මල් බිඟුන් – 43

ඒ මල්වත්තගේ ගෙදරට අශ්විනී හා සාන්වී නැතිව හිරු උදා වූ පළමු දිනයයි. මැදියම් රැය ද ගෙවී යන තුරු නින්ද ගියේ නැති නිසා අමාගී අවදි වූයේ පමා වී,  ඇගේ දුරකතනය හැඬවෙන හඬට ය. ‘ලොකූ’ යනුවෙන් තිරය මත සනිටුහන් ව තිබිණ. අමාගී දණි පණි ගා නැගිට යහන මතින් හිඳ ඉක්මනින් දුරකතනය සවනට ගත්තා ය.

“ලොකූ…”

“තාම නිදිද සුදූ…”

එක ම එක වචනයෙන් අශ්විනි සියල්ල වටහාගෙන තිබිණ.

“රෑ වෙලානෙ නින්ද ගියේ”

අමාගී ඒ පැවසූයේ වැඩි බරක් දෙන්නේ නැතිව ය. නැතහොත් අක්කා ඔවුන් ගැන සිතා දුක් වනු ඇත යන සිතිවිල්ල ඇතිව ය.

“මට හරි දුකයි සුදූ. දැන් ඔයා හැමදේම තනියම කරගන්න ඕනනෙ. තේ ටික හදන එකේ ඉඳන්”

අශ්විනී ගේ හඬ බිඳෙන්නට ඔන්න මෙන්න ව තිබිණ. තමන්     ඉන්නේ තාත්තා ගේ යහනේ බවත් ඔහු නැගිට පිටතට ගොස් ඇති බවත් අමාගී දුටුවේ ඒ වෙලාවේ ය. අක්කා හිටියා නම් අවදි වන විට ම තාත්තා ගේ තේ එක ඔහු ගේ අතට ලැබෙන බව සිහි වී මහත් පසුතැවීමක් ඈ තුළ උපන.

“ලොකූ මං තේ හදල ඉන්නං. ඔයා හොඳින් සතුටෙන් ඉන්නව නේද…”

“ඕගොල්ලො නැති එක ඇරෙන්න අනිත් හැමදේම හොඳින්. එහෙනං සුදූ නැගිටල වොශ් දාං තේ හදන්න යන්නකො. මං තාත්තිට ගන්නං”

අමාගී වහ වහා මුළුතැන්ගේ දෙසට යන විට දුරේශ් හා සන්දේශ් එහි වූහ. අමාගී අතින් මුව වසාගත්තා ය. තාත්තා වතුර උතුරන තුරු කේතලය දෙස ඉලාගෙන හිඳී. සීනි තේ කුඩු පිටි බෝතල පැන්ට්‍රි මේසය මත වේ. අයියා තේ හදන්නට පෙර භාජන සෝදයි.

“මොනාද මේ ඔය දෙන්න කරන්නෙ… කෝ කෝ එහාට වෙන්න. ඇයි අනේ  මට කතා කළේ නැත්තෙ. පිස්සුනෙ ඕගොල්ලොන්ට”

කියමින් ඇය සන්දේශ් සබන් ගාමින් සිටි කෝප්පය අතට ගෙන ඔහු ව ඉවතට තල්ලු කළා ය.

“ඇයි ඉතිං… අපිටත් ඕව බැරි නෑ”

“ඒ වුණාට. හරි නරකයි අනේ. ලොකූ නැති වුණාම ඕගොල්ලොන්ට තේ එකක්වත් හදල දෙන්න මට බෑ කියලනෙ හිතං ඉන්නෙ”

අමාගී ඉක්මනට භාජන ටික සෝදා තේ වත්කළා ය. තාත්තාත් පුතාත් බාල දියණියත් තේ බීවේ කුස්සියේ ම තැන් තැන් වල හිඳ කල්පනා සාගර පත්ල වල කිමිදෙමිනි. ඒ හැම තැනක ම ලොකූ හා සාන්වී ගැන මතක කැබලිති වේ. ඔවුන් තිදෙනා තනිව කිසිදු තැනෙක නැත. එවන් අලුත් පරිච්ඡේදයක් ඇරඹෙන්නේ අද දවසෙනි.

“ලොකූ ඉතිං ලබන සතියෙ කසුන් අයියත් එක්ක ලංකාවෙන් යනවනෙ. අපි පොඩීවයි පොඩීයියවයි මෙහෙ නවත්තගමුද තාත්ති…”

උන් හිටි ගමන් අමාගී කී කතාවට දුරේශ් නො සැලකිලිමත් සිනහවක් පෑවේ ය.

“ඒක ඉතිං අපිට තීරණේ කරන්න බෑනෙ සුදු පුතා. එයාල කැමතිනං එහේ හිටියත් මෙහේ හිටියත් කිසිම ප්‍රශ්නයක් නෑ. හැබැයි ඉතිං බැඳපු ගමං අලුත් ජෝඩුවක් ඔය ගෙවල් දෙකේම නොඉඳ තනියම ටික කාලෙකට හරි ජීවත් වෙන එක තමයි හොඳ”

“අනේ ඇයි තාත්ති ඉතිං… පොඩීවත් හිටියනං අපිට පාළු නැතිවෙයිනෙ”

“වෙන අයගෙන් අපේ පාළු මකාගන්න හිතන හිතිවිල්ලෙම තියෙන්නෙ ආත්මාර්ථකාමීකමක් සුදු පුතා. අපිට පුළුවන් වෙන්න ඕනෙ අපිව බලාගන්න. අපිව සතුටෙන් තියන්න. අපිට ආදරේ කරන්න. අපේ දේවල් කරගන්න. කවුරුත් හිටියත් නැතත් එතකොට අපිට අමුතු දුකක් පාළුවක් දැනෙන්නෑ. මොකද ලෝක ධර්මය අනුව තමන්ට ඉන්නෙ තමන්”

“ඒත් අපි තමන් කියල හිතුවෙ අපි එක්කෙනෙක්ව නෙවේනෙ තාත්ති. ඔක්කොම එකට. ඒක නිසා මෙහෙම වෙන්වීමක්… හිතුවට වැඩිය හරි අමාරුයි…”

අමාගී ඒ අන්තිම ටික කියා ගත්තේත් අසීරුවෙන් උගුර යටිනි.

” මේ ගෙදර හිටියත් ඒ ගෙදර හිටියත් ඉතිං වෙනසක් නෑ. ඒක නිසා අපි බලමුකො කොහොමද දේවල් වෙන්න නියමිත කියල. කොහොමටත් ශාක්‍ය ඉක්මනට ගේ හදන වැඩ පටං ගන්නව කිව්ව. ඊට පස්සෙ පොඩී වුණත් අපිට නිතර පේන්න නැති වෙයි. ගෑනු පුතාල හදනව කියන්නෙ එහෙම දෙයක් තමයි දරුවො. අයිතිකාරයො ආවහම ගෙනියන්න දෙන්න ඕනෙ. ඒ වෙනකල් ඇස් දෙකේ තියං පරිස්සං කරන්න ඕනෙ”

“මන්නං තාත්ති දාල යන්නෑ කොහෙවත්”

අමාගී දුරේශ් ගේ දණමඬල මතින් නිකට තියාගත්තා ය. ඈ එසේ කීවේ නිකමට මූණිච්චාවට නොවේ. ඒ විදිහට දෙමාපියන් තනි වන එක ගැන අවංක කම්පාවක් ඇයට දැනෙමින් තිබේ. දෙමාපිය දෙදෙනා ම සිටිනවා නම් ඔවුන්ට ඔවුන්වත් සිටිති. තම තමන් ගැන බලාගන්නට එතකොට ඒ දෙදෙනා වෙති. නමුත් දෙමාපිය දෙදෙනාගෙන් එක්කෙනෙකු පමණක් ඉතිරි ව සිටියදී දරුවන් වෙන්ව යනවා කියන්නේ මවකට හෝ පියෙකුට දැරිය හැකි අහිමි වීමක් ද? එතකොට තමන් මේ විසල් ලෝකය මත තනි වී ඇති බවක් ඔවුන්ට නො       සිතෙනු ඇත්ද? එවන් හුදෙකලාවක් දරාගන්නට වියපත් හදවතකට හැකි වනු ඇත්ද? මව් පියන් වියපත් විය යුත්තේ දරුවන්ගේ ආදරය හා රැකවරණය අතරේ ය. මුණුබුරු මිණිබිරියන් ගේ හුරතල් කෙළි සෙල්ලම් අතරේ ය. තාත්තා අතැර යන්නට සිදු වන විවාහයකට කිසි දා එකඟ නොවෙන බව ඒ මොහොතේ අමාගි තදින් සිතාගත්තා ය. දුවෙකුට ම මිස, තාත්තා ගේ හිතේ වන පාළු හුදෙකලා කාංසිය පිරිමැද තුනී කරන්නට පිටතින් පැමිණෙන ලේලියකට කිසි දා හැකි වනු ඇත්දැයි සන්දේශ්ටත් සිතෙමින් තිබිණ.

“සුදූ කවදහරි බැඳල මේ ගෙදරම ඉන්නයි ඕනෙ. අපි කවුරු හිටියත් තාත්ත ළඟ සුදූ ඉන්නව වගේ නෑ. ලොකූයි පොඩීයි දෙන්නම ගියත් දැනුන්‍නැති තනිකමක් තාත්තට දැනෙන්නෙ සුදූ මෙහෙන් ගියොත්. ඒක නිසා සුදූ කොහෙවත් යන්න ඕන්නෑ”

එය තීරණාත්මක ප්‍රකාශයකි. තාත්තා ළඟ වුවත් අමාගී ගේ අයියා වශයෙන් ඒ තීන්දුව ප්‍රකාශ කරන්නට තමන්ට අයිතියක් ඇතැයි සන්දේශ් සිතුවේ ය. දුරේශ් හෝ අමාගී හ්ම් කීවේවත් නැත. නමුත් ඔවුන් ගේ හදවත් තුළ සිතිවිලි සාගර කැළඹෙමින් තිබිණ.

වෙනදා වාගේ පැයක් හමාරක් වැය කොට උදයෙන් ම සේපාලිකා මල් ඇහිඳින්නට තරම් නිදහස් බවක් අමාගී ට වූයේ නැත. ගෙවල් මිදුල් අස් කර අතුගාන්නටත්, ආහාර පිළියෙළ කරන්නටත්, යන්ත්‍රයෙන් සේදූ රෙදි වේලෙන්නට දමන්නත්, නාන කාමරය සෝදන්නටත් යනාදී වශයෙන් වැඩ පෝලිමක් ම ඈ ඉදිරියෙහි විය. ඒ තරම් දවසක් ඇයට ඒ තරම් නිදහසක් භුක්ති විඳින්නට දී අක්කා මුළු ගෙදරක වැඩ තනිව කිරීම ගැන අමාගී ගේ පපුව පැලෙන්නට එන වේනාවක් දැනේ. ඒ ගැන අශ්විනී කිසිදා කෙඳිරියක් හෝ නගා නැත.

උදේ වරුවේ අහස වැහි බීරුමක් දැරුවේ ය. රෙදි වේලෙන්නට දමනා ගමන් අමාගී අහස දෙස බැලුවා ය. මතු මහළේ ජනේලයෙන් ආර්ය ඇදෙස බලා සිටියේ ය. මණී තාප්පය අයිනේ සිට “නැකත් දවස් නිසා වහී වගේ” යයි කීවා ය.

“අයියෝ මණී ආන්ටි. ආයි රෙදි ගන්න වෙයිනෙ එතකොට”

අමාගී කන්කෙඳිරි ගෑවා ය. මණී ගේට්ටුව විවර කරගෙන මල්වත්තගේ මිදුලට පිවිසියේ අමාගී ගැන කණගාටුවෙනි.

“මහන්සිද මාගි පුතේ අද වැඩකරල…”

අමාගී ගේ සිනහව තුළ දුකක් නොවූවා ම නොවේ.

“මහන්සියක්ම නෙවේ. ඒත් මතක් වෙනකොට ලොකූ ගැන දුකයි. එයා අපි නිසා කොච්චර මහන්සි වෙන්න ඇද්ද…”

“ඒක ඇත්ත. දවල්ට උයන්න මහන්සි වෙන්නෙපා. මං උයන්නං”

“මණී ආන්ටිට හැමදාම කරදර කරන්න බෑනෙ”

“ඔයා වගේ දරුවෙක් වෙනුවෙන් කරදර වෙලාහරි අතට පයට හැම දේම කරල දීල ආදරෙං බලාගන්නව ඉතිං… ඒත් අපිට එහෙම අයිතියක් දෙන එකක් නෑනෙ”

මණී ගෙන් සුසුමක් ගිළිහිණි. අමාගී බලා සිටියේ වචනයක් කියාගන්නට බැරි තරමට හුස්ම හිරකරගෙනයි.

“ම… ණී ආන්… ටි…”

“ලොකු පුතාගෙ තත්වෙත් එක්ක කටක්  ඇරල අපිට දුරේට මුකුත් කියන්න බෑනෙ පුතේ. ඒක ඉතිං ඔය දෙන්නගෙ විතරක්  නෙවෙයි අපෙත් ලැබීම. ඒ කොහොම වුණත් මට ඔයා මගෙම දුව තමයි. මගෙ කොල්ලො වගේම මගෙං කිරි උරල බීපු කෙල්ලනෙ දෙයියනේ”

ඇස් වලට තෙතමනයක් දැනුණ ද අමාගී නො හඬා දරා සිටියා ය. මුළු හදවත ම දැන් හැම පැත්තෙන් නාය ගිය කන්දක් වාගේ ය. සහෝදරියන්ගෙන් වෙන් වෙන්නට වීමේ සාංකාව ද පෙරුම් පිරූ ආදරය අන්තිම මොහොතේ හමු වීත් හිමි වෙන්නට අවසර නැති හද ගින්දර ද ඇයට තනිව දරාගන්නට සිදු වී තිබේ. දරා ගන්නට බැරි ම වෙලාවක නාය ගිය ද කන්දක් යනු කඩා වැටී සමතලා විය හැකි හැඟීමක් නොවේ!

ආර්ය ගෙදර හින්දා ආයු වැඩිපුර අමාගී සොයා ආවේ නැත. එපා කියත්දීත් මණී බත් මාළු පිණි ගෙනැවිත් තබා ගියෙන් දිවා ආහාර පිසීමක් නොමැති අමාගී, හොඳින් නො වියළුණ රෙදි ටික ගෙට දමා ඇඳට වැටුණා ය. ආර්ය ගෙන්     වවට්සැප් ගිනුමට ඡායාරූප කිහිපයක් පැමිණ තිබිණ. ඒ පෙර දා මංගල උත්සවය අවස්ථාවේ ගත් ඒවා ය. ආර්ය ආයු සමගින් රුසිරු ලවා පින්තූර ගනිමින් සිටියදී, අමාගී දැක ආයු ඇයට ළඟට ම කතා කළේ  ය.

“මා එක්ක පොතෝ එකක්”

ඔහු සිඟිති දත් පෙන්වා කිරි සිනහ පෑවේ ආර්ය ගේ අතේ සිට ම අමාගී ව ඔවුන් වෙතට ඇද ලං කොට ගනිමිනි. දන්නා හඳුනන බොහෝ අය අවට සිටින නිසා ඇයට හිතේ හැටියට ආර්ය ට සමීප වීමේ ඉඩක් වූයේ නැත. ඒ වෙලාවේ “ලං වෙන්නකො මා” කියමින් ආයු අමාගී ගේ ගෙල වටා අත දැමුවේ ය. ආර්ය මේ එවා තිබුණේ එකී මොහොතේ රුසිරු විසින් ජංගම දුරකතන කැමරාවෙහි සනිටුහන් කරගෙන තිබූ පින්තූර කිහිපයයි. ආර්ය ගේ අතේ ඉන්නා ආයු සිය සිඟිති අතින් අමාගී ව ඔවුන් වෙත ලං කරගෙන ඇගේ මුහුණට සිය මුහුණ ලං කරගෙන හිඳී. ඒ  කිරි සිනහව තුළ කැළතී ඇති  අප්‍රමාණිත හැඟීම් ගොන්න අමාගී තුළ රිදුමක් ඇති කළේ ය. පපුව හිර වී අතුණුබහන් තද වෙනවා වාගේ දැනිණ. එහි ඇගේ උවන දරා හිඳිනා ස්නේහය ඇයට ම සිතා ගත නො හැකි එකකි. ඇදෙස බලා හිඳිනා ආර්ය ගේ ඇස් පවා කිසි දාක වචන නොවූ ඒවා ය. ඇය කුඩා තරු කැටයක් වීත් මන්දාකිණියක් වන් ඔහු ඒ තරම් දයාවකින් ඇදෙස බලා ඉන්නේ කෙසේ ද?

“සුදු පුතා”

කියාගෙන දුරේශ් කාමරයට එන විට අමාගී සිටියේ යහන මත එරමිණියා ගොතාගෙන ජංගම දුරකතන තිරය දෙස බලාගෙනයි. ඇගේ දෑස් කඳුළු පොකුණු වූයේ ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles