වසර 70ක පාලන කාලයකින් පසු එංගලන්ත මහ රැජින ලොවට සමු දෙයි

ලෝක ඉතිහාසයේ දීර්ඝතම පාලන කාලයෙන් පසු, වයස අවුරුදු 96 ක් ආයු වළඳා ඊයේ (8) වන දින රාත්‍රියේ දී දෙවන එලිසබෙත් රැජින අභාවප්‍රාප්ත වූ බව රජ පවුල නිල වශයෙන් ප්‍රකාශයට පත් කළා. 

පසුගිය බ්‍රහස්පතින්දා ඇයගේ පවුලේ සාමාජිකයින් සියලු දෙනා ස්කොට්ලන්ත වතුයායට එකතු වන්නේ ඇගේ සෞඛ්‍ය තත්ත්වය හොඳ මට්ටමක නොතිබූ නිසා. 

බ්‍රිතාන්‍යයේ කිරීටය හිමි එළිසබෙත් මහ රැජින සිය පදවි ප්‍රාප්තියට පත්වී හැත්තෑ වසරක් පිරීම නිමිත්තෙන් ප්ලැටිනම් ජුබිලි සැමරුම ජූනි දෙවෙනිදා සිට ජූනි පස්වෙනිදා දක්වාම පැවැත්වුණා.බ්‍රිතාන්‍ය ඉතිහාසයේ ප්ලැටිනම් ජුබිලියක් සැමරූ පළමු  රාජකීයා ලෙසත් ලෝක ඉතිහාසයේ වැඩිම කාලයක් පැවති රාජාණ්ඩුව බවට ද එක්සත් රාජධානිය මේ නිසා වාර්තා පොතට එක් වූවා.

ඉන් මාස හතකට පසු, සැප්තැම්බර් 8 වනදා රාත්‍රියේ ඇය දිවියෙන් සමු ගන්නවා.

රැජින සිහසුනට පත් වූ හැටි.

මහ රැජින සිහසුනට පත්වූයේ 1952 වසරේ ඇයගේ පියා වූ හයවැනි ජෝර්ජ් රජු අභාවයට පත් වූ වීමෙන් පසුවයි.ඇය කිසිලෙසකින් රාජ්‍යත්වය බාර ගන්නට අදහස් කර හිඳ නැහැ.නමුත් ඇයට එය බාර ගන්නට සිදු වූ අතර  වසර හැත්තෑවක් කිරීටය දරමින් ප්ලැටිනම් ජුබිලියක් සමරන පළමු බ්‍රිතාන්‍ය රාජකීයයා බවට ඇය පත්වෙනවා. දෙවන එලිසබත් රැජින ලොව දීර්ඝ කාලයක් රාජ්‍යත්වයේ රැඳී සිටින රාජ්‍ය නායිකාව බවට ද පත්වුණා. 

රැජිනගේ ජීවිතයේ අපූරු තොරතුරු 

රැජින ඉගෙන ගන්නට අසීමිතව ආශා කළ කෙනෙක්.ඇය ඉතිහාසය සහ නීතිය සම්බන්ධයෙන් මාළිගාවට ගුරුවරුන් ගෙන්වාගෙන ඉගෙනගෙන තිබෙනවා.ඒ වගේම එලිසබෙත් රැජින ක්‍රියාකාරී සාමාජිකයෙක් ලෙස හමුදා සේවයට බැඳුණු පළමු රජ පවුලේ සාමාජිකාව ද වනවා.දෙවන ලෝක යුද්ධය කාලයේදී ඇය ට්‍රක් රථ රියදුරියක සහ කාර්මික ශිල්පිනියක් ලෙස හමුදා සේවයේ යෙදී තිබුණා.

රැජිනට ගුවන් ගමන් බලපත්‍ර අවශ්‍ය වන්නේ නෑ.ඒ බ්‍රිතාන්‍යයේ සියලුම ගුවන් ගමන් බලපත්‍ර රැජිනගේ නමින් නිකුත් කිරීම නිසායි.

රැජින වසරකදි උපන්දින දෙකක් සමරනු ලබනවා ඇගේ උපන් දිනය අප්‍රේල් විසි එක වන අතර සෑම වසරකම ජූනි මස දෙවැනි සෙනසුරාදාව ඇගේ නිල උපන්දිනය සමරන දවස වනවා.

රැජින සුරතල් බල්ලන් සහ අශ්වයන්ට දැඩිව ප්‍රිය කරනවා.ඊට අමතරව එක්සත් රාජධානියේ සිටින සියලුම හංසයන්,මෝරන් සහ ඩොල්ෆින්ලා අයත් වන්නේ රැජිනටයි.

රැජින සුදු ළූනුවලට දැඩි අප්‍රිය බවක් දක්වනවා.මාළිගාවේ කිසිම ආහාරයකට එනිසා සුදු ළූණු එකතු කරන්නේ නෑ.ඒවගේම අර්තාපල්,සහල් සහ පැස්ටා සම්බන්ධයෙන් ද ඇය දක්වන්නේ එවැනිම පිළිවෙතක්.

රැජින දිවා ආහාරය ලබා ගන්නට පෙර ලෙමන් කැබැල්ලක් සහ අයිස් කැට රාශියක් දමා ජින් වීදුරුවක් පානය කරනවා.සවස් කාලයේ ෂැම්පේන් සහ වයින් පානය කරනවා.මෙය ඇගේ නීරෝගි ජීවිතයේ රහස බවද පැවසෙනවා.

ප්ලැටිනම් ජුබිලිය සැමරීමේ අපූරු උත්සව

දීර්ඝ සතිඅන්ත නිවාඩුවක්

විශේෂ දීර්ඝ බැංකු නිවාඩු සති අන්තයක් එක්සත් රාජධානිය පුරා සිටින ප්‍රජාවන්ට සහ ජනතාවට මේ ඓතිහාසික සන්ධිස්ථානය සැමරීමට ලැබී තිබෙනවා.මේ කාලය තුළ විවිධ පොදු ක්‍රියාකාරකම්,උත්සව කටයුතු සහ රැජිනගේ හැත්තෑ වසරක පාලනය සැමරීමේ ජාතික අවස්ථාද ඇති බව රජ පවුලේ නිල වෙබ් අඩවිය දන්වා තිබෙනවා.

සුවිශේෂී හමුදා පෙළපාලියක්

Trooping the Colour නමින් හැඳින්වෙන රැජිනගේ උපන්දින පෙළපාලියෙන් ආරම්භ වූ ජුබිලි සැමරුම් උළෙල සඳහා දහස් ගණන් ජනතාව මධ්‍යම ලන්ඩනයට පැමිණ සිටියා.

ජූනි දෙවැනිදා,බ්‍රහස්පතින්දා පෙ.ව. එකොළහට මේ උපන්දින පෙළපාලිය ආරම්භ වූවා. නිලධාරීන් සහ සොල්දාදුවන් 1200 කට වැඩි පිරිසක්, සියගණනක් යුධ හමුදා සංගීතඥයින් සහ අශ්වයන් 240 ක් පමණ එක්ව, අශ්වාරෝහක පෙළපාලියේ හමුදා සංදර්ශන ප්‍රදර්ශනය කරනු ලැබුවා.මේ පෙළපාලිය නැරඹීම වෙනුවෙන් නිකුත් කළ ටිකට්පත් කල් තියාම විකිණී අවසන් වූ බවයි මාධ්‍ය වාර්තාවල සඳහන් වූයේ.

විශේෂ මාධ්‍ය ආවරණයක්

ලෝකය පුරා ජනතාව ඉතා ආර්ථික අභියෝගාත්මක කාල වකවානුවකට මුහුණ දෙන කාලයක වුවත් රැජිණගේ මේ සැමරුම් උත්සව ලොව පුරා විශේෂ අවධානයක් ලබා ගෙන තිබෙනවා. ජනතාව විශාල උනන්දුවකින් මේ උත්සව වලට සහභාගී වෙන අතර ලොව පුරා ජනතාව  මේ සැමරුම් නැරඹීමට උනන්දුවක් දැක්වීමත් එක්තරා පුදුමයක්.ඒ නිසා මේ සියලු උත්සව වලට විශාල ප්‍රචාරණයක් ලබාදීමට ලොව පුරා මාධ්‍ය ආයතන කටයුතු කරනවා.පළමු සමාරම්භක පෙළපාලිය  ශාන්ත ජේම්ස් උද්‍යානයේ පිහිටුවා ඇති විශාල තිර හරහා බොහෝ පිරිසකට නැරඹීමට අවස්ථාව ලබා දී තිබුණා. එමෙනම BBc සහ Sky රූපවාහිනියේ සජීවී විකාශයන් ලෙසත් ලෝකය පුරා ජනතාවට මේ විචිත්‍රවත් උත්සවය නරඹන්නට අවස්ථාව තිබෙනවා.

ඔබ මේ මොහොතේ පවා ඒ සම්බන්ධයෙන් ගූගල් සෙවීමක් කළහොත් BBC,CNN,Royal family යූ ටියුබ් නාලිකාව සහ තවත් ප්‍රසිද්ධ නාලිකාවන් කිහිපයකම සජීවී විස්තර ප්‍රචාර නරඹන්නට පුලුවන්.

පළමු වරට නාද වන සීනුව

ජූනි තුන්වැනි සිකුරාදා රැජිනගේ පාලන සමය වෙනුවෙන් ස්තූති පූර්වක වීමේ උත්සවයක් පැවැත්වෙනවා.ඒ ශාන්ත පාවුළු ආසන දෙව් මැදුරේදීයි.Great Paul නම් සීනුවද නාද වන්නට නියමිත අතර එය ඒ සීනුව නාද කරන ප්‍රථම රාජකීය අවස්ථාව ලෙස ඉතිහාසයට එක්වන්නට නියමිතයි.

ජූනි හතරවැනි සෙනසුරාදා රැජින සහ රජ පවුල  Epsom Downs හි උත්සව අවස්ථාවකට සම්බන්ධ වීමට නියමිතයි.එදින මාලිගාවේ සාදයක් ද පැවැත්වෙනවා.එහි නිල මාධ්‍ය ආවරණය BBC නාලිකාවට ලැබී ඇති අතර ඔවුන් එහි සජීවී විකාශයක් ලබා දීමට ද කටයුතු සූදානම් කරමින් තිබෙනවා.පුද්ගලයන් විසි දෙදහසක් පමණ විවිධ තෝරා ගැනීම් හරහා මේ සාදයට සුදුසුකම් ලබා තිබෙනවා.

හිතා ගත නොහැකි පිරිසක් එකතු වී සමරන අරුම පුදුම දිවා භෝජනය

ජූනි පස්වැනි ඉරිදා වෙන් වන්නේ The Big Jubilee Lunch සඳහා.මේ දිවා භෝජන සංග්‍රහ  සඳහා 60,000 කට අධික පිරිසක් ලියාපදිංචි වී ඇති බව කියවෙනවා. දීර්ඝතම වීදි සාදයේ සිට උද්‍යානවල පවත්වන  BBQ ඒ අතර වෙනවා.මේ දිවා භෝජන උත්සව සඳහා එක්සත් රාජධානියේ මිලියන දහයකට අධික ජනයා එකතු වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.මේ දිවා භෝජන සංග්‍රහ පොදු රාජ්‍ය මණ්ඩලයේ රටවල් වලද පැවැත්වෙන බවයි රජ පවුලේ නිල වෙබ් අඩවිය සඳහන් කරන්නේ. 

රැජිනට ලෝකයේ බලවතුන් ද සුබ පැතුම් එකතු කරන්නට අමතක කර තිබුණේ නැහැ.ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් දෙවන එලිසබෙත් රැජිනගේ ප්ලැටිනම් ජුබිලිය වෙනුවෙන් අශ්වයෙකු තෑගි කර  තිබෙනවා. එක්සත් ජනපදයේ හිටපු ජනාධිපතිවරයෙකු වූ බැරැක් ඔබාමා රැජිනට වීඩියෝ ඇමතුමකින් සුබ පතා තිබුණා.

රැජිනකගේ වියෝව

ලොවක් ශෝක කඳුළේ ගිල්වමින්, නූතන බ්‍රිතාන්‍යය ගොඩ නැගූ, බ්‍රිතාන්‍යයට සිය දිවි හිමියෙන් මහත් සේවයක් කළ රැජිනකගේ වියෝව මෙලෙස සනිටුහන් වෙනවා…

Related Articles

Don't Miss


Latest Articles