සුළි සුළඟක සුසුමක් – 5 වන කොටස

0
4003

සංකල්ප අපේ ගේ දොරකඩ පෝටිකෝව යටට ම කහ පාට මොරිස් මයිනර් රියකින් පැමිණියේ ය. මට තනිව ලූනා ඔසවා ගත නො හැකි වූ නිසා ඔහු වහා රියෙන් බැස ලූනා ව ඊට දමා ගන්නට මට උදව් කළේ ය.

“අනේ ඉක්මනට යං”

මම පින්සෙණ්ඩු වුණෙමි. සංකල්ප පවනට බඳු වේගයෙන්, කඳු හා පල්ලම් සහිත පාරේ රිය පදවා ගෙන ගියේ ය.

මා සිටියේ ලූනා ගේ හිස මගේ උකුලේ තබා ගෙන පිටුපස අසුනේ ය. ලූනා අසුන මත අසීරුවක් දරා ගෙන වැතිර සිටියා ය. ඇයට කරදරයක් වේවි ද යන බිය මගේ හෘද ස්ඵන්දනයේ වෙනසක් සිදු කොට තිබිණි. සමස්ථ මා වෙතින් ඒ බිය විද්‍යමාන වන්නට ඇත. මට සිහි වූයේ ම අප්පච්චි ය. බැඳීම් කියන්නේ ම දුක ඉතිරි කොට බිඳී යන යමකට ද? මම තැති ගතිමි.

“ලූනාට ලොකු ප්‍රශ්නයක් නෑ. බය වෙන්න එපා”

වරින් වර පිටුපස බලමින් සංකල්ප කීවේ ය. ලූනාටත් වඩා මා බිය වී ඇති වග ඔහු වටහා ගන්නට ඇත.

“මේ වෙට් හරි දක්ෂය. ගොඩ දාගන්න බැරි වෙයි කියල හිතපු සත්තුංව පවා බේරල තියනව”

මා යම් සැක සංකාවකින් හිඳිනවා නම් එය තුරන් කර දැමීම ඔහු ගේ අරමුණ වන්නට ඇත. නමුත් ඒ වචන මා තුළ ඒ තරම් ලොකු වෙනසක් කරන්නට සමත් වූවා නොවේ. මා සිටියේ එතරම් ම අගාධයක ය. අප්පච්චි ගේ වියෝව දරා ගන්නට තවමත් මට නො හැකි වී තිබේ. ඉතින් එක ම දේ යළි සිදු වෙන්නට හදන්නේ ඇයි?

කෙසේ වෙතත් සංකල්ප ඉක්මනින් පශු වෛද්‍යවරයා වෙත ළඟා වූයේ ය. රියෙන් බට ඔහු ලූනා ව තනිව ම ඔසවා ගත්තේ මගේ පපුවට සහනයක් දනවමිනි. ඇත්ත ම ඇත්ත නම් මා සිටියේ ලූනා ඔසවා ගන්නට තරම් හෝ මානසික ශක්තියක් ඇති ව නොවේ. මේ වෙත්දී ඔහු ඒ බව වටහා ගෙන ඉන්නට ඇත.

“මට පේන්නෙ කෙල්ල ටිකක් විස සතෙක්ව කාල වගේ”

ලූනා ව පරීක්ෂා කළ වෛද්‍යවරයා කීවේ ය.

ලූනා දිව ආවේ වත්තේ සිට නිසා එසේ වන්නට බැරි නැතැයි මට සිතිණ.

“අපි සේලයින් එක්ක බේත් කීපයක් දෙමුකො”

ලූනා ව මේසය මත අතුරා සේලයින් ලබා දෙන්නට කටයුතු කෙරිණි. වෛද්‍යවරයා ඊට බෙහෙත් කිහිපයක් ම එන්නත් කළේ ය. මීට පෙර ලූනා සම්බන්ධයෙන් මෙවන් අත්දැකීමක් නැති මම තිගැස්මෙන් යුතු ව ඒ මේ අත සක්මන් කළෙමි. සංකල්ප ලූනා ගැන බලා ගත්තේ ය.

“අපි බෙහෙත් ටිකක් දෙමුකො. සමහර විට කෑම කන්නෙ නැති වෙන්න පුළුවන්. එයා කන්න කැමති ඕනම දෙයක් දෙන්න. බත් කනකල්ම බලං ඉන්න ඕන නෑ හොඳේ. දවස් දෙකකිං අපි ආයෙ බලමු”

අවසානයේ වෛද්‍යවරයා එසේ කීවේ ය. මගේ ඇඟට ද පණක් ආවේ ඒ වෙලාවේ කියා සිතමි. මම ලූනා වඩා ගෙන ඈ සිප ගනිමින් ම රිය වෙත ආවෙමි. සංකල්ප රියෙහි ඉදිරි දොර ඇරියේ ය.

“මෙහෙං නගින්න”

මම ලූනා ව උකුලේ හිඳුවා ගෙන ම ඉදිරි අසුනට ගොඩ වීමි.

“අනේ තෑන්ක් යූ සංනල්ප. තෑන්ක්ස් අ ලොට්. මගෙ ඔළුව වැඩ කළෙත් නෑ මොනාද කරන්නෙ කියල හිතන්න. ඔයා හිටියෙ නැත්තං…”

“ඕක මොකද්ද…නේද ලූනා…ලූනා ඉතිං මගෙ යාළුවනෙ”

ඔහු ලූනා ගේ හිස පිරි මැද රිය පණ ගැන්වූයේ ය. මම ලූනා ව පිරිමදිමින් ඇය ව තුරුලු කර ගෙන මගේ ම ලෝකයකට විමි. ඇයට කරදරයක් වී නම් මේ වෙලාවේ එය දරා ගන්නට තරම් ශක්තිමත් හදවතක් මට නැත. බිඳී කීරි ගැසී ඇති හිත මඳක් හෝ නිවෙන්නේ ලූනා නිසාවෙනි.

“ඔයා තාම මාගෙ හීනේ

පෙම් කුමාරියයි

හීනෙන් හැඬුව තාලෙ දන්නේ

මගේ හිත තමයි…”

සංකල්ප රිය පදවමින් ගීයක් මුමුණන්නට වූයේ ය. මම ඔහු දෙස නො බලා ම ඒ හඬ තුළ දිය වෙමින් සිටියෙමි. නමුත් ඔහු එක දිගට ගීය කීවේ නැත. සමහර වචන කොටස් උරුහම් බෑවේ ය. සමහර තැන් හෙමිහිට මිමිණුවේ ය.

“මගේ මතක මාළිගාවේ

රැජිණ චංචලා

සිඹින්නට හිතයි පෙර සේ

සුවඳ රස බලාලා

හ්ම් හ්ම් හ්ම් හ්ම් හ්ම් ම් හ්ම්…ම්..”

ඔහුත් එක්ක ගීත ගැන කතා කරන්නට තරම් ඒ වෙලාවේ මා තුළ නිස්කලංක බවක් නොවී ය. නමුත් ගී ගැයීම ගැන ප්‍රයෝජන නො ගත් විශේෂ හැකියාවක් සංකල්පට වන බව ඒ වෙලාවේත් මට සිතිණි.

“ඉන්න. තේ එකක් බීල යන්න”

අපව ගේ දොරකඩට ම ගෙනැවිත් බස්වත්දී මම ඔහු ට ඇරයුම් කළෙමි.

“වෙන වෙලාවක”

කියා ඔහු ඒ යෝජනාව ප්‍රතික්ෂේප කළේ ය. මම ලූනා ට යෝගට් කවා බෙහෙත් පොවා ඇය ට නිදන්නට සැලැස්වීමි. හිත කලබල වී තිබි නිසා මා කළේ ගෙයි ඒ මේ අත ඇවිදීම පමණකි.

“ඕකනෙ මං සුදු බබාටත් කියන්නෙ ඔය කැලේ අස්සෙ රිංගන්න යන්න එපා කියල. සර්පයො ඉන්න පුළුවන්”

නීලා ගතු කීවා ය. නමුත් මගේ මුව විවර කරන්නට ඇය සමත් වූයේ නැත.

“අර දොස් කියල ආපු කොල්ලංගෙන්ම උදව් ඉල්ලන්න වෙච්ච එක ගැනයි මට නං ලැජ්ජ”

ඈ සිය කියවිල්ල නතර කරන පාටක් තිබුණේ නැත. මම බරාඳය වෙත ගියෙමි. තදින් අව්ව පායා තිබුණේ ය. පහු ගිය දින වල එක දිගට වැස්සා ද කියා හෝ, මිදුල දෙස බැලූ විට සිතා ගත නො හැකි විය. තණ පලස ට හිරු එළිය වැද, ඒ පැත්ත බැලිය නො හැකි තරමට හිස රිදුම් දුන්නේ ය. මම යළි කාමරයට විත් විදුලි පංකාව ද ක්‍රියාත්මක කරවා යහනට වැටුණෙමි. ලූනා සිය සුව පහසු මෙට්ටයේ ගුලි වී සිටියා ය.

සමහර දේවල් සිදු වෙන්නේ පුදුම සහගත ආකාරයකට කියා මට සිතිණි. කුඩා කල රත්නපුරයෙන් නික්ම ගියාට පස්සේ මට මෙනුවර ගැන කිසිදු හැඟීමක් වූයේ නැත. අප්පච්චි මිය ගොස් හිත සකසා ගත නොහැකි වූ තැන සියල්ල හැර පියා මෙහි ආවා විනා, රත්නපුරයත් එක්ක බැඳුණු මගේ ලොකු මතකයක් වුව වූයේ නැත.

මෙහි පැමිණ දෙසතියක් පමණ යන තුරු මට සංකල්ප කියා කෙනෙක් හමු වී තිබුණේ නැත. මහ රැයක නින්දෙන් පිබිදී, යාබද වත්තේ සින්දු කියන කොල්ලන් වෙත ගොස් බැණ වදිත්දී ද මම ඔහු නො දැන සිටියෙමි. නමුත් වසර විස්සක් තිස්සේ ඔහු මා මතක තියා ගෙන සිටි බව සංකල්ප කීවේ ය. නීලා හිතන විදිහට මගේ හතුරා වෙතට ගොස් ලූනා වෙනුවෙන් උදව් ඉල්ලන්නට මට සිදු විය.

ඒ සියල්ල පිටපතක් සේ කිසිවෙකුට දැනෙනු ඇත. ජීවිතය මත දේවල් සිදු වන්නේ එවන් පිටපතක් මත නොවේ යයි මා වුව සිතා ඉන්නට ඇත. නමුත් ඒ දේවල් සිදු වන්නට නියමිත සැලැස්මක් නො විණි නම් කෙසේ එහෙම සිදු විණි දැයි දැන් මම සිතමි.

හැන්දෑ වන විට ලූනා තරමක් සුව අතට හැරෙමින් සිටියා ය. බත් නොකෑ නිසා මම ඇයට බිස්කට් කවා කිරි පෙව්වෙමි. කෘත ගුණ සිහි කිරීමට මෙන් ලූනා මාව ලෙවකෑවා ය.

“තෑන්ක් කරන්න ඕන මට නෙවෙයි. අර සංකල්ප අයියට. එයා නොහිටියනං මට හිතා ගන්න බෑ කොහොම මං ඔයාව අරං යන්නද කියල. ඩොක්ට කෙනෙක් ඉන්න තැනක් හොයං යන්නවත්…කා එක තිබුණට ඒ වෙලාවෙ මට අඩියක්වත් ඩ්‍රයිව් කර ගන්න බැරි වෙනව කියල මං දන්නව”

මම ලූනා එක්ක කියවීමි. ඇය ආලින්දය දිගේ බරාඳය වෙත ඇවිද යන්නට වූවා ය. අව්ව බැස ගොස් තිබිණ. තුනී මන්දාරමක් නැගෙනහිර අහසේ දකිත හැකි විය. මහන්සියකින් සේ ලූනා බිම වැතිර ගත්තා ය. මම පුටුවකට බර වී ඇගේ හිස පිරිමැද්දෙමි.

“අද රෑට බෙහෙත් බීල නැගිටිනකොට හොඳටම හොඳ වෙලා තියෙයි. පැහිච්ච කමට සත්තු අල්ලන්න ගිය නිසානෙ මේ ඔක්කොම කරදර. නැත්තං මට අරයගෙං උදව් ඉල්ලන්න වෙන්නෙත් නෑනෙ”

මා එසේ කියනකොට ම බුලී ව ද ගෙන සංකල්ප අපේ නිවස වෙත එමින් සිටියේ ය. ලූනා දිව ගෙන ඉදිරියට ගොස් ඔවුන් පිළිගත්තා ය.

“බුලී ආවෙ ලෙඩ්ඩු බලන්න”

සංකල්ප ලූනා ළඟ පහත් වී කීවේ ය.

“දැං ගොඩක් හොඳයි වගේ නේ…”

ඊළඟට ඔහු මදෙස බලා ඇසුවේ ය. මම මඳහසකින් හිස සැලුවෙමි.

“ඔයාගෙ අක්ක බය වෙලා හිටිය බයවිල්ලක් ලූනා. මං බය වුණේ එයාව ඩොක්ටර් කෙනෙක් ළඟට අරං යන්න වෙයිද කියල”

ඔහු සිනහවක් නගා ගත්තේ ය. මම ඉවත බැලුවෙමි.

“මොනා වුණත් අර අහංකාර කමනං අඩුවක් නැතුව ඉස්සර වගේම තියෙනව නේ ලූනා…”

“නීලා”

මම ගෙතුළට එබී කෑ ගැසුවෙමි. නීලා ඉක්මන් ගමනින් ආවා ය.

“තේ හදනවද නීලා…”

“මේ හදන ගමං සුදු බබා”

“සංකල්පටත් එක්කම තේ ලෑස්ති කරන්න නීලා. කන්නත් මොනා හරි එක්කම ගාඩ්න් ටේබල් එකට අරේන්ජ් කරන්න හොඳේ”

නීලා හිස වැනුවේ ඒ හැටි කැමැත්තකින් නො වන බව මට දැනිණ. නමුත් මම ඒ ගැන උනන්දු වන්නට නො ගියෙමි. ඇය ට අනුව සංකල්ප දැන් අපේ හතුරා ය.

“මං ලූනාටත් කිය කිය හිටියෙ. සංකල්පට තෑන්ක් කරන්න ඕනෙ කියල”

කියමින් මම මිදුලට බැස්සෙමි.

“ලූනා ඒක කළා”

“ඔන්න දැන්නං තේ ටිකක් බීලා යමු. මං නීලාට කිව්ව රෙඩි කරන්න කියල”

මා අනුව සංකල්ප ද ප්‍රතික්ෂේප කිරීමකින් තොර ව සුදු පාට කැටයම් පුටු තෙක් ඇවිද ආවේ ය.

“ඔයා හිටියෙ හොඳ වෙලාවට”

කතාවක් අරඹන්නට වෙන මට තැනක් සොයා ගත හැකි වූයේ නැත.

“සාමාන්‍යයෙං මං ඉතිං ඉන්නව”

“ජොබ් එකකට යන්නැද්ද…”

“ගෙස්ට් හවුස් එක කරං ඉන්නව උත්තරා. ජොබ් එකකට හිර වෙනවට වඩා ඒක නිදහස්”

“ගෙස්ට්ල එනවද…මෙතන මේ අතුරු පාරක නිසයි මං ඇහුවෙ”

“මේන් රෝඩ් එකෙත් ලොකු බෝඩ් එකත් දාල තියෙන්නෙ. ඒ නැතත් ඉතිං…වැඩිපුරම එන්නෙ ඉන්ටර්නෙට් එකෙං දැකල බුක් කරගෙන එන අය”

“මොන්ටිසෝරි කාලෙත් ඔයා හිටියෙ ඒ ගෙදරමද…මටනං මෙලෝ මතකයක් නෑ”

ඔහු සිනහ වුණේ ය. ඒ සිනහව අහිංසකයි කියා මට සිතිණ. සාමාන්‍යයෙන් ඔහු දඩබ්බරයෙක් බව හැසිරීම අනුව පෙනේ. ඒ සිනහවේ අහිංසක කමත් එක්ක තැවරුණ අසරණ බවක් තිබිණි ද?

“එහෙම වෙන එකත් හොඳයි එක අතකට”

“ඔයාගෙ පේරන්ට්ස්ලත් ඉන්නෙ මෙතනමද…”

කතා කරන්නට දෙයක් නැති කමට මා නැගූ ඒ ප්‍රශ්නය ට එකවර පිළිතුරක් නොදී සංකල්ප නිකට පිරිමදිමින් මඳ කල්පනාවකට වැටිණි. ඇසුවේ අනවශ්‍ය ප්‍රශ්නයක් ද කියාත් මට නො සිතුණා නොවේ.

“අම්ම නැති වුණේ ඔයාල මෙහෙන් ගිය අලුතමයි”

සංකල්ප ඒ වැකිය කීවේ, නොකියන තව බොහොමයක් කතා සුසුමක් කොට එහි තවරා ලමිනි. ඔහු ගේ සිහින් ඇස් වල දුකක සේයාවක් කරක් ගැසුවේ ය. ඔහු මුව මඳක් විවර කර ගෙන සිටියේ, ඇතුළාන්තයේ වන වේදනාවක් එසේ පිට කොට හරින්නට මෙනි. මට අප්පච්චි සිහි විය. එසේ නම් අපට කතා කරන්නට එක ම කතාවක් තිබේ. බෙදා ගන්නට එක ම දුකක් තිබේ. පිස ලන්නට එක ම කඳුළක් තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here