මල් බිඟුන් – 42

මැදියම ඉක්මවා හෝරාවක් ගෙවුණු ඉක්බිති අශ්විනීටත් සාන්වීටත් රූපලාවණ්‍යාගාරය වෙත යන්නට නියමිත ව තිබිණ. මනාලියන් ලෙස හැඩගැන්වීම සඳහා ඔවුන් එහි කැටිව යාමට සූදානම් ව තිබුණේ ආර්ය ගේ මෝටර් රථයයි. ආර්ය ගේ උණුහුමෙන් මිදුණු විට ආයු අවදි වී අඩ නින්දෙන් හැඬුම්බර වූයේ ය. ඔහු රියට නැගෙන්නට පෙර, ඔහු ගේ උරයෙහි සැතපී උන් ආයු අමාගී ගේ අතට මාරු වූයේ ය.

“අනේ මාගි දරුවව තව ටිකක් නිදි කරවන්න. රෑ ජාමයක් වෙලා නිදා ගත්තෙත්. නැත්තං උදේට මහ වදයක් දෙයි කෙඩෙත්තුවට”

රිය නික්මෙත්දී ම මණී ඉල්ලීමක් කළා ය. අමාගී දරුවා වඩාගෙන මතු මහළේ කාමරයට ගියේ ඉනික්බිතියි. මේ ඈ මහානාම ගෙදරට ගොඩ වූයේ එදා ආර්ය ඈ ගැන දුරේශ් ට යෝජනාව කළාට ම පස්සේ ය. දුරේශ් තබා අශ්විනි හෝ එහි නො යන ලෙස ඇයට දන්වා සිටියා නොවේ. අමාගී එසේ කළේ ඇය විසින් ම ය. අක්කා ආර්ය කෙරේ දැක්වූ විරෝධය නො තකා ඒ ගෙදරට යාම් ඊම් කරන්නට තරම් මුරණ්ඩු විය හැකි තද සිතක් ඇයට නැත. අඩු තරමින් ප්‍රශ්නයේ උණුසුම තුනී වී යනතුරු හෝ ඒ නිහඬ ප්‍රතිපත්තිය අනුගමනය කරන්නට ඇය ස්වයං තීරණයකට ආවා ය. එතකොට අක්කා ගේ කේන්තිය මඳකින් නිවී ඇයට නිවීසැනසිල්ලේ ආර්ය ගැන හිතන්නට හෝ අවස්ථාව උදා විය හැකැයි ඕ උදක් ම බලාපොරොත්තු වූවා ය. අනිත් අතට ඒ යෝජනාවට තාත්තා ගේ අනුමැතිය ලැබුණේ නැති තත්වයක් යටතේ එහි යන එන එක තාත්තා ට කරන අගෞරවයක් වනු ඇතැයි අමාගී බිය වූවා ය. මේ වෙලාවේ අක්කලා සමගින් ආර්ය ද නික්ම ගිය නිසාවෙන් ද අද පවුල් දෙක නීත්‍යානුකූල බැඳීමකින් එක් පවුලක් වෙන්නට යන ප්‍රීතිය නිමිත්තෙන් ද ඈ සිය ස්ථාවරය මඳකින් ලිහිල් කරන්නට සිතුවා ය. මනාලියන් රූපලාවන්‍යාගාරයට ඇරලීමෙන් පසු ආර්ය ශාක්‍ය ව නිලමේ ඇඳුම ඇන්දවීම සඳහා කැටිව යන්නට නියමිත ව තිබිණ.

නිදි මතින් ආතුර ව සිටි ආයු, අමාගි ගේ ගෙල වැළඳගෙන ඉක්මනින් ම නින්දට වැටිණ. නමුත් එසැනෙන් ඇයට නින්ද ගියා නොවේ. ආර්ය ගේ සුවඳ ඇති යහනාවේ, ඔහු ගේ කොට්ටයෙහි හිස තියාන, ඔහු ගේ පැටියාව උණුහුමෙන් තුරුලු කොටගෙන ඇය නිසංසල කල්පනා ලෝකයක ඔහේ පා වුණා ය. එහෙම ඉද්දී සිතිවිලි ටික ටික ලිහිල් වී සැහැල්ලු වී ඈ සුවබර නින්දක් වෙත හෙමි හෙමිහිට පා වී ගියා ය.

දෙපස දෙමාපියන්ට නිදන්නට ඉඩක් නොවී ය. දුරේශ් ට ද කතා කොට මණී කෝපි වත්කොට දුන්නා ය. ඇස් දෙක වාගේ හැදූ දූවරුන් දෙදෙනෙකු ම එකවර ඔහු ගේ කැදැල්ලෙන් නික්ම යන සංකා තැවුල් හැඟීම දුරේශ් තුළ පොරබදමින් තිබිණ. ඔහු ඒ බවක් පෙන්නුවේ නැතිවාට මණී ට සේම උපුල් මහානාමට ද සිය පැරණි මිතුරාව හැඳිනගන්නට බැරි නැත.

“ගෑනු දරුවො හදනව කියන්නෙ ඉතිං ඕකට තමයි නේද… ටික කාලෙකදි වෙන කාටහරි ගෙනියන්න දීල පැත්තකට වෙන්නෝනෙ”

“ගෑනු දරුවො විතරක්  නෙවෙයි දුරේ… පිරිමි ළමයි වුණත් එච්චරයි. බැන්දට පස්සෙ ඉතිං ඒගොල්ලො වෙනම පවුල්. වෙනම ජීවිත. අපි ඒ ඇත්ත අවබෝධ කරගෙන පාඩුවෙ පැත්තකට වෙලා… ළමයින්ට කරදරයක් නොකර උන්ගෙ පවුල් කන්න ඇරල සන්තෝසෙන් ඉන්නයි තියෙන්නෙ”

“හ්ම්. වයස යනව කියන්නෙ ඔය හැමදේටම තමයි නේද මහා… වයස යන එක ගැන එක කාලෙකදි අපි කාටත් අමුතු බයක් දැනෙන්න ගන්නවනෙ. පණහක් විතර වෙනකොට කොහොමත් ඉතිං දැං බාගෙකට වැඩිය ඉවරයි කියන එක පිළිගන්න වෙනවනෙ. හැබැයි දුරේ වයස ගෙවෙන එක නතර කරන්න බෑ කියන අවබෝධය ලැබුවහම අපි කරන්න ඕනෙ ඒ ඒ වයසෙදි සතුටෙන් ඉන්න කරන්න ඕනෙ මොනවද කියල තේරුං ගන්න එක”

“නැත්තං. දරුවො දීල සතුටු වෙන්න ඕනෙ. දරුවොංගෙ දරුවො බලල සතුටු වෙන්න ඕනෙ”

“දරුවොංගෙ දරුවො හදල සතුටු වෙන්න ඕනෙ”

ඔවුහු තිදෙන ම හඬ නගා සිනහ වූහ. ශෝකී හැඟීමක හා යුතුකම් ඉටුකිරීමේ සතුටක සේයා ඒ සිනහවේ කැළතී තිබිණ.

“අපේ සුදූටත් නින්ද ගිහින්ද දන්නෑ”

කෝපි සංවාදයෙන් පසු මඳක් හාන්සි වන්නට ගෙදර යන්න නැගිටිත්දී දුරේශ් ට කියවිණ.

“දුරේ ගිහින් බලන්න”

මණී දෙගිඩියාවෙන් වාගේ කීවා ය. දුරේශ් හෙමි හෙමිහිට පියගැට පෙළ නැග කාමරයට එබී බැලුවේ ය. තත්පර කිහිපයක් ඔහු ගේ බැල්ම රැඳී පැවතිණි. අම්මා කෙනෙකු නොමැතිව හැදුණු කෙල්ල මව්වත්කම් දරා හිඳිනා අපූරුව!

අමාගී ගේ නෙතු විවර වූයේ කම්මුලට තැබුණ සීතල හා උණුහුම මුහු වූ රැවුල් කොට ඇනෙනා පරිස්සම් හාදුවකිනි. විවර වූ ඇගේ නෙතු ලෝබකම වෑහෙන බැල්මකින් ආර්ය දෙස බැලුවා ය.

“කොච්චර දවසකින්ද මෙහෙම ළඟින් ඔයාව දැක්කෙ”

ඔහු ඇගේ කියඹු රොදක් අතැඟිල්ලකින් කම්මුල කෙළවරට කළේ ය.

“මට ලෝ… බයි ලොකයියෙ”

කියමින් ඕ ආර්ය ගේ අතක් ගෙන කම්මුලට තබා තද කොටගත්තා ය.

“ඒත් මං ඉවසනව”

“අම්ම සැලොන් එකට යන්න හදන්නෙ. ඔයත් ලෑස්ති වෙලා එන්න”

“තව ටිකක් මෙහෙම ඉන්නං… චූට්… ටක්…”

“ඔක්කොම ඇහැරල ඉන්නේ… මං මේ හොරෙන් උඩට ආවෙ”

“අම්මොහ්”

කියාගෙන යහනෙන් බැස්සාට පහළට යන්න හිතෙන්නේ නැති දැඩි ලෝබකමක් අමාගී ට දැනිණ. එක ම එක මොහොතකට ඒ හැඟීම තුළ කැමැත්තෙන් දිය වෙන්නට තරම් ඇය තමන්ට අවංක වූවා ය. ආර්ය ගේ බඳ වටා දෑත ම යවා තදින් ඔහු ට තුරුළු වී මොහොතකට දෑස් පියාගත්තා ය. ඇයට ලොව්තුරු සුවයක් දැනිණ.

“මං ගොඩා… ක් ආදරෙයි ලොකයියෙ”

ඊළඟ නිමේශයේ ඇය පියගැට පෙළ දිග දිව ගියා ය. පහළ මහළෙහි, සිය සපත්තු පොලිශ් කරමින් සිටි රුසිරු බොරුවට කැස්සේ ය. අමාගී ඔහු ගේ කොණ්ඩෙන් ඇද්දා ය.

“ඇයි කාසෙද…”

“ඒ වගේ නේ…”

ඈ ගෙදර යන විට දුරේශ් ආලින්දයෙහි සක්මන් කරමින් සිටියේ ය. සන්දේශ් ඔහුගේත් පියාගේත් ඇඳුම් මැද්දේ ය. ගෙට ඇතුළු වන විට ම අමාගී ට දැනුණේ අමුතු පාළුවකි. ඒ වගේ  මූසල පාළු හැඟීමක් මේ ගෙතුළ දී කවදාවත් දැනී තිබුණ බවට මතකයක් ඇයට නැත. ලොකූත් පොඩීත් නැති කුස්සිය හිස් වී ගොසිනි. වෙනදාට උදයෙන් ම හැදෙනා තේ වල සුවඳ නැත. තාත්තාටත් අයියාටත් තේ හදා දිය යුතු යයි අමාගී ට සිහිපත් විය. උන් හිටි ගමන් ඇය මේ ගෙදර පාලනය කරනා ගෑනු ළමයා බවට පත් වී තිබේ. අශ්විනි හිඳියදී ගෙදර වැඩක වගකීමක් කවදාවත් ඈ මත පැටවී නො තිබිණ. වතුර උතුරන තුරු බලා සිටි අමාගී ගේ ඇස් වලින් ඇයත් නො දැන කඳුලු ඉහිරිණි. තේ හදන්නේ කොහොමද කියා ඇයට මතක් කරගත නො හැකි වූ තරම ය. සීනි තේකොළ පිටි බෝතල දෙස බලාගෙන ඇය ඉකිබින්දා ය.

“සුදූ…”

සන්දේශ් මුළුතැන්ගෙට ආවේ අමාගී ගේ සද්ද බද්දයක් නොවූ නිසාම ය.

“ඒ… යි… මොකෝ මේ…”

“ඒගොල්ලො නැතුව කොහොමද අයියෙ ඉන්නෙ… ලොකූ නැතුව මං නිකං අබ්බගාතයි වගේ. තේ එකක් හදන හැටිවත් මං දන්නෑ වගේ. අනේ මං කොහොමද අයියෙ මේ ගෙදරට ඒගොල්ලො නැති අඩුව පුරවන්නෙ… මං කොහොමද ලොකූ කෙනෙක් වෙලා ඕගොල්ලො බලාගන්නෙ…”

ඈ සන්දේශ් ගේ පපුවෙහි ඉකිළුවා ය. හඬමින් ම දෙඩවූවා ය.

“ඒ…යි. පිස්සි…ලොකූ කෙනෙක් වෙන්න ඕන නෑ. ඔයා අපිට සුදූ විදිහටම හිටියහම ඇති. කෝ අපි තේ හදමු”

තේ කුඩු දැම්මේත් සීනි පිටි කළවම් කළේත් සන්දේශ් ය. අමාගී කඳුලු කම්මුල් පිසිමින් උතුරන වතුර වත්කළා ය. ඒ තේ එක ලොකූ ගේ තේ එකටත් වැඩිය රසයි වාගේ සන්දේශ් ට දැනිණ.

මංගල උත්සවය සුවිශේෂ එකකි. ඒ, සහෝදරියන් දෙදෙනෙකු එකවර මනාලියන් වී ඇති නිසාවෙනි. අමාගී ද මනාලියක් තරමට ම ලස්සනට සිටියා ය. ඈ දෙසට නිතර ඇස් හැරවෙන එක නතර කරගන්නට ඇතැම් විට ආර්ය අපොහොසත් වූ තරම ය.

“ලොකූ මල් බෝකේ එක මනමාලයට දීල එයි තමුසෙට දෙකක් කියල යන්න. මාගි දිහා ඔහොම බලං ඉන්නව දැක්කහම”

පූජන වරක් ආර්ය ට විහිළුවක් ද කළේ ය.

සිනහවෙන් පිරී තිබුණේ මංගල උත්සවයේ මුල් කොටස පමණකි. මනාල යුවළ දෙක නික්ම යන්නට වෙලාව ලං වෙත්දී මනාලියන් දෙදෙනා හඬන්නට පටන් ගත්තේ ඒ ඔවුන් ගේ අකමැත්තෙන් සිදු කළ විවාහයක් සේ ය. මල්වත්තගේ පවුල ම උනුන් වැළඳගෙන හඬනු ආරාධිතයන්ට ද බලා සිටිය නො හැකි තරම් දර්ශනයක් වූයේ ය. කෙසේ වෙතත් අවසන ඔවුන් යා යුතුව තිබිණ. අමාගී, සන්දේශ් හා දුරේශ් ගෙදර ගියේ ජීවිතයේ     කිසි දිනෙක එතෙක් අත් නොවිඳි වියෝගයක් දරාගෙන යි. පවුලේ සාමාජිකයන් දෙදෙනෙකු එක වර ගෙදරින් ඈත් වූ විට ඔවුන් තිදෙනා පමණක් යයි ඔවුන් මීට පෙර මනස් රූපයක් හෝ මවාගෙන නො තිබිණ.

මණී ඇවිත් කන්නට කතා කළාට තිදෙනාගෙන් කිසිවෙකු කෑම කෑවේ නැත. කෑමේ පිරියක්වත් කුසගින්නක්වත් ඔවුන්ට නො දැනිණි. තම තමන්ගේ කාමර වලට වී යහන්හි වැටී සිටිය ද කාටවත් නින්දක් ළඟා වූවා නොවේ. හඬා බැරි ම තැන අමාගී කොට්ටයත් පොරෝනාවත් ගෙන තාත්තා ගේ කාමරයට ගොස් ඔහු පසෙකින් ගුලි වූවා ය.

“නින්ද යන්නැද්ද සුදු පුතා…”

දුරේශ් හෙමිහිට දියණිය ගේ හිස් මුදුන පිරිමැද්දේ ය.

“කොහොමද තාත්ති මං ඒ ඇඳේ තනියම නිදියන්නෙ… මගෙ දෙපැත්තෙන් නිදාගන්න දෙන්නම නැතුව… අනේ මට එතන ඉන්න බෑ තාත්ති”

ඇය මහ හඬින් හඬා වැටුණා ය.

“හරි හරි. සුදු පුතා අද තාත්ති ළඟින් නිදියන්නකො”

හිතේ වන දරාගන්නට බැරි ම බරත් ජීවත් වීමෙන් ලද අත්දැකීම් විසින් දරාගනු ලැබ, දුරේශ් අමාගී ගේ පොරෝනාවෙන් ඇය පෙරවූයේ ය. නමුත් ඔහු ගේ පීතෘ හදවත දැඩි ශීතලකින් ඉරිතලා ගොස් තිබිණ.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles