දඩි බිඩි ගාලා පැයෙන් ආප්ප හදන හැටි.

සාම්ප්‍රදායික ක්‍රමයට ආප්ප හදන්න ලොකු වෙලාවක් පිපෙන්න ඕනේ. ඒ වගෙ ම තෙත හාල් පිටි නිතරම ගෙදර තියෙන දෙයක් නෙවෙයි. ඉතින් හදිස්සියේ ම ආප්පයක රස බලන්න ආස හිතුණොත් සාම්ප්‍රදායික ක්‍රමයට ආප්ප හදලා කන්න අපහසුයි. ඒ නිසා දඩි බිඩි ගාලා පැයෙන් ආප්ප හදන්න පුළුවන් රෙසිපි එකක් අද ස්මාට්ලේඩි පිටුවෙන් අපි ඔබට ගෙන එනවා. මේ රෙසිපි එකට තෙත හාල්පිටි ඕනෙ නෑ. කඩේ හාල්පිටි පැකට් එකකින් හදන්න පුළුවන්. මතක තියාගන්න මේ කඩේ තියෙන “ආප්ප පිටි ” පැකට් නෙවෙයි. සාමාන්‍ය සහල් පිටි.

අවශ්‍ය ද්‍රව්‍ය


කඩේ හාල්පිටි කෝප්ප දෙකක්
යීස්ට් තේ හැන්දක්
පාන්පෙත්තක්
සීනි තේ හැන්දක්
මද උණුසුම් වතුර ටිකක්
උකු පොල්කිරි 250ml
බිත්තරයක්
අවශ්‍ය තරමට ලුණු

හදන්නේ මෙහෙමයි.

සීනි, යීස්ට්, උණු වතුර ප්‍රමාණයට දමා පිපෙන තෙක් කෝප්පයකට දමා වසා තබන්න.

පාන්කැබැල්ල කුඩු වෙනසේ කොටාගන්න.

නැතිනම් වතුර ඉතාම ටිකක් දමා හොඳින් පොඩි කරගන්න.

ඉන්පසු ඒ මිශ්‍රණ දෙකත් සමග කඩේ හාල් පිටි එකතු කරන්න.

දැන් ඉතාම ස්වල්පය බැගින් වතුර එක් කොට ඝනකම් මිශ්‍රණයක් සකසා ගන්න.

විනාඩි පහළවක් හොඳින් අත් ගසන්න.

දැන් විනාඩි හතළිස්පහක් උණුසුම් තැනකින් පිපෙන්නට තබන්න.

තාච්චිය සූදානම් කරගන්න. නන්ස්ටික් තාච්චියක් තිබේ නම් මේ වැඩේ ඉතා ම පහසුයි.

විනාඩි හතළිස් පහකට පසු ආප්ප මිශ්‍රණයේ සිදුරු සෑදී ඇති බව ඔබට දැකිය හැකියි.

ඉන්පසු එයට පදම එනතුරු පොල්කිරි එක් කරමින් මිශ්‍රණය සකසා ගන්න.

තාච්චිය ලිප තබා මද ගින්දරේ රත් කරන්න. තාච්චිය ගොඩාක්‍ ‍රත් කරන්න එපා. අඩුවෙන් රත් කරන්නත් එපා. යාන්තම් දුම් දමන විට, තාච්චියේ හොඳින් තෙල් ආලේප කරන්න.

දැන් මිශ්‍රණයෙන් ඉතා කුඩා බින්දුවක් දමා නියමිත ගාණට රත්වී ඇත් දැයි බලන්න.

ඉන්පසු අවශ්‍ය ප්‍රමාණයට මිශ්‍රණය එක් කර කරකවා, ආප්ප සැකසෙන තෙක් වසා තබන්න.

උණු උණුවේ ම රස විඳින්න.ආප්ප පිපෙන අතරේ ඉක්මනින් හදාගන්න ලුණු මිරිස

අවශ්‍ය ද්‍රව්‍ය


රතුලූණු 100g
උම්බලකඩ මේස හැන්දක්
අමු මිරිස් කරලක්
කෑලි මිරිස් මේස හැන්දක්
මිරිස් කුඩු මේස හැන්දක්
ඉතා කුඩා සුදූලූණු බිකක්
ලුණු
දෙහි ටිකක්

මේ සියල්ල වං ගෙඩියක දමා කොටා ගන්න. නැති නම් බ්ලෙන්ඩර් එකක දමා තරමක් අඹරා ගන්න.  

වෙනස් රසට ආප්ප කන්න ටිප්ස් ටිකක්

    1. බිත්තර ආප්ප හදන්න අපි හැමෝම දන්නවානෙ. බිත්තරය එක පාරම ආප්ප එකට දාන්නෙ නැතුව, වෙනත් භාජනයකට කඩලා කපාගත් ලූණු, අමු මිරිස්, කෑලි මිරිස් සහ අවශ්‍ය නම් එළවලුත් එකතු කරලා සකසා ගත්ත මිශ්‍රණයෙන් බිත්තර ආප්ප හදලා බලන්න. හරි ම රසවත්. වෙනස් ම රසයක්. එළවලු දාන නිසා පෝෂණයත් උපරිමයි.

    2. ගෙදර පැණි කෝප්ප බාගයක්, එහෙම නැත්නම් කුඩු කරගත්ත හකුරු ටිකක් තියෙනවා නම් ඔබට පැණි ආප්ප හදාගන්න පුළුවන්. මිශ්‍රණයට පැණි හෝ හකුරු කුඩු එකතු කරලා සාමාන්‍ය පරිදි ආප්ප හදන්නයි තියෙන්නේ.

3. පැණි ආප්ප වගේ ම රස ම රස ආප්ප වර්ගයක් තමයි කිරි ආප්ප. ආප්ප මිශ්‍රණය තාච්චියට දාපු ගමන්, උකු පොල් කිරි මේස හැන්දක් සහ සීනි ටිකක් ආප්පයේ මැදට දාල තප්පරයක් යන්තම් කලවම් කරන්න. ඉන් පස්සෙ සාමාන්‍ය පරිදි ආප්පය උයා ගන්න. රස ම රස ක්‍රමයක්.

Related Articles

Don't Miss


Latest Articles