එකම එක හාදුවක් – 29

0
4869

ගැහෙමින් තිබ්බේ ඇඟ ද හිත ද එහෙමත් නැත්තම් ඒ දෙකමද කියා හිතාගන්න බැරුව ශාර්වරී නෙවින් දිහාවම එක එල්ලේ බලාගෙන උන්නේය.

“තමන්ගෙ මනුස්සයා පිරිමි අයටත් කැමතියි කියලා දැනගත්තම ගෑණියෙක්ගෙ හිතට දැනෙන දුකට වඩා වැඩියි තමන්ගෙ මනුස්සයා වෙන ගෑණියෙක්ට කැමතියි කියලා දැනගන්න එක. මොකෝ තමන්ගෙ පිරිමියට වෙන පිරිමියෙක් ඉන්නව කියන එකට වඩා ගෑණියෙක්ට දුක හිතෙනව තමන්ගෙ මනුස්සය වෙන ගෑණියෙක්ව තෝරගෙන තමන්ව දෙවනි තැනට දැම්මා කියන හැඟීම. වෙන පිරිමියෙක් ළඟදිත් කොහොමත් තමන් නම් ඉන්න එකම ගෑණි නිතරඟයෙන්ම ලැබෙනවනෙ පළවෙනි” තැන කියත් තමන් පහුගිය දවස්වල හිතුවේ නෙවින් ඇත්තටම පිරිමි අයටත් කැමති නම් කොහොමහරි ආදරේ නිසාවෙන්ම හෝ හිත හදාගන්න හිතාගෙනය. ඒ උනාට තනියෙන් ඉද්දි කල්පනා වෙන “වෙන්න මෙහෙම උනා නම් කොහොමද?” කියා හිතනවට වඩා ඇත්තටම ඒක වෙද්දි මූණ දෙන්න අමාරු බව ශාර්වරීටත් තේරුණේ මෙන්න මේ වෙලාවේය.

කොච්චර හිත අස්සෙන් “නෙවින් කාට කැමති උනත්, මොන ජාතියේ මනුස්සයෙක් වුණත් මම එයාට ආදරෙයි” කියා හිතුවාට නෙවින් කිසිම වෙලාවක “නෑ ඔයා එහෙම අහපු එක වැරදි නෑ. අනික ඒ කියපු කතාව බොරුවකුත් නෙවෙයි. ඒක ඇත්ත” කියා කියාවි කියා තමන් හිතුවෙ නැති එක පිළිගන්නම ඕනය. මේ මොහොත මෙච්චර බරට දැනෙන්නේ ඒක හන්දා විය යුතුය.

නෙවින් ඉන් පස්සේ මුකුත්ම නොකිව්ව හන්දා ඊලඟට කතා කරන්න ඕන තමන් බව ශාර්වරී දැනගෙන උන්නාය. කියන්න දාහක් දේ තිබ්බත් වචන හොයාගන්න අපහසු තරම් ය. උගුර පාදාගෙන තප්පර ගාණක වෙලාවක් ගත්ත ශාර්වරී මේ මොහොත පරිස්සම් කරගන්න හිතාගෙනය. නෙවින් මොන ජාතියේ මිනිහෙක් උනත් තමන්ගේ හිතේ ඇතිවෙච්ච ආදරේ කිසිම දේකින් වෙනස් වෙන්නෙ නැති බව කියන්න හිතාගෙනය. මෙච්චර දවසක් ඔහුගේ ජීවිතයට ආ ගිය අනෙක් ගැහැණියන් මෙන් නොව සදහටම ඔහුගේ ජීවිතයට ආදරේ වැසි වස්සවන්න පුලුවන් බව හිතාගෙනය.

“ඒකට කමක් නෑ” ශාර්වරී කතාව පටන් ගනිද්දී තමන්ගේ කටහඬ වෙනදාට වඩා හෙම්බිරිස්සා සහගත බවක් අරගත්ත බව ශාර්වරීටත් තේරුණාය. නෙවින් උන්නෙ එක එල්ලේම ඉස්සරහ බලාගෙන වාහනේ හීන් සීරුවේ පදවන ගමන් ය. ඇත්තටම ඊට වඩා හයියෙන් තමන්ට ඇවිදගෙන යන්න පුලුවන් විත්තිය තේරුණත් මේ වෙලාවේ හිත යොමු කරන්න ඕන ඒකට නොවන හන්දාම ශාර්වරී වාහනේ යන වේගය කොච්චරද කියන එක හිතෙන් අමතක කර දැම්මාය.

