රන් මල් දම් – 43

” එනවා කියලා කලින් කිව්වෙ වත් නැහැනේ?” 

“එකපාරටම හිතිලා ආවා…නොකියාපු එකෙන් කරදරයක් උනාද?”

“පිස්සුද බං එහෙම දෙයක් නෙවෙයි කිව්වේ. උඹ කියල ආවනම් මං මගට උඹව ගන්න හරි එනවා…”

“මගේ ඔලුව නිදහසේ තිබුණේ නැහැ ….වාහනේ අරන් එළියට බැස්සට දිගටම වාහනය ඩ්‍රයිව් කරන මූඩ් එකක් නොතිබුණ නිසා   මම වාහන යාළුවෙක් ගෙදර දාලා කැබ් දාගෙන තමයි එහෙ මෙහේ ගියේ…”

” ඒ කියන්නේ  මේ දවස් ටිකේ ගෙදර නෙවේද හිටියේ?”

” නැහැ මං එළියට ගියා …එකපාරටම උනේ මොකක්ද කියලා මටත් හිතාගන්න බැහැ… ටිකක් පාඩුවේ ඉඳලා කල්පනා කරන්නයි ඕනි වුනේ…”

” අපි කතා කරමු බං …හවසට මගේ  යාළුවෙක් එනවා මාව මුණගැහෙන්න පොඩි වැඩකට…ඌ ඇවිල්ල ගියාට පස්සේ අපි රෑට ඇති තරම් කතා කරමු මේ ප්‍රශ්නේ…. අපි දෙන්නම ඉන්න එකම බෝට්ටුවේ එකම තැන කියලා කිසිම සැකයක් නෑ…

ඒත් අපි අපේ අම්මගේ තාත්තගේ ජීවිත වල ඉස්සරහ ටිකත් අපි වෙනුවෙන්ම කැප වෙලා තියෙන්න ඕනේ කියලා නොහිතා ඉමු  බං …අපිට දැන් අපේ ජීවිත තනියෙන් හදාගන්න පුළුවන්.. ඒ වගේම අම්මා , උඹේ තාත්තාවෙනුවෙන් එයාගේ ජීවිතේහදන්නත්  පුලුවන් . ඒ දෙන්නා බලාපොරොත්තු බලාපොරොත්තු වෙන ජීවිතයක් හදාගන්න උඹට කරන්න පුළුවන් දෙයක්  තියෙනවා නම් ඒ වගේ සිය දහස් වාරයක දෙයක් කරන්න මම ලැස්තියි…

මන්දාරම් ඉතා විශ්වාසයෙන් පවසද්දී ජිනේන්ද්‍ර  සැළුවේය

දිලුම් පැමිණි බව දැනගත් චානක කෙට්ටුව විවෘත කර දිළුම්ව නිවස තුළට නිවස තුළට පැමිණෙන්නට ආරාධනා කළේය.  ශානක සමග කෙටි කතාබහක නියැලෙන අතරතුරේ නිවසේ දොරින් ඇතුළු වූ  දිලුම් සාලයේ මන්දාරම් සමගින් කතා කරමින් සිටින්නේ කවුරුන්දැයි දැක එක්වරම කිසිවක් සිතා ගන්නට නොහැකිව මෙන් ගල් ගැසුණේය.

දිලුම් පැමිණි බව දුටු මන්දාරාම් වහා අසුනෙන් නැගිට දිලුම් වෙත පැමිණ ඔහු වැළඳ ගෙන  පිළිගත්තේය. එවේලෙහි දිලුම්ව දැක හඳුනාගත් ජිනේන්ද්‍ර ද  කුමක් සිදුවන්නේදැයි සිතාගත නොහැකිව තත්පරයක් වික්‍ෂිප්තව බලා උන්නේය.  දෙදෙනාට දෙදෙනා යම් විමතියකට පත් වූ බව දුටුවේ චානක පමණි. මන්දාරම් එවෙලේ උන්නේ එවැනි සියුම් දෑ නොපෙනෙන  මානසිකත්වයකය.

චානක දිගින් දිගටම දෙදෙනා දෙසම විමසිල්ලෙන් බලා උන්නේය.

” ඩොක්ට දිලුම්  මේ ජිනේන්ද්‍ර ….මගෙ අයියා….”

මන්දාරම් එලෙසින් පවසද්දී දිලුම්ගේ හිස ගිනි ගත්තේය. මේ  සහෝදරකම කවදා කොහොම කොහෙන් මතුවූවක් දැයි එක්වරම දිලුම්ට සිතාගන්නට හැකි වුවේ නැත.

” අයියේ මේ  ඩොක්ට දිලුම්… අපේ අම්මා බලාගන්න නර්ස්  කෙනෙක්ව සෙට් කරලා දීලා මාර සපෝර්ට් එකක් දුන්නේ.. දැන් මේ ඒ නර  හදිසියේම  රිසයින් වෙන්නෝනි කියලා  මේ පොඩි ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඒ ගැන චුට්ටක් කතා කරගන්න ඩොක්ටර් අද ආවේ…” 

මන්දාරම් එලෙසින් පවසද්දී ජිනේන්ද්‍ර හිස සැලුවේය. එසේ නම් නිම්නාවී අතින්  වූ වරද තමාට හැකි පමණින් නිවැරදි කරන්නට  සිතමින්  දිලුම්  තවම  ඒ ගැන සොයමින් සිටින බව වටහාගෙන , නිම්නාවි අතින් තම මවට වූ අසාධාරණය වෙනුවෙන් ඇයට දඬුවමක් දෙමියි වූ සිතුවිල්ල යටපත් වෙන්නට දුන්නේය. සැනින් නිම්නාවී නිසා තමාට අහිම්වී  ගිය වස්සානයද සිහි විය. ඇයට යම් පලිගැනීමක් උරුම විය නොයුත්තේ ඇයි දැයි කල්පනා කලේය. 

ජිනේන්ද්‍ර  කල්පනාව බිඳ වැටුණේ මන්දාරම් දිලුම් සමඟ විත් සාලයෙන් හිඳගත් නිසාය. ඔහු දිලුම් දෙස බලා සන්සුන් වීම සඳහා වන ඉඟියක් දුන්නේය. 

 ඊළඟ තත්පරයේ මන්දාරම්ගේ මුවින් නිම්නාවීගේ නම පිටවනවාත් සමගම ජිනේන්ද්‍ර  පත්වන්නේ කිනම් කලබලකටදැයි දැන සිටි දිලුම් උන්නේ ඉතාමත් නොසන්සුන් කමිනි.  එනිසාම ජිනේන්ද්‍ර පෑ ඉඟියට එතරම් සාර්ථක ලෙසින් ප්‍රතිචාර දක්වන්නට දිලුම්ට හැකි වූයේ නැත. ඒ  නොසන්සුන්කම මන්දාරම්ට නොවැටහුනා  වුවද,  චානක එය  වටහා ගත්තේය. චානක උන්නේම සැලකිල්ලෙනි. 

” දැන් මොකද්ද ඩොක්ටර් දිලුම් නිම්නාවී කියන්නේ,? එයාව කන්ටැක් කරගන්න පුලුවන් වුනාද ?”

දිලුම් සිතූ පරිදිම, බෝම්බය පුපුරා ගියේය. ඔහු වහා කෙටි පණිවිඩයක් ගැලපුවේය.

” උඹට ඔක්කොම කියන්නම් ජිනා… සද්ද වහලා හිටහං…”

ජිනේන්ද්‍ර ඒ කෙටි පණිවිඩය බලා දිලුම් දෙස බලා හිස සැලූ අයුරුද, චානකගේ තීක්ෂණාත්මට දෑසට හසු වූයේය. 

” මේ මොකක්ද මේ වෙන්නේ ?…”

චානක තමාගෙන්ම විමසා ගත්තේය. යළි ජිනේන්ද්‍ර සහ දිලුම් දෙසම බලා උන්නේය.

“කන්ටැක් කරගන්න බැරි වුනා… ගමේ ගිහිල්ලත් නෑ… මගේ යාලුවාත් ඕවර් සීස් ඉන්නේ… ඌ එක්ක කන්ටැක් එකක් හදාගන්නත් බෑ ලේසියෙන් ….”

“ඉතින් මේක හරි අමුතුයිනේ ඩොක්ටර් … අඩුම තරමේ අපි පොලිස් රිපෝර්ට් එකක්වත් නැතුව නිම්නාවීව නවත්තගත්තේ,ඩොක්ටර්ව විශ්වාස කරලා….එතකොට මෙතන ප්‍රශ්නයක් තියෙනවානේ ඩොක්ටර්… “

චානක මන්දාරම්ට ඉස්සර වූයේය. කුමක් හෝ සිදුවන බවට ඔහුට සැක නැත 

දිලුම් එය පිළිගන්නට සූදානම් බව අඟවමින් හිස සැලුවේය

“මං මේ වගකීමෙන් මගහරින හදනවා නෙමෙයි …..ඒත් ඊයේ ප්‍රශ්නෙ වෙනකල්ම නිම්නාවී කිසි ප්‍රශ්නයක් නැතුව මෙහෙ වැඩ කරගෙන හිටියා නේ…. මට හිතෙන්නේ මන්දාරම් කියපු කතාවත් එක්කම නිම්නාවි ට තව මොකක් හරි බලපෑමක්  ඇති….. ඒ නිසා තමයි නව එකපාරටම වැඩ නවත්තන්න ඕනි කියලා කියන්නේ….. එහෙම නැතුව එයා කිසි ප්‍රශ්නයක් හැදුවේ නැහැනේ….”

