන්න ඕන දෙයක් නෙමෙයි අංජන.අපි අතර තියෙන්න ඕන ලොකුම දේ තමයි විශ්වාසය “

අංජනට මගහැරුනු දෙයක් දසුනි ආදරයෙන් ඔහුට මතක් කරලා දුන්නා

More Stories

Popular

Don't Miss




Latest Articles

error:
0
Would love your thoughts, please comment.x
()
x