“ඔයා කවුරු වගේ උනත් මොන වගේ කෙනෙක් උනත්, කාත් එක්ක උන්න කෙනෙක් වුණත් මගෙ හිතේ ඔයා ගැන තියෙන හැඟීම පොඩ්ඩක්වත් අඩු වෙන්නෙ නෑ. මම සාමානය්‍යෙන් ලස්සනට ලියන්න පුලුවන් උනාට කතාකරන්නත් පුලුවන් උනාට කාටවත් එහෙම මගේ හිතේ තියෙන ෆීලින්ග්ස් කියන්න තරම් කන්ෆිඩන්ස් කෙනෙක් නෙවෙයි. අනෙක් අතට මම මෙහෙම ආවෙත් මම ඔයා එක්ක කතා කරෙත්, චැට් කරෙත් මං එහෙම ඕන කෙනෙක් එක්ක කතා කරන මනුස්සයෙක් හන්දා නෙවෙයි මට ඇත්තටම ඔයා ගැන යම් කිසි දෙයක්, මොකක් හරි හැඟීමක් මගෙ හිතේ තිබිච්ච හන්දා. 

මම දන්නෙ නෑ මෙහෙම කතා කරන්න, මීට් වෙන්න ආව පලවෙනි දවසෙම මෙහෙම තමන්ගෙ හිතේ තියෙන දේවල් එකපාර කියලා දාන එක ගැන ඔයා මොනව හිතාවිද කියල. මම මහ නරක කෙනෙක් කියල හිතන්න උනත් පුලුවන්. ඒ උනාට ඇත්තටම ඔයාව මුලින් දැකපු පලවෙනි දවසෙ ඉඳලා මට ඇත්තටම මොකක් හරි හේතුවකට ඔයාව අමතක කරන්න බැරි උනා.

මම දන්නෙ නෑ ඒ ඇයි කියල. මට නිකන් ඔයාව මාරම හුරුපුරුදුයි වගේ දැනුනෙ. කොටින්ම එදා මගෙ අතින් ඔයාගෙ ඇඟේ කෑම හැලිච්ච දවසෙ ඔයා මට බනිද්දිවත් මට තරහා ගියේ නෑ. මට මාර දුකක් තිබ්බෙ. ඒකත් ඔයා මට බැන්න හන්දා නෙවෙයි ඔයාව දන්න මනුස්සයො ගොඩක් මැද්දෙ මම ඔයාට අංකල් කිව්ව එක ගැන. මම ගෙදර ගිහින් නංගි එක්කත් කිව්වා මට මාර හිතට අමාරුයි කියලා මං ඔයාට එහෙම කිව්ව එක ගැන. එහෙම එකේ ඔයා පිරිමි ලමයින්ටත් කැමතියි කියලා දැනගනිද්දි මගෙ හිත අමුතුවෙන් රිදෙන්න හේතුවක් තිබ්බෙ නෑ. මම කොහොමත් දැනගෙන හිටියා මම ඔයාගේ ජීවිතේ පලවෙනියවත් දෙවනියවත් අඩුම ගාණෙ දහවෙනියවත් නෙවෙයි කියලා.

හැබැයි හැබැයි අපි අපි සම්බන්ධයක් පටන් ගන්නවනම් මට ඕන මං ඔයාගෙ අන්තිම කෙනා වෙන්න. ඔයා මං වෙනුවෙන් ඔයා මෙච්චර දවසක් ආස්‍රය කල පිරිමි ළමයි ගෑණු ළමයි ඔක්කොමලව අමතක කරලා දානවනම් විතරක් මම කැමතියි. මට ඔයා මෙච්චර දවසක් උන්නෙ කාත් එක්කද එතන ගෑණු කීයද පිරිමි කීයද කියන එක වැඩකුත් නෑ දැනගන්න උවමනාවකුත් නෑ.

ඔව් ඇත්ත ඇත්ත මගේ හිත රිදුනා උදේ ඔයා අරයා එක්ක ඉන්නව දැක්කම. ඒ මම ඔයාට ආදරේ නැති හන්දා නෙවෙයි ආදරේ හන්දා.මම හිතාගෙන හිටියෙ අපි දෙන්නම අපි දෙන්නා එක්ක කතාකරන්න පටන් ගත්තෙ අපි දෙන්නගෙම හිතේ එක වගේ ෆීලින් එකක් තියෙන හන්දා කියලා. එහෙම හිතාගෙන සති කීපයක් කතා කර කර ඉඳල අද උදේ වගේ අර ගර්ල් ඔයාගෙ අපාට්මන්ට් එකේ ඉඳල එලියට එද්දි මගෙ හිත රිදිච්ච එක සාදාරණ නෑ කියල කියන්න බෑ. ඒ උනාට මට පුලුවන් ඒක අමතක කරන්න  එතකොට අපි යාලුවෙලා ඉඳියෙ නෑනෙ. ඒ උනාට ඒ උනාට දැන් ඔයාම කිව්ව වගේ අපි සම්බන්ධයක් පටන් ගන්න නම් යන්නෙ ඉන්පස්සෙ මෙහෙම දේවල් වෙන්නෙ නෑ කියලා ප්‍රොමිස් වෙන්න ඔයාට පුලුවන් නම් අද වෙච්ච දේ විතරක් නෙවෙයි ඔයාගෙ ජීවිතේ මාව හම්බෙන්න කලින් වෙච්ච හැමදේම උනත් අමතක කරලා දාන්න මට පුලුවන්. 

මං හිතන්නෙ නෑ මෙච්චර දවසක් මම හිත අස්සෙ හංගගෙන උන්නු හැමදේම, තව කල් අරගෙන කියන්න ඕන කියල හිතාගෙන උන්නු හැමදේම තව දුරටත් හංගගෙන කතා කරන්න ඕන කියලා.

ඔයා කවුරු උනත් මට කමක් නෑ. මං ආදරෙයි. මං දන්නෙ එච්චරයි. ඔයා සමහරවිට පහුගිය දවස්වල මාත් එක්ක කතා කරලා කරේ ටයිම් පාස් කරගත්ත එකක් වෙන්න පුලුවන්. ඔයා මං ගැන හිතන්නෙවත් ඔයාට මාව දකින්න නැති වෙලාවලට මතක් උනේවත් නැති වෙන්න පුලුවන්. ඒ මොනව උනත් මං ඔයාට ආදරෙයි.

ආයෙ මට තව ඒක හංගගෙන ඉන්න උවමනාවක් නෑ. ඔයා මට ආදරේ නැතත් මම ඔයාට ආදරෙයි. ඒක ගැන හිතල මට සන්තෝස වෙන්න පුලුවන්. හිත සනසගන්නත් පුලුවන්”

නෙවින් උන්නේ තමන් දැන් මේ ශාර්වරී කියාගෙන කියාගෙන ගිය කාරණාවට දෙන්න ඕන උත්තරේ මොකද්ද කියලා හිතාගන්න බැරුවය. ශාර්වරී කියන්නේ ඇත්තටම තමන් මෙච්චර දවසක් ආශ්‍රය කල සියලුම කෙල්ලන්ට වඩා වෙනස් කෙල්ලක බව තමන් තේරුම්ගත්තේ ඇය මේ සියලුම කතන්දර කියන්න බොහෝ දිනකට පෙරය.

තමන්ව ඇය වෙත ආශක්ත කලේ ඒ වෙනස්කමය. ඒ වෙනස්කම හැංගිච්ච මනස්කාන්ත ඇස් දෙක අස්සේ තිබිච්ච හැඟීමටය.

ශාර්වරී කතා කර අවසන් නම් දැන් කතා කරන්න තියෙන්නේ තමන්ගේ වාරයයි. එහෙත් කල යුත්තේ කුමක්ද කිව යුත්තේ කුමක්ද කියා හිතාගන්න බැරි හන්දාම නෙවින් කලේ තමන් දිහා බලාගෙන ඉන්න ශාර්වරී දිහා මොහොතකට බලා කාරෙක ආයෙම වතාවක් පාර අද්දරට කර නතර කල එක එල්ලේ ඒ ඇස් අස්සේ ගිලිච්ච එකය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here