“මන්දාරම් නිම්නාවිට කැමතියි කියලා කිව්වා මිසක් නිම්නාවීව බලෙන් උස්සන් යන්නවත්, එහෙම දෙයක් කරන්නවත්  හැදුවේ නැහැනේ ඩොක්ටර් …. ඉතින් ඒ නිසා ඒ ගැන තමන්ගේ අදහස කියලා , මන්දාරම්ට ඒක තේරුම් ගන්න ඉඩදීලා  පැහැදිලිව මෙතනින් අයින් වෙන්න පුළුවන්නේ…… මන්දාරම් කල යෝජනාවට  හරියට පිළිතුරක්වත් දෙන්නේ නැතුව මෙහෙම එකපාරටම දමල ගහන යන එක  නෙවෙයි නේ වැඩේ…”

චානක යළි පවසද්දී ජිනේන්ද්‍ර තවත් දෑ වටහාගත්තේය. එලෙස නම්, නිම්නාවී තම සොයුරාගේ ජීවිතය සමඟද  සෙල්ලම් කරන්නට ගෙන ඇත. විවාහ වන්නට කෝටිපති සෙල්ලකාරයකු සිටියදී තම සොයුරා සමඟද යම් සම්බන්ධතාවයක් ගෙන ගොස් ඇතිද ? 

ලේ බැඳීමේ හයිය ජිනේන්ද්‍ර ට තදින් දැනුණි. එහෙත් ඔහු දිලුම් වෙනුවෙන් ඉවසුවේය.කුඩා එකෙකු වුවද, ජීවිතය අල්ලා සිටින්නට ඔහු මහා සවියක් වූ බව සිහි කලේය. 

” මෙහෙමනේ චානක, නිම්නාවී මෙහෙ ආවේ ස්වර්ණා ආන්ටිගේ උදව්වට … නේ ? එහෙම එකේ එකපාරට මෙහෙම දෙයක් වුනාම නිම්නාවී කලබල වුනා වෙන්නත් පුලුවන් …”

තමා සූදානමින් ආවේ අක්කා වෙනුවෙන් මන්දාරම් සමඟ යම් කතිකාවතකට වුවද, මෙවෙලෙහි එයට  ඉස්සර නොවී සැඟවී පලායෑම දිලුම් තෝරාගත්තේය. 

” මේකයි ඩොක්ටර්..ඔය කතාවලින් ඔයයි, නිම්නාවියි මෙතන  කරපු  ඩ්‍රාමා එක නම් වහන්න අමාරු වෙයි … මම මුල ඉඳන්ම ඇලර්‍ය් එකේ උන්නේ…”

චානක එලෙසින් පවසද්දී දිලුම්ගේ දෙසවන් රත්ව ගියේය. 

“මට තේරෙන්නේ නෑ, චානක කියන දේ…?”

“ඒක තේරෙන්න නම්, ඩොක්ටර් නිම්නාවී ගැන හංගගෙන ඉන්න කාරණා ටික කියන්න ඕනි … එතකොට, තේරෙනවා..”

මන්දාරම් චානක නැවැත්වීමට උත්සාහ කලද, චානක නැවතුණේ නැත. ඔහු උන්නේ මෙහි සැඟවී තිබූ යමක් සොයාගැනීමේ අදිටනින්මය.

” මන්දාරම්… මම නිම්නාවීව කොහෙන් හරි හොයාගෙන හෙට එක්කගෙන එන්නම්.. ඒ ආවම ඔය ප්‍රශ්න එයා එක්ක විසඳගන්න.. මම මේ අදාල නැති වැඩකර උදව් කරන්න ගිහින් අනුන්ගේ කුණු මගේ කරේ දාගන්න ඕනි නෑ මට….”

දිලුම් එවර වඩා ඉහළ ස්වරයකට, දුරස් පෞරුෂයක් ආඪ්‍ය කරගත්තේය. මන්දාරම් දිලුම්ව අස්වසන්නට උත්සාහ කලේය.චානක සහ ජිනේන්ද්‍ර ගේ ඇස් කලබල මොහොතේම එකට ගැටුණේය.

අපේක්ෂා ගුණරත්න.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles