fbpx

සඳක් කළ සක්මන් -25

ආකාශ් රිය පැදවූයේ කතා බහකින් තොරව ය. ඔහු සිටිනුයේ කල්පනා ජාලයක පැටලී ගෙන බව, හිස නගා බැලු දෙතුන් වතාවක දී ම මම දුටිමි. තවමත් ඔහු ගේ සිත්හි තුනී හෝ කේන්තියක් එහෙ මෙහෙ වෙමින් තිබෙනවා ඇත.

ආකාශ් ගේ ඒ කේන්තිය ගැන වරදවා සිතන්නට තරම් මම මෝඩියක නො වෙමි. ඔහු වූ කලී මිනිසත් කම් ඉක්මවා දේවත්වයට පත් වූවෙකු නොවේ. සමාජයේ සිටින බොහෝ පිරිමින් සමග සසඳත්දී ආකාශ් වන් තරුණයන් විරල ය. ඔහු සිය මවු නෙරංජලා සේ ම මානව හිතවාදී ය. නමුත් ඒ සියල් හිතවාදී කම් හකුලා ගන්නට සිදු වන අවස්ථා අපේ ජීවිත වෙත උදා වෙන්නට පුළුවන!

ආකාශ් මේ මුහුණ දී තිබෙන්නේ එබඳු අවස්ථාවකට ය. සිය පෙම්වතිය ගේ පියා දැවැන්ත මත් ද්‍රව්‍ය ජාවාරමක් වෙනුවෙන් පොලිස් අත් අඩංගුවට පත් වී තිබේ. ඇය ඔහු බේරා ගනු වස් නීතියත් සමග ගැටෙන්නට බලා සිටී. ඈ පොලීසි උසාවි ගානේ යත්දී ඒ සිය පෙම්වතිය යයි ඔහු කෙසේ නම් කිසිවෙකුට කියන්න ද? 

“අයියෙ”

මම ඉතාමත් ම හෙමිහිට කොඳුළෙමි. ආකාශ් එක වතාවක් හිස හරවා බැලුවේ ය.

“තරහෙන්ද ඔයා…”

ඔහු හඬ නැගෙන සේ සුසුමක් හෙළුවේ ය.

“නැහ්”

“ඒත් ඔයාට අවුල් කියල මන් දන්නව. මට වෙන කරන්න දෙයක් තියෙනවනං කියන්න අයියෙ. මගෙ තාත්තව හිරේ වැටෙන්න යද්දි පුළුවන් විදිහකට බේරගන්න මහන්සි නොවී…වෙන කරන්න පුළුවන් දෙයක් තියෙනව වං කියන්න”

මගේ හඬ ඒ තරමට අසරණ ව ඊට පෙඑ මට ම දැනී නැත. අප කාගේත් ජීවිත වගට එහෙව් මොහොතවල් උදා වන්නට පුළුවන. ඒ අසරණකම දරා ගන්නට ඕන වෙන්නේ එක වචනයක ළෙංගතුකමකි. හිස තියා ගන්නට උරහිසක වාරුවකි. ඉතිරි සියල්ල තනි සිතකින් විඳ දරා ගන්නට පුළුවන.

“බලමු”

ආකාශ් සුසුමකින් අරඹා කතා කළේ ය.

“පොලීසියෙ දන්න කෙනෙක්ගෙංවත් උදව්වක් ගන්න පුළුවන් ද කියල බලමු. ඒත්…කටක් ඇරල මෙහෙම දෙයක් කොහොම කියන්නද කියලනෙ හිතා ගන්න බැරි”

මට නො වැටහෙනවා නොවේ. ආකාශ් සිටින්නේ අපහසුතාවට පත්ව ය. ඔහු දන්නා කියන කෙනෙකුට තාත්තා ව කෙසේ හඳුන්වා දෙන්න ද? ඉස්කෝලේ යන කාලයේ දී දෙමාපිය රැස්වීමකට වුව තාත්තා එනවාට මම නො සතුටු වීමි. සැබවින් ඔහු එතැයි මම බිය වීමි. ඒ තාත්තා ගේ බාහිර පෙනුමෙන් ම ඔහු පන්තියේ අනිත් ළමයින් ගේ පියවරුන් ට වඩා වෙනස් ව පෙනෙනා නිසාවෙනි. කාලයකට කොණ්ඩය වැවූ, කාලයකට කනේ කරාබු දැමූ, පච්චා කෙටූ, පාසලට අනුමත මහත්මා ඇඳුම් වලින් නො සැරසෙන තාත්තා කෙනෙකු වෙන කිසිදු ළමයෙකුට සිටියේ නැතිවා විය යුතු ය. ඒ තාත්තා මගේ තාත්තා ය කියා හඳුන්වා දෙන්නට මගේ වූ පැකිළීම, අද ආකාශ් ට  නො තිබිය යුතු යයි සිතන්නට තරම් මම අන්ධ වී නො සිටිමි.

“ඔයා කියන්න…අහල පහල අංකල් කෙනෙක් කියල විතරක්…”

මම එහෙම කියා ගතිමි. නමුත් මගේ උගුර රිදෙන්නට ගත්තේ ය. නාස් පුඬු දවාලමින් ද ඇස් පුච්‍චමින් ද කඳුළක් උනා ආවේ ය. ආකාශ් මගේ උකුල මත වූ සුරත තද කොට අල්ලා ගත්තේ ය.

ඔහු වචන වලින් කතා කළේ නැත. නමුත් මට මහත් සුරක්ෂිත බවක් දැනිණ.  අඩු තරමින් දැන් මට ඔහු හෝ සිටී!

රිය නැවතෙත්දී අපේ ගේ ඉදිරිපිට පාරේ නැවතී නෙරංජලා ගුරුගේ අම්මා හා ආච්චම්මා සමගින් කතා බහේ යෙදී සිටියා ය. සිය පුතණුවන් ගේ රියෙහි ඉදිරි අසුනෙහි රැජිණක සේ මේ සැපත් වීම ගැන මා තුළ ලැජ්ජා ශීලී අපහසුතාවයක් ඇති නොවූවා නොවේ.

“අම්ම දන්නව ඔයා බස් එකේ එනව කියල. මං කිව්ව. අම්මා තමයි කිව්වෙ පුළුවන්නං පෙටා වලිං ඔයාව පික් කරන්න කියල”

ආකාශ් ඉක්මන් කොට කීවේ මගේ සිත පත් අපහසුව වටහා ගෙන වාගේ ය. මා රියෙන් බසිත්දී නංගී ගෙතුල සිට කර පොවා බැලුවා ය. ඇගේ ඇස් දිළිසුණේ ඊර්ෂ්‍යාවෙන් යයි සිතන්නට මට ඕනා වූයේ නැත.

තාත්තා ගේ මිතුරු සගයන් ගෙන් කිහිප දෙනෙකු ද වත්තේ හා පාරේ තැන් තැන් වල වූහ. මට දැනුණේ පොළොවේ වලක් හාරා ගෙන හැංගීමේ අවශ්‍යතාවයකි.

“දැන් මොකද අම්මෙ වෙන්නෙ..”

මම අසරණ ව විචාලෙමි.

“ලෝයර් කෙනෙක් අල්ලල තමයි ලොක්කි පොලීසියට යන්න ඕනෙ. මං මේ ලොක්කි එනකල් හිටියෙ”

නමට ලොක්කි වූවාට මේ ගෙදර කිසි දා ක මට ලොකු තැනක් හිමි වූයේ නැත. හැමදාමත් කටින් ගසා සියල්ල ජය ගත්තේ නංගී ය. අද හදිසියේ ම මා ලොක්කී වී තිබේ!

“පූජා. ඔය බඩු මුට්ටු තියල එන්නකො පුතේ”

නෙරංජලා මගේ උරහිසකින් අල්ලා එසේ කියමින් ඔවුන් ගේ පිවිසුම් දොරටුව වෙත ගියා ය. අම්මා මගේ අතින් බෑග් ටික ගත්තේ මගේ ඉල්ලීමකින් තොරව ම ය. 

“බලන්නකො…දැං මෙයාව වැඩම කරවන්නෙ ලොකු කාර් වලින්”

නංගි කට ඇද කොට සමච්චල් සිනහවකින් කීවා ය. අම්මා ඇය වෙත රවනු මම දුටිමි.

“උඹටත් එහෙම යන්න බැරි කමක් නො තිබුණා නෙවෙයි පොඩ්ඩියෙ. කොහෙද ඉතිං ඇටෙං පොත්තෙං එළියට එනකොටම උඹට මගුල් විසේ ගැහුවනෙ”

ආච්චම්මා නොරිස්සුමෙන් හොස්ස පෙව්වා ය. ඇය කවදත් නංගී ට වඩා මට ආදරේ ය. 

“අනේ අනේ මේ කාටවත් වැඩක් නෑනෙ මගෙ ඒව”

නංගී හැදුවේ ආච්චම්මා එක්කත් පැටලී ගෙන යන්න ය.

“පොඩ්ඩි”

අම්මා තරමක් තදින් කතා කළා ය. 

“අම්මත් දැං ඔය වැඩක් නැති කතා නවත්ත ගන්නකො”

මගෙන් සුසුමක් ගිළිහිණි. අම්මා දැන් වත් හැදී ඇති එක ලොකු දෙයකැයි මීට මොහොතකට පෙර ඇති වූ සිතිවිල්ල උපන් ගෙයි ම මිය ගියේ ය. මම හෙමිහිට ගුරුගේ මැදුර දෙසට ඇදුණෙමි. 

“ඉගෙන ගත්තෙ නෑ තව උඹල පාඩං”

ආච්චම්මා ගේ හඬ මට ඇසුණේ පියවර ගල් මතින් මැදුර වෙත ඇවිද යත්දී ය.

“ජීවිතේ ඉතිං ඔහොම තමයි පූජා. අපි  මොකක් හරි කරන්න බලමුකො. අපේ ලෝයර් ඉන්නව. මං අංකල්ටත් කිව්ව එයාව කතා කරල දෙමු කියල. මේ වගේ කේසස් වලට ඉන්වෝල්ව් වෙන්න බෑ පූජා. ඒත් ඔයා නිසා නොකරත් බෑ”

නෙරංජලා ගුරුගේ මා ඉදිරියෙන් තේ කෝප්පයක් තබමින් කතා කළා ය. ආකාශ් ඇවිත් මේස පුටුවක් ඇද හිඳ ගත්තේ ය.

“අනේ ආන්ටි. කරන්න පුළුවන් දෙයක් කරල තාත්තා හිරේ යන එක නතර කරල දෙන්න”

මම තේ කෝප්පය ඇතුළේ දෑසින් කිමිදෙමින් කීවෙමි. මගේ හඬෙහි වෙව්ළුම් ස්වරයක් විය.

“අපි මොකක්හරි කරමු පූජා. තේ එක බොන්න මං ගිලන්පස තියල එන්නං”

 කියාගෙන නෙරංජලා ගිලන්පස බඳුන් තැබූ බන්දේසිය ගෙන ඉදිරිපසට ගියා ය. ආකාශ් ගේ සුසුමක හඬ නැවත වතාවක් මට ඇසිණ.

“අපි කිව්වහම තමයි ඔය ජොබ් එක අත්අරින්නම බැරි වුණේ. දැං ඔය ආවෙ ඔක්කොම දමල ගහල”

ඔහු දෙඩුවේ ඉතාමත් පහළ ස්වරයකින් වී ද, බෝම්බ ප්‍රහාරයක් සේ ඒ වචන ටික මගේ පපුවේ වැදුණේ ය. මම නෙතු ඔසවා ආකාශ් දෙස බැලුවෙමි. හදවත තුළ නෙක සිතිවිලි වාං දමමින් තිබුණත්, මගේ මුවට එක වදනකුදු පැමිණියේ නැත. සුසුමක් ගිළිහුණත් මා එහි හඬ පිටතට ඇහෙන්නට තැබුවේ නැත.

“දැං මං අංකල්ට කතා කරල කියන්නං. එතකොට පොලීසියට යන්නෙ කවුද පූජා…”

නෙරංජලා මුළුතැන්ගෙට ආවේ එසේ අසා ගෙන ය. 

“අම්මත් එක්ක මං යනව”

මම බිඳුණු හඬකින් කීවෙමි. ආකාශ් ගේ තාරකා ඇස් මා මත ම දැල්වී ගෙන ම තිබෙන බව දැනුණත් මා කෙළින් ඒවා දෙස බලන්නට ගියේ නැත.

“යංකො. මං එක්කං යන්නං”

ආකාශ් අසුනෙන් නැගිට ගත්තේ ය. මම මගේ සසල ලෝකය තුළට ම වී ගෙන නිසොල්මන් ව සිටියෙමි. ආකාශ් ගේ සිතිවිලි වටහා ගන්නට බැරි කමක් මට නැත. නමුත් මගේ ඉරණම විසින් මා මත පටවා ඇති වගකීම් වලින් නිදහස් වන්නට ද මට නුපුළුවන. මේ විදිහට ගොළු වී නො සිට ඔහු වෙනුවෙන් පෙනී සිටිය යුතු යයි හදිසියේ ම මම තීරණය කළෙමි.

“අනේ ඒක හොඳයි පුතා. මේ ගෑනු අය දෙන්නෙක් තනියම යනවට වඩා පුතත් යන එක හොඳයි”

මට වඩා එක තත්පරයකට නෙරංජලා ගුරුගේ ඉස්සර වූවා ය. 

“අනේ එපා අයියෙ”

ඉතාමත් දුර්වල කඳුළුමය හඬකින් මම මුණිවත බින්දෙමි.

“අයියල එහෙම තැන් වලට යන්න ඕන නෑ. මට පුළුවං…”

“පණ්ඩිත කමට සීමාවක් තියා ගන්නවද…”

දැඩි හඬකින් එසේ කියූ ආකාශ් එතැනින් නික්ම ගියේ ය. මම බිම බලා ගෙන යටි තොල සපා ගතිමි.

“අපේ එකා සැර කරන්නත් දන්නවනෙ”

නෙරංජලා සිනහ මුසු හඬකින් කීවා ය. 

මගේ හදවත මත බරක් පැටවී තිබිණ. විඩාපත් බවක් මට දැනිණ. යමක් කමක් වැටහෙන්නට පටන් ගත් දා පටන් ම මා පැතුවේ මේ ජීවිතයෙන් එපිටට පිය තබා ගැනීමක් වී ද, ඒ දිවිය තුළ ම තව තවත් ගිලා බහිනවා මිස අත පොවන මානයක මිදීමක් නොවන බව දැන් මට දැනේ.

පොලීසියෙන් කීවේ පසු දා උසාවි දැමීමකින් මිස තාත්තා ට ඇප ලබා දිය නොහැකි බවකි. නඩුව සඳහා අවශ්‍ය තොරතුරු ආකාශ් ලා ගේ නීතීඥවරයා විසින් තාත්තා සමග කතා බහ කර ගන්නා ලදී. අප ගුරුගේ ලා ගේ අසල්වැසියන් බව නීතීඥවරයා කලින් ම දැන සිටිය ද, මදෙස බැලූ ඔහු ගේ බැල්මෙහි වූයේ ඊට වඩා යමක් ඔහු අනුමාන කරනා බවකි. 

Mini Stories

හිසරදය.

සුළි සුළඟක සුසුමක්

සුළි සුළඟක සුසුමක් – 30 වන කොටස

Mini Stories

නිදහස

ළපෙති මල්

ළපෙති මල් -31

Mini Stories

අයිතියක් නැති තැන්.

සුළි සුළඟක සුසුමක්

සුළි සුළඟක සුසුමක් – 29 වන කොටස

Mini Stories

ඉරිසියාව

ළපෙති මල්

ළපෙති මල් – 30

Mini Stories

සුවඳ නැති අතීතය

“මේක එච්චරම ලේසි වෙන එකක් නෑ. මේ මනුස්සය අනුංගෙ කුණක්නෙ මේ ඇඟේ දාගෙන තියෙන්නෙ. මෙයා කරල තියෙන්නෙ බඩු ටික ට්‍රාන්ස්පෝට් කරන එක”

පොලීසියෙන් පිටතට පැමිණීමෙන් පසු නීතීඥවරයා අප අමතා කීවේ ය. මගේ යටි පතුල් සීතල වී යනවා මට දැනිණ. තාත්තා දිගු කාලයකට සිර ගෙයට නියම වේවිද?

“මිස්ට සිල්වා ටිකක් ලොකු ඇපේකට හරි අංකල්ව එළියට ගන්න ට්‍රයි කරන්න. උපරිම ට්‍රයි කරන්න. ඒක ලොකු උදව්වක් මිස්ටර් සිල්වා”

ආකාශ් ඉල්ලා සිටීමක් කළේ ය. ඒ මා වෙනුවෙන් ඔහු ට කළ හැකි උපරිමය බව මම දන්නෙමි.

යළි ගෙදරට පැමිණෙන තුරුත් අප අතරේ කතා බහක් වූයේ නැත. අම්මා රියෙන් බැස ගත් පසුත් මම තත්පර කිහිපයක් පමා වීමි.

“මේ උදව්ව කවදාවත් අමතක වෙන්නෑ අයියෙ. ලෝයර්ගෙ චාජස් කීයක් ගෙවන්න ඕනද…”

ආකාශ් සිනහවක් නගා ගත්තේ ය. සියලු තරහා නිවී ගිය බවක් ඒ සිනහවේ ලියැවී තිබිණි.

“ගෙවන්නකො බැන්ද කාලෙක…මට…”

ඒ ඇස් මත ප්‍රේමයේ ගිනි සිලක් දැල්වෙමින් තිබිණි. මම රියෙන් බැස ගතිමි.

එදා රෑ වන තුරුත් නංගී ගෙදර යන බවක් පෙනෙන්නට තිබුණේ නැත. ඒ නිසා මම අම්මා ගෙන් ඒ ගැන ප්‍රශ්න කළෙමි.

“නැන්දම්මත් එක්ක පැටලිලා ඔය ඇවිත් ඉන්නෙ. ටික දවසක් තිස්සෙ මෙහෙයි හිටියෙ. මට ලොක්කිට කියන්න බැරි වුණා”

අම්මා ගේ මුවග, මරණයක් දැනුම් දෙත්දීත් ඇඳෙන සිහින් සිනහව විය. මා තුළ නැගුණේ ඉමහත් කෝපයකි. නමුත් ඒ හැඟීම් වචන බවට පෙරළෙන්නට නොදී ඉන්නා එක හොඳයි කියා මට සිතිණ. ගෙදර ගිනි ගෙන ඇති මොහොතක ඒ ගින්නට පිදුරු එක් කිරීම පවුලේ වැඩිමහල් තැනැත්තිය වශයෙන් මගෙන් නො විය යුත්තනැයි මම සිතා ගතිමි.

අනෙක් කොටස්

More Stories

Popular

Don't Miss




Latest Articles

error:
0
Would love your thoughts, please comment.x
()
x