රන් මල් දම් – 46

පසුදින උදෑසන නිම්නාවී අවදිවුණේ යම් සැහැල්ලුවකිනි. එහෙත් ගෙවුණ රැය  කොහොම වීදැයිද, මේ දැනෙන සැහැල්ලුවට හේතුව කුමක්ද කියාවත්ද ඇයට නිනවුවක් වූයේ නැත. නිම්නාවී සූදානම් වී කාමරයෙන් පිටතට ආවාය. අද සඳුදාය.  තමා එන තෙක් සෙත් බලා හිඳිනු ඇත. ඕ අහස දෙස බලාගෙන උන්නාය.

” අද මම වේලාසන එනවා  …ලෑස්ති වෙන්න ගමනක් යන්න ….”

දිලුම්ගේ හඬ ඇසෙත්ම නිම්නාවී ආපසු හැරී බැලුවාය.

” කොයි වෙලාවේද ඔයා ගෙදර ආවේ ?…..”

දිලුම් මද සිනහවක් පෑවේය. එසේනම් ඇයට කිසිවක් මතක නැති හැඩය. උන්නේ උණ විකාරයෙන් නිසා, කියවන්නට ඇති බොහෝ දෑ ගැන ඇයට අවබෝධයක් නැති වීම දිලුම්ට වටහා ගත හැක.

” මොකෝ නෝන්ඩියට හිනාවෙන්නේ ?…”

” නෑ..නිකන් …”

” මන්දාරම් ආයේ කතා කලේ එහෙම නෑ නේද මල්ලී?… මුකුත් ප්‍රශ්නයක් වෙන එකක් නෑනේ ?…”

” නෑ .. මම ඌට නර්ස් කෙනෙක් සෙට් කරලා දුන්නා …ඒ වැඩේ හරි … මම කිව්වා තමුසේට බඳින්න කොල්ලෙක් උන්නා .. ඒ නිසා වෙන්න ඇති එක පාරටම ශොක් වෙන්න ඇත්තේ කියලා….ඌ ඒක තේරුම් ගත්තා …”

නිම්නාවීගේ පැහැදිලි මුහුණ අඳුරු ව යනු දිලුම් දුටුවේය. එහෙත්, ඇය සඟවා සිටින සියලුම දේ පියවි සිහියේ සිටියදී එලියට නොගෙන මෙම ප්‍රශ්නය විසඳගන්නට නොලැබෙන බව දිලුම් දනී. අද දිනයේම මන්දාරම් සහ අක්කාට මුණ ගැසෙන්නට ඉඩක් සලස්වා සියල්ල කතා බහ කරන්නට පටන් ගත යුතු බව දිලුම් තීරණය කලේ ගෙවුණු රැයේය.

මන්දාරම්ගේ මව අනතුරට පත් වූයේ අක්කා අතින් බව පලමුව පැවසිය යුතුය. ඇය එවෙලෙහි වූ ක්ෂණික කම්පනය නිසා මන්දාරම්ගේ මව එතැන සිටියදීම නිවසට පැමිණ තිබූ බවත්, ඉන් පසුව සිදුවූ සියල්ලත් ඔහුට පැහැදිලි කිරීම තමාට කල හැක. මන්දාරම් ඒ සිදුවීම දරාගන්නා ආකාරය අනුව අක්කාට ඇගේ සෙත් පිලිබඳව වන අතීතය අදම මන්දාරම් හා සමඟ බෙදා ගැනීමට අවස්තාව ලැබෙනු ඇත. ඉන් පසුව අක්කාට ඇගේ ජීවිතය වෙනුවෙන් ඇය හා සටන් කරගෙන ඉදිරියට  යෑමට  හැකි වනු ඇත.

දිලුම් නිම්නාවීව ගණනකට නොගෙන, ඉදිරියට ගියේය. නිම්නාවී ඔහුගේ අතකින් අල්ලා නවතා ගත්තාය. කිසිවක් විමසා ගන්නට නොහැකිව මෙන් මද වේලාවක් බලා උන්නාය. දිලුම් ඇය පවසන්නට යන්නේ කුමක්දැයි වටහා ගන්නට නොහැකි බව පෙන්වමින් බලා උන්නේය.

” කොල්ලෙක් ඉන්නවා කිව්වාද ඔයා ?…”

නිම්නාවී පියවි සිහියෙන්ද එපිටට ඇදෙමින් උන්නාය. මල්ලී එලෙස පැවසූවානම්, ඔහු තමා ගැන කුමක් සිතන්නට ඇතිද ?… තමා ඔහු වෙත පෑ හැම සිනහවක්ම මායාවක් සහ රැවටීමක් සහ මුලාවක් බව අනිවාර්‍යෙන්ම ඔහු සිතන්නට ඇත. දැන් ඔහු තමාට වෛර කරන්නට ගෙන ඇතිවාට සැක නැත. ඉතින්, තමා බියෙන් උන් යමක්ම සිදුව ඇත. තමා සිතා උන්නේ ඔහුගේ මවට තමා අතින් වූ අනතුර දැනගෙන ඔහු තමා හා කෝප ගනීවියැයි කියාය. එහෙත් සිදුව ඇත්තේ සිහිනෙකිනුදු නොසිතූ යමකි.

” ඔව් ඉතින් … මං වෙන මොකක් කියනන්ද ඌට ?… තමුසේ අක්කා එක වතාවක් ගිහිල්ලා, පිලිවෙලට කතා කරලා එන්නත් බෑ කියනවා නම්, මම වෙන මොකක් කරනන්ද ?ඌයි, අර චානක කියන එකයි, පිස්සෝ වගේ මට කෝල් කරනවා.. ඒ අස්සේ මගේ වගකීම් ගැන ප්‍රශ්න කරනවා…  මමලු තමුසේව ඉන්ට්‍රඩියුස් කලේ, අරකයි මේකයි කිය කියා….”

” කොල්ලෙක් ඉන්නවා කිව්වේ ඇයි ?… ජොබ් එක නිසා රට යනවා කියන්න තිබ්බනේ …”

නිම්නාවී අඩ් පොළවේ ගසා කෑ ගසා විමසුවාය. දිලුම්ට කලබල වන්නට හේතුවක් වූයේ නැත. අක්කාගේ කෝපය වැඩි විම යනු, ඕ සෙත් වෙත ඉතා ඉක්මනින් නිරාවරනය වීම බව දිලුම් දැන උන්නේය. එනිසා නිම්නාවීට ඇති තරම් කෝප ගන්නට දී, ඔහු වරද ඇය පිටම පැටවූයේය.

” හරි හලෝ … ඉස්සෙල්ලාම කිව්වේ ඒක තමා.. ඒත් උන් ඒක පිලිගන්න  ලෑස්ති වුනේ නෑ … බබාලා නෙවෙයිනේ අක්කේ .. උන්ට තේරෙනවානේ යමක් කමක් …. අනෙක එකපාරටම එහෙම වැනිශ් වුනහම සැකයි නේ .. ආන්ටිට වුනත් උන් මොනවා කියන්නද ?…”

” ඒ වුනාට කොල්ලෙක් ඉන්නවාම කිව්වේ ඇයි ?…”

නිම්නාවී කෑ ගසා ඇසුවාය. ඒත් සමඟම නිවස ඉදිරියේ  වාහනයක් නැවතුණු හඬ ඇසුණි. නිම්නාවී ඒ දෙස උවමනාවෙන් බැලුවෙ නැත. ගේට්ටුව විවෘත විය. එක්වරම මිදුලට ඇතුළු වූයේ පසන්ගේ මෝටර් රියය. නිම්නාවී විසල් වු දෑසින් බලා උන්නාය. ඔහු පැමිනෙන්නට තව කල් ඇත.  මෙවෙලෙහි කුමක් වන්නේද ?

” කොල්ලෙක් ඉන්නවම කිව්වේ ඔන්න ඔය නිසා .. ඔය ඇවිල්ලා ඉන්නේ ….”

දිලුම්  පසන් සමඟ නැගෙන කෝපය නිම්නාවී මතින් පිට කලාය. මෝටර් රියට ගොඩ වන්නට  ගියේ පසන් මඟ හරින්නටය. එහෙත් පසන් වහා විත් දිලුම් වැළඳගත්තේය.

” ඩොක්ටර් ….”

පසන්ගේ හඬෙහි ඇත්තේ තමා ඔහු නොතැකීම සඳහා වන නොරිස්සුමට තැවරූ සමච්චල් සහගත බවක් බව වටහා ගන්නට දිලුම්ට නොහැකි වූයේ නැත. එය එලෙසයැයි කියා කිසිලෙසකින් පසන්ගේ මවා පෑම් වෙත නතු වෙන්නට දිලුම්ට අවැසි වූයේ නැත.

” අද පොඩ්ඩක් ඩිලේ වුනා පසන් … ගිහින් එන්නම් …”

” ඕකේ ඕකේ.. මම අද හවස නිම්නාවී එක්ක පොඩ්ඩක් එලියට යනවා… බිස්නස් පාර්ටි එක්ක .. ඒකටමයි මේ ඊයේ රෑ හදිසියේම ලෑන්ඩ් කලේ …”

දිලුම් නිම්නාවී දෙස හැරී බැලුවේය. මන්දාරම් හමුවන ගමන තවත් කල් දැමීමට සිදුවන්නේය.

” අපි හවස පොඩ්ඩක් එලියට යන්නත් හිටියේ …”

දිලුම් කීවේය. එහෙත් ඔහුගේ හඬ ඉක්මවා යන හඬකින් මවගේ හඬ ඇසුණි,

” ඒ ගමන හෙට යන්න .. පසන් පුතා මේ මෙච්චර වැඩ එහෙ මෙහෙ කරන් ආවේ හවස වැඩේටනේ … නිම්නාවී.. ලෑස්ති වෙන්න උදේ සැලෝන් එකට ගිහින්, ඩ්‍රෙස් එකකුත් බලලාම එමු …  පහට විතර ගියාම ඇතිනේද පසන් පුතා ?….”

” අපෝ ඇති ආන්ටි … අද මෙයා අර ජොබ් එකට යන්නේ නැද්ද ?…”

” නෑ .. “

නිම්නාවී යන්තමින් පිළිතුරු දුන්නාය. නිවෙස තුලට ගියාය.  පසන්ද නිම්නාවීගේ මව සමඟ කතා කරමින් නිවස තුලට ආවේය.

” පුතා කාලද ආවේ උදේට ?..”

” ඔව් ආන්ටි ..ඔක්කොම හරි … මට තව වැඩ ටිකකුත් තියෙනවා … මම නිම්නාවීගේ ඩ්‍රෙස් එක බලන්න යන්න හිතාගෙනමයි උදේ ආවේ… නැත්නම් මෙයා ඒකටත් මූන නරක් කරගන්නවනේ …”

පසන් නොවූ බැඳීමක් පෙන්වමින් පවසද්දී නිම්නාවී සිතින් බැණ වදිමින් පසෙකට වූවාය. අම්මා සහ පසන්ගේ කතා බහ ඉන් එහාට ඇයට ඇසුනේම නැත. මල්ලී තමා පිළිබඳව පැවසූ සියල්ලටම පසු, මන්දාරම් දැන් ඇත්තේ තමා ගැන කිනම් සිතුවිලි සමඟ දැයි ඇයට හුදෙකලාවේ සිතමින් විඳවන්නට අවැසි විය.  දැන් තම ජීවිතය වෙනුවෙන් තිබූ අවසන් බලාපොරොත්තුවද මිලිනව ගොස් හමාර බව ඒත්තු ගන්වා ගන්නට අවැසි විය. අවුරුදු ගණනාවක් තිස්සේ තමා බලා උන් සිහිනය දෑස් ඉදිරියේම අතුරුදන්ව යෑම විඳ ගැනීමට තමාට සිදුව ඇත.

” ඔයා ලෑස්ති වෙන්න … ඉස්සෙල්ලා ඩ්‍රෙස් එකේ වැඩේ කරගෙන ඉමු …”

නිම්නාවී රොබෝවියක ලෙසින් හිස සලා කාමරයට ඇවිද ගියේ නෙත් කෙවෙනි රත් වී රිදුම් දෙද්දීය.

අපේක්ෂා ගුණරත්න 

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles