එය සංකීර්ණ තත්වයකි. එක් මහානාම පුතෙකු මල්වත්තගේ දියණියක වෙනුවෙන් කළ විවාහ යෝජනාවක් සිථිර වී, තවත් මහානාම පුතෙකු කළ විවාහ යෝජනාවක් ස්ථිර නොවී අර්බුධයක් බවට පත් වී තිබේ. පවුල් දෙක අතරේ එක් විවාහයක් සිදුවීමට සියලු කටයුතු සූදානම් වෙමින් තිබියදී අනෙත් පෙම්වතුන් යුවළ ට අනුමැතිය නො ලැබෙන තත්වයක් ඇති වී තිබේ. අමාගී පත් ව සිටියේ අසීරු තත්වයකට ය. මහානාම ගෙදර ඇගේ ම ගෙදර කරගෙන සිටි යුවතිය ඇයයි. උදේ අවදි වූ ගමන් ඇතැම් විට තේ එකවත් නොබී එහි දුවන දවස් ඕනෑ තරම් ඇයට උදා වී තිබේ. එහෙම පුරුද්දක් එක් මොහොතක් තුළ වහා අත්හිටුවන්නට සිදු වෙනවා කියන්නේ පහසු කටයුත්තක් නොවේ. ජීවිතය තරමට ඇබ්බැහි වී සිටි දෙයකින් ක්ෂණික මිදීම වූ කලී ඇතැම් විට ජීවිතයෙන් මිදීමට සමාන විය හැක. ඒ තරම් අසීරු හා දුෂ්කර විය හැක. ඊටත් වැඩිය හිටි හැටියේ, දරුවෙකු බිහි නො කර ම මාතෘත්වයට පත් වීමක් තුළ අත්විඳි උත්කර්ෂය අහසින් පොළොවට වැටුණා සේ කුඩු පට්ටම් වී යත්දී අමාගී සසල ව ගොස් සිටියා ය.
මණී විසල් අභියෝගයකට මුහුණ දුන්නා ය. ඇයට සාන්වී දියණියක ලෙස පිළිගන්නට සිදු වී තිබේ. එසේ ම අමාගී සමගින් පැවති සකල විධ සබඳතා වාරණයට ලක් වී තිබේ.
“ලොකූ ටිකක් හිත රිදෝගෙන ඉන්නෙ. එයාට රිදුණ එක අමතක කරල වගේ සුදූට මෙහෙට දුවං එන්නත් බෑනෙ මණී ආන්ටි. ඒ දෙන්නම හිත් වලින් අසරණයි. හැමදේම ඉක්මනට හරියයි කියල අපි හිතමු”
සාන්වී ගිහින් ආයු ට කෑම කැවීමේ උත්සාහයක් ගත්තා ය. නමුත් ඔහු සතුටෙන් කෑම කෑවේ නැත. පුරුදු දඟකාර හුරතලය වූයේත් නැත.
“ඔයා නෝටි. මා ගුඩ් ගර්ල් “
ආයු මුරණ්ඩු ලෙස සාන්වී ප්‍රතික්ශේප කළේ ය. මණී ගවුම් උරහිසෙන් ඇස කඳුළක තෙත මාත්තු කළා ය.
“ඔයා අඬන්නෙපා ඉතිං…”
“ගහට පොත්ත වගේ මාගි මාත්තෙක්ක බැඳිල හිටියෙ. මට මේක දරාගන්න හරි අමාරුයි සාන්වි දුව”
“ඒ බැඳීම නැතිවෙන එකක් නෑ. අපි චුට්ටක් ඉවසල බලං ඉමුකො”
“දෙයියනේ මට වැඩක් පලක් කරගන්නවත් හිතෙන්නෑ. මේ පොඩි එකා නැත්තං සේරෝම දමල ගහල කොහෙංහරි වැටිල ඉන්නව මං”
“ලොකූත් පව් ඉතිං”
“මට තේරෙනව ඒ කෙල්ලගෙ හිත. මාත් අම්ම කෙනෙක්නෙ දෙයියනේ. මගෙ කොල්ලෙක් කසාද බැඳල දරුවෙක් ඉන්න ගෑනියෙක්ව පටලොගත්තනං මට ඒක දරාගන්න පුළුවන් වෙයිද…ආශ්ට තියෙන්නෙ අම්ම කෙනෙක්ගෙ හිතන්නෙ”
“ඔයා ඒක තේරුං ගත්ත එක ලොකු දෙයක් මණී ආන්ටි. අවුල් වෙන්න එපා. මේ ගෙදර වෙඩින් එකක් සිද්ද වෙන්නනෙ යන්නෙ. ඒක නිසා හිත හොඳින් ඉන්න. හොඳ දෙයක් වෙයි කියල අපි විශ්වාසෙන් ඉමු”
“අපිට හොඳ දේ ආශ්ට හොඳ නැති දේනෙ පුතේ. දුරේ වුණත් මොනා හිතනවද කියල අපි දන්නෑනෙ. ඒගොල්ලොන්ගෙ තීරණේ මොකක් වුණත් ජාති ජාතිවත් අපිට තරහ වෙන්නනං බෑ”
“අනේ ඔහොම කියන්නෙපා මණී ආන්ටි. දැන් මාත් මේ ගෙදර කෙනෙක්නෙ. අපි පවුල් දෙකක් නෙවේ එකක්නෙ. චුට්ටක් කාලෙට ඉඩ දීල බලං ඉමු”
සාන්වී ආයු ව ගෙදර කැටිව ගියා ය. අමාගී ට ඒ සිය දෙපා පාමුල විශ්වය ම පහළ වූවා වන් මොහොතකි. ඇය ඔහු දැඩිව වැළඳ, කඳුළු ගිලගෙන සිටියා ය. අශ්විනී ඒ දැක නො සතුටෙන් ඉවත බලාගත්තා ය. සාන්වී කෙරේ ද ඈ තුළ ඇති වූයේ නො රිස්සුමකි.
“බබා හිතුව මා බබා එක්ක තායි කියල”
ආයු ගේ හුරතල් හඬ මල්වත්තගේ ගෙදර සිසාරා නින්නාද වූයේ ය.
“අනේ ඉතිං මං කවදාවත් මගෙ පණ එක්ක තරහ වෙන්නෑනෙ මැණික”
“බබාට දුක ඉතුන”
“ඇයි පැටියො ඔයාට දුක හිතුණෙ…”
“මා නෑනෙ ඉතිං… කුක්කු අම්තා බොන්න”
හඬන්නට තරම් දුක දැනුණ ද අමාගී මේ කුඩා අවස්ථාව පවා මහමෙරක් කරගත්තා ය. ආයු ට කවා ඔහු නහවා ඒ ළපටි සිතෙහි සැක බිය දුරු කළා ය. ඔහු ට ඇය හිඳිනා බව දැනෙන්නට ඇරියා ය. හවස නිදිගැන්වූවා ය. එදා ආය දවස ගත කළේ මල්වත්තගේ ගෙදර ය. දුරේශ් මල්වත්තගේ නිවාඩු දමා ගෙදර සිටියෙන් ඔහු ට ආයු ගෙන් බේරුමක් තිබුණේ නැත. ‘දුලේසීයා’ සමග තොරතෝංචියක් නැතිව කියවූයේ ය. ඔහු ව සිය සෙල්ලම් වලට ඈඳා ගත්තේ ය.
කාර්යාල නිමා වී ආර්ය හමුවන්නට සන්දේශ් කල් ඇතිව ම යොදාගෙන තිබිණ. එහෙම නොකර ඉන්නට බැරි ලෙස ඔහු ගේ හිත ඔහු ට කරදර කළේ ය. නොතැනක හෝ සිදු වූ වරදක කෙළවරේ හෝ ඔහු ද සිටිනවා නම්, දැන් ලැබෙනා හොඳ හෝ නරක විපාක වලට ඔහු ද අනුමෝදන් විය යුතු ය.
ඔවුන් දෙදෙනා හමු වෙන්නට කතිකා කර ගත්තේ එළිමහන් අවකාශයක ය. එතැන එවන් කතාබහකට අවැසි නිදහස නිතැතින් ම සැපයෙනා තැනෙකි. කතාවට මුල පුරන්නේ කොහොමද කියා නො දැන දෙදෙනා ම තරමක් පසු බා සිටියහ. අවසන මුණිවත බින්දේ සන්දේශ් ය.
“ඊයෙ රෑ ලොකූ පොඩ්ඩක් කලබල වුණා”
ආර්ය ගේ දෙතොල් අතරේ සිනා රැල්ලක් පැතිර ගියේ ය.
“මට ඇහුණ”
“මට ලොකූට නොකියා ඉන්න බැරි වුණා ආර්ය. ඇත්තටම මාත් හෙණට අවුල් වෙලා හිටියෙ. මට ඕන වුණේ ලොකූ එක්ක පොඩ්ඩක් මේක කතා කරන්න. මගෙ හිතේ අවුලත් ලොකූ නැති කරයි කියල වෙන්නැති මං බලාපොරොත්තු වෙන්න ඇත්තෙ”
“මට තේරෙනව සන්දේශ්”
“ගෑනු සහෝදරියො ඉන්න සහෝදරයෙක්ගෙ හිත… විශේෂයෙන් ම නංගිල ඉන්න අයිය කෙනෙක්ගෙ හිත ආර්යට තේරෙනවද මන්දන්නෑ. මෙතනදි මට දැනෙන වැරදිකාර හැඟීම මාර දරුණුයි ආර්ය. කොච්චර වුණත් බැඳල ළමයෙක් ඉන්න පිරිමියෙක්ට නංගිව දෙනව කියන එක… ඒකට ඔළුව හදාගන්න මාර අමාරුයි. මොකද මේක ලංකාවනෙ… අපේ ඔළු වලට ඉන්ජෙක්ට් කරල තියන දේවල් ටිකක් තියනවනෙ”
“ඔය ඔක්කොම මට තේරෙනව බං”
“එතනදි මට එන පසුතැවීම.. මං කරපු වරදට සුදූට වන්දි ගෙවන්න වෙලාද මේ කියන එකයි”
සන්දේශ් ගේ ඇස් වලට කඳුලු පුරා දිස්න දුන්නේ ය. ඔහු ගේ උගුර ක්ෂුද්‍ර ජීව ආක්‍රමණයක් සිදු වී ඇති විටෙක සේ රිදුණේ ය.
“පිස්සුද බං එහෙම නෙවේ”
සිය නො සන්සුන් බව සන්සුන් කරගන්නට ආර්ය ට මඳ වෑයමක් දරන්නට සිදු විය. ඔහු අසුනෙන් නැගිට දෑත් කලිසම් සාක්කු දෙකේ ඔබාගෙන මඳක් ඔබ මොබ සක්මන් කළේ ය. නැවත ද අසුනට බර වෙන විට සන්දේශ් දෑඟිලි තුඩු අගින් දෑස් කෙවෙනි පිරවූ කඳුලු ගුලි දෙක චප්ප කොට දමා තිබිණ.
“අපි ඔය නිධීගෙ සිද්ධිය අමතක කරල මේක ගැන කතා කරමු. මොකද ඒකයි මේකයි අතරෙ කිසිම සම්බන්දයක් තියනව කියල මං හිතන්නෑ. තියනවනං ඒ තව ටික දවසකින් මං දික්කසාද වෙච්ච මිනිහෙක් වෙන එක විතරයි”
“මන්දා ආර්ය. අපේ ලොකූට ඉව තියනව කියලනං මං දන්නව. එයා දෙයක් කිව්වොත් ඒක වෙනස් වෙන්නවත් වැරදි වෙන්නවත් විදිහක් නෑ. සුදූ කාලෙක ඉඳන්ම උඹ ගැන කැමැත්තෙන් හිටිය කියල එයා කියනව. ඒ කාලෙ සුදූව ගණං ගන්නැතුව කසාදෙකුත් බැඳල උඹ දැං කෙල්ලව ලං කරගන්න හදන්නෙ ළමයගෙ වැඩ ටික කරගන්න කියලයි ලොකූ හිතන්නෙ”
එවර ආර්ය ගේ මුවට ආ මඳහසෙහි අවඥාවක් විය.
“ඒක කරගන්නනං මට ගෙදරට මේට්‍රන් කෙනෙක් ගන්න පුළුවන් සන්දේශ්. අනිත් එක දුරේ අංකල් ළමයි හතරදෙනෙක්ව හැදුවෙ ආයෙ කසාදයක් කරගෙනද… තාත්ත කෙනෙක්ට තමුංගෙ ළමයි හදාගන්නව කියන එක තනියම අමාරුයි තමයි. ඒත් බැරි නෑ. මටත් මගෙ කොල්ලව කොහොමහරි හදාගන්න පුළුවං. මෙතන තියෙන්නෙ එහෙම දෙයක් නෙවෙයි බං”
“එහෙනං ලොකූ කියනව වගේ ඇත්තටම ඇයි ආර්ය මුලින්ම සුදූව බැන්දෙ නැත්තෙ…”
ආර්ය බිම බලාගෙන මඳක් නිශ්ශබ්ද වූයේ ය. ඒ නිහඬ තත්පරය තුළ ඔහු මුළුමහත් අතීතයක් තුළ සරා ආවා විය හැක.
“සන්දේශ්. සුදූ මට වැඩිය අවුරුදු දොළහක් බාලයි. සුදූ ඉපදිලා ඉස්සෙල්ලම ගෙදර ගෙනාපු දවසත් මට මතකයි. එතකොට මං අවුරුදු දොළහක කොල්ලෙක්. එයා අත දරුවෙක්. මට අවුරුදු දාසයක් වෙනකොට සුදූට හතරයි. මං දහ අටක විස්සක කොලු වයසෙදි සුදූ අවුරුදු හයක අටක කෙල්ලෙක්. කොටිංම මං ඉස්කෝලෙන් අස් වුණාමයි සුදූව ඉස්කෝලෙට බාර දුන්නෙ. සුදූ මුලින්ම මගෙ හිතේ ඉන්නෙ ඒ වගේ චූටි කෙල්ලෙක් විදිහට මචං. ඔය වයසෙදි එයාගෙං මට මාර වදයක් තිබුණ මතකයි. ඒ කාලෙ මට පොඩි එවුං පේන්න බෑ. විශේෂයෙන් ම සුදූ වගේ ඇට්ටර කෙල්ලො. එයා අපේ අම්ගෙන් කිරි බොනවත් මං දැකල තියනව. මට සුදූ එක්ක තරහක් ඇතිවුණ පළවෙනි හේතුව ඒක වෙන්නැති. කොහොමහරි අපි එක වයසකට ආවට පස්සෙ සෑහෙන කාලයක් ඒ විදිහටම ඉන්වනෙ. මං හිතන්නෙ ඒ කාලෙදි තමයි සුදූ ඉක්මනට ඉක්මනට ලොකු වේගෙන අපේ තරමටම ආවෙ. ඒ එක ස්ටේජ් එකකදි එයා මාව අඳුරන්නැති කෙනෙක් ගානට අත්ඇරල දැම්ම. කාලයක් තිස්සෙ මගෙන් රිජෙක්ට් වෙච්ච එකට අන්තිමට එයා රිඇක්ට් කළේ එහෙම වෙන්නැති. ඊට පස්සෙ මගෙ මූණවත් බලල නෑ මං හිතන්නෙ එයා. සමහර විට ඒ කාලෙදි එයා අපේ මල්ලිලට වගේ මටත් ලං වුණානං මේ කතාව මීට වැඩිය වෙනස් වෙන්න තිබුණ. හැබැයි අර අඳුනන්නෙවත් නැතුව වගේ හැසිරුණ එකත් එක්ක අපි සෑහෙන්න දුරස් වුණා. මට එයා විශේෂ විදිහට දැනුණ වුණත් ඒ දුරස්වීම අපිව දෙපැත්තකට ම විසිකරල දැම්මද කොහෙද…ඉතිං ඔන්න ඕකයි වුණේ. එහෙම නැතුව සුදූ ආයුට ගොඩක් ආදරේ නිසා මං අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න හදනව කියල හිතන්නනං එපා සන්දේශ්. ඒක මගෙ හිතට හරි මදි”
ඔවුන් අවන්හලෙන් නික්මුණේ තවත් බෝ දේ කතා කොට උනුන් ගැන අවබෝධයක් ලැබුවාට පස්සේ ය. සන්දේශ් ගේ යතුරු පැදිය ගෙදර පැමිණෙන විට ආයු සමගින් අමාගී මිදුලේ සිටියා ය. ඇය බලාපොරොත්තු නොවූ පරිදි ඊළඟට පැමිණියේ ආර්ය ගේ මෝටර් රථයයි. ඇය දකිත්දී ඔහු පැති වීදුරුව පහත් කළේ ය. පපුව ඇතුළෙන් උණුහුම් වායු ධාරාවක් පැන නඟිනු ඇයට දැනිණ.